Saturday, November 23, 2024

යුක්රේනයේ යුද්ධය, සමාජ සහකම්පනය සහ අප – රංජිත් හේනායක ආරච්චි

(Image courtesy of www.milwaukeeindependent.com)

පසුගිය සතියේ දිනක මගේ වයස හත හමාරක් වන මිනිබිරිය පාසැලේ සිට ගෙදර පැමන චිත්‍රයක් අඳිමින් එහි යුද්ධයක් එපා යයි සටහනක් තැබිය. ඇය එය මට පෙන්වූයේ මගේ අදහස් විමසමිනි. මම ඇය පැසසුවෙමි.

ඉන්පසු ඇගේ පාසලේ පසුගිය බ්‍රහස්පතින්දා උදේ නමයයි කාලට පාසැල ඉදිරිපිට පිට්ටනියේ සියළුම ළමුන් එක්වී සාමය සඳහා ගීත ගයන බව ඇය පැවසීය. අම්මා සමග එක්වී යුද්ධයෙන් අනාථ වූ දරුවන්ට ආධාර කිරීමට කේක් එකක් හදා ගෙන එන ලෙසත් ගුරුවරු ඇයට දැනුම් දී තිබුණි. ඒ වාගේම දෙමාපියන්ට කැමතිනම් ළමයින්ගේ එම ගීත ගායනා වලට ඇහුම් කම් දීමටත් ඒවාට සහාය දීමටත් එන ලෙස ආරාධනා කර තිබුණි. එදින ළමුන් ගෙන එන කේක් විකුණා මුදල් එකතුකර එම මුදල් යුධ සරණාගතයින් ලෙස පැමිනෙන දරුවන්ට ආධාර සඳහා දෙනු ලැබේ.

මා සහ බිරිඳ එම ගායනා නැරඹීමට ගියෙමු. ඔවුහු එක්ව “All we are saying is, give peace a chance” සහ තවත් එවැනි සාමය සඳහා වන ජර්මන් ගීත ගායනා කළෝය.

ජොන් ලෙනන්: සාමයට අවස්ථාවක් දෙන්න.

එම ගීත වලට ඇහුම් කන් දෙන අතර ළමයින් සාමය සඳහා කොඩි වනමින් ගී ගයන හැටි මම බලා සිටින අතර මගේ මනස ගමන් කළේ ලංකා සමාජය තුළ අනෙකා ගැන සහකම්පනය නොමැති වීම පිළිබඳ පසුගිය දිනවල ඇතිවූ කතාබහකටය.

සමාජයක සහකම්පනය ඇති වන්නේ අහසින් පහළවී නොවන බව අපි දනිමු. සමාජය  ඇතිවන ප්‍රශ්න වලදී තමන්ගේ පමණක් නොව අනෙකාගේ වේදනාවන් පිළිබඳ සහකම්පනයක් අප තුල ඇතිවීම සිදුවන්නේ අපව හදාවඩා ගොඩනැගෙන දැනුවත් කරන සමාජ- අධ්‍යාපන රටාව තුළින්ය.

“කිසියම්ම යුද්ධයක් සාධාරණීකරණය කිරීමට කිසිවෙකුට නොහැකි බව මේ වන විට දියුණු වූ ලෝකය තම වසර සිය ගණන් වල අත්දැකීම් වලින් වටහා ගෙන ඇතිබව නොඅනුමානය. යුද්ධයක් සිදු වන විට එහි පාක්ෂිකයින් විවිධ ආකාරයෙන් තමාගේ පැත්ත සාධාරණීකරණය කිරීමට කරුණු ඉදිරිපත් කරයි. නමුත් සෑම යුද්ධයකම පරාජිතයා වන්නේ එම රටවල ජනතාවයි.”

