Thursday, April 18, 2024

විජේදාස රාජපක්ෂ, තිළිනි වෙනුවෙන් පෙනී සිටි නීතිඥ දසුන් නාගසේන ඔබේ සම්බන්ධිකරණ ලේකම්ද නැද්ද? අරක්කු වෙනුවට ඒ ගැන රටට කියනු! – YJA

රනිල් රාජපක්ෂ රජයේ අධිකරණ ඇමැති විජේදාස රාජපක්ෂ පසුගියදා පාර්ලිමේන්තුවෙිහි කතා කරමින් කියා සිටියේ, දැවැන්ත මූල්‍ය වංචාවක් පිළිබඳ සැකකාරිය ලෙස අත්අඩංඟුවට ගෙන ඇති තිළනි ප්‍රියමාලි වෙනුවෙන් තමාගේ නීතිඥ ආයතනයේ නීත වේදීන් පෙනී සිටි බවට වාර්තා කරන ලද ජනමාධ්‍යවේදින්ට විරුද්ධව පාර්ලිමේන්තු වරප්‍රසාද යටතේ දඩුවම් කළ හැකි බවත් ජනමාධ්‍යවේදීන් යනු අරක්කු බෝතල් දෙකකට ඕනෑම දෙයක් ලියා පළ කරන පිරිසකක් බවය.

මෙම ප්‍රකාශය හෙළා දකිමින් විජේදාස රාජපක්ෂ වෙත ලිපියක් යවන තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය කියා සිටින්නේ එම අදාළ ප්‍රකාශය ජනමාධ්‍යවේදීන් විසින් නිර්මාණය කරන ලද්දක් නොව බවත් අධිකරණයේදී නීතිඥ මෛත්‍රී ගුණරත්න විසින් කරන ලද්දත් බවත්ය.

මෙරට අධිකරණ ඇමැතිවරයාගේ පුතා වන රඛිත රාජපක්ෂ මෙවැනි ආන්දෝලනාත්මක නඩුවක විත්තිකාරිය වෙනුවෙන් පෙනී සිටීම පැහැදිළිවම ලැදියාවන් අතර ගැටුමකි. මන්ද යත් නඩු පවරන නීතිපති දෙපාර්ථමෙන්තුව ඇත්තේ අධිකරණ ඇමැතිවරයා යටතේ නිසාය.

තවද තිළිනි  ප්‍රියමාලි වෙනුවෙන් අධිකරණයෙහි පෙනී සිටි නීතිඥ දසුන් නාගසේන යනු විජේදාස රාජපක්ෂගේ සම්බන්ධී කරන ලේකම්ද නැත්ද යන්න රටට ප්‍රකාශ කරන ලෙසය.

තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ සභාපති තරිඳු ජයවර්ධන විසින් ඇමැති රාජපක්ෂ වෙත යවන ලද සම්පූර්ණ ලිපිය පහත දැක්වේ.

අමාත්‍ය විජයදාස රාජපක්ෂ,
අධිකරණ අමාත්‍යංශය,
නො.19,
ශ්‍රී සංඝරාජ මාවත,
කොළඹ 10.

මහත්මයාණෙනි,

ජනමාධ්‍යවේදීන්ට එරෙහිව කරනු ලැබූ ප්‍රකාශය සම්බන්ධයෙනි

‘ද මෝර්නිං’ පුවත්පතේ 2022 ඔක්තෝබර් 20දා පළ වූ ප්‍රවෘත්තියක් සම්බන්ධයෙන් ඔබ විසින් 2022 ඔක්තෝබර් 21දා පාර්ලිමේන්තුවේදී කරන ලද ප්‍රකාශය සත්‍ය සඟවමින් කරන ලද ප්‍රකාශයක් සේ සලකමින්, එම ප්‍රකාශය දැඩි ලෙස හෙළා දකින බව තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය ලෙස දැනුම් දෙනු කැමැත්තෙමු.

