Wednesday, November 29, 2023

නිදා සිටින යෝධයකු වැනි ලාංකික මධ්‍යම පන්තියේ ආසයි බයයි ආතතිය – අජිත් අමරසිංහ (අවසන් කොටස)

ශ්‍රී ලාංකික මධ්‍යම පන්තිය – ඇසට නොපෙනෙන යෝධයා ( 2 කොටස)

මෙතෙක් කෙරී ඇති සමීක්ෂණ එක්ව විමසන කල පැහැදිලි වන්නේ ලංකාවේ ජනගහනයෙන් 71%- 79% අතර වන සුවිසල් මධ්‍යම පංතිය තුල ආර්ථික ශක්තිය අතින් විශාල වෙනස්කම් ඇති කණ්ඩායම් තුනක් සිටින බවයි. මේ මුළු මධ්‍යම පංතියෙන් 31-43.5% පමණ වන බහුතරය පහල මධ්‍යම පංතියට අයිති වන බවද පැහැදිලිවේ. මැද මධ්‍යම පංතියට 21% – 42% අතර ප්‍රමාණයක්ද, ඉහල මධ්‍යම පංතියට 4.5% – 14%ක් ප්‍රමාණයක්ද අයිතිවේ. එසේම මේ සියලු අධ්‍යයනයන් හිදී දුප්පත් පංතිය ලෙස හැඳින්විය හැකි පිරිස 10% – 15%ක් වැනි සුළුතරයක් බවද, ධනවත්සේ හැඳින්විය හැකි පංතිය 4% – 8% ක් අතර ප්‍රමාණයක් බවද වැටහේ.

බහුතරයක් ජනගහනය අයිති වන්නේ පහල මධ්‍යම පංති සමාජ ස්ථරයටය

මේ සියලු අධ්‍යයනයන් වලට අනුව ලංකාවේ බහුතරයක් ජනගහනය අයිති වන්නේ පහල මධ්‍යම පංති සමාජ ස්ථරයටය. මේ සොයාගැනීම වැරදි යැයිද, ඇත්ත වශයෙන්ම දුප්පත් සමාජ ස්ථරයට අයිති පිරිස සමීක්ෂණ වලින් පහල මධ්‍යම පංතියට ඇතුළු කර ඇතැයි සමහර අයෙකුට තර්කයක් නැගිය හැකිය. රජයේ ගුරුවරයෙකු හෝ රජයේ කනිෂ්ඨ සේවකයෙකු  අයත්වන්නේ යැයි සියලු දෙනාගේම  සාමාන්‍ය මතය වන්නේ ලෙස පිළිගන්නේ පහල මධ්‍යම පංතියට මිස දුප්පත් පංතියට නොවේ. කරන ලද සමීක්ෂණවල සත්‍යතාවය තහවුරු කරමින් එක් සමීක්ෂණයක පහල මධ්‍යම පන්තියේ 40% ක් ගුරුවරු බවද, තවත් 11%ක් පහල ස්ථරවල රජයේ සේවකයන් බවද සොයාගෙන තිබේ. (මෑතකදී ගුරු-විදුහල්පතිවරුන්ගේ වැටුප් තලය ඉහල යාමත් සමග මෙම දත්ත වෙනස් විමට ඉඩකඩ තිබිය හැක.)

ලංකාවේ පහල මධ්‍යම, මැද මධ්‍යම, ඉහල මධ්‍යම පංති ස්ථර අතර ආදායම් මට්ටම හැරුණු කල ආර්ථික වටිනාකම්, සංස්කෘතික වටිනාකම්, සමාජ වටිනාකම් අතින් වශයෙන් වැඩි වෙනසක් නැති බව සමීක්ෂණ වලින් හෙළිවේ. තමන්ට හිමි දේපළ අතින් වෙනස් කම් ඇතත්, පහල මධ්‍යම පංතිය සැමවිටම ඉහල මධ්‍යම පංතියට හිමි ප්‍රමාණයේ භෞතික වස්තු හිමිකරගැනීමේ නොනිත් ආශාවකින් පෙලේ.

