Thursday, April 18, 2024

පාරවල් වහන්න උසාවි ආ නීතිපති සහ පොලිසිය පරදියි! 

ඡායාරූපය : AFP/Getty Images/The Guardian.

කොටුව පාරවල් කිහිපයකට ලබන 09 වැනිදා ඇතුළුවීම වලක්වන නියෝගයක් ඉල්ලා පොලිසිය නීතිපති දෙපාර්තමේන්තුවේ සහාය ඇතිව කළ ඉල්ලීම කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කේමින්ද පෙරේරා අද ප්‍රතික්ෂේප කළේය.

මෙම විරෝධතාවය හේතුවෙන් යම් යම් අපරාධ සිදුවිය හැකි බවත්, කොළඹ මංමාවත් අවහිර කරමින් විරෝධතා විරෝධත පැවැත්වුවහොත් ආර්ථිකයට දැඩි බලපෑමක් එල්ල විය හැකි බවත්, විදේශිකයන් රටින් පිටවිය හැකි බවත් කියමින් පොලිසිය සහ නීතිපති දෙපාර්තමේන්තුව මෙම වාරණ නියෝගය ඉල්ලා සිටියේය.

පුද්ගලයන් දෙසිය හැට ගණනක් මෙහි සංවිධායකයින් ලෙස හඳුනාගෙන ඇති බවත් ඔවුන් හෝ යම් පිරිසක් මෙම මාර්ගවලට ඇතුලු වුවහොත් කලබලකාරී තත්ත්වයක් ඇතිවිය හැකි බවත් පොලිසිය දැනුම් දුන්නේය.

උද්ඝෝෂකයන් වෙනුවෙන් කරුණු දැක්වූ ජනාධිපති නීතිඥ සාලිය පීරිස් , නීතීඥ නුවන් බෝපගේ, ජයන්ත දෙහිඅත්තගේ ඇතුළු නීතිඥ මණ්ඩලයක් ප්‍රකාශ කළේ විරෝධතා පැවැත්වීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පුරවැසියන්ට අයිතිය ලැබී ඇති බවයි. නඩු තීන්දු කිහිපයක් ද ගෙන හැර දක්වමින් නීතිඥවරුන් පෙන්වා දුන්නේ එම අයිතිය අහිමි කිරීමට පොලිසිය උත්සාහ ගන්නා බවයි.

මේ වන විටත් සිදුවන විදුලි කප්පාදුව ආදිය නිසා විදේශකයන් රට හැර ගොස් ඇතැයි කී එම නීතිඥවරු අමුතුවෙන් විදේශකයන් රයහැර යාමට හේතුවක් නැති බව ද බවද ප්‍රකාශ කළේය.

දෙපාර්ශවයේම කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා පොලිසිය කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කළේය. සාමකාමීව විරෝධතා පැවැත්වීමට පුරවැසියන්ට අවස්ථාව ඇති බවත් ජන ජනඝෝෂා නඩුව ඇතුළු නඩු තීන්දු කිහිපයක ඒ බව පැහැදිලිව සඳහන් කර තිබෙන බවත් සඳහන් කළ මහේස්ත්‍රාත්වරයා යම් අපරාධයක් සිදු වන්නේ නම් එය නතර කිරීමට පොලිසියට බලය ඇති බවද අවධාරණය කළේය. රටේ පවතින තත්වය සහ විදුලි කප්පාදුව හේතුවෙන් විදේශිකයන් මේ වන විටත් රට හැර ගොස් ඇති බව සඳහන් කළ මහේස්ත්‍රාත්වරයා පොලිසිය කළ කරුණු දැක්වීම ප්‍රතික්ෂේප කළේය.

(උපුටා ගැනිමකි)

Archive

Latest news

Related news