Sunday, November 24, 2024

මිරිහාන, රඹුක්කන, ඇනොනිමස්, බණ්ඩාරනායක ඇස් බැදීම සහ රාජ්‍ය දුෂ්-තොරතුරු ව්‍යාපෘතිය – සුනන්ද දේශප්‍රිය

යම් පුද්ගලයකු විසින්  ගාලු මුව දොර ඇති බණ්ඩාරනායක පිළිරුවේ ඇස් බැදීම  දෙස් විදෙස්    ක්‍රියාකාරින්ගේ සහ ක්‍රියාකාරිනියන් සුලුතරයකගේ මහත් ප්‍රසංසාවට ලක් විය.

සමහරකු එය පෙරළා දැමිය යුතු බව ද කීවේය.

එතැනම චෙල්වනායගම්ගේ පිළිරුවක් තිබුණේ නම්  බණ්ඩාරනායක පිළිරුවෙහි ඇස් බැදි පුද්ගලයා කුමක් කරනු ඇත්දැයි කවරකු හෝ විමසා තිබුණේ නැත.

නමුත් එදිනම රැයෙහි එම කලු රෙදි පට ගළවා විසි කර තිබුණි. ගෝටා ගෝ ගමෙහි කිසිවකු එය යළි බැදීමට ගියේ නැත.

එම ඇස් බැදීමෙන් අමන්දාන්දයට පත් වූ පිරිස් යළි එළෙස ඇස් බැදීමට ගියේත් නැත.

මෙම ක්‍රියාව හුදු ප්‍රදර්ශනකාමී ක්‍රියාවක් විය. විචාරකයින් විසින්  විමසිය යුතුව තිබුණේ එම ක්‍රියාව හරි හෝ වැරදි හෝ වේවා මෙම අවස්ථාවෙහි ගොඩ නැගිය යුතු පුළුල්තම සමගිය සඳහා වාසියක් ද අවාසියක්ද යන්නය. නහයට කෙලින් යන දේශපාලනයක් නැත.

රාජපක්ෂ මර්දන යන්ත්‍රය නිදි නැත.

රාජපක්ෂ දේශපාලනය යනු තමන්ට එදිරිව නැගෙන විරෝධතා හමුවේ කර බාගෙන සිටින එකක් නොවේ. එය සිය ප්‍රචාරකයින් මෙන්ම දහ දහස් ගණනින් යුතු ඔත්තු සේවා යොදවමින් කල් බලන්නේ විරෝධතා පරාජය කරන්නේ කෙසේදැයි බැලීමටය.

ඒ සදහා යොදා ගත හැකි ක්‍රම දෙකක් තිබේ.

එකක් අරගලය ප්‍රචණ්ඩත්වය කරා තල්ලු කිරීමය

අනෙක අරගලය තුළ බේද ඇති කොට එය දුර්වල කිරීමය.

මෙම පියවර දෙක සාර්ථක කර ගැනීමට රාජපක්ෂවරු සමත්වුව හොත් අරගලයට ඇති ජන සහයෝගය තුනී වි යනවා ඇත.

තවමත් සොයා ගත නොහැකි මිරිහාන බසයට ගිනී තැබූ පුද්ගලයා

මිරිහාන බස් රථයට ගිනි තැබීම සහ ගල් ගැසීමට ආ පිරිස ගැන කවුරුත් දනි. ආණ්ඩුවේ රාජ්‍ය අදිසි හස්ත එහිදී උත්සාහ කළේ ප්‍රචණ්ඩත්වය විරෝධතාවය පිට පටවා එයට විරුද්ධව ජන මතයක් ඇති කිරීමටය.

ඉන්පසුව රඹුක්කන සිදුවීමට යමු. එයත් එවැනිය. විරෝධතාකරුවන් පිටින් යැවීම පිනිස පොලිසිය ත්‍රි රෝද රථයකට ගිනි තිබ්බේය. තෙල් බවුසරයට ගිනි තැබීමද එවැනිම කෛරාටික උපායක් විය.

මේ අතර වාරයේ ඇනොනිමස් නම් රහසිගත හැකරුන් රාජපක්ෂවරුන්ගේ රහසිගත ධනය සොයා හෙළිදරව් කරන බවට සමාජ ජාල පුවත් වයිරස් සේ පැතිර ගියේය.

