Thursday, April 25, 2024

දේශපාලන පොලිසිය සහ ගෝටාගෝගමට ප්‍රහාරය: ගෝටා -රනිල් ආණ්ඩුවට අභියෝග පහක්!

ජායාරූපය:හමුදා සෙබලුන් මැදින් ගෝටා ගෝ ගමට ප්‍රහාරය එල්ල කිරීමට යන රාජපක්ෂ මැරයකු ප්‍රාන්ස් 24 රෑපවාහිනි නාලිකාවට හසු වූ අයුරු.

සුනන්ද දේශප්‍රිය.

ශ්‍රී ලංකා පොලිසිය ගෝටාභය රාජපක්ෂ සහ ඔහුගේ අග සව්වකු වන සරත් විරසේකර යටතේ දේශපාලනඥයින් අත නැටවෙන රෑකඩයක් බවට පත්ව ඇති අන්දම පිළිඹිබු කරන කතාන්තර පහක් පහත පළවේ. රනිල් වික්‍රමසිංහ අගමැතිධූරය බාර ගන්නා ලද්දේ කුමන කොන්දේසි මත දැයි දන්නා අයෙක් නැත. දැනගන්නට හැකි අන්දමට ගෝඨාභය විසින් ඉදිරිපත් කරන ලද එක් කොන්දේසියක් වන්නේ පොලිසියට සහ බුද්ධි සේවාවන් පාලනය කිරීම දිගමෙ තමන් යටතේ පැවතිය යුතු බවයි.

එබැවින් ගෝටා-රනිල් ආණ්ඩුවට පසුගිය ගෝටා ගෝ ගමට එලල් කරන ලද ප්‍රහාරය සම්බන්ධයෙන් පහත සදහන් අභියා්ග පහ ඉදිරිපත් කරමු.

සනත් නිශාන්ත, දේශබන්දු සමඟ ප්‍රහාරයට යමින්

අභියෝගය 01

මයිනාගෝගම සහ ගෝටාගෝගම සාමකාමී උද්ඝෝෂණවලට දේශපාලන මැරයන් යොදා ප්‍රහාර එල්ල කිරීමට දින දෙකකට පෙර    එම ස්ථාන දෙකෙහිම ආරක්ෂාව බාරව සිටි කොල්ලුපිටිය පොලීසියට වැඩබලන ස්ථානාධිපති වශයෙන් විනයවිරෝධී කටයුතු මත දඬුවම් ලබමින් සිටි,  සනත් නිශාන්තගේ ගෝලයෙකු   පත්කර එවා තිබී ඇත.

මෙම අවස්ථාව ලබා ගෙන ඇත්තේ  කොල්ලුපිටිය ස්ථීර පොලිස් ස්ථානාධිපති ඩන්කන් ගුණවර්ධන රෝගී තත්වයක් මත නිවාඩු ලබා සිටිම ප්‍රයෝජනයට ගෙනය.

මෙසේ ප්‍රහාරයට දෙදිනකට පෙර පත් කර එවන ලද මෙම පොලිස් නිලධාරියා ආරච්චි කට්ටුව පොලිස් ස්ථානාධිපති ලෙස සිටි අනුරාධ හේරත් නම් පොලිස් පරීක්ෂකයෙකු වන අතර විනය විරෝධී චෝදනා ඔප්පුවීමෙන් සේවයෙන් පහත හෙළා කුරුඳුවත්ත පොලීසියට මාරු කර සිටි ඇත.

මෙම මාරුවීම කරන ලද්දේ ගෝටා ගෝ ගමට ප්‍රහාරයක් එල්ල කිරීමට වූ පූර්ව සැළසුමක කොටසක් ලෙසය.

