Friday, March 29, 2024

ඖෂධ හිඟය: “ඉදිරි සති හය අතිශය අමාරු, භයානක, තීරණාමක කාලයක්”

ඡායරූපය: මේ වන විට ශ්‍රී ලංකාව ඉතාම දරුණු සෞඛ්‍යමය ඛේදවාචකයක් කරා ඇදී යමින් සිටින්නේය. ඒ, රෝහල්වලට අවශ්‍ය ඖෂධ හිඟවීම හේතුවෙනි. ( ඡායාරූප මූලාශ්‍රය,GETTY IMAGES/බීබීසී සිංහල)

“ඉදිරි සති හය අතිශය අමාරු, භයානක, තීරණාමක කාලයක්,” ඖෂධ හිඟය පිළිබඳව BBCය සමග අදහස් දක්වමින් රජයේ ඖෂධවේදීන්ගේ සංගමයේ සභාපති අජිත් තිලකරත්න ප්‍රකාශ කළේ ය.

ඔහු කියා සිටියේ දිවයින පුරා රෝහල්වල අත්‍යාවශ්‍ය හා ජීවිතාරක්ෂක ඖෂධ හා ශල්‍ය ද්‍රව්‍ය ආදියෙහි හිඟයක් පැවතීම හේතුවෙන් රෝගීන්ට දැඩි අපහසුතාවන්ට පත්වීමට සිදුව ඇති බව යි.

“කාටහරි හාර්ට් ඇටෑක් එකක් හැදුනොත් ප්‍රතිකාර කරන්න අවශ්‍ය බෙහෙත් ප්‍රමාණයක් තියෙනවා. ඒ බෙහෙත් නැහැ. පිස්සු බල්ලෙක් කෑවොත් එහෙම ජලභීතිකා රෝගය හැදෙන එක වළක්වන්න බෙහෙත් නැහැ. ඒ වගේ ඇත්තට ඖෂධ ප්‍රමාණයක් නැහැ. ඒක තීරණාත්මකව බලපානව රෝගී සත්කාර සේවාවට,” ඖෂධවේදී තිලකරත්න පවසා සිටියේ ය.

ඖෂධ හිඟය

ඡායාරූප මූලාශ්‍රය,GETTY IMAGES

“ඒ වගේම ශල්‍ය උපකරණ ප්‍රමාණයකුත් ඒ විදිහටම තියෙනවා හිඟව. ශල්‍යාගාරයක ශල්‍යකර්මයක් කරනකොට පුංචි නූල් කෑල්ලේ, ඉදිකට්ටෙ ඉඳලා සැලකිය යුතු උපකරණ හා ද්‍රව්‍ය ප්‍රමාණයක් අවශ්‍යය යි. අනෙක් ඔක්කොම තිබිලා නූල් කෑල්ල නැත්නම් ඒක කරන්න බැහැ. ඕපන් කරාට පස්සේ මහන්න බැහැ. ඉදිකට්ට නැත්නම් බැහැ. එහෙම ද්‍රව්‍ය ප්‍රමාණයකුත් අඩු යි,” ඔහු අනාවරණය කළේ ය.

ඖෂධ වර්ග 525ක, ශල්‍ය ද්‍රව්‍ය 5376ක තොග අවසන්

දිවයින පුරා සියලු රෝහල් සහ සෞඛ්‍ය ආයතන තුළ 50%ක පමණ ඖෂධ හිඟයක් පවතින බව රජයේ ඖෂධවේදීන්ගේ සංගමය අනාවරණය කළේ ය.

ඖෂධවේදී තිලකරත්න ප්‍රකාශකර සිටියේ රෝහල්වල තිබිය යුතු අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 239ක් හා ජීවිතාරක්ෂක ඖෂධ 6ක්, අත්‍යවශ්‍ය ශල්‍ය උපකරණ 2721ක් මේ වන විට නොමැතිබව යි.

සෞඛ්‍ය අමාත්‍යංශයේ සැපයුම් අංශය තුළ ඖෂධ වර්ග 1358ක් තිබිය යුතු වන අතර, ඉන් 525ක් මේ වන විට වෛද්‍ය සැපයුම් අංශය තුළ නොමැති බව ද ඔහු සඳහන් කළේ ය.

