Thursday, April 25, 2024

රෝහිණී මාරසිංහට දෝශාභියෝගයක්: බොරු ගොන්නක් කියමින් මානව‍ හිමිකම් කොමිසම හිමිකම් ආරක්ෂක නීතිඥ සේනක පෙරේරා දඩයමක!

පසුගිය මැයි 09දා මහින්ද රාජපක්ෂ විසින් කවා පොවා සන්නද්ධ කර සාමකාමී විරෝධතාකරුවන්ට පහර  දීමේදී  සිරකරුවන් සම්බන්ධ  කර ගත්තේද යන්න ප්‍රශ්ණ කරමින් සිරකරු අයිතීන් සුරැකීමේ කමිටුවේ ප්‍රධානී නීතිඥ පෙරේරා කරන ලද ප්‍රකාශයක් පදනම් කර ගනිමින් ඔහු පිළිබඳව පරීක්ෂනයක් පවත්වන සේ නීතිපතිවරයාට සහ අග විනිසුරුවරයාට මානව හිමිකම් කොමිසමේ සභිපතිනිය යවන ලද ලිපිය ව්‍යාජ කරුණු මත පදනම්ව අදහස් ප්‍රකාශනයේ නිදහස දරුණු ලෙස කෙලෙසීමක් බව තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය ප්‍රකාශ කරයි.

හිටපු විනිශ්චයකාරිනියකච වන සබාපතිනි රෝහිණී මාරසිංහ වෙත තරුණ ජනමාද්‍යවේදීන්ගේ සංගමය යවන ලද ලිපියෙහි මෙසේද සඳහන් වේ.

“සේනක පෙරේා මහතා වැනි මානව හිමිකම් ක්‍රියාකාරීන් ඉලක්ක කර ඔබ විසින් මෙවැනි නිවේදනයක් නිකුත් කරන්නේ මානව හිමිකම් ක්‍රියාකාරිකයන් මර්දනය කිරීමේ ආණ්ඩුවේ න්‍යාය පත්‍රයේ කොටසක් ලෙස ද යන්න ගැන අපට බරපතළ සැකයක් මතු වේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ඔවුන්ට අවශ්‍ය පුද්ගලයන් ඉලක්ක කර මාධ්‍ය නිවේදන නිකුත් කිරීම ගැන අප විසින් ඔබ කොමිෂන් සභාවට පැමිණිලි කර ඇති අතර, ඔබ ද කටයුතු කරන්නේ ඒ ආකාරයට ම නම් එම පැමිණිලි විමර්ශනය කරන්නේ කෙසේද යන්න ගැන බරපතළ සැකයක් මතු වේ.

“ඔබගේ මාධ්‍ය නිවේදනයේ සඳහන් කර ඇත්තේ සේනක පෙරේරා මහතා මාධ්‍ය සාකච්ඡාවේදී ප්‍රකාශ කළ කරුණු නිසා රට පුරා ප්‍රචණ්ඩ ක්‍රියා ඇතිවූ බව සහ මුළු ලෝකයම කෝපයට පත්වූ බවයි. එය තාර්කිකවත්, සත්‍ය වශයෙනුත් බරපතළ අසත්‍ය සහ ජනතාව මුලාකරවන ආකාරයේ ප්‍රකාශයකි. සේනක පෙරේරා මහතා මෙම මාධ්‍ය හමුව පැවැත්වූයේ මැයි 10දා වන අතර, ඔබ සඳහන් කරන ආකාරයේ සිදුවීම්වලින් බොහොමයක් මැයි 10දා උදෑසන වන විට සිදුවී අවසන් ය.”

සම්පුර්ණ ලිපිය:

විනිසුරු (විශ්‍රාමික) රෝහිණී මාරසිංහ,
සභාපති,
ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව.

සභාපතිතුමියනි,

සමාජ ක්‍රියාකාරිකයකු වන නීතිඥ සේනක පෙරේරා ඉලක්ක කරගනිමින් ඔබ විසින් නිකුත් කරන ලද ව්‍යාජ කරුණු සහිත, පුරවැසියන් නොමග යවන මාධ්‍ය නිවේදනය සම්බන්ධවයි.

විධායක සහ පරිපාලන ක්‍රියා මගින් 2022 මාර්තු 31දා සිට පුරවැසියන්ගේ අයිතිවාසිකම් අඛණ්ඩව උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය ලෙස අප, අවස්ථා 100කට ආසන්න ප්‍රමාණයකදී ඔබ කොමිෂන් සභාව ලිඛිතව සහ වාචිකව දැනුම්වත් කර තිබේ.