බොහෝ දෙනෙකු රැවටුණූ ඇනොනිමස් කතාව රාජපක්ස සමාගමේ දුශ්තොරතුරු කූටෝපායකි. එය පන්දහස් වාරයකට වඩා මුහුණූ පොතේ බෙදා ගෙන තිබේ.

ඇනොනිමස් හැකරුන් කිසිම පාලකයකුගේ රහසිගත ධනය හෙළි කර නැත. එවැනි හෙළි දරව් කිරීම් කර ඇත්තේ අන්තර් ජාතික ගවේශනාත්මක ජනමාධ්‍යවේදීන්ගේ ආයතන විසින් පමණි.

මෑතම උදාහරණය ඔස්ට්‍රේලියාවේ ෆෝ කොර්නස් නම් රූපවාහිනි වැඩසටහන රාජපක්ෂවාදී ව්‍යාපාරිකයකු ව න නිමල් පෙරේරා ඇතුළු සමාගම් ගණනාවක් ගැන කළ හෙළිදරව්වයි.

එනමුත්  විරෝධතාවයට සම්බන්ධ බොහෝ දෙනෙක් මෙම ඇනොනිමස් පුවත රස කර බාර ගත්හ. ජනප්‍රිය වෙබ් අඩවියක් වන ලංකා ඊ නිව්ස්හි එය පළ වූ බවට සකස් කළ පොස්ටුවක්ද වයිරස් විය. එය වෙඩ් අඩවියකින් ගත් බව පෙනෙන සේ කළ ව්‍යාජය පින්තූරයක් විය.  සමාජ ජාල පර්යේෂක විශේඥයකු පවා එය ඊ නිව්ස් පුවතක් ලෙස හෙළා දැක තිබුණේ එම වෙබ් සබැදිය ව්‍යාජ එකක් බව සොයා බලන්නේ නැතිවය.

පසුව එම ඇනොනිමස් නමින් රාජපක්ෂ ධනය යැයි පච කන්දරාවක් ප්‍රසිද්ධ කළේ ය. බොහෝ දෙනෙකු එම පච කන්දරාවද ප්‍රසිද්ධ කළෝ ය. පසුව එම “හෙළිදරව්ව” ව්‍යාජයක් බව කව්රුත් පිළිගත්හ.

මේ පිටුපස සිටියේද විරෝධතාවය අඩපණ කරන රාජපක්ෂ පච ප්‍රචාරක යන්ත්‍රය විය හැකි බවට සැකයක් තිබුණේ නැත.

රාජපක්ෂ කඳවුරේ යුද්ධ දේශපාලන දුශ් තොරතුරු  ව්‍යාපාරය

මෙම දේවල් සිදුවන්නේ අහම්බයෙන් නොවේ. යුද්ධ දේශපාලන ප්‍රචාරක ව්‍යාපාරයක කොටස් ලෙසය.

දැන් ඇස් බැදීමට එමු.

මේ ඇස් බැදීම  විරෝධතාකරුවන්ගේ සාමුහික තීරණයක් නොවීය. එවැනි තීරණයක් ගත් කිසිම කණ්ඩායමක් අරගල බිමේ නැත. එම ඇස් බැදීම සාධාරණ කරමින් අරගල බිමෙහි ආංශික නායකත්වයන් දරන කිසිවකු කතා කළේද නැත.

ඇස් බැදීම කරන ලද්දේ  මිටර හතරක් පමණ උස මෙම ප්‍රතිමාවේ ගෙලට වැටෙන සේ විශේෂ කඹයක් විසි කර එමගින් එහි නැග, තමා නො වැටෙන සේ කඹය සිය බඳ වටා සහ දෙකකුල් අතරින් විශේෂ ගැටයක් දමා ගැනීම මගිනි. එවැනි වික්‍රමයක් කළ හැක්කේ විශේෂ පුහුණුවක් ඇති අයකුට පමණක් බව අලුතෙන් කීමට දෙයක් නොවේ.