 

එකා පිටුපසු එකා යැවූ  නිදහස් අධ්‍යාපනය

1942 දී, ලංකාව නොදියුණු  දුප්පත් රටක්ව පැවතියදී, ලංකාවට නිදහස් අධ්‍යාපනය හඳුන්වාදීම තුලින්, රටේ බහුතරයක් ජනතාව තුල ආර්ථික,සංස්කෘතික හා සමාජ වටිනාකම් පිලිබඳ යම් ඒකාග්‍රතාවයක් ඇතිවන්නට ඇත. මේ හැරුණුකොට 1956 වසරේදී මව් භාෂාවෙන් පමණක් සියලු පාසල්වල ඉගැන්වීම ආරම්භ කිරීමෙන්ද, 1962 වසරේදී  කුඩා පාසැල් ප්‍රමාණයක් හැරුණුකල අන් සියලු පාසල් රජයට පවරා ගැනීමෙන්ද, ලංකාවේ අති බහුතරයක් ළමුන් එකම ආකාරයක විෂය නිර්දේශකයකට හා අධ්‍යාපන ක්‍රමයකට යොමු කරන ලදී. පාසල් අතර පහසුකම්වල වෙනස්කම් තිබුනත්, මේ හේතුව නිසා  සමාජයේ බහුතරය බොහෝ දුරට එකම ආකාරයක ආකල්ප සහිතව වියපත් විය.මේ අතර හොඳ හා නරක ආකල්පයන් ඇතත්, මේ අධ්‍යාපන ක්‍රමය යම් ප්‍රමාණයකට සම්පුර්ණ කල පහල මධ්‍යම පන්තියත් මුළුමනින්ම පාහේ සම්පුර්ණ කල මැද මධ්‍යම හා ඉහල මධ්‍යම පංති ස්ථරත් අතර යම් ඒකාග්‍ර බවක් ඇති බව මේ එක් ස්ථර වල පුද්ගලයන් සමඟ කතාබහ කිරීමේදී වැටහේ. එසේම එකම පවුලේ හෝ සමීප පවුල්වල අය මේ අධ්‍යාපන ක්‍රමය තුලින් ගොස් ඇතැමෙක් පහල මධ්‍යම පන්තියටද තවකෙක් ඉහල මධ්‍යම පංතියටද ඇතුළු වූ අවස්ථා බහුලය.

මෙහිදී නිදහස් අධ්‍යාපනය සමාජ සංතුලනයක් ඇති කරන්නෙක් ලෙස ක්‍රියාත්මකවී ඇත. එකම පවුලේ දෙදෙනකුට එකම ආකාරයේ අධ්‍යාපනයක් තුලින් ඉගෙන, එක් අයෙක් පහල මධ්‍යම පංතියටත් අනෙකා ඉහල මධ්‍යම පංතියටත් ස්ථානගත වීමේ හැකියාව නිදහස් අධ්‍යාපනය තුලින් ලැබී ඇත. මේ හැරුණු කොට සමාජ ස්ථර අතර ගමන් කිරීමද නිදහස් අධ්‍යාපනය තුලින් පහසු කර ඇත.මේ කොටස් අතර පවතින නිරන්තර සබඳතාවයද මේ ආකල්පමය ඒකාග්‍රතාවය ඇතිවීමට තවත් හේතුවකි. ලෝකයේ බොහෝ දියුණු රටවල පවා ලංකාවේ මිනිසුන්ට තරම් සමාජ සංක්‍රමණයට අවස්ථාවක් නැත.