ඇමැතිවරයකු වූ සනත් නිශාන්ත මෙම ප්‍රහාරයේ ප්‍රධානියකු විය. නිශාන්ත ප්‍රහාරයට පෙර බස්නාහිර පළාත බාර නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකේනි සමඟ ගෝටා ගෝ ගමට පැමිණි බවට ඡායාරූප සාක්ෂි තිබේ.‍

දැන් ගෝටා- රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුවට අඩුම වශයෙන් සනත් නිශාන්ත අත්අඩංඟුවට ගත හැකිද?

අභියෝගය 02

ව්‍යාජ හේතු දක්වා ඉදිරිපත් කල පොලිස් පැමිණිල්ල

කොටුව ගාලුමුවදොර පිටියේ විරෝධතාවේ නිරතව සිටින පිරිස ඒ අවට හෝටල්වල ව්‍යාපාර කටයුතුවලට බාධා කරන බවට පසුගිය 6 වැනිදා පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කරන ලදී.  එසේ නමුත් සිය සේවාදායකයන් පොලිසියට එවැනි ප්‍රකාශ සිදුකර නැතැයි කොළඹ ගලධාරි හෝටලයේ හා ටැෆ් හවුස් අවන්හලේ කළමනාකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු  පසුගියදා 12 දා කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් නන්දන අමරසිංහ මහතාට දැනුම්  දෙන ලදී.

පොලිසිය පෙර නඩු දිනයේදී අධිකරණයට ඉදිරිපත් කළ කරුණු දැක්වීම සනාථ කිරීම සඳහා පැමිණිල්ලේ සාක්‍ෂිකරුවන් ලෙස එම හෝටල් කළමනාකරුවන් නම්කොට තිබිණි.

පොලිසියට එවැනි ආකාරයේ ප්‍රකාශ ලබානොදුන් බවට හා පොලිසිය අධිකරණයට අසත්‍ය කරුණු වාර්තා කළ බව සනාථ කිරීම සඳහා දිවුරුම් ප්‍රකාශ ඉදිරිපත් කරමින් එම කළමනාකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ උපුල් කුමාරප්පෙරුම සහ අමිල පල්ලියගේ යන මහත්වරු එලෙස අධිකරණයේ කියා සිටියහ.

පොලිසිය විසින් ගෝටා ගෝ ගමෙහි විරෝධතාකරුවන් ඉවත් කිරීමට අධිකරණයට ව්‍යාජ සාක්ෂි ඉදිරිපත් කරන ලද බව මෙමගින් පෙනී යයි. අධිකරණය නොමඟ යැවීමට තැත් කිරීම දඩුවම් ලැබිය හැකි වරදකි.

ජනාධිපති ලේකම් කාර්යාලයේ පිවිසුම් දොරටුවලින් විරෝධතාකරුවන් ඉවත් කිරීමට නියෝගයක් කරන්නැයි පසුගිය 6 වැනිදා පොලිසිය විසින් කළ ඉල්ලීම සම්බන්ධයෙන් තවදුරටත් කරුණු අධ්‍යයනය කර නීතිපති දෙපාර්තමේන්තුවේ නීතිඥවරයකු මගින් කරුණු දැක්වීමට දින ලබාදෙන ලෙස පොලිසිය වෙනුවෙන් පෙනී සිටි සහකාර පොලිස් අධිකාරිවරයා එදින  අධිකරණයෙන් ඉල්ලීමක් කරන ලදී.

එම විරෝධතාවට මේ වනවිට සති 4 ක කාලයක් ඉක්ම ගොස් ඇති බැවින් එම ඉල්ලීම කඩිනමින් සිදුකිරීමේ අවශ්‍යතාවක් ඇති දැයි එහිදී පොලිසියෙන් විමසූ ප්‍රධාන මහෙස්ත්‍රාත් නන්දන අමරසිංහ මහතා සෙසු පාර්ශ්වවලට ද දැනුම් දී මාසයක කාලයක් ඇතුළත මෝසමක් මගින් අධිකරණයට කරුණු වාර්තා කරන ලෙසට පොලිසියට නියෝග කොට ලබන ජුනි 13 වැනිදා එම නඩුව යළි කැඳවීමට නියෝග කළේය.

