Friday, April 19, 2024

ලංකාවට මූල්‍ය ආධාර ලබා දීමේදී ප්‍රජාතන්ත්‍රීය ආණ්ඩු කරණය සහ සමාජ සාධාරණය කොන්දේසි ලෙස පනවන්න – ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ ජාත්‍යන්තර ජාලය (INSD)

ශ්‍රී ලංකාව මුහුණ දෙන උග්‍ර මූල්‍ය අර්බුදයට තනිකරම වගකිව යුතු ඒකාධිපති රාජපක්ෂ රෙජීමය, ජාත්‍යන්තර ප්‍රජාවෙන් සහ ජාත්‍යන්තර මූල්‍ය ආයතනවලින් ආධාර ඉල්ලීමේ අවශ්‍යතාවය දිගින් දිගටම නොසලකා හැරියේය. හදිසි මූල්‍ය ආධාර සඳහා ශ්‍රී ලංකා රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (අයි.එම්.එෆ්.) සමඟ සාකච්ඡා කළ යුතු බවට කරන ලද ඉල්ලීම්, ආර්ථිකය සෑම අතින්ම  යහපත් බව පවසමින් ප්‍රතික්ෂේප කරන ලදී.

ඩොලර් බිලියන 51ක ගෝලීය නය ගෙවීම ශ්‍රී ලංකාව පැහැර හරින බව ප්‍රකාශ කිරීමෙන් පසු, රාජපක්ෂ රෙජීමයට දැන් ජාත්‍යන්තර ප්‍රජාව වෙත ආධාර පතා හැරීමට බල කෙරී ඇත. දැන්, අවසානයේ දී එය අයි.එම්.එෆ්. ආධාර පතා සිටී.

රෙජීමයේ දුර්වල මූල්‍ය ප්‍රතිපත්ති ප්‍රධාන හේතුව බව නොසලකා හරිමින්, අර්බුදයට මූලික හේතුව කොවිඩ් 19 වසංගතය බව යැයි පවා පවසමින්, අර්බුදයේ වරදෙන් නිදහස් වීමට පාලන තන්ත්‍රය උත්සාහ කරමින් සිටියේය. 2019 නොවැම්බරයේ බලයට පත්වීමෙන් පසු, මෙම රෙජීමය ධනවතුන්ගේ සහ ආයතනික අංශයේ බදු විශාල ලෙස අඩු කරන ලද අතර, වක්‍ර බදු හරහා හිඟය උර දීම දුප්පත් ජනතාවට මත පටවන ලදී. රාජපක්ෂ පාලනය යටතේ දූෂණය වේගයෙන් වැඩි වී ඇති අතර එය අවුලට දායක වී ඇත්තේ සුළුපටු ප්‍රමාණයකින් නොවේ. එක රැයකින් කාබනික ගොවිතැනට හරවා රසායනික පොහොර ආනයනය නතර කිරීමට ගත් අඥාන තීරණය නිසා කෘෂිකර්ම ක්ෂේත්‍රය දෙදරා ගොස් ඇත. සිවිල් යුද්ධය අවසන් වුවද, අසමානුපාතික ලෙස විශාල හමුදාවක් නඩත්තු කරමින් තිබේ. මේ සියල්ලට ඉහළින් රාජපක්ෂ පාලනය ගෙන ඉතා මර්දනකාරී ක්‍රියාදාමයක් පවත්වා ගෙන යයි. ජාත්‍යන්තර ප්‍රජාව මේ බව දන්නා බවට සැකයක් නැත.

දැවැන්ත විදේශ විනිමය අර්බුදය හේතුවෙන් ආනයනික භාණ්ඩ, විශේෂයෙන්ම ඉන්ධන, ගෑස් සහ ඖෂධවල දැඩි හිඟයක් ඇති වී තිබේ. සමහර දිනවල පැය දොළහක් තරම් දිගු කාලයක් විදුලිය විසන්ධි කරන ලදී. ඉන්ධන සහ ගෑස් සඳහා දිගු පෝලිම් තිබේ. ජීවිත රක්ෂක ඖෂධ හිඟය වෛද්‍ය නිලධාරීන් විසින් පෙන්වා දී ඇත. මෙම තත්වයෙන් වඩාම පීඩාවට පත්ව ඇත්තේ අඩු ආදායම්ලාභී කණ්ඩායම්ය.

දිවයින පුරා නිරායාසයෙන් පැන නැඟුණු විරෝධතාවලට පාලන තන්ත්‍රය සාධනීය ප්‍රතිචාර දක්වා නැත. එය උද්ඝෝෂණ කඩාකප්පල් කිරීමට උත්සාහ කරයි. විරෝධතාකරුවන් වෙත ප්‍රචණ්ඩත්වය පවා මුදා හැර තිබේ. 2022 අප්‍රේල් 19 වන දින, පොලිස් වෙඩි තැබීමකින් එක් අයෙකු මිය ගිය අතර තිස් දෙනෙකුට ආසන්න පිරිසක් බරපතළ තුවාල ලැබූහ.