මෙම වික්‍රමය කරන ලද්දේ එක්ස් නම් (ඔහුගේ නම අප දන්නා නමුත් එය මෙම අවස්ථාවෙහි නොකියමු) අරගල බිමේ සිටින තරුණයකු විසින් බව ඔහුගේම සමාජ ජාල සටහන් පෙන්නුම් කරයි.

ඉහත ඡායාරූපය සහ සටහන ඔහු විසින් තබන ලද්දකි.

මෙම ඇස් බැදීම දිගටම පැවැතියේ නම් අරගල බිමෙහි බෙදීමක් ඇතිවීමට නියතවම ඉඩ තිබුණි. ආණ්ඩුවට අවශ්‍ය වී ඇත්තේ එය නොවේද?

ඔහුගේම සමාජ ජාල අනුව ඔහු යුද හමුදාවේ දෙපලකම සේවය කරයි! අරගල බිමෙහි ඔහුගේ කූඩාරමෙහි ඇත්තේ රතු කොඩියකි. ඔහු ජාතික කොඩිය වර්ගවාදී එකක් ලෙස හදුන්වයි. නමුත් සේවය කරන්නේ හමුදාවේය!

ඔහුගේ සමාජ ජාල සටහන් අනුව මෙම අරගලය පැන නැගීමට පෙර ඔහු කිසිදු දේශපාලන උනන්දුවක් දක්වා නැත. ඔහුගේ සමාජ පිටුවල ඇත්තේ තරුණියන් ගැන සහ තරුණියන්ගේ මිරිකීමට ඇති හොඳම තැන යනාදී දේය.

බණ්ඩාරනායක පිළිරුව කඩා බිඳ දැමිම විරෝධතාකරුවන්ගේ කාර්යක් විය යුතු බව කැනඩාවේ සිට පළ කැරෙන ටැමිල් ගාර්ඩියන් නම් වෙබ් අඩවියේ කතුවරියක විසින් ලියා තිබුණේ මෙම සිදුවීමට හරියටම දින පහකට පෙරය.  එය පැහැදිලිවම විරෝධතාවය ප්‍රචණ්ඩත්වයක් බවට පෙරළීමට දරන ලද උත්සාහයකි.

එම ලිපිය ගැන දයාසිරි ජයසේකර බණ්ඩාරනායක ප්‍රතිමාව ආරක්ෂා කරන්නැයි ඉල්ලා පොලිස්පතිට ලියූ ලිපියේද සදහන් කර තිබුණි.

ඇස් බැදීම සහ එම ලිපිය දැන හෝ නොදැන එකිනෙකට සම්බන්ධය.

#GoHomeGota එල්ටීටීඊ වැඩක්!

එපමණක් නොවේ.

#GoHomeGota යන හෑෂ් ටැගය යටතේ ප්‍රථමයෙන්ම  දීප ව්‍යාප්ත අරගලයක් ඇති වුයේ පසුගිය අප්‍රේල් 03දාය. එය කුඩුපට්ටම් කිරීමට රාජපක්ෂ පාලනය දරන ලද නිහීන උත්සාහය දැන් ඉතිහාසය බැවින් අලුතෙන් ලිවීමට අවශ්‍ය නැත. එදා එම අරගලය අසාර්ථක වී රාජපක්ෂවරු ජය ගත්තේ නම් ගෝටා ගමෙහි අද සිදු වන මෙම අරගලය පැන නොනගින්නට හොඳටම ඉඩ තිබුණි.

ඇස් බැදීමේ වීරයා සිටියේ අප්‍රේල් 03දා අරගලය පරාජය කිරීමටය!

මේ ඇස් බැදීමේ වීරයා එදින සිටියේ කොහිද? ඔහු එම අරගලයට විරුද්ධව ප්‍රචාරයක් ගෙන ගියේය. ඊට සම්බන්ධ නොවන ලෙස ඉල්ලා සිටියේය. ඔහුගේ සමාජ ජාල විස්තරය සැබෑ නම් ඔහු එදින ඉන්නට ඇත්තේ යුද හමුදා සේවයේය.

ජවිපෙ සහ පෙරටුගාමීන් පිරිස් ගැන ඔහු මෙසේ කියයි.

 

එපමණක් ද නොවේ.