එම පුවත්පතේ ‘Wijeyadasa’s chamber appearing for Thilini questioned in court – Opposing Counsel claims conflict of interest’ ශීර්ෂයෙන් පළවූ පුවත අධිකරණ වාර්තාවක් වන අතර, එහි අධිකරණයේදී සිදුවූ සිදුවීම්වලට පිටස්තර කරුණක් හෝ ජනමාධ්‍යවේදියාගේ මතයක් සඳහන් වන්නේ නැත. (ඇමුණුම 01)

ඔබ පාර්ලිමේන්තුවේදී මෙම ප්‍රවෘත්තියේ ශීර්ෂය ලෙස සඳහන් කළ පළමු කොටස, ‘Wijeyadasa’s chamber appearing for Thilini questioned in court’ එම පුවත්පතේ ශීර්ෂයේ තිබුණද,
එහි ඔබ කියැවූ දෙවැනි කොටස, _‘conflict of interests, either resign from Ministry or withdrawal from the case ‘ නැත.

පාර්ලිමේන්තුව පමණක් නොව පුරවැසියා ද නොමග යවන අයුරින් ඔබ එම පුවත්පතේ ශීර්ෂයේ නැති කොටසක්, එහි ඇති බව හඟවමින් ව්‍යාජ ප්‍රකාශයක් කිරීම සම්බන්ධයෙන් අප විමතියට පත්වූ අතර, එහි අරමුණ ම ජනමාධ්‍ය ක්ෂේත්‍රය කෙරෙහි ජනතාව තුළ යම් සැකයක් හෝ විරෝධයක් ඇති කිරීම බව අපගේ විශ්වාසයයි.

එම පුවත්පතේ අදාළ ප්‍රවෘත්තියේ පැහැදිලිව ම සඳහන් කර ඇත්තේ ඔබගේ චේම්බරයේ නීතිඥයන් පෙනී සිටින බව අධිකරණයේදී ප්‍රකාශ කළේ ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න බවයි. එම කොටස ජනමාධ්‍යවේදීන් අතින් දමා සැකසූ ව්‍යාජ ප්‍රවෘත්තියක් නොවේ. එම අවස්ථාවේ අධිකරණයේ සිටි සෙසු මාධ්‍යවේදීන්ගෙන් සහ නීතිඥවරුන්ගෙන් අප ඒ ගැන විමසූ අවස්ථාවේදී ඔවුන් ද ඒ බව තහවුරු කරන ලදි. එසේම එම ප්‍රවෘත්තිය කොතරම් සමබර පුවතක්ද යත් සැකකාරිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන්ගේ කරුණු දැක්වීම් පවා එහි අන්තර්ගත විය. ‘ද මෝර්නිං’ පුවත්පත පමණක් නොව ‘මව්බිම’ පුවත්පත ද මෛත්‍රී ගුණරත්න නීතිඥවරයා අධිකරණයේදී කළ ප්‍රකාශය ප්‍රධාන සිරස්තලයේ අනු සිරස්තලයක් ලෙස වාර්තා කර තිබිණි. (ඇමුණුම 02)

ඔබේ චේම්බරයේ නීතිඥයන් පෙනී නොසිටියේ නම් හෝ ඔබට දැන් චේම්බරයක් නැත්නම් ඔබ කළ යුතුව තිබුණේ අධිකරණ ක්‍රියාවලිය වාර්තා කළ ජනමාධ්‍යවේදීන්ට සහ ජනමාධ්‍ය ආයතනවලට දොස් නැගීම නොව, අදාළ ප්‍රකාශය කළ ජනාධිපති නීතිඥවරයාට දොස් නැගීමයි.

අනෙක් අතට ජනාධිපති නීතිඥවරයා ඒ බව කිව්වද නොකිව්වද, ඔබේ චේම්බරයේ නීතිඥයන් සැකකාර කාන්තාව වෙනුවෙන් පෙනී සිටියේ නම්, එසේ පෙනී සිටීමට නීතිඥයන්ට අයිතියක් ඇති පරිදි ම, ඒ බව වාර්තා කිරීමට ජනමාධ්‍යවේදීන්ට ද අයිතියක් ඇත.

විශේෂයෙන් ඔබ මේ රටේ අධිකරණ අමාත්‍යවරයා ලෙස හෝ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස හෝ ඔබට යම් වරප්‍රසාදයක් ඇත්නම් එය ලැබෙන්නේ ඔබට අවශ්‍ය ආකාරයට ජනමාධ්‍යයට චෝදනා නැගීමට නොව, වගකීම් සහගත හැසිරීමකින් ජනතාවට සේවය කිරීමට පමණි.