පොලිසිය අධිකරණය නොමඟ යැවීමට ගන්නා ලද උත්සාහය පැහැදිළිවම දේශපාලන තීරණයකි.  මෙම දේශපාලන තීරණය මත විරෝධතාකරුවන් ඉවත් කිරීමට උත්සාහ කළ පොලිස් නිලධාරීන්ට විරුද්ධව නිසි පියවර ගැනිමට ගෝටා – රනිල් ආණ්ඩුවට හැකිද?.

ගෝටා ගෝ ගමට ගිනි තියා ජය සමරණ රාජපක්ෂ  මැරයෙක්

අභියෝගය 03

පසුගිය 14වන සෙනසුරාදා ජනාධිපති රාජපක්ෂ සිය පක්ෂයේ මංත්‍රීවරු සාකච්ඡාවකට කැදවූහ. එහි පැමිණි පෙහොට්ටු මැංත්‍රීවරු තමන්ගේ නිවෙස් ගිනි තියත්දී කිසිදු පියවරක් නොගත් බවට පොලිස්පතිය දරුණු චෝදනා එල්ල කළහ. මේ අවස්ථාවේදී ගෝටා කර කියාගත හැකි දෙයක් නොමැතිව පොලිස්පති මෙම දේශපාලන රැස්වීමට කැඳවූයේය. එයම වරදකි.

පොලිස්‌පති වික්‍රමරත්න පැමිණ වහාම ප්‍රතිප්‍රහාරයක් එල්ල කළේය. ඔහු කීවේ පොලිස් පත්වීම්වලට දේශපාලන මැදිහත්වීම් නිසා නීතිය හා සාමය බිඳවැටීමක් සිදුවිය හැකි බවට මාස තුනකට පෙර තමා රජයට අනතුරු ඇඟවූ බවයි.

පොලිස් ස්ථාන භාර නිලධාරීන් සහ අනෙකුත් ඉහළ තනතුරුවල ස්ථාන මාරුවීම් සෘජු දේශපාලන මැදිහත්වීම් යටතේ සිදු කර තිබු බව පොලිස්පතිවරයා පිළි ගත්තේය.

මෙළෙස පොලිසියට අත පෙවීමට පොහොට්ටු දේශපාලනඥයින්ට ඉඩ ලැබුනේ 19 වන සංසෝධනය ඉවත් කර පොලිස් කොමිසමේ බලය බිද රාජපක්ෂ දේශපාලන හෙංචයියකු වූ  හිටපු පොලිස්පති වන්ද්‍රා ප්‍රනාන්දු ඊට පත් කිරීම නිසාය.

එවැනි එක් දේශපාලන පත්වීමක් වූයේ කෑගල්ල කොට්ඨාශ ප්‍රධානියා ලෙස ජ්‍යෙෂ්ඨ  පොලිස් අධිකාරී .බී. කීර්තිරත්න පත්කිරීමය. ඔහු සෑම විටම බීමතින් සිටි නිලධාරියෙකි. පසුගිය මාසයේ රඹුක්කන ප්‍රදේශයේ උද්ඝෝෂකයෙකුට වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ අධිකාරී කීර්තිරත්න රක්ෂිත බන්ධනාගාරගතව සිටියි.

විනය පියවරක් ලෙස  කෑගල්ලෙන්  පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානයට  මාරු කර කිසිදු වගකීමකින් නොදී සිටි ඔහු යළි කැගල්ලටම පත් කරන ලද්දේ   ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයකුගේ උවමනාව මත බව පොලිස්පති කියා සිටියේය.

ගාලු පොලිසියේ ප්‍රධානියා ලෙස පත් නර ලද්දේ හිටපු ඇමැති රොමේශ් පතිරණට අවශ්‍ය වු අයකු බවත් එම නිලධාරියාට තම දේශපාලන ස්වාමියා වූ පතිරණ ගේ නිවස බේරා දීමට බැරි වූ බවත් පොලිස්පති කියා තිබේ.