මෙසේ අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමේ නොනවතින ක්‍රියාවලියේ උච්ඡතම අවස්ථාව වන ගෝඨාගෝගම සහ මයිනාගෝගම සාමකාමී අරගලයට ආණ්ඩුව සැලසුම්සහගතව පහරදීම සම්බන්ධයෙන් ද අපි ලිඛිතවත්, වාචිකවත් දැනුම් දුන් අතර, එම සැලසුම සනාථ කරන සියලු සාක්ෂි කොමිෂන් සභාවට ලබාදුන්නෙමු.

මැයි 09දා සාමකාමී අරගලයට පහරදීමේ සිදුවීමත් සමග බන්ධනාගාරගත කර සිටි සිරකරුවන් පිරිසක් පහරකෑමට ලක්වීම ගැන ඔබ කොමිෂන් සභාවට නීතිඥවරයකු විසින් පැමිණිල්ලක් කර තිබූ අතර, ඊට අදාළ ව ආරම්භ කළ විමර්ශනයේදී සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව විසින් මාධ්‍ය සාකච්ඡාවකදී ප්‍රකාශ කළ කරුණු සම්බන්ධයෙන් ද අවධානය යොමු කළ බව ඔබ විසින් නිකුත් කරන ලද නිවේදනයක සඳහන් විය.

‘The HRCSL condemns the false media broadcast made by the President of the Committee for Protecting Rights of Prisoners’ යන ශීර්ෂයෙන්, ඔබගේ අත්සනින් ජුනි 30දා නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනය සම්බන්ධයෙන් අප දැඩි අවධානය යොමු කළ අතර, මහජනතාව නොමග යවන, ව්‍යාජ කරුණු සහිත එම ලිපිය මගින් භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහස හීන කරන බව අපගේ නිරීක්ෂණය විය. ඒ අනුව එම ලිපිය සම්බන්ධයෙන් පහත කරුණු ඉදිරිපත් කිරීමටත්, ලිපිය අවසානයේ ඇති ඉල්ලීම් කිරීමටත් කැමැත්තෙමු.

සේනක පෙරේරා මහතා ද සාමාජිකයකු වන සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව මැයි 10දා මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් ගෝඨාගෝගමට පහරදීම සඳහා සිරකරුවන් යොදාගත් බවට කරුණු කිහිපයක් ප්‍රකාශ කළ අතර, එසේ සිදුවී ඇත්නම් එය බරපතළ තත්ත්වයක් බව ද ප්‍රකාශ කළේය. සේනක පෙරේරා මහතා එම කරුණු ඉදිරිපත් කිරීමට පෙර, ඒ සම්බන්ධයෙන් ජනමාධ්‍ය හා සමාජ මාධ්‍ය ඔස්සේ ද එම කරුණු ම වාර්තා කර තිබිණි. සේනක පෙරේරා මහතාගේ මාධ්‍ය සාකච්ඡාවට ද එම කරුණු හේතුවන්නට ඇත.

යම් කරුණක් සම්බන්ධයෙන් සැකයක් ඇත්නම්, ඒ ගැන කරුණු සොයාබැලීමත්, මහජනතාවට කරුණු දැනුම් දීම සඳහා මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වීමත් ඕනෑම පුරවැසියකුට ඇති අයිතියකි. ඒ අයිතිය සේනක පෙරේරා මහතාට ද එලෙසම ඇත. එලෙස මාධ්‍ය සාකච්ඡා මගින් කරුණු අනාවරණය කළහොත් හෝ පැමිණිල්ලක් කළහොත් හෝ ඒ සිදුවීමේ සත්‍යාසත්‍යභාවය තහවුරු කරගැනීම සඳහා විමර්ශන සිදුකිරීම, එසේ විමර්ශන කිරීමට බලය ඇති ආයතනවල වගකීමකි.

පරිපාලන හෝ විධායක ක්‍රියාවක් මගින් මූලික අයිතිවාසිකම් කඩවීමක් එම සිදුවීමේදී සිදුවී ඇති බවට නිමිත්තක් ඇත්නම්, ඒ ගැන විමර්ශනය කිරීමට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට බලය තිබේ.

මෙම නිශ්චිත සිද්ධියට අදාළ කාරණය සම්බන්ධයෙන් ඔබ විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයට අනුව, විශේෂයෙන් පත්කළ නියෝජිතයන් තිදෙනකු විසින් විමර්ශනයක් පවත්වා වාර්තාවක් ලබා දී ඇත. එම වාර්තාව ඔබ කොමිෂන් සභාව විසින් මේ වන තෙක් ප්‍රසිද්ධ කරනු ලැබ නැත. එසේ වාර්තාව සඟවා තබාගනිමින් එහි ඇතුළත් යැයි සඳහන් කරුණු කිහිපයක් ගැන මාධ්‍ය නිවේදන නිකුත් කිරීම ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව වැනි කොමිෂන් සභාවකට තරම් නොවේ.