රටක යුද්ධයක් ඇති වන්නේ නම් අප පළමුවෙන් ම කළ යුතු වන්නේ යුද්ධය ඇතිවීමට ඇති කරුණු සෙවීම වෙනුවට පළමුවෙන්ම යුද්ධයට එරෙහි වීමයි. දෙවනුව යුද්ධය ඇතිවීමට ඇති කරුණු සෙවීමටත් ඒවාට සාමකාමී සාකච්චා තුලින් විසඳුම් දීමටත් අපි වග බලා ගත යුතු වෙමු.  කිසියම්ම යුද්ධයක් සාධාරණීකරණය කිරීමට කිසිවෙකුට නොහැකි බව මේ වන විට දියුණු වූ ලෝකය තම වසර සිය ගණන් වල අත්දැකීම් වලින් වටහා ගෙන ඇතිබව නොඅනුමානය. යුද්ධයක් සිදු වන විට එහි පාක්ෂිකයින් විවිධ ආකාරයෙන් තමාගේ පැත්ත සාධාරණීකරණය කිරීමට කරුණු ඉදිරිපත් කරයි. නමුත් සෑම යුද්ධයකම පරාජිතයා වන්නේ එම රටවල ජනතාවයි.

රටක අභ්‍යන්තර යුද්ධයක් ඇති වන්නේ නම් එයට විවිධ සමාජ දේශපාලන හේතූන් බලපා තිබිය හැක. නමුත් එවැනි තත්වයකදී එම ප්‍රශ්න හැකි ඉහළම ආකාරයකින් සාකච්ඡා කර යුද්ධයක් වළකා ගනිමින් විසඳා ගැනීමට උත්සාහ කිරීම ඉතාම වැදගත්ය. යුද්ධය තුළින් සිදුවන්නේ තිබෙන ප්‍රශ්න තවත් වැඩිවීමත් ප්‍රශ්නය විසඳාගැනීමට තිබූ ඉඩකඩ ඊටත් වඩා දුරස්ථ වීමත් බව පැහැදිලි නිසාය.

යුද්ධය යනු විනාශ කිරීමකි. විනාශයේදී මිනිස් ජීවිත දේපල විනාශ වේ. එය යුද්ධයට සහභාගී වන දෙපාර්ශවයටම පොදු ය. යුද්ධය වේදනාව සහ දුක උපදවයි. වේදනාව එම ජනතාවන් දරා ගත යුතු වේ. යුද්ධයෙන් ඇතිවන කැලැල් මකා ගැනීම ලෙහෙසි නැත. එනිසා ඕනෑම තත්ත්වයක් තුළ යුද්ධයකට නොගොස් ඉතාම අවාසිදායක සමාදාන සාකච්ඡාවන් පවා යුද්ධයකින් ඇති වන විනාශයට වඩා සිය දහස් වරක් වටිනවා බව පැහැදිලිය.

වසර විසි පහකට වැඩි අභ්‍යන්තර යුද්ධයකට මුහුණ දුන් රටක් වන ලංකාව  මේ පිළිබඳව  සිය අත්දැකීම් ලබා ඇත. අප අති බහුතරය යුද්ධයේදී පාර්ශවකරුවන් වූවා මිස අනෙකාගේ ප්‍රශ්නය අනෙකාගේ වේදනාව දැකීමට සහකම්පනයක් ඇතිව ක්‍රියා කළේ නැත. යුද්ධයෙන් පසු වසර දහයක් පමණ ගතවී ඇතත් තාවමත් යුද්දයේ විපාක අප සමාජය තුළ කැකෑරෙමින් පවතින වේදනාවක් සේ පවතින බව අපි දන්නෙමු.

1988 -90 සමයේ අතුරුදහන් කල සිය පුත්‍රයාට යුක්තිය සොයා වසර 30ක් වෙහෙසෙන මවක්

යුද්ධයට හේතු වූ ප්‍රශ්න තාමත් එසේම පවතී. යුද්ධයේදී ඇතිවූ ප්‍රශ්න ඒවා දෙගුණ කරයි. අද අපට යුද්ධය ඇති වීමට හේතු කාරණාවන් වලට විසදුම් සොයනවා මෙන් ම යුද්ධයේදී ඇතිවූ යුධ කැළල් වලට තුවාල වලට ප්‍රතිකාර කිරීමටත් සිදුවී ඇත. නමුත් සහකම්පනය නොමැති සමාජයක් ලෙස ගොඩනැඟුණු තත්ත්වයක් තුළ අප සමාජය තාමත් මේ ප්‍රශ්න නොදකින තත්ත්වයක පවතින බව මගේ වැටහීමයි.