රෝහල්වල පැවතිය යුතු ශල්‍ය ද්‍රව්‍ය වර්ග 8553න් මේ වන විට 5376ක තොග අවසන්ව ඇති බව ද පවසන තිලකරත්න තව දුරටත් පවසා සිටියේ, මේ හේතුවෙන් රෝහල් ප්‍රතිකාර සේවා පවත්වාගෙන යාම ඉතා අපහසු තත්ත්වයකට පත්ව ඇති බව ය.

ඖෂධ හිඟය

හෘද රෝගීන්, පිළිකා රෝගීන් හා, වකුගඩු රෝගීන්ගේ අත්‍යවශ්‍ය ඖෂධ වර්ග ද හිඟයක් පවතින බව අජිත් තිලකරත්න පවසයි. එම හේතුවෙන් කොන්දේසි රහිතව රෝගීන්ට අවශ්‍ය ඖෂධ ලබා ගැනීම සඳහා අවශ්‍ය මැදිහත්වීම සිදු කිරීමට සූදානම් බව ද රජයේ ඖෂධවේදීන්ගේ සංගමය විසින් රජයට දන්වා සිටින බව ඔහු ප්‍රකාශ කළේ ය.

“ඉදිරි සති හය අතිශය අමාරු, භයානක, තීරණාමක කාලයක්. ඖෂධ නොමැතිවීම නිසා රෝගීන් කවුරුවත් මිය ගිහිල්ලා නැහැ. ඉස්සරහට හැබැයි ඉඩ තියෙනවා. විශාල ඉඩකඩක් තියෙනවා.”

“තෙල් නැතිවුණොත් වාහනේ නවතිනවා. ඖෂධ නැතිවුණොත් හදවත නවතිනවා. ඔය දෙක සමාන නැහැනේ,” අජිත් තිලකරත්න කියා සිටියේ ය.

“මේක සෞඛ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහත්තයාගේ ප්‍රශ්නයක් නෙමෙයි. ආණ්ඩුව විසින් ගන්න ඕන වේලාවට ඒ තීරණ ගත්තේ නැහැ. අපි මේ මාස හතරක් තිස්සේ මේ කතාව කියනවා LC ඕපන් කරන එක කඩිනමින් පටන් ගන්න කියලා. නමුත් ඒක කළේ නැහැ. ඒකේ සම්පූර්ණ වගකීම ජනාධිපතිවරයා, මුදල් අමාත්‍යවරයා, අග්‍රාමාත්‍යවරයා ඇතුළු කණ්ඩායම භාරගන්න ඕනේ,” ඔහු BBCය හා පවසා සිටියේ ය.

මෙම තත්ත්වය තම සීමාවන්ගෙන් පිටතටගොස් ඇති බැවින් ඉදිරියේ දී රෝහල් පද්ධතිය කඩා වැටෙනු ඇති අතර, අසරණ රෝගීන් ඖෂධ නොමැතිකම හේතුවෙන් අන්ත අසරණ තත්ත්වයට පත්වුණු ඇතැ යි රජයේ ඖෂධවේදීන්ගේ සංගමය පවසයි.

ඖෂධ හිඟය

ඡායාරූප මූලාශ්‍රය,LUTHINAN KETTU UPALI/FB

වහාම විසඳුම් ලබා දෙන්න!

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම වෛද්‍ය ආයතනය වන ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය වත්මන් තත්ත්වය පිළිබඳව දැඩි කනස්සල්ල පළ කරන අතර, වහාම ඊට විසඳුම් ලබාදීමේ අවශ්‍යතාව අවධාරණය කළේ ය.

නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය පවසන්නේ, ශ්‍රී ලංකාව මේ වන විට මුහුණදෙමින් සිටින්නේ නිදහසින් පසු උදාවූ අයහපත්ම ආර්ථික හා දේශපාලනික අර්බුදකාරී තත්ත්වයකට බව යි.

එය රට බංකොලොත්වීමට ආසන්න තත්ත්වයකට ඇදදමා ඇති බව ද සංගමය පෙන්වා දෙයි.

මෙම විනාශයට මූලික හේතුව පසුගිය දශක ගණනාවක් පුරා විධායකය ඇතුළු දේශපාලන ධුරාවලියේ සියලුම මට්ටම්, පාර්ලිමේන්තුවේ දුර්වල පාලනය, වැරදි කළමනාකරණය, දැවැන්ත දූෂණය, සහ වගකීම් නොගැනීම බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය ප්‍රකාශ කළේ ය.