ඉහත තත්වයන් තුළ, ලෝක ව්‍යාප්ත සාමාජිකත්වයක් ඇති ශ්‍රී ලංකාවෙහි ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වන ජාත්‍යන්තර ජාලය (INSD) ශ්‍රී ලංකාවට ලබා දෙන ඕනෑම සහයක් මත පහත සඳහන් කොන්දේසි පනවන ලෙස අයි.එම්.එෆ්. වෙතින් ඉල්ලා සිටී.

කඩිනම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණයට අවම වශයෙන් පහත සඳහන් දෑ ඇතුළත් විය යුතුය.

  • වඩා යහපත් ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් සඳහා විධිවිධාන සැලසූ දහනවවැනි සංශෝධනයේ විධිවිධාන අහෝසි කරමින් රාජපක්ෂ පාලනය විසින් පනවන ලද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විසිවැනි සංශෝධනය අහෝසි කිරීම;
  • දහනව වන සංශෝධනයේ විධිවිධාන නැවත බලාත්මක කිරීම සහ ජනාධිපතිවරයා සහ පාර්ලිමේන්තුව අතර ආතතියට තුඩු දුන් දහනව වන සංශෝධනයේ ඇති පරස්පරතා නිරාකරණය කර පාර්ලිමේන්තුව තවදුරටත් ශක්තිමත් කිරීම;
  • අධිකරණයේ සහ ප්‍රජාතන්ත්‍රවාදී පාලනය සඳහා අත්‍යවශ්‍ය ආයතනවල ස්වාධීනත්වය ශක්තිමත් කිරීම;
  • යුරෝපීය සංගමයේ ජීඑස්පී ප්ලස් සඳහා ලංකාණ්ඩුවට ඉදිරිපත් කර ඇති කොන්දේසි වැනි ගෝලීය වශයෙන් පිළිගත් හිමිකම් නිර්ණායක සපුරාලීම;
  • විරෝධතා දැක්වීමේ අයිතියට ගරු කිරීම සහ එය මර්දනය කිරීමට පොලිසිය සහ ත්‍රිවිධ හමුදාව යොදා නොගැනීම;
  • රාජ්‍ය පාලනයේ සියලු කටයුතුවල දී නීතියේ ආධිපත්‍යය පවත්වා ගෙන යාම සහ දූෂණය අවම කිරීම‍;
  • ශ්‍රී ලංකාවේ ජනවාර්ගික ගැටුමට විසඳුමක කොටසක් ලෙස බලය බෙදීමට අදාළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධාන සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කිරීම;‍

ආර්ථික අර්බුදය විසඳීමට පියවර ගැනීමේදී, දුප්පතුන්ට සහ ආන්තික සමාජ කණ්ඩායම්වලට අහිතකර ලෙස බලපාන්නේ නැති බව සහතික කිරීම සඳහා උපරිම සැලකිල්ලක් දැක්විය යුතු බව ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ ජාත්‍යන්තර ජාලය අවධාරණය කිරීමට කැමැතිිය

ඒ වෙනුවට ධන බද්ද ඇතුළු සෘජු බදු ධනවතුන් මත පැටවිය යුතුය. සෞඛ්‍ය, අධ්‍යාපනය සහ සමාජ සුබසාධනයට වෙන් කරන මුදල් අඩු නොකළ යුතුය. විදුලිය, ජලය සහ පොදු ප්‍රවාහනය වැනි පොදු උපයෝගිතා සේවා සාමාන්‍ය ජනයාට දැරිය හැකි මිලකට ලබා දිය යුතුය. රෙජීමයේ මුග්ධ තීරණ නිසා පීඩාවට පත් වූ ගොවීන්ට, ධීවරයින්ට සහ අනෙකුත් ජනතාවට සහන දිය යුතුය. අනවශ්‍ය යුද වියදම් සියල්ල වහා සීමා කිරීම ද අත්‍යවශ්‍ය වේ.

ඔවුන් මුහුණ දෙන මෙම  ඉතා දුෂ්කර අවස්ථාවෙහි දී ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් පවත්නා බව සහතික කරමින්, ශ්‍රී ලංකා ජනතාවට සහාය ලබා දෙන අපි ජාත්‍යන්තර ප්‍රජාවෙන් විශාල සහ විශේෂයෙන් ප්‍රජාතන්ත්‍රවාදී රජයන්ගෙන් ඉල්ලා සිටිමු.

නිවේදනයකි.

22.04.2022

ස්ටුට්ග්‍රාට්, ජර්මනිය

Archive

Latest news

Related news