එකම සමාජ ස්ථරය අනු සමාජ ස්ථර වලට

සමාජ ස්ථර විග්‍රහයේදී ජනවර්ගය හා ආගම විසින් එකම සමාජ ස්ථරය අනු සමාජ ස්ථර වලට බෙදයි. මේ අනු සමාජ ස්ථර අතර විශාල ආකල්පමය වෙනස්කම් තිබිය හැකිය. අනු සමාජ ස්ථර ගැන විමසීමේදී ලංකාවේ මුළු ජනගහනයෙන් 76% ක් සිංහල ජනවර් ගයට අයත් අය බවත්, 70% ක් සිංහල බෞද්ධයන් බවත් සිහියේ තබාගැනීම වැදගත්වේ. ඒ අනුව, සිංහල බෞද්ධ මධ්‍යම පංතික සමාජ ස්ථරය 50%-55% ක ජනගහනයක් ආවරණය වන විශාලම සමාජ ස්ථරය වේ. එසේම සිංහල බෞද්ධ පහල මධ්‍යම පංතික සමාජ ස්ථරය ලංකාවේ 22% – 28% ක ජනගහනයක් ආවරණය කරන විශාලම අනු සමාජ ස්ථරය වේ.

නාගරික ජනගහණය 40% වැඩිය

නාගරික මධ්‍යම පංතිය හා ග්‍රාමීය මධ්‍යම පංතිය අතර ආකල්පමය වෙනසක් ඇතැයිද ලංකාවේ ඇති බහුතරයක් ග්‍රාමීය ජනතාව යැයිද යමෙක් සිතන්නට පුළුවන. ලංකාවේ නාගරික ජනගහනය ගැනද අප තුල ඇත්තේ වැරදි ගණනය කිරීමකි. නිල සංඛ්‍යා ලේඛණ අනුව ලංකාවේ නාගරික ජනගහනය 13.5%- 20% අතරය. මෙහි නාගරික ප්‍රදේශ නිර් නය කරගැනීමට යොදාගත් නිර්ණායකයන් වැරදි බවත්, නිවැරදි වෙනත් නිර්ණායකයන් නාගරික හා ග්‍රාමීය ප්‍රදේශ හඳුනාගැනීම සඳහා යොදාගත යුතු බවත් බොහෝ පර්යේෂකයන්ගේ මතයයි. මේ නව නිර්ණායකයන්ට අනුව චම්පික රණවක මහතා නාගරික සංවර්ධන ඇමති ලෙස කල පර්යේෂණයකින් නාගරික ජනගහනය, මුළු ජනගහනයෙන් 48%ක් බවත්, විකල්ප ප්‍රතිපත්ති අධ්‍යයන කේන්ද්‍රය කළ පර්යේෂණයකින් එය 43.8% ලෙසද, එලිස් සහ රොබට් කල මහත්වරුන් කල පර්යේෂණයකින්, එය 48%ක් ලෙසද ගණනය කර ඇත. එසේම සංනිවේදන මාධ්‍යයන්ගේ හා ප්‍රවාහනයේ දියුණුව නාගරික හා ග්‍රාමීය මධ්‍යම පංති අතර ඇති ආකල්පමය වෙනස්කම් තුනී වීමට හේතුවී ඇත. කෙසේ වෙතත් ලංකාවේ මුළු ජනගහනයේ මධ්‍යම පන්තික ස්ථරය 71% – 79% වනවිට, නාගරික ජනගහනයේ මේ මධ්‍යම පංතියේ ප්‍රතිශතය මෙයටත් වඩා වැඩිවීමට ඉඩ ඇත.

