Thursday, March 28, 2024

ශෙහාන් කරුණාතිලක සහ “මාලි අල්මේදාගේ හඳහන් හත” (නිව්යොර්ක් ටයිම්ස් ලිපියකි)

ශ්‍රී ලාංකික සම්භවයක් සහිත ලේඛකයෙකුට ලොව කීර්තිමත් ම සාහිත්‍ය ත්‍යාගවලින් එකක් වන බූකර් සම්මානය හිමි වූයේ දශක ගණනාවක් පුරා පැවති තම රටේ සිවිල් යුද්ධයේ කම්පනය විමර්ශනය කෙරෙන ඔහුගේ දෙවන නවකතාව වෙනුවෙනි.

1980 ගණන්වල පටන් ශ්‍රී ලංකාවේ පැවති සිවිල් යුද්ධයට මැදි ව දිවි ගෙවූ ශෙහාන් කරුණාතිලක සිතුවේ දේශපාලන ප්‍රචණ්ඩත්වය දිවයිනට උරුම වූ දේශපාලනික සාධකයක් ලෙස ය. එදිනෙදා ජීවිතය පසුබිමෙහි නිරතුරු ව පැළඹුණ යුද්ධය විටෙක බිය ඉපදවූවාටත් වඩා ජීවිතය ඒකාකාරී කරවී ය.

තත්වය ව්‍යාකූල කිරීමට අවතාර ගොන්නක්..

ඔය අතර, දේශපාලන ප්‍රචණ්ඩත්වයට ගොදුරු වූ යුද ඡායාරූප ශිල්පියෙකු ගැන නවකතාවක් පිළිබඳ අදහසක් ඔහුගේ සිතට නැගෙයි. ශෙහාන්ගේ උපකල්පනය වී ඇත්තේ, දූෂිත, අපචාරී නිලධාරි පැලැන්තියක් තත්වය ව්‍යාකූල කිරීමට අවතාර ගොන්නක් සකසන්නට බලා සිටින අතරතුර, දේශපාලන ප්‍රචණ්ඩත්වයන්ට ගොදුරු වූවන් අතර නැවත උපදින ඒ තැනැත්තාට හැඟෙන දේ ඉතාමත් ම යථාර්ථවාදී ලෙස නිරූපණය කිරීම ය.

සඳුදා (ඔක්තෝබර් 17) “මාලි අල්මේදාගේ හඳහන් හත” නම් වූ ඒ නවකතාවට ලොව සාහිත්‍ය සඳහා පිරි නැමෙන කීර්තිමත් ම සම්මානයක් වන බූකර් සම්මානය හිමිවිය.

බ්‍රිතාන්‍ය කෞතුකාගාරයේ හිටපු අධ්‍යක්ෂ සහ මේ වසරේ සම්මාන විනිසුරු මඩුල්ලේ සභාපති නීල් මැක්ග්‍රෙගර් ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවසුවේ “අප ගැඹුරින් ම අගය කළේ; අභිලාෂය සහ විෂය පථය, කුසලතාව සහ දිරිමත් බව, නිර්භීතකම සහ හාස්‍ය ජනක බව යි,” යනුවෙනි. “එය පාඨකයා රෝලර් කෝස්ටරයක් මත ජීවිතයත් මරණයත් අතර දුවවන පොතකි.”

ප්‍රහසනමය වශයෙන් දාර්ශනිකයි..

“මාලි අල්මේදාගේ හඳහන් හත” මෙවර බූකර් විනිසුරුවරුන් විසින් හඳුනා ගත් දේශපාලන ප්‍රහසන නවකතා අතර එකකි. සිම්බාබ්වේ නවකතාකරුවෙකු වන NoViolet Bulawayo ගේ කතා කරන සතුන් නිරූපණය කරන අප්‍රිකානු ඒකාධිපතියෙකු පිළිබඳ උපමා කතාවක් වූ, “Glory,” Emmett Till ඝාතනය ප්‍රතිරාව නංවන මිනීමැරුම් මාලාවක් විමර්ශනය කරන කළු රහස් පරීක්ෂකවරුන් දෙනෙකු පිළිබඳ සිත් පුපුරු ගස්වන, අඳුරු සිනා උපදවන නවකතාවක් වන Percival Everettගේ “The Trees” ද අවසන් වටයට තේරුණ හයට ඇතුළත් විය.

