Thursday, April 18, 2024

සිරිසේනගේ මාණ්ඩලික ප්‍රධානියා ගත් මහා අල්ලස සහ දූෂනයේ දේශපාලනය: විසඳුමක් ඇත්ද?

ඡාායරූප ස්තුතිය බීබීසියට.

නීත්‍යානුකූල ව්‍යාපෘතියක් අවහිර කිරීම සඳහා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ හිටපු මාණ්ඩලික ප්‍රධානියා ඇතුළු ජ්‍යෙෂ්ඨ ශ්‍රී ලංකාවේ රාජ්‍ය නිලධාරීන් දෙදෙනකු විසින් ඉන්දීය ව්‍යාපාරිකයකුගෙන් ඉල්ලා ඇති අල්ලස්වල ප්‍රමාණය “සිතාගත නොහැකි” බව ශ්‍රේෂ්ඨාධිකරණය ඔවුන්ට දඩුවම් නියම කල තීන්දුව ස්ථිර කරමින් ප්‍රකාශ කළේය.

විශ‍්‍රාම යාමට පෙර ඉඩම් අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස කටයුතු කළ එයි.එච්.කේ. මහානාම  ජනාධිපති සිරිසේන විසින් සිය මහතාගේ කාර්ය මණ්ඩල ප‍්‍රධානියා ලෙස පත් කර ගත්තේය. එම තනතුර දරමින් අල්ලස ගැනි්මට මූලික වූයේ ඔහුය. දෙවැන්නා රාජ්‍ය දැව සංස්ථාවේ හිටපු සභාපති පියදාස දිසානායකය.

ඔවුන් පළමුව ඉල්ලා සිටි අල්ලස රුපියල් බිලියනයකි. මෙම අල්ලස ගැනීමට සූදානම් කල හෝටලයෙහි සිරිසේනගේ පුත්‍රයා සිටි බවට ද අනුමත නොකරන ලද වාර්තා පළ විය.

මෙම පුද්ගලයින් රාජ්‍ය සේවයේ ඉහළම තලයේ නිලධාරීන්ය. මිලියන සියයක අල්ලසක් ඉල්ලීමට නම් මෙරට දූෂනයේ දේශපාලනය කොපමණ දුරට රජ වි ඇත්දැයි සිතා ගැනීමට හැකිය. එවැනි තවත් අවස්ථා කොපමණ නීතීයේ ඇසට හසු නොවී කාලයේ වැලි තලාවෙන් වැසී යන්නට ඇත්ද?

මෙම අල්ලස  මුහුද යට ගිලී ඇති දැවැන්ත අයිස් කන්දක මතුපිට පෙනන කුඩා ගැටිත්ත වැන්න.

එකී අල්ලස ඉල්ලා සිටියේ කන්තලේ සීනි කර්මාන්ත ශාලාව යළි ගොඩ නැගීමට ගිවිසුම් අත්සන් කළ ඉන්දීය සමාගමකිනි. සිරිසේනගේ නිලධාරියා කියා සිටියේ කම්හල් බිමෙහි ඇති මිල කළ නොහැකි යන්ත්‍ර සූත්‍ර ලබා දීමට නම් මෙම අල්ලස තමන්ට දිය යුතු බවයි.

අල්ලස දීමට ඉන්දීය නියෝජිතයා අකමැත්ත පළ කළ විට සිරිසේනගේ නිලධාරියා එම යන්ත්‍ර සූත්‍ර විකුණා දැමීමට මිල ගණන් කැදවා පුවත්පත් දැන්වීමක් පවා පළ කළේය.

නමුත් ඉන්දීය සමාගම එලඹි ගිවිසුම අනුව එම යන්ත්‍ර සූත්‍ර නොමිලයේ එම සමාගමට ලබා දිය යුතු විය.

මෙම වෙළද දැන්වීම පළ කිරීම පෙන්නුම් කරන්නේ පගා ගැනීම සදහා කොතරම් සූක්ෂම ලෙස රාජ්‍ය නිලධාරීන් කටයුතු කරන්නේද යනුය.

මහාධිකරණ තීන්දුව අනුව සිරිසේනගේ නිලධාරි මහානාමට වසර 20ක සහ දිසානායකට වසර 12ක  දඩුවමක් නියම විය.