 77න් පිම්ම ගත්  මධ්‍යම පංතියේ වැඩීම

ලංකාවේ තරම් නොවුනත් නොව මුළු ලෝකයේම මධ්‍යම පංතිය පසුගිය දශක කිහිපය තුල වර්ධනය වී ඇත. ලංකාවේ මධ්‍යම පංතිය 20% කුඩා ප්‍රමාණයක සිට 80%කට ආසන්න දැවැන්ත සමාජ ස්ථරයක් බවට පත්වීම ලංකාවේ ඒක පුද්ගල ආදායම හා බැඳී පවතී. ශ්‍රී ලංකාවේ මධ්‍යම පංතිය පළල් වීම ඇරඹුණේ 1977 දේශපාලන පරිවර්තනයෙන් පසුවය. එය විවෘත වෙළඳ ප්‍රතිපත්තියත් සමඟ අප රටේ ඒක පුද්ගල අදායම සීග්‍රයෙන් ඉහල ගියේය. ලෝකයේ සාමාන්‍ය අගයට සාපෙක්ෂකවත් දකුණු ආසියාවේ අනෙක් රටවලට සාපේක්ෂකවත් ලංකාවේ ඒක පුද්ගල දළ ජාතික ආදායමේ ඉහළයාම පුදුම සහගතය.

ඒක පුද්ගල ආදායම ඇ ඩොලර්

  1977 1987 1997 2007 2018 පසුගිය වසර 40 තුල වැඩිවූ ප්‍රමාණය
ලෝකය 1777 3685 5239 8975 11313 x 6.3
ශ්‍රී ලංකාව 272 409 823 1793 4102 x 15.0
දකුණු ආසියාව 215 540 419 959 1903 x 9.0
ඉන්දියාව 189 349 415 1016 2010 x 10.6
පකිස්තානය 254 364 474 941 1482 x 5.8
බංගලි දේශය 191 264 402 589 1908 x 9.9
මාලදිවයින දත්ත නැත 762 1941 5990 10,331 x 13.5

මුලාශය https://youtu.be/ydj_fXPLbIQ

මේ දත්ත සසඳා බලන විට පසුගිය වසර 40 තුල ලෝකයේ සාමාන්‍ය ඒක පුද්ගල ආදායම 6.3 ගුණයකින් වැඩිවෙත්දී ලංකාවේ දළ ඒක පුද්ගල ආදායම 15 ගුණයකින් වැඩිවී ඇත. දකුණු ආසියාවේ කිසිම රටක මෙවැනි ඒක පුද්ගල ආදායම් වර්ධනයක් සිදුවී නැත. එලෙසම රටක ආදායම් බෙදීයාමේ පිළිබඳව විමසන දර්ශකය වන gini coefficient අතින්ද අපි සිටින්නේ ලොවට හා දකුණු ආසියානු දර්ශකයට වඩා හොඳ තත්ත්වයකය. මෙයද මධ්‍යම පංතිය පුළුල් වීමට එක් හේතුවක් වන්නට ඇත. මේ කරුණු වලට අනුව ලංකාවේ මධ්‍යම පන්තියේ විස්තාරණය සිදුවී ඇත්තේ පසුගිය අවුරුදු හතලිහක කාලය තුලදීය. මේ කරුණ සම්බන්ධයෙන් ආර්ථික විද්‍යාඥයින් වැඩිදුර හැදැරීම් කිරීම වැදගත්ය.

නියෝජනයක් නැති සමාජ ස්ථරයක්

1977ට පෙර ලංකාවේ පැවතියේ ප්‍රමාණයෙන් කුඩා නමුත් සමාජ බලය අතින් බලවත් මධ්‍යම පංතියකි. මෙම මධ්‍යම පංතියේ රජයේ ගුරුවරයා ගම්වල බලවත් ස්ථානයක් ගත්තේය.රජයේ ලිපිකරුවන්, අනෙක් රජයේ සේවකයන්, කුඩා පරිමාණ කර්මාන්තකරුවන්, කුඩා පරිමාණ වෙළෙන්දන්ගෙන් සමන්විත මේ කුඩා මධ්‍යම පන්තියට පහලින්, විශාල දුගියන් පිරිසක් අප රටේ සිටියේය. ඉන් පසුව පළල්වූ මධ්‍යම පංතිය එසේ පළල් වූයේ කිසිදු දේශපාලන බලයක් නැති පංතියක් ලෙසය. වේගයෙන් විස්තාරණවූ මේ මධ්‍යම පංතිය රටේ පවත්නා සමාජ-දේශපාලන ක්‍රමය ගැන දැඩි ඉච්චා භංගත්වයකින්, කළකිරීමකින් හා අසහනයකින් පෙලන බව පෙනී යයි. මෙයට හේතු රාශියකි.

