Friday, April 26, 2024

දත්ත ආරක්ෂණ පනත් කෙටුම්පතෙහි බරපතළ ගැටලුකාරී තත්ත්වයන් විසඳන තෙක් එය සම්මත නොකළ යුතුයි

  • 2022 මාර්තු 09 – දත්ත ආරක්ෂණ පනත් කෙටුම්පත දෙවන වර කියවීම.

  • පනත් කෙටුම්පතෙහි වත්මන් ස්වරූපය පිළිබඳ මූලික වශයෙන් කරුණු තුනක් පිළිබඳ ගැටලුකාරී තත්ත්වයක් ඇත.

  • එම කරුණුවලට අවධානය යොමු කරන තුරු පනත් කෙටුම්පත සම්මත කිරීමට ඉක්මන් නොවිය යුතුය.

2022 මාර්තු 09 වන දින, පෞද්ගලික දත්ත ආරක්ෂණ පනත පාර්ලිමේන්තුවේ දෙවෙනි වර කියවීම සඳහා නියමිතව ඇත. දත්ත දායකයන්ගේ, එනම් සිය පෞද්ගලික දත්ත බාහිර පාර්ශ්වයක් සතුව ඇති පුද්ගලයන්ගේ අයිතිවාසිකම් හඳුනා ගැනීම සහ ශක්තිමත් කිරීම තුළින් පෞද්ගලික දත්ත භාවිතය නියාමනය කිරීම මෙම පනත් කෙටුම්පතෙහි අරමුණ වේ. එනමුත්, මෙම පනත් කෙටුම්පත පවතින ස්වරූපයෙන් ම පැනවීම සිදු වුවහොත්, සමහර අයිතීන් වෙත ඇති වන බලපෑම ඇතුළුව මූලික කරුණු තුනක් පිළිබඳ ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනයෙහි දැඩි අවධානය යොමු වී ඇත.

“දත්ත ආරක්ෂණ පනත් කෙටුම්පත පවතින ස්වරූපයෙන් ම නීතියක් බවට පත් කළහොත්, එය සාධනීය අරමුණක් පවතිනමුත් අවභාවිතයට ලක් විය හැකි නීතියක් බවට පත්වනු ඇත. මෙම පනත් කෙටුම්පත ජනමාධ්‍යය සහ අකටයුතු නාදකයන් අතර බිය ගැන්වීමක් ඇති කරන්නක් ලෙස භාවිත කළ හැකි අතර එය ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදයට තර්ජනයක් වනු ඇත.”

පෞද්ගලික දත්ත ආරක්ෂණය පිළිබඳ නෛතික රාමුවක් සැකසීම මානව අයිතීන් සුරැකීමේ එක් වැදගත් පියවරක් ලෙස දැකිය හැකිය. මිනිසුන් විසින් භාවිත කරන මෙන් ම ඔවුන්ට එරෙහිව භාවිත වන මෙවලමක් බවට තොරතුරු පත් වී ඇති කාලයක එසේ වීම සුවිශේෂ වේ. කෙසේ වෙතත්, මෙම පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනය අවධානය යොමු කරන මූලික කරුණු තුන පහත පරිදි වේ.

