Thursday, April 25, 2024

කෙහෙළියගේ ඔෘෂධ ගේම ඖෂධ කර්මාන්ත මණ්ඩලය ප්‍රශ්න කරයි!

රනිල් රාජපක්ෂ රජයේ තවත් දූෂණයක් වන කෙහෙළියගේ මෑත ඖෂධ  ජාවාරම දැන් එම ක්ෂේත්‍රයේ රැව් පිළිරැව් දෙන්නට පටන් ගෙන තිබේ.

ශ්‍රී ලංකා ඖෂධ කර්මාන්ත මණ්ඩලය (SLCPI) 2022 දෙසැම්බර් 29 දින ජාතික ඖෂධ නියාමන අධිකාරියට (NMRA) ලිපියක් යවමින් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල හදිසි පදනමක් මත ඉන්දියාවෙන් ඖෂධ ගණනාවක් ආනයනය කිරීමට කැබිනට් අනුමැතිය ලබා ගැනීම සම්බන්ධයෙන් පළ වූ මාධ්‍ය වාර්තා පිළිබඳව ප්‍රශ්ණ කර තිබේ.

එවැනි එකඟතාවකට එළැඹිය හැකි වූයේ කෙසේද යන්න පිළිබඳව ජාතික ඖෂධ නියාමන අධිකාරිය වෙතින් පැහැදිලි කිරීමක් ඉල්ලා සිටින  ඖෂධ කර්මාන්ත මණ්ඩලය මෙම සිද්ධිය සම්බන්ධයෙන් සිය දැඩි කනස්සල්ල  විරෝධය ද සටහන් කර තිබේ.

සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් එක් සැපයුම්කරුවෙකුට විශාල ඖෂධ ඇණවුමක් ප්‍රදානය කිරීමට සහ එය ඉන්දීය ණය රේඛාව යටතේ ආනයනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලබා ගැනීමට ගත් ක්‍රියාමාර්ගයෙන් පසු ඇති වූ මතභේදාත්මක තත්වය මීට හේතුවයි. අමාත්‍යවරයා තමන් විසින් කොන්ත්‍රාත්තුව ලබා දෙන ලද ආයතනයේ සහායෙන් ඉන්දීය සංචාරයක් සැලසුම් කර ඇති බවටයි චෝදනා එල්ල වී තිබේ.

මිල දී ගැනීමට නියමිත ඖෂධ වර්ග මෙන්ම මෙම රටට ආනයනය කර භාවිතා කරන්නේ කුමන ඖෂධද යන්න තීරණය කරන එකම සහ අවසාන අධිකාරිය වන ජාතික ඖෂධ නියාමන අධිකාරියෙහි එම ඔෘෂධ ලියාපදිංචි කර තිබේදැයි එම මණ්ඩලය ප්‍රශ්න කරයි.

“2015 අංක 5 දරන ජාතික ඖෂධ නියාමන අධිකාරිය පනත යටතේ, සියලුම ඖෂධ ලියාපදිංචි කිරීම සහ රට තුළ එවැනි ඖෂධ නිෂ්පාදන සැකසීම, නඩත්තු කිරීම සහ තත්ත්ව සහතික කිරීම සඳහා වගකිව යුතු රටේ එකම අධිකාරිය, ජාතික ඖෂධ නියාමන අධිකාරිය වේ. එබැවින්, මෙම ක්‍රියාමාර්ග පිළිබඳව ජාතික ඖෂධ නියාමන අධිකාරිය ද එම මණ්ඩලය ප්‍රශ්ණ කරයි.

ගිවිසුමේ අක්‍රමවත් ස්වභාවය  කර්මාන්තයේ බරපතල සැළකිල්ලට ලක්ව ඇති බවත් එය  භයානක පූර්වාදර්ශයක් පිහිටුවන බවත් එම ලිපිය සඳහන් කරයි.

එවැනි ක්‍රියා 2015 අංක 5 දරන ජාතික ඖෂධ නියාමන අධිකාරිය පනතට අනුකූලද යන්න ද එය ප්‍රශ්ණ කරයි.

මෙවැනි ක්‍රියාමාර්ග, ජනමාධ්‍ය වාර්තා නිවැරදි නම්, ඖෂධ කර්මාන්තයේ පමණක් නොව, සමස්ත ශ්‍රී ලාංකීය සමාජයේම ව්‍යුහය අනතුරේ හෙළනු ඇති බවද එය සඳහන් කරයි.

මෙම චෝදනා පිළිබඳ ව රනිල් රාජපක්ෂ හෝ කෙහෙළිය රඹුක්වැල්ල පිළිතුරු දී නැත.

මූලාශ්‍රය: ද මොර්නින්

Archive

Latest news

Related news