Friday, March 29, 2024

ගෝටාගේ ට්‍රිපොලි ප්ලැටූන් ප්‍රධානී මේජර් ප්‍රභාත් බුලත්වත්තට ඇමෙරිකාවෙන් සම්බාධක!

ඡායාරූපය: කීත් නොයර් පැහැරගෙන ගොස් වධහිංසා කිරීම සම්බන්ධයෙන් බුලත්වත්ත වගකිවයුතු බව ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්ථමෙන්තුව විශ්වාස කරයි.

මානව හිමිකම් කඩ කිරීම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා හමුදාවේ ට්‍රිපොලි ප්ලැටූන්හි හිටපු ප්‍රධානී මේජර් ප්‍රභාත් බුලත්වත්තට නිලධාරියාට ඇමරිකාව සම්බාධක පනවා ඇති බව අද නිවේදනය කරන ලදී. මානව හිමිකම් දිනය සනිටුහන් කරමින්, එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව මෙම පියවර ප්‍රකාශයට පත් කර තිබේ.

ලොව පුරා සිදුවන දූෂණ සහ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් වගවීම ප්‍රවර්ධනය කිරීමේ නව පියවරක් ලෙස එක්සත් ජනපදය මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් මෙම පියවර ගෙන ඇති බව වාර්තා වේ.

“2008 මැයි මාසයේදී ශ්‍රී ලාංකික මාධ්‍යවේදී කීත් නොයාර්ට වධහිංසා පැමිණවීම සහ/හෝ කුරිරු අමානුෂික හෝ අවමන් සහගත සැලකීම හෝ දඩුවම් කිරීම වැනි බරපතල මානව හිමිකම් උල්ලංඝනය කිරීමකට සම්බන්ධ වීම සම්බන්ධයෙන් 7031(ඇ) වගන්තියට අනුව රාජ්‍ය දෙපාර්තමේන්තුව බුලත්වත්ත නම් කරයි”, එම ප්‍රකාශයේ සඳහන් වේ.

කීත් නොයර් පැහැර ගෙන යාම සම්බන්ධ පරීක්ෂනයේදී මේජර් බුලත්වත්ත එහි තීරණාත්මක පුරුක බව අනාවරණය විය. කීත් නොයර්ගේ සාක්සියට අනුව මරා දැමීමට නියමිතව සිටි ඔහු නිදහස් කරන ලද්දේ දුරකතන ඇමැතුමක් ලැබීමෙන් පසුය.

එම දුරකතන ඇමතුම විනාඩි ගණනාවක් තුළ කරු ජයසූරිය, මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, කපිල හෙන්දාවිතාරණ හරහා ප්‍රභාත් බුලත්වත්තට ගමන් කර තිබුණි.

ඔවුන් දඩුවම් නොලබා බේරුණේ මෙරට ඇති දණ්ඩමුක්ති සංස්කෘතිය නිසාය.

මෙලෙස නම් කරන ලද අයවලුන්  සහ ඔවුන්ගේ ආසන්නතම පවුලේ සාමාජිකයන් එක්සත් ජනපදයට ඇතුළු වීමට නුසුදුසු බවට පත් කර ඇති බව එහි සඳහන් වේ.

බුලත්වත්ත ශ්‍රී ලංකා යුධ හමුදාවේ රහසිගත බලඇණියක් වූ ට්‍රිපොලි හමුදා බුද්ධි බලඇණියට නායකත්වය දුන්නේ කොම්පඤ්ඤවීදියේය.

එය පාලනය වූයේ යුද හමුදාපති සරත් පොන්සේකා යටතේ නොව ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ යටතේය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව (CID) විසින් සිදු කරන ලද වෙහෙසකර පරීක්ෂණවලදී මෙම ඒකකයට විශේෂයෙන් මාධ්‍යවේදීන් නිරීක්‍ෂණය කිරීම පැවරී තිබූ බවත්, මුලින් මරදාන පෙදෙසෙහි ස්ථාපිත කිරීමට පෙර යාපනයෙහි සිට ක්‍රියාත්මක වූ බවත් අනාවරණය වී තිබේ.

සන්ඩේ ලීඩර් කර්තෘ ලසන්ත වික්‍රමතුංග ඝාතනය, මාධ්‍යවේදී කීත් නොයාර් පැහැරගෙන ගොස් පහරදීම, රිවිර කර්තෘ උපාලි තෙන්නකෝන්, මාධ්‍යවේදී නාමල් පෙරේරාට පහරදීම ඇතුළු මාධ්‍යවේදීන්ට එරෙහි ප්‍රහාර මාලාවකට බුලත්වත්තගේ නායකත්වයෙන් යුත් මෙම සේනාංකය සම්බන්ධ වූ බවට චෝදනා එල්ල වී තිබේ.

එකී අපරාධයන් සම්බන්ධයෙන් තවමත් යුක්තිය ඉටු වී නැති අතර පරීක්ෂන මගින් සොයා ගන්නා ලද කරුණු මත නඩු පැවරීමට කිසිදු රජයක් කටයුතු කර නැත.

ඇමෙරිකානු ව්‍යවස්ථාවේ 7031(c) වගන්තිය මඟින් විදේශ ආන්ඩුවල නිලධාරීන් සැලකිය යුතු දූෂණයකට හෝ මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය කිරීමට සම්බන්ධ වී ඇති බවට විශ්වාසදායක තොරතුරු තිබේ නම්, එම පුද්ගලයන් සහ ඔවුන්ගේ සමීපතම පවුලේ සාමාජිකයන් සාමාන්‍යයෙන් එක්සත් ජනපදයට ඇතුළු වීමට නුසුදුසු බව සහ ප්‍රසිද්ධියේ හෝ පුද්ගලිකව නම් කළ යුතුය.

පසුගිය වසරේ එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් ශ්‍රී ලංකා සොල්දාදුවන් දෙදෙනෙකු වන නාවික හමුදා නිලධාරි චන්දන හෙට්ටිආරච්චි සහ ශ්‍රී ලංකා යුධ හමුදාවේ මාණ්ඩලික සැරයන්වරයෙකු වන සුනිල් රත්නායක මානව හිමිකම් බරපතල ලෙස උල්ලංඝණය කිරීම් සම්බන්ධයෙන් වගකිව යුතු බව ලැයිස්තුගත කළේය.

2020 දී, එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකාවේ වත්මන් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ  ශ්‍රී ලංකා යුද හමුදාවේ හිටපු හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා  2009 දී එල්ටීටීඊය සමඟ සන්නද්ධ ගැටුමේ අවසන් අදියරේදී සිදු කරන ලද යුද අපරාධ පිළිබඳ චෝදනා මත එලෙසම අනුමත කළේය.

Archive

Latest news

Related news