මෙම තීන්දුවට එරෙහිව ඉදිරිපත් කළ අභියාචනයේදී පගාකරුවන් දෙදෙනා ඉහළම පෙළේ නීතිඥ කණ්ඩායමක් ඇල්ලුවේය.

ශ්‍රේෂ්ඨාධිකරණය එම තීන්දුව අනුමත කළේය.

“චූදිත අභියාචනාකරුවන් වැනි ඉහළ නිලධාරීන් රජයේ ඉහළ තනතුරු දරන තාක් කල් මේ රට ගොඩගැනීම අපහසු බව අපගේ අදහසයි.” යනුවෙන් ශ්‍රේෂ්ඨාධීකරණය ප්‍රකාශ කළේය.

මෙම අල්ලස ඉල්ලීම ගැන ඉන්දීය සමාගම පැමිණිළි කළේ ජනාධිපති සිරිසේනට නොව එවකට අගමැති වූ රනිල් වික්‍රමසිංහටය. මහානාම සිරිසේනගේ ප්‍රධාන නිලධාරිියා බැවින් ඔහු ගැන සිරිසේනට පැමිණිළි කිරීම ගගට ඉණි කැපීමක් වන්නට තිබුණි.

ඉහතකී ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව දී දින දෙකකට පසු මාවනැල්ල ප්‍රාදේශීය සභාවේ රාජපක්ෂ පක්ෂ සභාපති සමන්ත ස්ටීවන් රුපියල් ලක්ෂ 20 ක අල්ලසක් ලබා ගනිමින් සිටියදී අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමමිශන් සභාවේ නිලධාරීන් විසින් 13දා දහවල් අත්අඩංගුවට ගත්  බව වාර්තා විය.

මෙම අල්ලස ඉල්ලා තිබුණේ මාවනැල්ල වලකඩ ප්‍රදේශයේ ගොඩනැගිල්ලක් ඉදිකිරීම සඳහා එම සැලසුම අනුමත කිරීමට ය.

ප්‍රාදේශීය සභා සභාපතිවරු ගොඩ නැගිලි ඉදි කිරීම සඳහා මෙන්ම ඉඩම් කට්ටි කර විකිණීම සදහා විශාල වශයෙන් පගා ගන්නා බව කුප්‍රසිද්ධ රහසකි.

ඊට දින කිහිපයකට පෙර රාජජක්ෂ දේශපාලනඥයකු නීති විරෝධීව දැව පටවා ගෙන යමින් සිටියදී අත්අඩංඟවට ගැනුණි.

ජපාන සමාගමකින් දැවැන්ත අල්ලසක් ඉල්ලූ බවට වාර්තා වූ නිමල් සිරිපාල රනිල් රාජපක්ෂගේ ඇමැතිවරයෙකි.

ලක්ෂ්මන් කිරිඇල්ල සහ දයා ගමගේ එකිනෙකාට චෝදනා කරන්නේ මධ්‍යම අධිවේගී මාර්ගයෙන්  කෝටි කීයක් ගසා කෑවේද යන්න ගැනය. දයා ගමගේ කියන පරිදි එය කෝටි 600කි.

අප න්නා කාලයේ රාජ්‍ය නොවන සංවිධානයකින් පැට්රල් ගැසූ යතුරුපැදිය හැර වෙනත් කිසිදු දේපලක් නොතිබූ හිටපු ඇමැති සාලින්ද දිසානයක මිය ගියේ ඉඩම් හිමි කෝටිපතියකු ලෙසය.

1994ට පෙර එස්.බී.දිසානායක පවුලට ඉන්නටවත් තැනක් නොතිබුණු අතර දරුවන් සමඟ ජීවත් වුයේ ශ්‍රාවස්තියේ ක්‍රඩා කාරමරයකය. ඔහු අද කෝටිපතියෙකි.

රවි කරුණානායක මහ බැංකු කොල්ලකාර ඇලොසියස් පවුලෙන් නොමිලයේ අධි සුඛෝපභෝගී නිවසක් ලබා ගත්තේය. එය ද අල්ලසකි.

මහින්ද රාජපක්ෂ දේහපාලනයට ආ කාලයේ තිබුනේ කසිකබල් කාරයකි. අද ඔහුට අගමැති වැටුප ගණන් ගැනීමටවත් නොහැති තරමට ධන සම්පත් තිබේ.