තව ටිකක් ඇතට ගොස් බලමු. ඔහු විසින් මෙයට මසකට පෙර එනම් මාර්තු 26දා තබන ලද සටහන ඇස් වැසීමෙන් අන්ධ වු අයගේ ඇස් පාදා ගැනීමට උදව් වන්න‍ට ඉඩ තිබේ.

ඇස් බැදීම ගෝඨාභය “වීරයා” වෙනුවෙන් 

එම සටහන සම්පූර්ණයෙන්ම ගෝඨාභය රාජපක්ෂගේ යුද “වීරත්වය” වර්ණනා කරමින් ලියන ලද්දකි. එහි එන එක් කොටසක් මෙසේය:

“..ඉන් පලාගිය ත්‍රස්තවාදීන්ද කයිට්ස් දූපතට යාම හේතුවෙන් ගෝටාභය රාජපක්ෂ නැතිනම් කතාවේ වීරයාට තත්වය එතරම් පහසු නොවීය… හේ සතුව සෙබලුන් 400ක් සිටියද එල්ටීටීඊයේ බ්‍රිගේඩියර් බල්රාජ් සතුව කාඩර් වරුන් 900 ක් කර්නල් තීපන් සතුව 200 ට වඩා ප්‍රමාණයක් සිට තිබින… අගෝස්තු 23න් වනදා වන විට ගෝටාභය රාජපක්ෂ මහතාගේ බල ඇණිය වෙත එල්ටීටීඊය බරපතළ කාලතුවක්කු ප්‍රහාර එල්ල කල අතර ඒ අතරම බේබි මෝටාර්ද පතිත කරවනා ලදි..

මෙහිදී එල්ටීටීඊය නිපැදවූ බේබි මෝටාර් සහ පන්ඩිතර් මෝටාර් අපගේ වීරෝධාර හමුදාවන්ට දැඩි හානි ගෙන දුන් අතර යුධ මූලස්ථානයෙන් “ගෝඨාභය අමාරු නම් ඔයා පස්සට යන්න” යැයි කීවේ මේ නිසාය… එදාද කල ගුණ නොදත් එල්ටීටීඊ හිතවත්තු go gota go home ලෙස කියන්නට ඇත. නමුදු මෙම අපරිමාණ ශූර නායකයා කිසි විටෙකත් ඉදිරියට තැබූ පය පස්සට ගත්තේද නැත… පසුවද … ගෝටාභය රාජපක්ෂ දෙසට දැඩි ප්‍රහාර එල්ල කිරීමට පටන් ගත් අතර අරුණලු නැගෙන උදයේ පතිත වූ එම කාලතුවක්කු ප්‍රහාර වලින්ද ඔහු සැලුනේ නැත.”

මෙයට මසකට පෙර go gota go home කීවේ එල්ටීටීඊ හිතවතුන් බව ප්‍රසිද්ධියේ  කියූ මෙම පුද්ගලයා දැන් ඇස් බැදීමේ වීරයා බවට පත්ව තිබේ.

03 වන දිනට කැඳවූ ප්‍රථම විරෝධතාවය පරාජය කිරීමට උත්සාහ කළ, එම විරෝධතා එල්ටීටීඊ හිතවතුන්ගේ යැයි කියමින් gota go home ව්‍යාපාරයට පිළිතුර දුන් හමුදා සේවකයා දැන් අරගල බිමේ වීරයෙක් වූයේ මන්දැයි සොයා නොබැලිය යුතුද?

පාස්කු ඉරිදා ප්‍රහාරයේ රාජපක්ෂ භූමිකාව දන්නා අප දැන් මෙවැනි වීරයින් ගැන සැලකිලිමත් විය යුතු නැත්ද? පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ කරන ලද ගවේශනයන් පෙන්වන්නේ රාජ්‍ය බුද්ධි සේවය කොතරම් දුරට සහරාන් කණ්ඩායම සමඟ සම්බන්ධ වී සිටියේ ද යන්නයි. රාජ්‍ය බුද්ධි සේවය කාත්තන්කුඩියෙහි ජනමාධ්‍යවේදීන්  ලවා වෙබ් අඩවි දෙකක් පවා පවත්වා ගෙන ගියේය.