මධ්‍යම පන්තියේ ප්‍රධානම මැසිවිල්ල

විවෘත ආර්ථිකයත් සමඟ රට තුළට ගලා ආ භෞතික සම්පත් තොගය ඔවුන්ට අත්පත් කරගත නොහැකි වීම පළමුවැන්නයි. තමන් සතුව  තිබිය යුතු  භෞතික සම්පත් ප්‍රමාණයෙහි සීමාවක් කිසිදු රටක අති බහුතරයක් මිනිසුන් නොදකී. ඒ නිසා කිසිදු රජයකට රටේ ජනතාව බලාපොරොත්තුවන සියලු සම්පත් ලබාදිය නොහැක. එසේ නමුත් තමන්ගේ මුලික සිතැඟියාවන්වත් සපුරාලීමට රජයන්ට නොහැකිවීම මධ්‍යම පන්තියේ ප්‍රධානම මැසිවිල්ලයි.

නිවසක් තනාගැනීම සඳහා ඉඩමක් මිලදී ගැනීමට උත්සාහ කරන මොවුන්ට ඉඩම් මිල තමන්ට දරාගත නොහැකි තරම් බව වැටෙහේ. නිවසක් තැනීමට යන මොවුන්ට මෙය ගොඩනැගීමට තරම් තමන්ට වත්කමක් නොමැති බව වැටහී යයි. බැංකුව කරා යන මොවුන්ට අවශ්‍ය තරමේ ණයක් ලබාගැනීමට නොහැකි බව පෙනීයයි. යන්තම් ගෙයක් අටවා ගත්තත් එය ටයිල් කිරීම,පෙනුමක් ඇති වැසිකිලියක් තනා ගැනීම, ගෘහ භාණ්ඩ මිලට ගැනීමද බලවත් ගැටලුවේ. බැංකුව තමන්ට සලකන්නේ මෙසේ වුවත් ලංකාවේ දේශපාලඥයන්ගේ හිතවතුන් බිලියන ගණන් ණය ගෙන ඒවා නොගෙවා ඇති බව ඔවුන් දකී. ඔවුන් හොරකමින් වංචාවෙන් මුදල් උපයා දේපොළ, යානවාහන, දැසිදස්සන් අත්කර ගෙන ඇති බව මොවුන්ට පෙනී යයි. තමන් සතු ව්‍යාපාරයකට හෝ කර්මාන්තයකට ණයක් ගැනීමට යන මධ්‍යම පංතික ව්‍යවසායකයාට මුහුණදීමට සිදුවන්නේද ඉමහත් බාධා රැසකටයි.

පහල මධ්‍යම පංතිකයාට මෝටර් සයිකලයකට වඩා වැඩි වාහනයක් මිලදී ගත නොහැකි වුවත් රටේ, දේශපාලඥයන් මහජන මුදලින් සියගණන් වාහන අවභාවිතා කරන බව මොවුන්ට පෙනේ. තම ආදායමින් මෝටර් සයිකලයකට වඩා වැඩි වාහනයක් නඩත්තු කල නොහැකි වුවත් පොදු ප්‍රවාහන ක්‍රමවල තදබදයත්, අක්‍රමික බවත් ඒවායේ යනවිට අසහනය ගෙන දේ. තමන් සතුව විදුලි උපකරණ, ඉලෙක්ට්‍රොනික උපකරණ සතුව ඇතත් පහසු ගෙවීමේ ක්‍රම වලට ලබාගත් ඒවායේ වාරික ගෙවා ගැනීමද ප්‍රශ්නයකි. විදුලි පහනක් දැල්වීමට පෙර දෙවරක් සිතිය යුතු මොවුන්ට මාසික විදුලි බිලද ගෙවීමද බලවත් ගැටලුවකි. තමන්ගේ මේ ප්‍රශ්න වලට විසඳුමක් ලෙස අමතර ආදායම් මාර්ග සොයා ගැනීමට මොවුන් පෙළඹේ. එනිසා මේ අයගෙන් අතලොස්සක් අල්ලස් ගැනීමට පෙළඹේ. ගුරුවරුන් ටියුෂන් දීමෙන් ආදායමක් සොයාගැනීමට පෙළඹේ. බොහෝ  දෙනා තම රැකියා කරන්නේ සතුටින් නොවේ.