යම් රටක් තවත් රටක් ආක්‍රමණය කරයි නම් එය පැහැදිලිවම ඉතාම කෲර නින්දිත ක්‍රියාවකි. නවීන ලෝකය තුළ රටක් තවත් රටක් විශේෂයෙන්ම බලවත් රටක් කුඩා රටක් ආක්‍රමණය කරයි නම් තමාගේ බල ශක්තිය පෙන්වමින් ක්‍රියාකරයි නම් එය විසිඑක් වෙනි සියවසේ තත්ත්වයන්ට නොගැලපේ.  එමෙන්ම එවැනි ආක්‍රමණයන්ට එරෙහි වීමට ලෝකය එක්සත් විය යුතුය. එසේ රටක් තවත් රටක් ආක්‍රමණය කරන්නේ නම් එය තුළින් පෙන්නුම් කරන්නේ ඔවුන් තාමත් ජීවත් වන්නේ දහනමවන සියවසේ අග හෝ විසි වන සියවසේ මුල් භාගයේ බවයි.

අද ලෝකය එයින් සියවසක් එපිටට ගමන් කර ඇති බව එවැනි ආක්‍රමණිකයින්ගේ බල තන්හාවෙන් ඔද්දල්ව ගිය මනස් වලට නොවැටහීම විශාල ඛේදවාචකයකි.

කුඩා කාලයේම අපේ මනස් තුළට අනෙකාගේ වේදනාව පිළිබඳ සහකම්පනය සංවේදී බව ඇතුල් නොකරන්නේ නම් වැඩුණු පසු එසේ සිදුවන්නේ කලාතුරකිනි. බොහෝ විට එවිට සිදුවන්නේ බලවතා දුබලයා යටපත් කිරීම මෙන්ම එසේ යටපත් කරන බව පෙනි පෙනීත් එහි ඇති නිහීන බව ට එරෙහි නොවෙමින් ඒ දෙස බලා සිටින නිකම්ම රූපකායක් බවට පත් වීමයි.

සහකම්පනය!

මිනිසාගේ සභ්‍යත්වයට, සහකම්පනය ඇතුළු කිරීම පවතින ආගම් වලින් කරනු ඇතැයි  අද වන විට අපට සිතිය නොහැක. ඒ පවතින සියළුම ආගම් පාහේ නොපෙනෙන ස්වර්ගයක් වෙතට මිනිසුන් ගෙන යාමට උත්සාහ කරනවා මෙන්ම තමන්ගේ ආගමේ උසස් බව හෝ තම ජන කණ්ඩායමේ උසස් බව ගැන දේශනා කරන තත්ත්වයක පවතින නිසාය. ඒ නිසාම තමන් පමනක් නිවැරදිය අන් අය වැරදි නැත්නම් මිත්‍යා දෘෂ්ඨික යන යන සිතිවිල්ල ඔවුන්ගේ මනස් වසා ගනී.

සියලු ආගම්හි කුඩා සුලුතරයක් අනෙකා කෙරෙහි දයාව සහ ප්‍රේමය ඇති කිරීම වෙනුවෙන් ක්‍රියාත්මක වන බව ද සඳහන් කළ යුතුය. එසේම යම් යම් නූතන දර්ශනවාදයන් විසින්ද  දර්ශනවාදයන්ද අනෝන්‍ය ගරුත්වය සහ සමානාත්මතාවය මත පදනම් වූ සමාජ පැවැත්මක් යෝජනා කරයි.

නමුත් ලංකා සමාජයේ මුල්බැස ගෙන ඇත්තේ සහකම්පනයට සහමුලින්ම පටහැනි අනෙකා පිටුදැකීමේ සමාජ සංස්කෘතික සහ දේශපාලන පැවැත්මකි.

එනිිසා කුඩා කාලයේ සිටම දරුවාගේ මනසට අනෙකාගේ වේදනාව පිළිබඳ සංවේදී බවක් ඇති කරන එතුළින් සහකම්පනය ඔවුන් තුළ ඇති කිරීම අපට අත්‍යවශ්‍ය බව මගේ වැටහීමයි.