අරගල බිම තුල පැතිරුණු රජය විසින් පවත්වා ගෙන යන බුද්ධි සේවා ජාලයක් නැතැයි විශ්වාස කළ හැක්කේ දේශපාලනය නොදන්නා අයෙකුට පමණය. මුල් දිනවල හිටපු යුද හමුදා ජෙනරල්වරයකු පවා එහි කූඩාරමක් අටවා ගෙන සිටියේය.

එපමණක් ද නොවේ.

 

මැයි 01දා මෙම පුද්ගලයා යෝජනා කර ඇත්තේ “ අරලිය ගහ මන්දිරය වටලා එහි ජලය සහ එහි ආහාර සැපයුම නතර කළ යුතු බවටය.

ඊට පෙර ඔහු බස් වලට පහර දිය යුතු බවට ලීවේය.

මෙම අදහස් දෙකම මගින් උත්සාහ කරන්නේ අරගලය ප්‍රචණ්ඩත්වය දෙසට තල්ලු කිරීමටය.

සාමාන්‍ය පුද්ගලයින්ගේ සමාජ ජාල පවා අකුරක් නෑර නිරීක්ෂණය කරන බුද්ධි අංශ මෙම යුද්ධ හමුදා සේවකයා ගැන දන්නේ නැතුවාද?

අරගලය බිඳ වීමට මෙන්ම එය ප්‍රචණ්ඩත්වය කරා යොමු කීරීමට යුද හමුදාවේ සේවය කරන බව කියන පුද්ගලයකු කියන විට ඊට අත්පුඩි තලන පිරිස් දෙවරක් සිතිය යුතු නැත්ද?

මේ ඉන්නේ ඇස් බැදීමේ වීරයාය

අවසාන වශයෙන් කිව යුත්තේ සටනක් ජය ගැනීමට නම් තමාත් දැනගන්න; සතුාත් දැන ගන්න යන චීර ප්‍රසිද්ධ කියමනය. ‌

(මෙම ලිපියේ සඳහන් සියලු කරුණු වලට අදාළ දත්ත ලේඛකයා සතුව තිබේ)

පසු සටහන.

Ramindu Lakkhika Perera විසින් පේස් බුක්හි තබන ලද සටහනකි.

බණ්ඩාරනායක පිලිමයේ ‘ඇස්’ වැසීම

බණ්ඩාරනායක යුගය යනු සිංහල රාජ්‍ය භාෂා පනත පමණක් නොවේ. 1956 යනු ‘පොදුජනයා’ පිලිබඳ අදහස – සියලු සීමාසහිතකම් සහිතව වුව – දේශපාලන පොදු වහර තුල ස්ථාපිත වූ අවස්ථාවයි. 1956 දී ‘බමුණු කුලය බිඳ වැටීම’ පටන් ගත් බව මාර්ටින් වික්‍රමසිංහ ලීවේ නිකම් නොවේ.

බණ්ඩාරනායක යුගය යනු අඳ ගොවි අයිතිය තහවුරු කල කුඹුරු පනතේ යුගයයි. හාම්පුතුන්ට කැමති ලෙසට සේවකයන් සේවයෙන් පහ කිරීම පාලනය කිරීම සඳහා කම්කරු විනිශ්චය සභා ඇති කල, සේවක අර්ථ සාධක අරමුදල ස්ථාපිත කල යුගයයි. බස් ජනසතු කල යුගයයි. වරාය ජනසතු කල යුගයයි. බ්‍රිතාන්‍යයන් සතුව වූ ත්‍රිකුණාමලයේ නාවික හමුදා කඳවුර යලි ලංකාවට පවරා ගත් යුගයයි. මැයි පලමු දින රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කල යුගයයි. එතෙක් වූ එ.ජා.ප ආණ්ඩු විසින් ප්‍රතික්ෂේප කල සෝවියට් රුසියාව හා චීනය බඳු සමාජවාදී රටවල් සමග රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පටන් ගත් යුගයයි. එතෙක් අනුගමනය කල පරායක්ත යටත්විජිත ආර්ථික ප්‍රතිපත්තියෙන් ඛණ්ඩනය වීමක් සලකුණු කරමින්, ස්වාධීන කාර්මික සංවර්ධනයක් සඳහා අඩිතාලම දමන්ට උත්සාහ ගත් යුගයයි. සමකාලීන පශ්චාත් යටත් විජිත තුන්වන ලෝකයේ නායකයන් වූ නේරු, අබ්දුල් ගමල් නසර්, සුකර්නෝ ආදීන් අනුගමනය කල සමාජ ආර්ථික ප්‍රතිපත්තිය අඩු වැඩි ලෙස ලංකාව තුල නියෝජනය වූයේ බණ්ඩාරනායක හරහාය.