වත්මන් අර්බුදය රටේ සෞඛ්‍ය සේවා පද්ධතියේ මට්ටම් තුනේම ක්‍රියාකාරිත්වයට දැඩි සේ ලෙස බලපානු ඇතැ යි ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය පෙන්වා දෙයි.

මෙහි බරපතලම ගැටලුව වන්නේ ඖෂධ, එන්නත්, සහ අනෙකුත් අත්‍යවශ්‍ය උපකරණ හිඟකම බව ප්‍රකාශ කරන එම සංගමය, ශ්‍රී ලංකාවේ පුරවැසියන්ගේ රෝගාබාධ සහ මරණ වැඩිවීමට මින් වැඩි ඉඩක් ඇති බව ද අවධාරණය කළේ ය.

ඉදිරි මාස තුනේ සැලකිය යුතු ඖෂධ හිඟයක්

මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන පවසා සිටින්නේ, ඖෂධ ගෙන්වීම සඳහා වූ ණයවර ලිපි නිකුත් කිරීමේ ප්‍රමාදයක් සිදුවීම හේතුවෙන් ඖෂධ මෙරටට පැමිණීමේ ප්‍රමාදයක් සිදුවිය හැකි බවකි.

මේ හේතුවෙන් ඇතැම් ඖෂධ ආනයනයට දින 90ක් දක්වා ප්‍රමාද විය හැකි බවත්, ඉදිරි තෙමසක කාලයේ දී ඇතැම් ඖෂධවල සැලකිය යුතු හිඟයක් ඇතිවිය හැකි බවත් සෞඛ්‍ය අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ ය.

ඖෂධ හිඟය

ඡායාරූප මූලාශ්‍රය,GETTY IMAGES

“දින නියම කරලා කරන හදිසි නොවන සැත්කම් කල් දැමීම සඳහා ඇතැම් රෝහලවලට කටයුතු කරන්න සිදුවී තිබෙනවා. මොකද ඇතැම් ඖෂධ ලබාගැනීමේ තියෙන ප්‍රශ්නය නිසා. ඖෂධ හිඟයේ සැබෑ තත්ත්වය පිළිබඳ වෛද්‍ය සැපයුම් අංශයෙන් මා වාර්තාවක් ලබා ගත්තා. ඒ අනුව ජීවිතාරක්ෂක ඖෂධ 14ක් අපි නම් කරලා තියෙනවා. ඉන් එකක් මේ මොහොතේ අප සතුව නැහැ. නමුත් ඒ වෙනුවට දෙන්න පුළුවන් ඖෂධයක් මාස දෙකකට ප්‍රමාණවත් පරිදි තියෙනවා. අත්‍යවශ්‍ය ඖෂධ ලෙස නම් කරල තියන 646න් 37ක් මේ වෙනකොට වෛද්‍ය සැපයුම් ඒකකය සතුව නැහැ. ඒ වගේම අවශ්‍ය නොවන ඖෂධ 486න් 45ක් අප සතුව නැහැ. ඒ වගේම ශල්‍ය උපකරණ 8442කින් වර්ග 1138ක් අප සතුව නැහැ. ඒ වගේම විද්‍යාගාර සඳහා යොදා ගන්නා රසායනික ද්‍රව්‍ය 4500කින් 253ක් අප සතුව නැහැ. මා මේ කියන්නේ සමස්තයක් වශයෙන් රෝහල් පද්ධතිය තුළ නැති ඒවා. මේ තත්ත්වය කළමනාකරණය කර ගැනීම සඳහා අප සියලු දෙනා මහන්සියෙන් කටයුතු කරනවා,” ඔහු පැවසුවේ ය.

මෙරටට හිඟව පවතින ඖෂධ ගෙන්වීම සඳහා ඩොලර් මිලියන 30ක් ලබාදීමට ලෝක බැංකුව හා ආසියානු සංවර්ධන බැංකුව ඉදිරිපත්ව තිබේ.

සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කළේ, ඒ අනුව හිඟව පවතින ඖෂධ ගෙන්වීම සඳහා ‍මේ වනවිට ණයවර ලිපි නිකුත්කර ඇති බව යි.

(බීබීසී සිංහල අඩවියෙනි)

Archive

Latest news

Related news