මායා පසුපස දුවන  අධ්‍යාපනයේ වියවුල

තමන් යම් අධ්‍යාපනයක් තුලින් ලබාගත් සමාජ මට්ටමට වඩා ඉහල සමාජ මට්ටමකට තම දරුවන් ඔසවා තැබීම සඳහා ඇති එකම මාර්ගය අධ්‍යාපනය බව මධ්‍යම පංතිකයන් දකී. සමාජ ස්ථරයන් තුල තම දරුවන් ඉහලට යැවීමට නම් ඒ සඳහා ඇති එකම මාර්ගය ඔවුන් වෛද්‍යවරුන්, ඉංජිනේරුවන්, ගණකාධිකාරීවරුන් හෝ නීතිඥයන් බවට පත් කිරීම බව ඔවුන් සිතයි. මෙයට ඇති මුල් අඩිතාලම පස්වෙනි ශ්‍රේණියේ ශිෂ්‍යත්වය බව වටහා ඔවුන් එය හැකි හොඳින් කිරීමට තම දරුවන්ට බල කරයි.

මධ්‍යම පන්තියේ පළල්වීම තුල තම දරුවන්ට ඉහල පෙලේ අධ්‍යාපනයක් දීමේ අවශ්‍යතාවය ඇති පිරිස වැඩිවීම හොඳින් පිළිබිඹු කරන අවස්ථාවක්  නම් පස්වෙනි ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයයි. මීට දශක හතරකට පෙර වැඩි සමාජ අවධානයක් නොතිබි මේ විභාගය අද වනවිට  කුඩා දරුවන්ට දැඩි පීඩාවක් ගෙනදෙමින් පවත්වාගෙන යන්නට සිදුවී ඇත්තේ පුළුල් වූ මධ්‍යම පංතිය නිසාය. මේ විභාගයෙන් දෙමවුපියන්ගේ බලාපොරොත්තු වන්නේ රටේ පිළිගැනීමක් ඇති, තම දරුවන්ට හොඳ සමාජ සබඳතාවයන් ඇතිකරදෙන ආකාරයේ පාසලකට තම දරුවන් ඇතුළු කරගැනීමයි. එවන් පාසලකින් තම දරුවාට හොඳ අධ්‍යාපනයක් ලැබේ යැයි ඇති විශ්වාසය පමණක් නිසා නොවේ.

