Friday, April 26, 2024

ඡන්දයට මුදල් නොදී සිටීමට මුදල් ලේකම්ට බැහැ! – ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අතිරේක අධ්‍යක්ෂිිකා, නීතිඥ නිමලා සිරිවර්ධන

“මම කරුණු දෙකක් ඉදිරිපත් කරනවා. එකක් තමයි භාණ්ඩාගාර ලේකම්තුමාට වියදම් සීමා කිරීමට ඉදිරිපත් කරන ලද කැබිනට් සංදේශය නැතිනම් කැබිනට් අනුමැතිය පිළිබඳව. කැබිනට් අනුමැතියේ දීල තිබෙනවා රජයේ මුදල් තත්වය හොඳ වෙන තුරු මූලික කර ගන්න උවමනා ලිස්ට් එකක්. ඒවාට පමණක් මුදල් නිකුත් කරන්න කියන එක. ඒ අනුමැතිය මත කටයුතු කරන්න සිදුවෙලා තිබෙන බව තමයි භාණ්ඩාගාරයේ ලේකම්තුමා නීතිපති දෙපාර්තමේන්තුවට දැනුම් දී තිබෙන්නේ.

“එතුමාට එවැනි අනුමැතියක් ලැබුණත් ඒ අනුමැතිය තුළ අපි දකින්නේ නැහැ පෙබරවාරි 04 දින කරන ලද වියදම් සම්බන්ධ අනුමැතියක්. ඒ වගේම පෙබරවාරි 08 වන දින පාර්ලිමේන්තු සැසිවාරය සම්බන්ධයෙන් කරන ලද විශේෂ වියදම් සම්බන්ධයෙන් අනුමැතියක්. ඒ සඳහා වියදම් දරනු ලැබුවේ කොහොමද? භාණ්ඩාගායේ වියදම් කරන්නේ නැතිවද ඒ අදාළ උත්සව දෙක පැවැත්වූයේ. එහෙම නැත්නම් බලයෙන් පිටත ක්‍රියාකිරීමක් භාණ්ඩාගාරයේ ලේකම් විසින් කරන ලදැයිද කියලා ප‍්‍රශ්නයක් මතුවෙනවා. ඒ වියදම් ශීර්ෂ සම්බන්ධයෙන් බලනකොට.

“අනෙක් කරුණ තමයි අයවැය ලේඛනයේ අනුමත කරන ලද වියදම් සම්බන්ධයෙන් භාණ්ඩාගාරයෙන් මුදල් සොයා ගන්නේ. භාණ්ඩාගාරයට මුදල් අවශ්‍ය වනවිට භාණ්ඩාගාර බිල්පත් මගින් තමයි මුදල් එකතුකර ගන්නේ. භාණ්ඩාගාරයෙන් දැනුම් දෙනවා ශ්‍රී ලංකා මහ බැංකුවට මෙතරම් ප‍්‍රමාණයක මුදල් අපට සොයා දෙන්න.

“පෙබරවාරි 08 දා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේ භාණ්ඩාගාරයෙන් ඉල්ලලා තිබෙනවා. දින 91ක් සඳහා රුපියල් මිලියන 50000ක්. (බිලියන50ක්) ඒ වගේම දින 182ක් සඳහා රුපියල් මිලියන 25,000ක්. දින 364ක් සඳහා රුපියල් මිලියන 25,000ක්. රුපියල් මිලියන ලක්ෂයක් සොයා දෙනලෙස.

“මේ සතියේ පෙබරවාරි 08 වැනිදා වෙන්දේසියේදී ප‍්‍රයිමරි ඩීලර්ස්ලා ඉදිරිපත් කර තියෙනවා වික්ස්, මිලියන එක්ලක්ෂ හැටහයදහස් හයසිය විසිදෙකක්. එයින් රුපියල් මිලියන පනස්තුන්දහස් පන්සිය අනූහයක් විතරයි ලබාගෙන තිබෙන්නේ. අනික් වික්ස් ප‍්‍රතික්ෂේප කර තිබෙනවා.

“අපට සැකයක් මතුවෙනවා රුපියල් මිලියන ලක්ෂයක උවමනාවක් තිබෙනවා නම් මහා භාණ්ඩාගාරයට මිලියන පනස්තුන්දහස් පන්සිය අනූහයක් ගැනීම තුළ ඉතිරි ප‍්‍රමාණය සොයා ගන්නේ කොහොමද?

ඒ කියන්නේ මිලියන හතළිස් හයදහසකට වැඩි ප‍්‍රමාණයක්. මේ මුදල් යම් ප‍්‍රමාණයක් ලබා ගන්නවා ඇති රිපෝ පර්චස් කරන තත්වයන් තුළ. නමුත් භාණ්ඩාගාර මුදල් එකතු කරගන්නේ භාණ්ඩාගාර බිල්පත් නිකුත් කරලා, වෙළඳපොළෙන්. එහෙම නැත්නම් ඒ ශේෂය මහ බැංකුව විසින් ලබාදිය යුතු වෙනවා.

“එහෙම කරන්න පුළුවන් නම්, මේ මැතිවරණ සම්බන්ධ වියදම, අයවැය ලේඛනයේ ප‍්‍රතිපාදන ලබාදුන් වියදමක්, මේ ව්‍යවස්ථාපිත වියදම කිරීමට, මහා භාණ්ඩාගාරයේ ලේකම්ට අයිතිවාසිකමක් ඇතිවිය යුතුයි.

“එය නොකිරීම තුළ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉදිරිපත් කරන ලද තීන්දුවත්, ව්‍යවස්ථාපිත බැඳීමත් යන කරුණු දෙකම නොකර හැරීමක් බවට පත්වෙනවා, මැතිවරණය සඳහා ප‍්‍රතිපාදන ලබා නොදුන්නොත්.

මුදල් සම්බන්ධව ප‍්‍රතිපාදන, කැබිනට් අනුමැතියෙන් නොලැබුණා යැයි පවසා මහා භාණ්ඩාගාරයේ ලේකම්ට එය පැහැර හැරීම නොකළ හැකියි. ඒ සඳහා පරිපූරක කැබිනට් අනුමැතියක් හෝ වෙනත් ක්‍රියාමාර්ගයක් ගැනීම තුළ අනුමැතිය ගත යුතුවෙනවා. එය නොකර සිටීමට කිසිම අයිතිවාසිකමක් ඔහුට ඇත්තේ නැහැ.”

(ලංකා ට්රුත්හි පළ වූ ලිපියක් ඇසුරිණි)

Archive

Latest news

Related news