Friday, April 19, 2024

‘මරණ වරෙන්තුව සාමාන්‍ය වූ සමාජයක වත්මන් මොහොත’ – මර්දනය ගැන අසම්පූර්ණ වාර්තාවක්, වෘත්තීය සමිති සහ බහුජන සංවිධාන එකමුතුව වෙතින්

ශ්‍රී ලංකාවේ පැවැති සිවිල් යුද්ධයේ අවසානයෙන් පසු (2009) මානව හිමිකම් උල්ලංඝනය කිරීම් වැඩිම ප්‍රමාණයක් වාර්තා වන්නේ 2019 නොවැම්බර් මාසයේදී ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධුරයට පත්වීමත් සමග ය. ඔහු ඒ වනවිටත් මහාධිකරණයේ විභාග වෙමින් පැවැති නඩුවක සැකකරුවෙකි. එමෙන්ම ජනමාධ්‍යවේදීන් පැහැර ගැනීම, ඝාතනය කිරීම සහ හිංසා කිරීම සම්බන්ධ නඩු කිහිපයකම සැකකරුවකු ලෙෂ සාක්ෂි අනුව නම් කිරීමට නියමිතව සිටි අයෙකි.

ගෝඨාභය රාජපක්ෂ 2019 නොවැම්බර් 16 පැවැති ජනාධිපතිවරණයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් ඉදිරිපත් වූ අතර, ඡන්ද ලක්ෂ 69ක් ලබාගෙන ඔහු ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස තේරී පත් විය.

ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙසත්, ඔහුගේ සහෝදරයා ශ්‍රී ලංකාවේ විධායක ජනාධිපතිවරයා ලෙසත් කටයුතු කළ 2005 – 2015 කාලයේ රාජපක්ෂ රෙජීමය විසින් සිදු කරනු ලැබූ අපරාධ සම්බන්ධයෙන් විමර්ශන සිදු කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් රැසක් එම දෙපාර්තමේන්තුවෙන් ඉවත් කිරීම ඔහුගේ පළමු රාජකාරිය විය. එයින් ආරම්භ වූ මර්දනය නීතිවිරෝධී අත්අඩංගුවට ගැනීම්, නීතිවිරෝධී රඳවා තබාගැනීම්, ව්‍යාජ චෝදනා මත නඩු පැවරීම්, බලපෑම් කිරීම්, පහරදීම්, පැහැර ගැනීම් සහ ඝාතනය කිරීම් දක්වා වූ විශාල පරාසයක් තුළ විහිදී තිබේ.

2019 වසරේදී ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු ආරම්භ වූ බරපතළ මානව හිමිකම් කඩවීම්, ජන අරගලයක් මගින් ඔහු බලයෙන් පහකිරීමෙන් පසු පාර්ලිමේන්තුවේ ඡන්ද විමසීමකින් විධායක ජනාධිපති ධුරයට පත් රනිල්  වික්‍රමසිංහගේ නායකත්වයෙන් යුත් ආණ්ඩුවෙන්ද, නොවෙනස්ව කරගෙන යමින් තිබේ.

රාජ්‍ය ත්‍රස්තවාදයක ස්වරූපයෙන් සිදුවන මානව හිමිකම් කඩවීම් සම්බන්දයෙන් දළ අවබෝධයක් ලබාගැනීම සඳහා මෙම වාර්තාව සකස් කරනු ලබන අතර, මෙය අපට වාර්තා වූ තොරතුරු මත පමණක් ගොඩනගන ලද්දකි. වාර්තා නොවූ සහ තහවුරු කර ගැනීමට හැකියාවක් නොලැබුණු තවත් මානව හිමිකම් කඩවීම් රැසක් මෙම නිශ්චිත කාලයට අදාළ ව රට පුරා සිදුවී තිබේ.

මෙම වාර්තාව සකස් කිරීමට වෘත්තීය සමිති සහ බහුජන සංවිධාන එකමුතුවේ සාමාජික සංවිධාන සොයාගත් තොරතුරු මෙන්ම සමාජ හා සාමයික කේන්ද්‍රයේ පර්යේෂණ කණ්ඩායම සොයාගත් තොරතුරු ද උපයෝගී කරගෙන තිබේ.

මෙම රාජ්‍ය ත්‍රස්තවාදයට එරෙහි වන ලෙසත්, මර්දනය වහාම නතර කරන ලෙසත් ආණ්ඩුවත්, ආණ්ඩුවේ අවශ්‍යතා මත කටයුතු කරන ශ්‍රී ලංකා පොලීසිය සහ ත්‍රිවිධ හමුදාවලටත් බලපෑම් කරන ලෙස ප්‍රජාතන්ත්‍රවාදය අගය කරන සහ මානව හිමිකම්වලට ගරු කරන ශ්‍රී ලංකාවේ සියලුම දේශපාලන පක්ෂවලින්, ශ්‍රී ලංකාවේ පිහිටි සියලුම රටවලට අයත් තානාපති කාර්යාල හා මහ කොමසාරින් කාර්යාලවලින් සහ එක්සත් ජාතීන ්ගේ සංවිධානය, යුරෝපා සංගමය ඇතුළු අන්තර්ජාතික සංවිධානවලින් අපි ඉල්ලා සිටිමු.

සම්පූර්ණ වාර්තාව පීඩීඑෆ් ගොනුවක් ලෙස:මර්දනය ගැන අසම්පූර්ණ වාර්තාවක් 24.0822

Archive

Latest news

Related news