දිවයින පුරා පිහිටි පොලිස් ස්ථාන භාර නිලධාරීන් සියලු දෙනාම පාහේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රාදේශීය දේශපාලනඥයින් විසින් තෝරා ගන්නා ලද ප්‍රධාන පරීක්ෂකවරුන් බවත් පොලිස්පතිවරයා කීවේය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන්ට  තම ප්‍රදේශයේ පොලිස් ස්ථානවල ප්‍රධානියා වීමට අකාර්යක්ෂම, නමුත් විශ්වාසවන්ත නිලධාරීන් පත් කර ගැනීමට අවශ්‍ය වී තිබුණේ නීතියේ ආධිපත්‍ය වෙනුවට මංත්‍රී ආධිපත්‍ය පවත්වා ගෙන යාමටය.

අනෙකුත් ප්‍රභූවරුන්ගේ ආරක්ෂාවට හමුදාව යොදවා නොමැති විට ජනාධිපතිවරයාගේ පෞද්ගලික ශාස්තෘවරිය වන ඥානා අක්කාගේ ආරක්සාවට හමුදා සෙබලුන් 150ක් යෙදවුයේ කෙසේදැයි මන්ත්‍රීවරු ජනාධිපතිවරයාගෙන් විමසා සිට තිබේ.

එයද තනිකරම දේශපාලන පියවරකි.

මෙම අනීතික දේශපාලන අතපෙවීම්වලට ඉඩ හැරීම පිිළිබඳව පොලිස්පති වික්‍රමරත්නට සහ පොලිස් කොමිසමේ සභාපති වන්ද්‍රා ප්‍රනාන්දුට පියවර ගැනීමට ගෝටා-රනිල් ආණ්ඩුවට හැකිද?

ඥණක්කා නම් සිවිල් අයකුට හමුදා සෙබළුන් 150ක ආරක්සාවක් ලබා දෙන ලද්දේ කවරකුගේ උවමනාව පිට දැයි පරීක්ෂා කර නිසි පියවර ගැනීමට ගෝටා-රනිල් ආණ්ඩුවට හැකිද?

ජනාධිපතිට දවස් 30කින් ඉවත් කරන්න බැරි වූ ගෝටා ගෝ ගම විනඩි 30කින් ඉවත් කිරීමට මැරයින් උසි ගැන් වූ   ජොන්ස්ටන්

අභියෝගය 04

පසුගියදා මානව හිමිකම් කොමිසම හමුවේ සිය නිදහස පිනිස කරුණූ දැක් වූ පොලිස්පති වික්‍රමරත්න සහ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකොන් කියා ඇත්තේ  අරලියගහ මන්දිරයෙන් පිටවන අයට කඳුළු ගෑස් හෝ ජල ප්‍රහාරයක් එල්ල නොකරන ලෙසට අමාත්‍යාංශ මට්ටමින් පොලිසියට නියෝග ලැබී තිබූ බවයි.  “ජනාධිපතිතුමාට දින 30කින් ඒක ඉවත් කරන්න බැරි වුණා, නමුත් අපිට විනාඩි 30කින් පුළුවන්” යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධානියකු වූ ජොන්ස්ටන් ප්‍රනාන්දු කොළඹින් පිටත සිට බස්රථ ගෙන ආ 3,000ක පිරිසට පවසා තිබුණි.

මෙම පිරිස අරලිය ගහ මන්දිරයට ඇතුල්වන විට ඔවුන් අත පොලු මුගුරු තිබුණේ නැත.එසේ නමුත් ඔවුන් ඉන් එළියට ආවේ පොලු මුගුරු සහ යකඩ පොලු ඇතිවය. ඉන් පැහැදිලිවම පෙනෙන්නේ අගමැති නිල නිවසේ දී මෙම පිරිස් සන්නද්ධ කළ බවයි.