ටියුෂන් මාෆියාව පසුපස

සාමාන්‍ය රජයේ පාසලට යන දරුවාට, එතැනින් තමන් බලාපොරොත්තුවෙන ආකාරයේ සමාජ පිළිගැනීමක් නොලැබෙන බව මොවුන් කල්පනා කරයි. සමාජ පිළිගැනීමක් ඇති රජයේ පාසල්වලට තම දරුවන් ඇතුළු කරගත නොහැකි යැයි විශ්වාස කරන මධ්‍යම පංතික දෙමවුපියන් දැන් තම දරුවන් ජාත්‍යන්තර පාසල්වලට ඇතුළු කිරීමට පටන්ගෙන ඇත. එය ඔවුන් කරනු ලබන්නේ මහත් ආර්ථික දුෂ්කරතාවයන් මධ්‍යයේය. ඉංග්‍රීසි බස පිළිබඳ ව්‍යවක්ත බව තම දරුවාට සමාජය තුල පිළිගැනීමක් ඇතිකොට, තමන්ට නොලැබුණු අවස්ථාවන් විවර කොට දෙනු ඇතැයි ඔවුන් බලාපොරොත්තු වෙයි. ගාස්තු අඩු ජාත්‍යන්තර පාසල් පිරී පවතින්නේ විශේෂයෙන්ම මැද මධ්‍යම පංතියේ සිසුවන්ගෙනි. මේ බොහෝ පාසල්වල දැන් උගන්වනු ලබන්නේ ඉංග්‍රීසි බසින් ශ්‍රී ලාංකික විෂය මාලාවයි. ඒ, ලංකාවේ විෂය නිර්දේශය ලොවෙහි අනෙක් කිසිදු රටක විෂය නිර්දේශයට වඩා හොඳයැයි දෙමවුපියන් තුල ඇති හැඟීමත්, ජාත්‍යන්තර විභාග ගාස්තු ඉතිරි කරගැනීමත්, අවස්ථාවක් ලැබුණහොත් නොමිලයේ අධ්‍යාපනය ලබාදෙන රජයේ විශ්වවිද්‍යාලයකට තම දරුවන් ඇතුළු කරගැනීමට ඇති හැකියාවත්, නිසාය. ඉහළ මධ්‍යම පංතියේ හා ධනවත් පංතියේ දෙමවුපියන් තම දරුවන් ගාස්තු වැඩි ජාත්‍යන්තර පාසල්වලට ඇතුළු කරනු කරයි.

කුමන පාසලකට තම දරුවා ඇතුළු කලත්, ඉතා අඩු උසස් අධ්‍යාපන අවස්ථා සපුරාලීමට ඇති තරඟය නිසා තම දරුවන් ටියුෂන් යැවීමට මේ මධ්‍යම පංතික දෙමවුපියන්ට සිදුවේ. එසේ යවා උසස් අධ්‍යාපනයක් ලබා දුන්නත් නැතත්, තමන් විඳින දුක් ගැහැට රැසක් තම දරුවන් විඳිනු අකමැති මේ දෙමවුපියන් අවස්ථාවක් ලද සැනින් රට හැර යන ලෙස තම දරුවන්ට පවසයි.

 

 මධ්‍යම පංතියේ සෞඛ්‍යය සහ සුබසාධනයේ අවුල

සුළු ලෙඩක් වූ විට මධ්‍යම පංතිකයන් යාමට ප්‍රිය කරන්නේ මුදල් ගෙවන පුද්ගලික වෛද්‍ය ආයතනයකටය. වඩා ලොකු ලෙඩක් නම් “චැනල්” කර විශේෂඥ වෛද්‍යවරයෙකු හමුවීමටය. සිදුකර ඇති සමීක්ෂණ අනුව ලංකාවේ බාහිර රෝගී සේවාවන්ගෙන් 60% වඩා වැඩි ප්‍රමාණයක් සිදුවන්නේ පුද්ගලික අංශයේය. එසේ නමුත් රෝහල ගතවී ප්‍රතිකාර ගැනීමට සිදුවුවහොත් පුද්ගලික රෝහලකට ඇතුළුවීමට මොවුන්ට හැකියාවක් නැත. වෛද්‍ය රක්ෂණ සේවා, මුළු සෞඛ්‍ය වියදමින් 1% වැනි සුළු ප්‍රමාණයක් දරන රටක වසන මොවුන්ට රජයේ රෝහලකට ඇතුළුවීමට සිදුවේ. එතැන සේවකයන් තමන්ට නොසලකන අයුරුත්, ආහාර හා වෙනත් පහසුකම් තමන් බලාපොරොත්තුවන ලෙස නැති නිසාත් ඔවුන් රජයේ සෞඛ්‍ය සේවය පිළිකෙව් කරයි.