ඔබගේ මාධ්‍ය නිවේදනයේ සඳහන් කර ඇත්තේ සේනක පෙරේරා මහතා මාධ්‍ය සාකච්ඡාවේදී ප්‍රකාශ කළ කරුණු නිසා රට පුරා ප්‍රචණ්ඩ ක්‍රියා ඇතිවූ බව සහ මුළු ලෝකයම කෝපයට පත්වූ බවයි. එය තාර්කිකවත්, සත්‍ය වශයෙනුත් බරපතළ අසත්‍ය සහ ජනතාව මුලාකරවන ආකාරයේ ප්‍රකාශයකි. සේනක පෙරේරා මහතා මෙම මාධ්‍ය හමුව පැවැත්වූයේ මැයි 10දා වන අතර, ඔබ සඳහන් කරන ආකාරයේ සිදුවීම්වලින් බොහොමයක් මැයි 10දා උදෑසන වන විට සිදුවී අවසන් ය.

සත්‍ය සහ මුළු රටම දන්නා කරුණ නම්, මැයි 09දා සහ ඊට පසු දින රට පුරා සිදුවීම් මාලාවක් වාර්තා වූයේ සේනක පෙරේරා මහතාගේ ප්‍රකාශයක් නිසා නොව, හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ විසින් ගෝඨාභය රාජපක්ෂ ප්‍රමුඛ ආණ්ඩුවේ අනුදැනුම මත අරලියගහ මැදුරට විශාල පිරිසක් කැඳවා බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ප්‍රමුඛ පොලිසියේ ද සහාය ඇතිව ඔවුන් ලවා ගෝඨාගෝගම සහ මයිනාගෝගම සාමකාමී අරගලයට පහරදීම හේතුවෙනි. එම සත්‍යය වසන් කර, ආණ්ඩුව සහ පොලිසිය බේරාගැනීමේ අදහසින් සිදුවීම් මාලාවේ වගකීම සේනක පෙරේරා මහතා වෙත පැවරීමට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම වැනි ආයතනයක ප්‍රධානත්වය දරණ ඔබ ගෙන ඇති නිර්ලජ්ජිත උත්සාහය ගැන තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය ලෙස අපගේ දැඩි අප්‍රසාදය පළකර සිටිමු.

ඔබ සඳහන් කරන සිදුවීමේදී සිරකරුවන් පිරිසක් පහරකෑමට ලක්වීම ගැන හෝ සිරකරුවන් මුදලට විකිණීම ගැන හෝ කොමිෂන් සභාවේ නිගමනය හෝ නිර්දේශ ගැන මාධ්‍ය නිවේදනයේ සඳහන් ව නැත. එයින් පැහැදිලිව පෙනීයන්නේ ඔබට අවශ්‍යතාව ඇත්තේ සත්‍ය වශයෙන්ම සිරකරුවන් සම්බන්ධයෙන් සෙවීමට නොව, සේනක පෙරේරා මහතා පෞද්ගලිකව ඉලක්ක කර පහර ගැසීමට බවයි.

මානව හිමිකම් ක්‍රියාධරයකු ලෙස සේනක පෙරේරා තමන්ව හඳුන්වා දුන් බව ඔබගේ ලිපියේ සඳහන් වෙයි. ඔහු මානව හිමිකම් සම්බන්ධ ක්‍රියාකාරිකයකු වූයේ ඔබ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපති ධුරය බාරගැනීමට බොහෝ කලකට පෙර සිට ය. ඔහු මානව හිමිකම් ක්‍රියාධරයකු ද, නැද්ද යන්න සම්බන්ධයෙන් වසර ගණනාවක් තිස්සේ ඔවුන් විසින් ඔබ කොමිසමට කර ඇති පැමිණිලි සහ ඔවුන් කරන ලද වැඩ ගැන පරීක්ෂා කළ බලා ඔබට ම තීරණය කළ හැකිය.