ගෝටා- රනිල් ආණ්ඩුවට සහය දෙන බව කියා සිටිව විමල් වීරවංශ ප්‍රසිද්ධ මාධ්‍ය සාකච්ජාවක් පවත්වා මෙම ප්‍රහරය සම්බන්ධයෙන් හිටපු ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු වග කිය යුතු බවත් ඔහු අත්අඩංඟුවට ගත යුතු බවත් කීවේය

නාමල් රජපක්ෂ ප්‍රහාරකයින් දිරිමත් කළ බවට සාක්ෂි තිබේ.

තමන්ගේ පිරිස  ගාලු මුව දොර පිටියට  නොපැණෙන බවත් ගොල්පේස් හෝටලය ළඟට පමණක් පැමිනෙන බවත් හිටපු ඇමැතිවරයකු වූ රෝහිත අබේගුණවර්ධන පොලිසියට කියා තිබූ බවත් ඔව්හු මානව හිමිකම් කොමිසමට කියා තිබේ. එයද පොලිසිය නෙමඟ යැවීමට දරන ලද උත්සාහයකි.

අරලිය ගහ මන්දිරයේ සිට පැමිණෙන ප්‍රහාරකයින් නතර කරන සේ ජනාධිපති රාජපක්ෂ තමාට නියෝගකළ නමුත් පොලිස්පති වික්‍රමරත්න සහ නීතිය සහ සාමය පිළිබඳ අමාත්‍යාංශයේ ලේකම් ජෙනරල් ජගත් අල්විස් තමාට නියෝග කළ බව  නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු මානව හිමිකම් කොමිසමට ප්‍රකාශ කර තිබේ.

ගෝටා-රනිල් ආණ්ඩුවට මෙම ප්‍රහාරයට ඉඩ සැලීසීම සම්බන්ධයෙන් අරලිය ගහ මන්දිරයට එම පිරිස් කැදවා සන්නද්ධ කළ මහින්ද රාජපක්ෂ අත්අඩංඟුවට ගත හැකිද?

එම ප්‍රහාරයට ඉඩ සැලසූ කමල් ගුණරත්න සහ ජගත් අල්විස් අත්අඩංඟුවට ගත හැකිද?

දැන් ගෝටා-රනිල් ආණ්ඩුවට පොන්ස්ටන් අත්අඩංගුවට ගෙන නඩු පැවරිය හැකිද?

ප්‍රහාරකයින් දිරිමත් කල නාමල් සිරගත කිරීමට ගෝටා-රනිල් ආණ්ඩුවට හැකිද?

අභියෝගය 05

ගෝටා ගෝ ගමට පහර දීම පිලිබද පරීක්ෂණය බාර දී ඇත්තේ  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවටය ( සීඅයිඩීය). එහි ප්‍රධානියා වන්නේ නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්. තිලකරත්නය.

ගෝටා ජනපති වූ වහාම ගන්නා ලද පියවරක් වූයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමෙන්තුවෙහි ප්‍රධානී වූ නියොජ්‍ය පොලිස්පති රවි සෙනවිරත්න සහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ෂානි අබේසේකර මාරු කිරීමය. ඒ වෙනුවට පත් කරන ලද්දේ ඉහත කී තිලකරත්න නම් නිලධාරියාය. ඔහු පැමිණ වහාම කරන ලද්දේ සීඅයිඩි හි සේවය කළ නිලධාරීන් 760 දෙනෙකු රටින් පිටවීම තහනම් කිරීමයි. එය අනීතික පියවරකි. එම තහනම තවම එළෙසම පවතින  එම කිසිවකුට රට යෑම තවම තහනම්ය.

මෙම තිලකරත්න නම් නිලධාරියා අද දරණ නිලයට උසස් වූයේ විශේෂ උසස්වීම් 11ක් මහින්ද රාජපක්ෂ යටතේ ලබා ගැනීම මගිනි. එතරම් විශේෂ උසස් වීම් ලද කිසිදු පොලිස් නිලධාරියකු දෙපාරිතමෙන්තුවේම නැත. ඔහු වසර 15ත් මහින්ද රාජපක්ෂගේ පොලිස් ආරක්ෂාව බාරව සිටියේය.