එසේ තිබියදී අදාළ සැකකාර කාන්තාව වෙනුවෙන් පෙනී සිටි ඔබේ පුත්‍රයා කෙසේ වෙතත්, නීතිඥ දසුන් නාගස්හේන ඔබගේ අමාත්‍යංශයේ ඔබගේ කාර්යාලයේ සම්බන්ධීකරණ ලේකම් නොවේදැයි ඔබ රටට පැහැදිලි කළ යුතුය. අධිකරණ අමාත්‍යංශයේ නිල වෙබ් අඩවියේ අධිකරණ අමාත්‍යවරයාගේ කාර්යාලයේ සම්බන්ධීකරණ විස්තර පිටුවේ දසුන් නාගස්හේන නම් පුද්ගලයකුගේ නමක් ඇති අතර, ඔහුගේ තනතුර ලෙස සඳහන් කර ඇත්තේ සම්බන්ධීකරණ ලේකම් ලෙසයි. (ඇමුණුම 03)

දසුන් නාගස්හේන නම් නීතිඥවරයෙකු සැකකාර තිලිණි නම් කාන්තාව වෙනුවෙන් පෙනී සිටි බව මෝර්නිං පුවත්පත පමණක් නොව වෙනත් පුවත්පත් සහ ජනමාධ්‍යය ද වාර්තා කර තිබිණි. (ඇමුණුම 04)

එසේ තිබියදී එම නීතිඥවරයා ඔබගේ සම්බන්ධීකරණ ලේකම් හෝ නිලධාරියෙක් නොවේද යන්න ගැන පැහැදිලි කිරීමක් කරනවා වෙනුවට ජනමාධ්‍ය වෙත චෝදනා කිරීම බරපතළ තත්ත්වයකි.

ජනමාධ්‍යවේදීන්ට වසර දෙකක් දක්වා සිර දඬුවම් දිය හැකි බව කියමින් ඔබ මෙම සිදුවීම ගැන කතා කරන්නේ පැහැදිලිව ම සද්භාවයෙන් නොව, ජනමාධ්‍යවේදීන් බිය ගැන්වීමේ අදහසින් බවට අපි විශ්වාස කරමු.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ඇති බලතල හා වරප්‍රසාද පෙන්වමින් ජනමාධ්‍ය සමාජය බි‍යගැන්වීමට උත්සාහ කිරීම බලය අයුතු ලෙස භාවිත කිරීමක් ලෙස අපි සලකමු.

පුරවැසියන්ගේ ඡන්දයෙන් තේරී පත්වූ මන්ත්‍රීවරයෙකු සහ පුරවැසියන්ගේ මුදලින් වැටුප් හෝ දීමනා ලබන අමාත්‍යවරයෙකු ලෙස ඔබ කළ යුත්තේ සත්‍යය අනාවරණය කරන ජනමාධ්‍යය ආරක්ෂා කිරීම මිස ඔවුන් කමිටුවලට කැඳවා භාෂණයේ ප්‍රකාශනයේ නිදහස හීන කිරීම හෝ තොරතුරු දැනගැනීමේ අයිතිය හීන කිරීම නොවේ.

ජනමාධ්‍යය වෙත ව්‍යාජ චෝදනා එල්ල කරමින් ඔබ කළ ප්‍රකාශයට තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය ලෙස දැඩි විරෝධය පළ කර අතරතුර ම, ජනමාධ්‍යවේදීන් කමිටුවලට කැඳවීමට හැකියාව ඇති අදාළ මන්ත්‍රී වරප්‍රසාද අහෝසි කිරීමට පියවර ගන්නා ලෙස ද බල කර සිටිමු.

ස්තූතියි.
මෙයට,
විශ්වාසී

තරිඳු ජයවර්ධන – සභාපති, තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය
එම් එෆ් එම් ෆසීර් – ලේකම්, තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය

පිටපත්
1) කතානායක, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
2) සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්.
3) මහලේකම්, අන්තර් පාර්ලිමේන්තු සංගමය.
4) සියලු ජනමාධ්‍ය ආයතන

ඇමිණුම් සඳහා: Letter Wijayadasa Rajapaksha

Archive

Latest news

Related news