Friday, March 29, 2024

ගෝටාගේ පලිගැනීම් කොමිෂන් දෙකම නීතිපතිගේ කුණු කූඩයට. කොමිෂන් ලොක්කෝ තවම මහජන මුදලින් හයි ෆයි!

ඡායාරූපය: ගෝටා කොමිසමේ වාර්තාව මහ ඉහළින් පිළිගත්තේය.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ  පත්කළ ලැබූ දේශපාලන පළිගැනීම් පිළිබඳව සොයාබැලූ කොමිසම සිදුකර තිබෙන නිර්දේශ සම්බන්ධයෙන් ඉදිරි කටයුතු නොකිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇතැයි නීතිපතිවරයා අභියාචනාධිකරණයට අද දැනුම් දී තිබේ.

අදාළ කොමිසම සිදුකර තිබෙන නිර්දේශ බලරහිත කරන ලෙස ඉල්ලා ජනාධිපති රනිල් වික්‍රමසිංහ, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක, ජනාධිපති නිතිඥ ජයම්පතී  වික්‍රමරත්න ඇතුළු පිරිසක් ගොනුකර තිබූ පෙත්සම් කැඳවනු ලැබූ අවස්ථාවේදී නීතිපති සංජේ රාජරත්නම් මහතා මෙම දැනුම්දීම සිදු කර තිබේ.

එම කොමිසම මගින් නීති විරෝධි තීරණ ලබා දුන් කොමිසමේ සභාපති  වූ විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න දැන් තොරතුරු කොමිසමේ සභාපකි ලෙස වැජඹේ.

කොමිසමේ තවත් සාමාජිකයකු වූ  විශ්‍රාමික පොලිස්පති චන්ද්‍රා ප්‍රනාන්දු දැන් මෙරට  පොලිස් කොමිෂමේ සභාපති වශයෙන් නීති කෙළසමින් සිටී.

2020 ජනවාරි 28 වැනිදා ආරම්භ කරන ලද  එකී දේශපාලන පළිගැනීම් පිළිබඳ කොමිෂන් සභා වාර්තාවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් වූ විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව 2022 වසරේ අප්‍රේල් මස 28 දින දක්වා බලාත්මක විය.

එම කාලය තුල කෝටි 10කට ආසන්න මුදලක් මෙම කොමිසම විසින් කාබාසීනියා කර දැම්මේය. 2020 වසර තුල ගෝඨාභය පත් කළ කොමිෂන් දෙකක් සඳහා කෝටි 13ක් වැය කර තිබුණි. කොමිෂන් පත් කිරීම ගෝටාගේ චූන් එකක් විය.

එකී  වාර්තාවේ නිර්දේශ ජනාධිපති ගෝඨාභය සහ අගමැති මහින්ද රාජපක්ෂ යටතේ  අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එකී නිර්දේශ ක්‍රියාත්මක කිරීමට අනුමැතිය හිමිවිය.

අදාළ වාර්තාවට අනුව විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවක් පත්කර එම වාර්තාවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම සඳහා සුදුසු යාන්ත්‍රණයක් නිර්මාණය කිරීමට ඇමති මණ්ඩලය තීරණය කළේය.

රාජපක්ෂවරු මෙම කොමිසමේ නීති විරෝධී නියෝග මහ ඉහළින් පිළිගත්තෝය.

දැන් හාස්‍ය ජනක ලෙස එම කොමිසම කුණු කූඩයට දැමෙන්නේ ද එකී රාජපක්ෂ ඇමැති මණ්ඩලය බලයේ සිටියදීය.

එම දේශපාලන පළිගැනීම් පිළිබඳ විමර්ශනය කිරීම සඳහා පත්කළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ අවසන් වාර්තාවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට ජනාධිපති ගෝඨාභය අති විශේෂ ගැසට් නිවේදනයක් මගින් විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවක් ද පත්කර කළේය.

විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිසන් සභා පනතේ 8වන වගන්තියේ විධි විධාන ප්‍රකාරව එම වාර්තාව අනුව යම් තැතැන්තෙකු ප්‍රජා අශක්නුතාවකට යටත් කළයුතු බැවින් එකී නිර්දේශ කිරීම පිණිස ද මෙම කොමිසන් සභාවට බලය පැවරෙන බව අදාළ අති විශේෂ ගැසට් නිවේදනයේ සඳහන් ය.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ධම්මික ප්‍රියන්ත සමරකොන් ජයවර්ධන මහතාගේ සභාපතිත්වයෙන් යුත් එහි සෙසු සාමාජිකයින් වූයේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කුමුදුනී වික්‍රමසිංහ, අභියාචනාධිකරණ විනිසුරු රත්නප්‍රිය ගුරුසිංහ යන මහත්ම මහත්මීන් ය.

ඒ සම්බන්ධයෙන් නිකුත් කළ අති විශේෂ ගැසට් නිවේදනයේ දැක්වූයේ දේශපාලන පළිගැනීම් පිළිබඳ ජනාධිපති පරීක්ෂණ කොමිසන් සභා වාර්තාවේ නිර්දේශ අනුව වගඋත්තරකරුවන්ට එරෙහිව ගත යුතු පියවර පහක සඳහන් පරිදි සළකා බැලීමට නියෝග කරන ලදී.

01.ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධාන පරිදි ලබාදී ඇති දිවුරුම කඩ කරමින් එකී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධි විධාන උල්ලංඝණය කිරීම

02. බලය අනිසි ලෙස පරිහරණය කිරීම හෝ බලය අයථා පරිදි පාවිච්චි කිරිම, මැදිහත්වීම, වංචා කිරීම, දූෂණය, සාපරාධි සාවද්‍ය පරිහරණය , සාපරාධි විශ්වාසය කඩ කිරීම හෝ ඥාති සංග්‍රහය

03 යම් තැනැත්තෙකුගෙන් දේශපාලන වශයෙන් පළිගැනීම

04 යම් තැනැත්තෙකුගේ යම් පත්වීමක් දීමේදී හෝ මාරු කිරීමකදී , යම් උසස්වීමක් දීමේදී , සේවය අවසන් කිරීමේදී හෝ යම් අක්‍රමිකතාවක් , යම් ලිඛිත නීතියක් උල්ලංඝණය කිරීම සිදුකර තිබේ ද යන්න උක්ත වගඋත්තරකරුවන් එසේ වගකිවයුතු වන්නේ කොතරම් දුරකටද යන්න වග තවදුරටත් විමර්ශනය කර වාර්තා කිරීම ද මෙම කොමිසන් සභාවට පැවරෙන බවයි

මාස 03 ක් ඇතුළත විමර්ශන සිදුකර අවශ්‍ය නිගමනයන් හා නිර්දේශවලට අනුව ලබාදෙන දඬුවම් දක්වමින් අවසන් වාර්තාව හෝ අතුරු වාර්තාව තමන් වෙත ලබාදෙන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ  එම විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවට නියෝග කළේය.

එම කොමිෂමේ වාර්තාවට සිදු වූ දෙයක් කිසිවකු නොදනී.

මේ තාක් කල් නීතිපති දෙපාර්ථමෙන්තුව මෙම කොමිෂන් සභාවන්ට විරුද්ධව පියවරක් ගත්තේ නැත.

පළිගැනීම් කොමිෂමේ නියෝග ගණනාවක් මේ වන විට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අත්හිටවා තිබේ.

මෙම කොමිසමේ නිර්දේශ කුණු කූඩයට දැමුවේ මන්දැසි දැන් සංජේ රාජරත්නම් රටට කිවයුතු බව එහි වින්දිතයකු වූ නීතිඥවරයකු මෙම වෙබ් අඩවියට කියා සිටියේය.

එම දොස් සහිත කොමිෂම පත් කිරීම සහ නීතිවිරෝධී තින්දු දීම සම්බන්ධයෙන් එහි සාමාජික සාමාජිකාවනට විරුද්ධ පියවර ගත යුතු බවත් නීති අංශ පවසයි.

එනමුත් රාජපක්ෂ සිරකරුවකු වන රනිල් රාජපක්ෂට හෝ සංජේ රාජරත්නම්ට එවැනි හැතියාවක් නැති බවත් පැවසේ.

සේ. පියවර්ධන

08.02.2023

(පුවත් වාර්තා ද ඇසුරිණි)

Archive

Latest news

Related news