රාජපක්ෂ මස්සිනා කෙනෙකු වන උදයාංග විරතුංගට පනවා තිබූ අන්තර් ජාතික රතු වරෙන්තුව ඉවත් කරන ලෙස ඉල්ලා අධිකරණයට ගියේ ඔහුය.

දැන් පොලිසිය ගෝටා ගෝ ගමට පහර දුන් පුද්ගලයින් ලෙස උද්ඝෝෂකයින්ගේ ජායාරුප ජනමාධ්‍ය වෙත යවා ඇතැයි ද තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය පොලිස්පතිවරයාට පැමිනිලි කර තිබේ. එහි අදහස වන්නේ උද්ඝෝෂනයේ යෙදී සිටින පිරිස් මර්දනය කිරීමක්ද යන ප්‍රශ්ණය එම සංගමය විමසයි.

දැන් ගෝටා ගෝ ගමට එලල් කරන ලද ප්‍රහාරය පිළිබඳ පොලිස් ස්ථාන 15ක් පමණ එක කරමින් සිටින සියලු තොරතුරු යන්නේ මෙම රාජපක්ෂවාදී පොලිස් නිලධාරියා වන තිලකරත්න අතටය. ඔහු එම තොරතුරු කා අතට පත් කරනු ඇත්දැයි දැන්නේ කව්ද?

ඔහු යටතේ මනුෂ්‍ය ඝාතන පිළිබද පරීක්ෂන බාරව සිටින්නේ වැලිකඩ සිරගෙදර ඝාතන සම්බන්දයෙන් මරණ දඩුවම ලද එමිල් රංජන් ළමාහේවා ගේ සහෝදරයා වන මෙරිල් රංජන් ළමාහේවාය. ඇවන්ගාඩ් නඩුවට ඉදිරිපත් කරන ලද ගිනි අවිවල අංක මැකි ගොස් තිබුණේ  එනිනෙක ගැටීමෙන් ස්වභාවිකව යැයි බොරු වාර්තාවක් දුන්නේ ඔහුය. එනිසා ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්ථමේන්තුවෙන් ඉවත් කර දඩුවම් මාරුවක් ලබා දී සිටියේය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පාලනය කරන තිලකරත්න නම් මෙම දේශපාලන නිලධාරියා ඉවත් කර එතැනට යලී රවි සෙනවිරත්න හෝ ෂානී අබේසේකර  හෝ වෙනත්  නිර්භීත සහ අපක්ෂපාතී නිලධාරියකු පත් කිරිමට ගෝටා- රනිල් ආණ්ඩුවට  හැකිද?

මෙම අභියෝග පහ බාර ගන්නා ලෙස රනිල් වික්‍රමසිංහගෙන් පමනක් නොව ඔහු වෙනුවෙන් පෙනී සිිටින රාජ්‍ය නොවන සංවිධාන ප්‍රධානීන්ට ද අප  කිව යුතුව තිබේ. මන්ද යත් රටක සුභ සිදිධිය රඳා පවතින්නේ නීතියේ ආධිපත්‍ය මත නිසාය.

සීනි හොරු. එතනෝල් හොරු, බංගලා හොරු,ඇවන්ගාඩ හොරු  මෙන්ම බැංකු හොරු යනාදීන්ට දඩුවම් නොදී ශ්‍රී ලංකාව යළි ගොඩ නැගිය නොහැකි නිසාය.

( මෙම ලිපිය සම්පාදන කිරීම සඳහා ලංකා ට්රුත්, ඉකොනොමි නෙක්ස්ට්, දිවයින යන මාධ්‍යයන්හි පළවූ තොරතුරු සහ තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය විසින් ඉදිරිපත් කර ඇති ලිපිවල තොරතුරුද උපයෝගී කර ගන්නා ලදී)

 

Archive

Latest news

Related news