Friday, March 29, 2024

නීතිය ක්‍රියාත්මක කිරීම, මැතිවරණ වැය, වත්කම් සහ බැරකම් ප්‍රකාශ ප්‍රසිද්ධ කිරීම අතුළු සංසෝධන යෝජිත දූෂණ විරෝධී නීතියට අවශ්‍යයි – TISL

යෝජිත දූෂණ විරෝධී නීතියට අදාළ වැදගත් සංශෝධන කිරීම සහ මහජන අදහස් විමසීම සිදු කරන මෙන් ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනය ඉල්ලා සිටියි

  • දූෂණය සම්බන්ධයෙන් අපක්ෂපාතීව මෙන් ම වඩා හොඳින්, පවතින නීති ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා සිටියි

  • යෝජිත දූෂණ විරෝධී පනත් කෙටුම්පතට මහජන අදහස් ඇතුළත් කරන මෙන් ඉල්ලා සිටියි

  • යෝජිත දූෂණ විරෝධී පනත් කෙටුම්පත සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කරයි

වසර ගණනාවක් තිස්සේ සාකච්ඡා මට්ටමේ පැවති දූෂණ විරෝධී පනත් කෙටුම්පත කරළියට ගෙන ඒම සම්බන්ධයෙන් ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනය (TISL) ආයතනය රජයට සිය ප්‍රසාදය පළ කරයි. පවතින නීතිය වැඩිදියුණු කිරීම සඳහා මෙම පනත් කෙටුම්පතෙහි ප්‍රශංසනීය විධිවිධාන රාශියක් අඩංගු කර ඇත (www.tisrilanka.org). කෙසේ නමුත් කිසිදු මහජන අදහසක් මේ වන තෙක් මීට ඇතුළත්ව නොතිබීමත්, සාරවත් නීති සම්පාදනයක් වුව ද, එහි වැදගත් අංග සහ බලපෑම පිළිබඳව මහජන මැදිහත්වීමකට ඇති අවස්ථාව අවම කරමින්, කඩිනමින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමේ ප්‍රයත්නයක් පෙනී යන හෙයින් TISL ආයතනය මේ සම්බන්ධයෙන් දැඩි සැලකිල්ලෙන් පසු වෙයි.

යෝජිත පනත් කෙටුම්පත නීතිපතිගේ අනුමැතිය උදෙසා ඉදිරිපත් කිරීමේ පුවතත් සමඟ ම, TISL සහ තවත් පාර්ශ්ව විසින් මෙම පනත සම්බන්ධයෙන් සිය අදහස්, ලබා දුන් ඉතා කෙටි කාලය තුළ අධිකරණ අමාත්‍යංශයට ඉදිරිපත් කරන ලදි. කෙසේ වුව ද, පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පෙර, එහි අඩංගු වන ප්‍රධාන ප්‍රතිපත්ති සහ පටිපාටිමය අංග සම්බන්ධන්යෙන් මහජන අදහස් සලකා බැලෙන්නේ ද යන්න අපැහැදිලිය. මෙම නීතිය මගින් අල්ලස් පනත, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභා පනත සහ වත්කම් සහ බැරකම් ප්‍රකාශ කිරීමේ නීතිය ආදේශ කිරීමට අපේක්ෂා කරයි.

රටේ පවතින දූෂණය පිළිබඳ ප්‍රශ්නයට විසඳුම් සෙවීමට ප්‍රමුඛත්වය දීම අගය කරන අතර ම, මේ මොහොතේ පවා අල්ලස සහ දූෂණයට එරෙහිව කටයුතු කිරීමට ශ්‍රී ලංකාව සතුව පවතින නීති ප්‍රමාණවත් බව TISL ආයතනය අවධාරණය කරයි. ගැටලුව වන්නේ එම නීති ක්‍රියාත්මක කරන ආකාරය කිසිසේත් ම ප්‍රමාණවත් නොවීමය. මහා පරිමාණ දූෂණ නඩු කටයුතු පැවරීමේ දී, නීතිය ක්‍රියාත්මක කරන ආයතන සාධනීය ලෙස කටයුතු නොකළ බොහෝ අවස්ථා පවතියි. තාක්ෂණික දෝෂ නිසා වැදගත් නඩු අත්හිටවූ අවස්ථා මෙන් ම ඒවා ගැටලුකාරී ලෙස ඉවත්කරගත් අවස්ථා ද වේ. නීතිය ක්‍රියාත්මක කරන ආයතනවල ස්වාධීනත්වය, සම්පත්වල ප්‍රමාණවත් බව සහ විශේෂඥ දැනුම සම්බන්ධයෙන් දැඩි විවේචන මතු වීමට ඒවා හේතු විය.