“මාලි අල්මේදාගේ හඳහන් හත” ජයග්‍රාහී කෘතිය ලෙස තෝරා ගැනීමේ දී, විනිසුරුවරුන් ඒකමතික ව ඡන්දය පාවිච්චි කර තිබෙන අතර, මැක්ග්‍රෙගෝර් පැවසූයේ, රචකයා පොත පුරා විහිදුවන සිතැඟිවල විවිධත්වය, භාෂා භාවිතයෙහි දී දක්වන පරිචය සහ කථන රීතිය මෙහෙයැවීමෙහි දී දක්වන කුසලතාව ඇමසන් කථා මාලාවක් වන The Boysහි Black Noirට සමීප වන අතර ම, ප්‍රහසනමය වශයෙන් දාර්ශනික බව ය.

1975 දී, දකුණු ලක ගාල්ලේ උපත ලබන කරුණාතිලක හැදී වැඩී තිබෙන්නේ කොළඹ අග නගරයේ ය. පසුව, නවසීලන්තයේ ඉගෙනුම ලබන ඔහු, රැකියාව සඳහා පැමිණ ලන්ඩනයේ, ඇම්ස්ට්‍රඩෑම් සහ සිංගප්පූරුව යන නගරවල වාසය කරයි. වෙළඳ දැන්වීම් පිටපත් රචකයෙකු වන ඔහු, ඉඳහිට නිදහස් චතුරශ්‍රයේ රොක් වාදක කණ්ඩායමක ගිටාර් වාදකයෙකු ලෙස ද සේවය කරයි. දැනට කොළඹ නගරයේ වාසය කරමින් තවමත් වෙළඳ දැන්වීම් සඳහා අත්පිටපත් රචනයෙහි යෙදෙන ඔහු, සිය ලේඛන කාර්යයෙහි නිරත වන්නේ හිමිදිරියෙහි ය.

ඔහු ජාත්‍යන්තර සාහිත්‍ය වේදිකාවෙහි මුලින් ම පෙනී සිටියේ, අතුරුදන් වූ සුප්‍රකට ක්‍රිකට් තරුවක් සොයා යන බේබදු මාධ්‍යවේදියෙකු පිළිබඳ ඔහුගේ පළමු නවකතාව වන “චයිනමන්” ප්‍රකාශයට පත් කිරීමත් සමග ය. එය ඔහුව දක්ෂ හාස්‍ය නවකතා රචකයෙකු ලෙස ලේඛන ගත කරවූ අතර, 2012 දී එයට පොදුරාජ්‍ය මණ්ඩලීය සාහිත්‍ය ත්‍යාගය හිමිවිය.

අදහස ප්‍රථම වරට ඇති වූ හැටි..

“මාලි අල්මේදාගේ හඳහන් හත” බවට පත් වූ නවකතාව පිළිබඳ අදහස ඔහුට ප්‍රථම වරට ඇති වූයේ 2009 දී ය. සිවිල් යුද්ධයට පසු එ සමයෙහි, ගැටුමට හේතු සහ ගිණිය නොහැකි තරමින් යුද්ධයෙන් හානියට පත් සිවිල් වැසියන් පිළිබඳ තොරතුරු ජාතික මට්ටමෙන් සොයා බැලෙමින් තිබුණි. කරුණාතිලක, හොල්මන් කතාවක් ලිවීමට කල්පන් කරන්නේ, මළවුන්ට කතා කළ හැකි වේ නම්, දිග ඇදෙමින් තිබුණ යුද්ධයේ කම්පනයට කුමක් වනු ඇද්ද යන්න හැඟුණ නිසා ය.

යුද්ධය ගැන ලිවීමට ඔහු පසුබට වුවත්, වසර කිහිපයකට පසු එය අරඹන්නේ, 2014 දී පමණ ය. ඔහු පවසන පරිදි, කථා විලාසය කෙසේ විය යුතු දැ’යි ඔහු දිගු කලක් කල්පනා කර තිබේ. අවසානයේ අප්‍රකට ප්‍රහසනයක් ලෙස ඇරඹෙන කතාවේ නායකයාගේ පුනර්භවය සිදුවන්නේ බදු සැකසුම් ආයතනයක කාර්යාලයේ නිහතමානී නිලධාරි පිරිසක් අතර ය. ඔහු ලියන ආකාරයට එහි හැම කෙනෙකු ම බදු ප්‍රතිලාභ ඉල්ලා සිටියි.

අවතාර මිනිසුන්ගේ කන්වලට කැත කතා කියමින්..

