Friday, April 26, 2024

ලොහාන් රත්වත්තේ සිරගෙදර නැටූ පිස්තෝල ජෝගිය: හමස් පෙට්ටියට දැමූ වාර්තාව ලබා දීමට නියෝගයක්

අනුරාධපුර සහ වැලිකඩ බන්ධනාගාරවලට ලොහාන් රත්වත්තේ මන්ත්‍රීවරයා ගොස් ඇතිවූ තත්ත්වය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ ඒක පුද්ගල කමිටු වාර්තාව තොරතුරු පනත යටතේ මුදා හරින ලෙස තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාව අද අධිකරණ අමාත්‍යංශයට නියෝග කළේය.

( 2021 වර්ශයේ සිරකරු දිනය යෙදුණු සැප්තැම්බර් 12 වැනිදා එවකට බන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන් පුනුරුත්ථාපන කටයුතු රාජ්‍ය අමාත්‍ය වූ  ලොහාන් රත්වත්තේ බීමතින් අනුරාධපුර බන්ධනාගාරයට පැමිණ දෙමල සිරකරුවන් පේලි ගස්සවා අයකුගේ හිසට සිය පිස්තෝලය ඒලල් කර තිබුණි)

කොමිෂන් සභාව එම නියෝගය කළේ සමාජය සහ සාමයික කේන්ද්‍රයේ (සීඑස්ආර්) පර්යේෂණ කණ්ඩායම කළ තොරතුරු ඉල්ලීමකට අදාල අභියාචනයක් විභාග කිරීමෙන් පසුවය.

අධිකරණ අමාත්‍යංශයට මෙම තොරතුරු ඉල්ලීම යොමු කළ අවස්ථාවේ එම වාර්තාව ලබාදීම ප්‍රතික්ෂේප කරමින් එම අමාත්‍යංශය දැනුම් දී තිබුණේ මෙම වාර්තාව සකස් කළේ කැබිනට් මණ්ඩලයේ දැනුම්දීමක් මත බවයි. වාර්තාව සටහනක් සමඟ අමාත්‍ය මණ්ඩලයේ අවධානයට යොමු කළ ද ඒ සම්බන්ධයෙන් ගත් ක්‍රියාමාර්ග ගැන දැනුම්දීමක් කර නැති නිසා පනතේ 5(1)(ක) යටතේ තොරතුරු ලබා දිය නොහැකි බව කියමින් අමාත්‍යංශය තොරතුරු ඉල්ලීම ප්‍රතික්ෂේප කර තිබිණි.

අද මෙම අභියාචනය විභාගයට ගත් අවස්ථාවේදී කොමිෂන් සභාව මෙම වාර්තාව කැබිනට් සංදේශයක් ද එසේ නැතිනම් වෙනත් යමක්ද යන්න ප්‍රශ්න කළ අතර එම අවස්ථාවේ අධිකරණ අමාත්‍යංශය වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් එම් එම් අලීෆ් මහත්මිය ප්‍රකාශ කළේ මෙය කමිටු වාර්තාවක් බවත්, එම කමිටු වාර්තාව සහටනක් (නෝට්) සමග කැබිනට් මණ්ඩලයට යොමු කළ බවයි.

ඒ අනුව පනතේ 5(1)(ක) යටතේ ඇත්තේ කැබිනට් සංදේශයක් සම්බන්ධයෙන් පමණක් බවත්, කැබිනට් මණ්ඩලයට යොමු කළ සටහනක් (නෝට්) කැබිනට් සංදේශයක් ලෙස නොගැණෙන බවත් තීරණය කළ කොමිෂන් සභාව මෙම වාර්තාව මුදා හැරිය යුතු තොරතුරක් බවට තීන්දු කළේය.

අදාල කමිටු වාර්තාව පෙබරවාරි 23ට පෙර කොමිෂන් සභාවට පිටපතක් සහිතව සමාජය සහ සාමයික කේන්ද්‍රයේ පර්යේෂණ කණ්ඩායම වෙත මුදා හරින ලෙස අධිකරණ අමාත්‍යංශයට දැනුම් දුන් කොමිෂන් සභාව නියමිත දිනට ප්‍රථම එම වාර්තාව ලබා දීමට අපහොසත් වුවහොත් පනතේ 39 වැනි වගන්තිය යටතේ මහේස්්‍රාත් අධිකරණයේ නඩු පැවරීමට ද තීරණය කළේය.

අද මෙම අභියාචනය කැඳවූයේ තොරතුරු කොමිසමේ සභාපති උපාලි අබේරත්න, කොමසාරිස්වරුන් වන නීතිඥ කිෂාලි පින්ටෝ ජයවර්ධන, නීතිඥ ජගත් ලියන ආරච්චි සහ ඒ එම් නහියා යන මහත්ම මහත්මීන් ඉදිරියේය. අභියාචනා විභාගය සඳහා සමාජය සහ සාමයික කේන්ද්‍රයේ පර්යේෂණ කණ්ඩායම වෙනුවෙන් නීතිඥ සුරේන් ඩී පෙරේරා, නීතිඥ මනුෂිකා කුරේ සහ තරිඳු ජයවර්ධන පෙනී සිටි අතර අධිකරණ අමාත්‍යංශය වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් එම් එම් අලීෆ් මහත්මිය පෙනී සිටියාය.

(සටහන: තරිදු ජයවර්ධන)

Archive

Latest news

Related news