මෙලෙස, පවතින දූෂණ විරෝධී නීති පවා ඵලදායි සහ සමානව ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකාව අපොහොසත්ව ඇති පසුබිමක රජය විසින් නව දූෂණ විරෝධී නීතියක් යෝජනා කර තිබේ. යෝජිත දූෂණ විරෝධී කොමිසමේ පවා ස්වාධීනත්වය තහවුරු කළ හැක්කේ එළැඹෙන ව්‍යවස්ථා සංශෝධනයක දී ප්‍රමාණවත් පරිදි එය විධායකයෙන් වියුක්ත කරන්නේ නම් පමණක් බව TISL ආයතනය දැඩි ලෙස අවධාරණය කරයි.

වත්කම් සහ බැරකම් ප්‍රකාශ ප්‍රසිද්ධ කිරීම අනිවාර්ය කිරීම, යෝජිත කොමිෂන් සභාව සතු විමර්ශන බලතල අනිසි ලෙස භාවිත කිරීම වැළැක්වීමට ප්‍රතිපාදන, කොමිෂන් සභාවේ ස්වාධීනත්වය තහවුරු කිරීම, දඬුවම් වැඩි කිරීම, පෞද්ගලික අංශයේ සිදු වන දූෂණ ක්‍රියාවලට ඵලදායී ලෙස විසඳුම් සෙවීම සහ නීතිය ක්‍රියාත්මක කරන අනෙකුත් ආයතන සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට යෝජිත කොමිෂන් සභාවට අවස්ථාව ලබා දීම, විමර්ශනවල ප්‍රගතිය මහජනතාවට ප්‍රසිද්ධ කිරීම යනාදිය TISL ආයතනය විසින් මෙම පනත් කෙටුම්පත සමබන්ධයෙන් කළ නිර්දේශ අතර වේ. මීට අමතරව ශ්‍රී ලංකාව ද අත්සන් තබා ඇති එක්සත් ජාතීන්ගේ දූෂණ විරෝධී සම්මුතියෙහි (UNCAC) සඳහන්, සොරකම් කරන ලද වත්කම් ආපසු ලබා ගැනීම සහ මැතිවරණ ව්‍යාපාර වියදම් නියාමනය වැනි කොටස් යෝජිත නීතියෙන් ආවරණය නොවන බව TISL ආයතනයෙහි අවධානයට ලක්ව තිබේ.

“අපි නීති පැනවිය යුත්තේ රික්තකයක් තුළ නොවෙයි. නීති සම්පාදනයේ දී අදාළ සන්දර්භයත් සැලකිල්ලට ගත යුතුයි. නීතියට පමණක් ශ්‍රී ලංකාවේ දූෂණය පිළිබඳ ප්‍රශ්නය ක්ෂණිකව ‘විසඳීම‘ කල නොහැකියි. ඉහළ සිට පහළ මට්ටම දක්වා මුල්බැසගත් දූෂණය මුලිනුපුටා දැමීමට නම් දේශපාලනික උවමනාව, බහුආංශික ක්‍රියාකාරීන්ගේ සැබෑ කැපවීම, පද්ධති හා බැඳුණු අත්‍යවශ්‍ය ප්‍රතිසංස්කරණ සහ සංස්කෘතිකමය වෙනස යන දේවල් අවශ්‍ය වෙනවා.” TISL ආයතනයෙහි විධායක අධ්‍යක්ෂ නදීශානි පෙරේරා එලෙස අදහස් දැක්වීය.

ඒ අනුව, දූෂණයේ වරදකරුවන් හට එරෙහිව පවතින නීතිය උපරිම ලෙස ක්‍රියාත්මක කරමින්, නීති බලාත්මක කිරීමට ප්‍රමුඛතාව ලබා දීමට කටයුතු කරන මෙන් TISL ආයතනය රජයෙන් දැඩිව ඉල්ලා සිටියි. යෝජිත නීතිය සම්බන්ධයෙන් මහජනතාව තුළ විශ්වාසය සහ අයිතිය පිළිිබද හැඟීම තහවුරු කිරීමත්, එහි තාක්ෂණික සහ කාර්යපටිපාටික අඩුපාඩු මග හරවා ගැනීමත් අරමුණු කරගනිමින්, මෙම තීරණාත්මක මොහොතේ යෝජිත දූෂණ විරෝධී පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පෙර, විනිවිදභාවයෙන් යුත් මහජන අදහස් විමසීමේ ක්‍රියාවලියක් තහවුරු කරන මෙන් TISL ආයතනය රජයෙන් ඉල්ලා සිටියි

Archive

Latest news

Related news