මේ ක්‍රියාමාර්ගවල කවර සීමාකම් තිබුණත්, ස්වාධීන පශ්චාත්-යටත් විජිත සංවර්ධනයක් ඇති කිරීමේ දිශාවට යොමු වී තිබීමේ අරුතින් සමාජ හා ආර්ථික වශයෙන් ගත්කල මේ ප්‍රතිපත්තිවල ප්‍රගතිශීලී අන්තර්ගතයක් පැවතුණි. දෙමල ජනයාට එරෙහිව 1956 දී කල ඓතිහාසික අසාධාරණයට දැඩි ලෙස විරුද්ධකම් පෑ එකල සිටි වාමාංශිකයන් ; ‘භාෂා දෙකක් නම් එක රටක්, එක භාෂාවක් නම් රටවල් දෙකක්’ යැයි පැවැසූ කොල්වින් ආර් ද සිල්වා, ‘අප දේශපාලන මරු කතරට ගියත් සිංහල-දෙමළ භාෂාවල සම අයිතිය වෙනුවෙන් සටන් කරන’ බව පැවැසූ එන්.එම්.පෙරේරා, ‘යටත් විජිත ස්වාමියාගේ භාෂාවෙන් නිදහස ලබන ස්වර්ණමය දිනයක් විය යුතු දවස, සිංහල පමණක් රජ බස කිරීම නිසා අන්ධකාර දිනයක් බවට බණ්ඩාරනායක විසින් පත් කල බව’ කියූ එඩ්මන්ඩ් සමරක්කොඩි ආදීන්ට මෙම ප්‍රගතිශීලී පැතිකඩ පිලිබඳ අවබෝධයක් විය. 1956 පිලිබඳ විශ්ලේෂණය කරන විට, ‘සිංහල පමණයි’ පිලිවෙත ගැන දැඩි ලෙස විවේචනාත්මක වන ගමන් පවා, සරලමතික ලෙස එය බැහැර කිරීමට ඔවුන් කටයුතු නොකලේ එබැවිනි.

අප අයිති වන්නේ මේ කිසිදු දෙයක් ගැන අදහසක් නොමැති, පශ්චාත්-1977 පරම්පරාවටය. අපගේ ‘පියා’ ජේ.ආර්. ජයවර්ධනය. බණ්ඩාරනායකට සාපේක්ෂව විසකුරු ලෙස දෙමල විරෝධී ප්‍රතිපත්තියක් අනුගමනය කලා වුවද, විවෘත ආර්ථිකය රටට හඳුන්වා දුන් නිසා අපි ජේ.ආර්. ට සමාව දෙන්නෙමු.  අපි හැමෝටම චතුර ලෙස ඉංග්‍රීසි කථා කරගත නොහැකි වී තිබෙන්නේ බණ්ඩාරනායක නම් දුෂ්ටයා නිසා යැයි සිතන්නෙමු.

බණ්ඩාරනායකගේ ඓතිහාසික සීමාව ජාතික ස්වාධීනත්වය සමග ජාතික එක්සත්කම සම්බන්ධ වන හැටි අවස්ථාවාදී ලෙස නොතකා හැරීමය. ඒ සඳහා හේ දොස් ලැබිය යුතුය. හැබැයි ඔහුගේ පිලිමයේ දෑස් කලු පටියෙන් වැසීම නම්, සංකීර්ණ ඉතිහාසයක් අතිශය සිල්ලර ලෙස සරලකරණය කිරීමක් බව නම් නොකියා බැරිය.

Archive

Latest news

Related news