  1. ජනමාධ්‍යය කෙරෙහි වන බරපතළ බලපෑම “ජනමාධ්‍යමය අරමුණු” සඳහා දත්ත භාවිත කිරීම, දත්ත සකස් කළ හැකි කොන්දේසියක් ලෙස මෙම පනත් කෙටුම්පත මගින් හඳුනා ගන්නේ නැත. එනම්, විකාශන මාධ්‍යය ඇතුළුව මාධ්‍යය වාර්තාකරණයේ දී පෞද්ගලික දත්ත භාවිතය සීමා වනු ඇත. ජනමාධ්‍ය ක්‍රියාකාරකම් උදෙසා අන්‍යයන්ගේ පෞද්ගලික තොරතුරු භාවිත කිරීමෙන් ‘දත්ත පාලකවරුන්’ සහ ‘සකසන්නන්’ බවට මාධ්‍යවේදීන් නිරායාසයෙන් පත්වීම මෙයට හේතුව වේ. ජනමාධ්‍යමය අරමුණු උදෙසා දත්තවලට ඇති ප්‍රවේශය සහ ඒවා පළ කිරීම අනවශ්‍ය ලෙස සීමා නොකිරීම තහවුරු කිරීමට නම්, ‘ජනමාධ්‍යමය අරමුණ’ දත්ත සැකසීමට ඇති නීත්‍යනුකූල කොන්දේසියක් ලෙස හඳුනා ගත යුතු බව ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනය නිර්දේශ කරයි.
  2. දත්ත ආරක්ෂණ අධිකාරියට පුළුල් බලතල හිමිවීම සහ ස්වාධීන නොවීම – දත්ත ආරක්ෂණ අධිකාරිය ‘රජය විසින් පාලනය කරනු ලබන රජයේ ආයතනයක්’ ලෙස පනත් කෙටුම්පත නම් කරයි. සිය බලතල සහ කාර්යයන් දියාරු කරන ප්‍රයත්නවලට හෝ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහි වීමට අධිකාරිය සතුව ප්‍රමාණවත් ස්වාධීනතාවක් නැත. තවද, අධිකරණයක් නොවන සහ ස්වාධීන නොවන ආයතනයක් ලෙස දත්ත ආරක්ෂණ අධිකාරිය වෙත දත්ත ලබාගැනීමේ මූලාශ්‍ර විමර්ශනය කිරීමටත්, අධිකාරියේ නියෝගවලට අනුකූල වීමට අපොහොසත් වන දත්ත පාලකවරුන් සහ දත්ත සකසන්නන් හට එක් අනුකූල නොවීමක් සඳහා රුපියල් මිලියන 10ක් දක්වා දඩ මුදලක් පැනවීමට ද බලය ලබා දී ඇත. මෙහි දී පොදුවේ පුද්ගල අයිතීන්වලට ගැටලුවක් වීම මෙන් ම ජනමාධ්‍යවේදීන්ගෙන් සහ මාධ්‍යයන්ගෙන් ඔවුන්ගේ මූලාශ්‍ර පිළිබඳ තොරතුරු විමසන තත්ත්වයක් කරා යෑමේ හැකියාව ද ඇත. පනත් කෙටුම්පතෙහි අරමුණු උදෙසා ස්වාධීන දත්ත ආරක්ෂණ අධිකාරියක අවශ්‍යතාව ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනය නිර්දේශයක් ලෙස ඉදිරිපත් කරයි.
  3. තොරතුරු දැනගැනීමේ අයිතිය මත ඇති කරන බලපෑම – මෙම කෙටුම්පතට අනුව, අනනුකූලතාවක් පැන නගින අවස්ථාවක දී, මෙම පනත් කෙටුම්පතෙහි විධිවිධාන තොරතුරු දැනගැනීමේ පනත ද ඇතුළුව වෙනත් ඕනෑ ම ලිඛිත නීතියක ප්‍රතිපාදන අබිබවා යයි. මෙය තොරතුරු දැනගැනීමේ මූලික අයිතිවාසිකම බලහීන කිරීමක් බවට පත් විය හැකිය. එම නිසා, අනනුකූලතාවක දී තොරතුරු දැනගැනීමේ අයිතිය අබිබවා නොයෑම තහවුරු කිරීමට නිශ්චිත ව්‍යතිරේඛයක් ඇතුළත් කිරීමට ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනය නිර්දේශ කරයි.

2021 වසරේ සහ 2022 මුල් කාලයේ තාක්ෂණ කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව සහ පාර්ලිමේන්තු මන්ත්‍රීන් 225 දෙනාට ම මෙම කරුණු ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනය විසින් නිල වශයෙන් දැනුම් දීම සිදු කරන ලදි.

2019 වසරේ ඉදිරිපත් කළ පෞද්ගලික දත්ත ආරක්ෂණ කෙටුම්පත් රාමුවෙහි වත්මන් පනත් කෙටුම්පත වැඩිදියුණු කළ හැකි තීරණාත්මක කරුණු දෙකක් අන්තර්ගත විය. 2019 රාමුවෙහි පූර්විකාවෙහි ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාපිත තොරතුරු දැනගැනීමේ අයිතිය සුවිශේෂ අයිතියක් ලෙස විශේෂයෙන් හඳුන්වා දී ඇති අතර පෞද්ගලික දත්ත ආරක්ෂණය සමඟ පොදු යහපත තුලිත කිරීමේ අවශ්‍යතාව හඳුනාගෙන ඇත. පනත බලාත්මක කරන පාලන අධිකාරියට මහජන අයදුම්පත් ක්‍රියාවලියක් මගින් සාමාජිකයන් තිදෙනෙකු පත්කිරීමේ ක්‍රමවේදයක් ද 2019 කෙටුම්පතෙහි සඳහන් වේ. මෙම පියවර අධිකාරියේ ස්වාධීනතාව තහවුරු කිරීම සඳහා තීරණාත්මක විය හැකිය.

පෞද්ගලික දත්ත ආරක්ෂණ නීතිය, පොදු යහපත උදෙසා පවතින අනෙකුත් අයිතිවාසිකම් සහ ආරක්ෂණයන් සමඟ නොගැටී, ප්‍රගතිශීලී ලෙස සංකලනය වීම අතිශයින් වැදගත් නිසා, මෙම වැදගත් නීතිය පැනවීමේ ක්‍රියාවලිය ඉහත මතු කළ ගැටලු විසඳන තෙක් ඉක්මන් නොකරන ලෙස ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනය සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් සහ තාක්ෂණ කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවෙන් ඉල්ලා සිටීයි.

“දත්ත ආරක්ෂණ පනත් කෙටුම්පත පවතින ස්වරූපයෙන් ම නීතියක් බවට පත් කළහොත්, එය සාධනීය අරමුණක් පවතිනමුත් අවභාවිතයට ලක් විය හැකි නීතියක් බවට පත්වනු ඇත. මෙම පනත් කෙටුම්පත ජනමාධ්‍යය සහ අකටයුතු නාදකයන් අතර බිය ගැන්වීමක් ඇති කරන්නක් ලෙස භාවිත කළ හැකි අතර එය ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදයට තර්ජනයක් වනු ඇත.” ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනයෙහි විධායක අධ්‍යක්ෂිකා නදීශානි පෙරේරා එලෙස මේ පිළිබඳ අදහස් දැක්වීය.

Archive

Latest news

Related news