ඔබ කොමිෂන් සභාවේ නිලධාරීන් පසුගිය කාලයේ ඇතිවූ සිදුවීම් සම්බන්ධයෙන් ක්ෂණිකව මැදිහත් වී කටයුතු කළ බව නොරහසකි. එසේ මැදිහත්වීම ගැන අපි ඔවුන්ට ස්තූතිවන්ත වෙමු. ඔවුන්ගේ මැදිහත්වීම මත ඇතැම් සිදුවීම් වළක්වා ගැනීමට ද හැකි විය. කෙසේ වෙතත් එවැනි තත්ත්වයක ඔබ නිකුත් කළ මෙම ලිපිය මගින් කොමිෂන් සභාවේ නිලධාරීන්ගේ සාධනීය මැදිහත්වීම් පවා සමාජය විසින් ප්‍රශ්න කරන තැනට තල්ලු විය හැකිය. සේනක පෙරේා මහතා වැනි මානව හිමිකම් ක්‍රියාකාරීන් ඉලක්ක කර ඔබ විසින් මෙවැනි නිවේදනයක් නිකුත් කරන්නේ මානව හිමිකම් ක්‍රියාකාරිකයන් මර්දනය කිරීමේ ආණ්ඩුවේ න්‍යාය පත්‍රයේ කොටසක් ලෙස ද යන්න ගැන අපට බරපතළ සැකයක් මතු වේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ඔවුන්ට අවශ්‍ය පුද්ගලයන් ඉලක්ක කර මාධ්‍ය නිවේදන නිකුත් කිරීම ගැන අප විසින් ඔබ කොමිෂන් සභාවට පැමිණිලි කර ඇති අතර, ඔබ ද කටයුතු කරන්නේ ඒ ආකාරයට ම නම් එම පැමිණිලි විමර්ශනය කරන්නේ කෙසේද යන්න ගැන බරපතළ සැකයක් මතු වේ.

එසේ හෙයින් පහත ඉල්ලීම් ඔබ වෙත යොමුකරමු.

1) ඔබගේ නිවේදනය මගින් සේනක පෙරේරා මහතාගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වන බැවින් ප්‍රසිද්ධියේ සමාව ඉල්ලා එම නිවේදනය ඉල්ලා අස්කර ගන්නා ලෙස ඉල්ලා සිටිමු.

2) ඔබගේ නිවේදනයේ ඇතැම් කරුණු සම්පූර්ණයෙන්ම සමාජය නොමග යවන අසත්‍ය කරුණු වන බැවින් ඒ සම්බන්ධයෙන් සමාව ඉල්ලා නිවේදනයක් නිකුත් කරන ලෙස ඉල්ලා සිටිමු.

3) එම නිවේදනයට හේතු වූ වාර්තාව ප්‍රසිද්ධ කරන ලෙස ඉල්ලා සිටිමු.

4) කොමිෂන් සභාවට බලය ඇත්තේ විධායක හෝ පරිපාලන ක්‍රියා මගින් මූලික අයිතිවාසිකම් කඩවීම ගැන සොයා බැලීමට ය. එසේ නම් සේනක පෙරේරා සම්බන්ධයෙන් නිර්දේශ නිකුත් කළේ කුමන පදනමකින්ද යන්න පැහැදිලි කරන ලෙස ඉල්ලා සිටිමු.

5) පසුගිය කාලයේ මැති-ඇමැතිවරුන් රටේ ජනතාව කුපිත වන ආකාරයේ අසත්‍ය මෙන්ම ජාතිවාදී ප්‍රකාශ ද සිදු කර ඇත. එවැනි ප්‍රකාශ සම්බන්ධයෙන් මෙවැනි මාධ්‍ය නිවේදන නිකුත් නොකළේ ඇයිද යන්න පැහැදිලි කරන ලෙස ඉල්ලා සිටිමු.

6) මාර්තු 31දා සිට මේ දක්වා අප විසින් කරන ලද පැමිණිලි සම්බන්ධයෙන් ගෙන ඇති ක්‍රියාමාර්ග දැනුම් දෙන ලෙසත්, එම පැමිණිලිවලට අදාළ විමර්ශන වාර්තා ප්‍රසිද්ධ කරන ලෙසත් ඉල්ලා සිටිමු.

7) මැයි 09දා සාමකාමී අරගලයට පහරදීම සම්බන්ධයෙන් කළ විමර්ශනයේ වාර්තාව ප්‍රසිද්ධ කරන ලෙස ඉල්ලා සිටිමු.

8) ඔබ විසින් නිකුත් කරන ලද වාර්තාව සම්බන්ධයෙන් වෙනත් කොමසාරිස්වරුන් දෙදෙනකුගෙන් සමන්විත කමිටුවකින් විමර්ශනයක් සිදුකිරීමට ඉඩ සලස්වා එම වාර්තාව ලැබෙන තෙක්, ඔබ තාවකාලිකව කොමිෂන් සභාවේ රාජකාරිවලින් ඉවත් වන ලෙස ඉල්ලා සිටිමු.

ස්තූතියි.

මෙයට,
විශ්වාසී,

ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය

Archive

Latest news

Related news