බුකර් වෙබ් අඩවියේ පළ කළ වීඩියෝවක කරුණාතිලක සඳහන් කර තිබෙන්නේ, ශ්‍රී ලංකාව ඛේදවාචකයෙන් ඛේදවාචකයට යන්නේ ඇයි ද යන්නට මේ පොත පිළිගත හැකි පැහැදිළි කිරීමක් විය හැකි බව ය. කතාවෙන් පෙනෙන්නේ, කළ යුත්තේත්, නොකළ යුත්තේත් කුමක් දැ’යි නොදැන, ව්‍යාකූල වූ නොසන්සුන් ආත්ම සහ අවතාර මිනිසුන්ගේ කන්වලට කැත කතා කියමින් ඒ මේ අත සැරිසරමින්, විනෝද වන බව ය.

“මං හිතුවෙ මේකෙ මේ වගෙ දරුණු විෂය කරුණු ගවේෂණය කිරීමට ප්‍රයෝජනවත් ක්‍රමයක්, වගේ ම තරමක සැහැල්ලු බවකුත්, සෙල්ලක්කාර බව චුට්ටකුත් තියෙනව.”

මධ්‍යම පුරුෂ දෘෂ්ටි කෝණයෙන් ලියැවුණු නවකතාව කොළඹ දී දිග හැරෙන්නේ 1989 දී ය. මාලි අල්මේදා නම් යුද ඡායාරූප ශිල්පියා මරා දැමුණි. ඔහු මරා දැමුවේ කෙසේ ද, කුමක් සඳහා දැ’යි යන්න පිළිබඳ හෝඩුවාවක් නොමැත. මරණයෙන් පසු පුනර්භවය ලබන ඔහු, තමා ඝාතනයේ අභිරහස විසඳීමට පිටත් වෙයි. එහි දී ඔහුට හෙළි වන්නේ ඔහුගේ පුපුරා යන සුළු ඡායාරූප නිසා ඔහු ව ඉලක්ක කරනෙ තිබෙන බව ය. අල්මේදා වන ඔහුගේ පුනර්භවය සූදු අන්තුවෙකු, අදේවවාදියෙකු සහ සමලිංගිකයෙකු වන සමීපයෙකු මෙහෙයවයි. ඔහුට අවශ්‍ය වන්නේ තමා ව මරා දැමුවේ කවුද, සහ ඔහුගේ ඡායාරූප ගබඩාව තිබෙන්නේ කොහි ද යන්න අනාවරණය කර ගැනීමට ය. ඔහු කියන පරිදි ඔහුට “හඳහන් හතක්” ඇත. අතරමග දී, ඔහුට නොයෙක් කල්ලිවල ප්‍රචණ්ඩත්වයන්ට ගොදුරු වී ආබාධිත වූවන් හා මනස විකෘති වූවන් ද හමු වේ.

බිහිසුණු කාල පරිච්ඡේදයකට යුක්තිය..

බ්‍රිතාන්‍යයේ ස්වාධීන ප්‍රකාශන ආයතනයක් වන Sort of Books මගින් පසුගිය අගෝස්තුවෙහි දී පළකළ නවකතාව සල්මන් රුෂ්ඩි සහ ගේබ්‍රියෙල් ගාර්සියා මාර්කේස්ගේ ඉන්ද්‍රජාලික යථාර්ථවාදී නවකතා සමග සැසඳෙන්නකි. (එය W.W. Norton ප්‍රකාශන ආයතනය මගින් එක්සත් ජනපදයේ දී ලබන මස ප්‍රකාශයට පත්වීමට නියමිත ය.) කරුණාතිලක තම රටේ ඉතිහාසයෙහි බිහිසුණු කාල පරිච්ඡේදයකට යුක්තිය කලාත්මක ව ඉටු කර ඇත,” විචාරක Tomiwa Owolade The Guardian පුවත්පතට ලිවී ය.

කරුණාතිලක බූකර් සම්මාන උළෙල ඇරඹුමෙන් පසු ව ජයග්‍රහණය ලැබූ දෙවැනි ශ්‍රී ලාංකිකයා ය. පළමු වැන්නා 1992 දී “The English Patient” නවකථාවට සම්මානය දිනාගත් මයිකල් ඔන්ඩච්චි ය. A Passage North ලියූ ශ්‍රී ලාංකික ලේඛකයෙකු වන අනුක් අරුද්ප්‍රගාසම් පසුගිය වසරේ කෙටි ලයිස්තු ගතවිය.