තමන්ගේ සුළු ආදායමින් තම දරුවන් රැකගැනීමද, වැඩිහිටියන්ට සැලකීමද මොවුන්ට බරපතල ප්‍රශ්නවේ.

 

 ආගම හා දේශපාලනය – ආතතියේ තෝතැන්නක්      

මේ සියලු ප්‍රශ්න මධ්‍යයේ මේ පිරිසේ සිංහල බෞද්ධ බහුතරයක්, තමන්ගේ ජාතිය සහ ආගම නැතිවියාමේ බරපතල තර්ජනයකට මුහුණපා ඇතැයි විශ්වාස කරයි. මේ සම්න්ධයෙන් ඔවුන් විවිධ සැකකරුවන් ඔවුන්ගේ සිත් තුල ඇත. රටට, ජාතියට, ආගමට අවමන් කරන්නන්ට ඔවුන් වෛර කරයි. රට හා ආගම සුරකින්නට හා තම මානසික ආතතිය අඩුකරගැනීම සඳහා භික්ෂුන් වහන්සේලාට සවන් දුන්නත්, ඇතැම් භික්ෂුන් තමන්ට වඩා චෝර දේශපාලඥයන්ට හා ධනවතුන්ට සලකන අයුරු මොවුන් බලාසිටින්නේ කෝපයෙනි.

සමාජය තුල තමන් තරම් උගත්කමක් නැති අය දේශපාලනයට පිවිස මැරකම්, තක්කඩිකම් ,හොරකම් කරමින්  මුදල් උපයමින් විශාල නිවෙස් තනා, විශාල වාහනවල යමින්, රටේ මුදල්ද විනාශ කරමින් යහතින් වැජඹෙනුද මොවුන් බලා සිටින්නේ කෝපයෙනි. එසේ නමුත් යම් සුළු දෙයක් ඉටුකරගැනීමට පවා, තමන් පිළිකුල් කරන මේ දේශපාලඥයන්ට වැඳ වැටෙමින්, ඔවුන් පසුපස මොවුන් යන්නේ, කැමැත්තෙන් නොවේ. පවතින සමාජ දේශපාලන ක්‍රමය තුල සියලු දේ දේශපාලනීකරණය වී ඇති නිසා දේශපාලඥයාගේ මැදිහත් වීමකින් තොරව කිසි දෙයක් සිදු නොවෙන නිසාය. යමක් සිදුවුවත් එය අකාර්යක්ෂම ලෙස සිදුවන නිසාය.

මේ දේශපාලඥයන් පලවා හැරීමට ඔවුන්ට උවමනා වුවත්, එසේ කිරීමේදී පවතින සමාජ සාමය මුළුමනින්ම නැතිවේ යැයිද, සමාජ ක්‍රමය මුළුමනින්ම වෙනස් වේ යැයිද යන බියෙන්ද මොවුන් පසුවේ. එවැන්නකින් තමන් සතු කුඩා හෝ දේපළ ප්‍රමාණයද, තමන් දැනට අසහනයෙන් හෝ ගතකරන දිවිපෙවෙතද නැතිවීමට ඉඩ ඇතැයි යන හැඟීමද මොවුන්ගේ යටි සිතේ ඇත. මේ කරුණු සලකා බලන විට අප අප රටේ අති මහත් බහුතරයක් වෙන මේ මධ්‍යම පංතික ස්ථරය, පවතින සමාජ ක්‍රමය ගැන අසතුටෙන් පසුවෙන, මේ ක්‍රමයේ වෙනසක් බලාපොරොත්තු වෙන, එය වෙනස් කිරීමට තමන්ට කිසිදු බලයක් නැතැයි සිතන, මහා පෙරළියකින් එය වෙනස් කළහොත් සමාජ ක්‍රමය විනාශ වෙනු ඇතැයි බියෙන් පසුවන පිරිසකි.

 

(රචකයා විශේෂඥ වෛද්‍යවරයෙකි)

Archive

Latest news

Related news