ගාමිනී දිසානායකට කීවේ සියයට තුනේ ඇමැති කියාය. කොළඹ බ්‍රිතාන්‍ය මහා කොමසාරිස් කාර්යාලයට යාබද නිවස මිලදී ගෙන පැවැත් වු සාදයට ගිය ජේ.ආර්.ජයවර්ධන ” ඔහෝ, මහවැළි ගග ගලලා තියෙන්නේ මෙහාටනේ” යැයි කීවේල. වික්ටෝරියා වේල්ල විවෘත කිරීමට පැමිණි බ්‍රිතාන්‍ය මහ රැජින ගාමිනී දිසානායක පෙන්වා” ඉස් දැට්ටද මිනිස්ටර් කෝල්ඩ් 3 පෙසන්ට්?” යැයි ඇසු බව ද ජනප්‍රවාදගතය.

ඒ එදාය. අද බැසිල් රාජපක්ෂය කියන්නේ සියයට 10යේ ඇමැති කියාය. බැසිල්ගේ බිරිඳගේ ගිනුමට චීන්නු කෙලින්ම චෙක්පත් ලියූ බව පසුගිය කාලයේ සාක්ෂි ඇතිව තහවුරු විය. ඔහු මැදිහත් වී තැනූ සුඛෝපභෝගී බංගලාව ආණ්ඩුවට අයිති වන්නට හැරියේ ආදායම් පෙන්වීමට බැරි නිසා යැයි කියනු ලැබේ.

මේ සියල්ල හිම කන්දේ මුදුන පමණය. කිව් ආර් කෝඩ් එක නැතිව ටැංකිය පුරවා තෙල් ගසා ගැනීමට සේවකයාට රුප රුපියල්  300ක් දිය යුතු බව නොදන්නා රියදුරකු අද මෙරට නැත. රොහලේ ඇටෙන්ටඩන් ගේ සිට විශේෂඥ වෛද්‍යවරයා දක්වා ගන්නේ අනිසි මුදල්ය.

තමන් අවමඟුල් සහ මඟුල් ගෙවල් වලින් පෙට්රල් ගසා ගන්නා බවටත් මුදල් තෑගි ලබා ගන්නා බවත් ජවිපෙ නායකයකු කියන වීඩියෝවක් මේ දිනවල වයිරසයක් මෙන් පැතිරේ. එළෙස ලබා ගත් මුදල් ලැයිස්තු ගතකර ඇත්ද? ඒවා වැය කරන ලද්දේ කෙළෙසද?

නියාමනයක් නැති දේශපාලන බලය, දූෂණයේ උල්පතය.

සිරිසේන අධිකරණයෙන් නොවිමසා කොටිපති මිනීමරුවකු නිදහස් කළේ කෝටි ගණනකට බවට කතා ඇති විය. ගෝටා ද එවැනිම කෝටිපති මිනීමරුවකු නිදහස් කළේය. රනිල් රාජපක්ෂ මහ බැංකු මංකොල්ලයට සම්බන්ධ විය. මහ බැංකු කොල්ලකාර ඔහුගේ ගජයාට රටින් පැන යාමට දුන්නේය.

දවංචා දූෂන සම්බන්ධයෙන් කටයුතු කළ යුතු දැන් රාජපක්ෂගේ හිතවතියක ප්‍රධානත්වය දරන අල්ලස් දූෂන කොමිසම නඩු දුසිම් ගණනින් විසි කළේය.

මේ සියල්ලම දේශපාලන බලය හා සබැදි වංචා දූෂනය.

ලැයිස්තුව දිගය.

මෙම දූෂනයේ දේශපාලනය නතර කළ හැක්කේ සමස්ත ආණ්ඩු ක්‍රමයම උඩියටිකුරු කිරීම මගින් නිදහස් ස්වාධීන ආයතන පද්දතියක් පිහිටුවීමෙන් පමණය. කවර හෝ දේශපාලන පක්ෂයක් බලයට පත් කිරීමෙන් නොවේ.

අරගලය අවධියේ ශක්තිමත් වූ ක්‍රමය පෙරලීමේ දේශපාලනය යළි ඉස්මත්තට ගෙන ඒම අද අප හමුවේ ඇති එක් අභියෝගයකි. එය සිවිල් සහ දේශපාලන දෙ ක්ෂෙත්‍රයේම හවුල් ව්‍යායාමයක් විය යුතුය.

සුනන්ද දේශප්‍රිය විසිනි

16.01.2023

 

 

 

Archive

Latest news

Related news