පවුම් 50,000 ක් හෝ දළ වශයෙන් ඩොලර් 57,000 ක මුදල් ත්‍යාගයක් සමග The Booker සම්මානය, ඉංග්‍රීසි භාෂාවෙන් ලියා බ්‍රිතාන්‍යයේ හෝ අයර්ලන්තයේ ප්‍රකාශයට පත් ‌කෙරෙන හොඳ ම නවකතාව සඳහා වාර්ෂික ව ප්‍රදානය කෙරේ. අතීත ජයග්‍රාහකයන් අතර සාහිත්‍යයේ දැවැන්තයන් වන වන Naipaul, Kazuo Ishiguro, Salman Rushdie, Margaret Atwood, Ian McEwan සහ Hilary Mantel, සහ ඩග්ලස් ස්ටුවර්ට්, අරුන්දතී රෝයි සහ අරවින්ද් අඩිගා වැනි නවකතාකරුවන්ගේ වෘත්තීය ජීවිත මෙම ත්‍යාගය විසින් සවිමත් කර ඇත.

මීට පෙර මෙම ත්‍යාගයට ඇතුළත් කර ගැනුණේ, බ්‍රිතාන්‍ය, අයර්ලන්තය, පොදුරාජ්‍ය මණ්ඩලය සහ සිම්බාබ්වේ යන රටවල ලේඛකයින් පමණක් වන අතර, විනිසුරුවරු 2014 දී නීති වෙනස් කර, බ්‍රිතාන්‍යයේ හෝ අයර්ලන්තයේ කෘති නිකුත් කරන සියලු ම ඉංග්‍රීසි භාෂා කතුවරුන්ට එය විවෘත කළහ. පසුගිය වසරේ, දකුණු අප්‍රිකානු ලේඛක ඩේමන් ගල්ගුට් හට ඔහුගේ “ද ප්‍රොමිස්” නවකතාව සඳහා මෙම සම්මානය හිමි විය. ලන්දේසි මුල් පදිංචිකරුවන්ගෙන් පැවත එන්නන්, වර්ණභේදවාදයෙන් පසු දකුණු අප්‍රිකාවේ තම පවුලේ ගොවිපල සහ සමාජ තත්වය රැක ගැනීමට දරණ උත්සාහයක් පිළිබඳ ව එය ලියැවී තිබේ.

අවලාද නොනැගෙන ශ්‍රී ලංකාවක මේ පොත නොකියවේ නම් ඵලක් නෑ…

ඊයේ රාත්‍රියෙහි (ඔක්. 17), පොප් ගායිකා Dua Lipa සහ Cornwall හි ආදිපාදවරිය සහ III චාල්ස් රජුගේ බිරිඳ වන Camilla පෙනී සිටි තරු පිරිවරා ගත් උත්සවයක දී කරුණාතිලකට ත්‍යාගය හිමි විය. නවකතාව සිය රටවැසියන්ගේ සිත් බැඳගනු ඇතැ’යි තමා කල්පනා කළ බව ත්‍යාගය භාර ගනිමින් කරුණාතිලක පැවසී ය. එය යම් දිනෙක දේශපාලන ප්‍රහසනයක් ලෙස නොව, අපූර්ව කල්පිතයක් ලෙස සැළකෙනු ඇතැ’යි ඔහු සිතයි.

“හඳහන් හත” පිළිබඳ තමාගේ බලාපොරොත්තුව: නුදුරු අනාගතයේ දී, දස වසර ක් හෝ ඊට වැඩි කලක් ගත වූ පසු දිනෙක, දූෂණ, ජාති වශයෙන් කාකොටා වැටීම් සහ ගජමිතුරුකම් පිළිබඳ අවලාද නොනැගෙන ශ්‍රී ලංකාවක මේ පොත කියවෙනු මිස නැතිනම් ඵලක් නොවනු ඇති බව ය. තමා සිතනුයේ මෙය එවැනි කතන්දර වලින් ඉගෙන ගන්නා ශ්‍රී ලංකාවක කියවෙනු ඇති බව ය, යයි කරුණාතිලක පවසයි.

(ලංකා ඊ නිව්ස්)

(ඇලෙක්සැන්ඩර් ඇල්ටර් 2022 ඔක්තෝබර් 17 වන සඳුදා නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පතට සැපයූ Shehan Karunatilaka Wins Booker Prize for ‘The Seven Moons of Maali Almeida’ නම්​ ලිපිය ලංකා ඊ නිවුස් වෙනුවෙන් සැකසූයේ කුඩගම්මන සීලරතන හිමි විසිනි)

Archive

Latest news

Related news