Thursday, April 18, 2024

හදිසි නීතිය වහාම ඉවත්කර ගනු! පාර්ලිමේන්තුව රැස්කර තීන්දුවක් ගැනීමට අවස්ථාව දියයුතුයි – කරු ජයසූරිය, (NMSJ).

ඡායාරූපය: රාජපක්ෂ මර්දනය විදහා දක්වමින් නුවර පැවැති විරෝධතාවයක අවස්ථාවක්!

මැයි මස 06 වන දින සිට බලාත්මක වන ආකාරයට ජනාධිපතිවරයා විසින් රට තුළ හදිසි නීතිය පැනවීමට ක්‍රියාකිරීම මගින් රටේ උද්ගතව ඇති සමාජ ආර්ථික හා දේශපාලන අර්බුදයන් තවදුරටත් තීව්‍රකිරීමට හේතුවක් විය හැකිය. එමෙන්ම ජනතාවගේ කතා කිරීමේ, අදහස් පළකිරීමේ, සංවිධානය වීමේ හා රැස්වීමේ අයිතිය ඇතුළත් මූලික අයිතිවාසිකම් සීමා කිරීමට ගන්නා මෙම උත්සාහයට වගකීමක් සහිත සිවිල් සමාජ සංවිධානයක් ලෙස අප තරයේ ම විරෝධය පළකරන්නෙමු.

ජනාධිපතිවරයා විසින් පනවන ලද මෙම හදිසි නියෝග යුක්ති සහගත වන්නේ ද යන්න  අවධානයට ගනිමින් එය තවදුරටත් නීත්‍යානුකූල වන්නේ ද යන්න සලකා බැලීම පාර්ලිමේන්තුව සතු අත්හළ නොහැකි වගකීමකි. එබැවින් ඒ පිළිබඳව පූර්ණ විවාදයකින් පසු ඊට අනුග්‍රහය දෙන්නේ ද නැද්ද යන්න තීරණය කිරීමට පාර්ලිමේන්තුවට නොපමාවම අවස්ථාව සැලසිය යුතුය.එබැවින් මේ අවස්ථාවේදී සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අයත් පක්ෂ නායකයන්ගේ ප්‍රථම වගකීම වන්නේ වහාම පාර්ලිමේන්තුව කැඳවන ලෙස ගරු කතානායකතුමාගෙන් ඉල්ලා සිටීමය.

රට තුළ බලවත් අර්බුදයක් නිර්මාණය වී ඇති මෙවන් අවස්ථාවක ජනාධිපතිවරයා විසින් හදිසි නීති තත්ත්වයක් ප්‍රකාශයට පත්කිරීම මගින් ආණ්ඩුවට තම මර්දන යාන්ත්‍රණය ශක්තිමක් කිරීමට හැකි වෙතත් ඒ මගින් පවත්නා අර්බුදයට විසඳුමක් සපයාගත හැකි යැයි අප කිසිසේත්ම විශ්වාස නොකරන්නෙමු. ඒතුළ ප්‍රථමයෙන්ම අහිමි කරනු ඇත්තේ ජනතාවගේ නිදහස හා අයිතිවාසිකම්ය. ඒ අනුව රටේ ප්‍රජාතන්ත්‍රවාදය දුර්වල කිරීමට හේතු විය හැකි මෙවැනි නීති බලාත්මක කිරීම මගින් අන්තර්ජාතික ප්‍රජාව අප වෙතින් තවදුරටත් දුරස්වීමට හේතුවක් විය හැකි අතරම එවැනි තත්ත්වයක් රට තුළ උද්ගතව ඇති ආර්ථික අර්බුදයට විසඳුම් සපයා ගැනීමට ඇති හැකියාවද හීන කරනු ඇත. එවැනි පසුබිමක් මේ රටේ ආර්ථික අර්බුදය තව තවත් උග්‍රකරනු ඇති අතර එය මේ රටේ ජනතාව තව තවත් දරුණු පීඩාවන් වෙත තල්ලු කිරීමට ද හේතුවක් වනු ඇත.

එමෙන්ම රට තුළ පවත්නා දේශපාලන අර්බුදයට ඉක්මන් කඩිනම් විසඳුමක් ලබාගැනීම සඳහා අත්‍යාවශ්‍යයෙන්ම සිදු විය යුතු සර්ව පාක්ෂික එකඟත්වයක් කරා යොමුවීමට ද එය බරපතළ බාධකයක් වනු ඇත. එවන් පරිසරයක් නිර්මාණය වීම යනු රට වැටී ඇති ප්‍රපාතයෙහි ගැඹුර තව තවත් පුළුල් කරන්නක් විය හැකිය.

එබැවින් අප ඉතාමත්ම ඕනෑ කමකින් යුතුව ගරු ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින්නේ පනවා ඇති මෙම හදිසි නීති නියෝග වහාම අවලංගු කරන ලෙසටය. එය එසේ නොවන්නේ නම් ඒ පිළිබඳව වන පාර්ලිමේන්තු විවාදය ඉදිරි සතියේ ආරම්භයේදීම ලබා ගනිමින් එය තවදුරටත් නිත්‍යානුකූල කරන්නේ ද නැද්ද යන්න තීන්දු කිරීම සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වගකීමක් වන බැවින් වහාම ඒ සඳහා පෙනී සිටින ලෙසට ද අප මේ රටේ සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් ද ඉල්ලා සිටින්නෙමු.

කරු ජයසූරිය
සභාපති
සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය

Archive

Latest news

Related news