යුද්ධයෙන් අනාථ මිනිසුන් වෙනුවෙන් කුඩා කලම සංවේදී බවක් ඇති වීම තුළම යුද්ධයෙන් කරන විනාශයත් දළ වශයෙන් වටහා ගැනීමත්  දරුවාගේ මනසට ඇති වේ. දීර්ඝකාලීනව සමාජයක දියුනුවට මෙම සංවේදී මානසික වර්ධනය හේතු වන බව පැහැදිලිය.

ලෝකය පවතින වෛරකාරීවීම් වලින් එපිටට ගෙන ගොස් මානුෂීය තත්වයක් සැමට ලඟාකර ගැනීම හැකි වන්නේ එවැනි සංවේදී මිනිසුන් සමාජයන් තුළ ගොඩ නගනවා නම් පමණි.

ගමෙහි බලවත් අධිපතියකු තම ආයුධ සහ චන්ඩින්ගේ ආධිපත්‍ය තුළින් ගමෙහි දුප්පත් තරුණියකට ප්‍රසිද්ධියේ බලහත්කාරකම් කරනවා යයි අපි සිතමු. ඊට එරෙහිව ඉදිරියට එන සියලු දෙනාට තම  චන්ඩින්ගෙන් ගුටි බැට කෑමට සිදුවෙන බව එම බලවතා තර්ජනාත්මකව පවසයි.

ඔහු ප්‍රසිද්ධියේම අර තරුණියට බලහත්කාරකම් කරන දෙස අප නිහඬව බලා සිටිය යුතුද, එසේ බලා සිටිනවා නම් එය නිවැරදිද? 

මෙහි අවසානයට මම ඔබ වෙත ප්‍රශ්නයක් ඉදිරිපත් කරන්නට කැමැත්තෙමි. විශාල ශක්තියක් ඇති රටක් වන රුසියාව තම අසල්වැසි රටක් වන යුක්රේනය ආක්‍රමණය කර ඇත. එයට එරෙහිව වෙනත් රටවල් මැදිහත්විය නොයුතු බවත් යම් ආකාරයකින් එසේ මැදිහත්  වුවහොත් පරමාණු බෝම්බවලින් ඔවුනට පිළිතුරු දෙන බවත් කියමින් රුසියාවේ බලවතා වන පුටින් විසින් තර්ජනාත්මකව  ප්‍රකාශ කරයි. දැන් මෙහි සිදුවන්නේ බලවතකු තම ශක්තිය පෙන්වා අසල්වැසි කුඩා රටක් ක්‍රමණය කිරීම එනම් තම ආධිපත්‍යයට නතු කර ගැනීමයි. මෙහි සිදුවන්නේ ශක්තිවන්තයකු දුබලයකුට බලහත්කාරකමක් කිරීමකි. මා ඔබෙන් අසන්නේ මෙවැනි තත්වයකදී ලෝකය නිහඬව එදෙස බලා සිටිය යුතුද යන්නය

දැන් අපි මෙම කාරණය ම අපේ ගමකට ආදේශ කරමු. ගමෙහි බලවත් අධිපතියකු තම ආයුධ සහ චන්ඩින්ගේ ආධිපත්‍ය තුළින් ගමෙහි දුප්පත් තරුණියකට ප්‍රසිද්ධියේ බලහත්කාරකම් කරනවා යයි අපි සිතමු. ඊට එරෙහිව ඉදිරියට එන සියලු දෙනාට තම  චන්ඩින්ගෙන් ගුටි බැට කෑමට සිදුවෙන බව එම බලවතා තර්ජනාත්මකව පවසයි.

ඔහු ප්‍රසිද්ධියේම අර තරුණියට බලහත්කාරකම් කරන දෙස අප නිහඬව බලා සිටිය යුතුද, එසේ බලා සිටිනවා නම් එය නිවැරදිද?

මේ ප්‍රශ්ණයට ඔබ දෙන පිළිතුර පදනම් වන්නේ සහකම්පනය මතය.

රංජිත් හේනායක ආරච්චි.

 

Archive

Latest news

Related news