Saturday, April 27, 2024

යුක්‍රේන ආක්‍රමණය: ජාතික ජන බලවේගයට විවෘත ලිපියක් – සුනන්ද දේශප්‍රිය

ජාතික ජන බලවේගය ජනතා විමුක්ති පෙරමුණ විසින් නිර්මාණය කරන ලද ව්‍යාපාරයක් වන නමුත් ජනතා විමුක්ති පෙරමුණෙන් ස්වාධීන දේශපාලන අදහස් ඇති පිරිස් ද එහි සිටිති. මා සිතන අන්දමට හරිනි අමරසූරිය, ලාල් විජේනායක වැනි අය ජවිපෙ දෘෂ්ඨියෙන්ම ලෝකය දෙස බලන අය නොවේ.

යුක්‍රේනය නම් ස්වාධීන ස්වෛරී රාජ්‍යයක් තමන් පිළි ගන්නේ නැතැයි ප්‍රකාශ කරමින් කිසිදු හේතුවක් නැතිව, පූටින් විසින්  මහා යුද්ධයක් දියත් කරවන ලද්දේ හුදෙක්ම එරට යටත් කර ගැනීම සඳහාය.

යුක්‍රේනය නම් රාජ්‍යයක් ඇති වූයේ ලෙනින්ගේ වරද නිසා බව පූටින් කියන්නේ සාර් අධිරාජ්‍ය විසින් යටත් කර ගෙන සිටි යුක්‍රේනයට රුසියානු විප්ලවයෙන් පසු නිදහස දීම සඳහාය. පින්ලන්තයට ද එලෙස නිදහස ලබා දෙන ලදී.

යුක්‍රේනය ආක්‍රමණය කිරිම නැටෝවෙහි කුපිත කිරීම් නිසා සිදුවුයේය යන ක්ෂමාලාපක කතාන්තර කුඩු පට්ටම් කර දමන ලද්දේ එලෙස පූටිින් ම විසිනි.

පූටින්ගේ එක්සත් රුසියා පක්ෂය එරට මහා  ධනකුවේරයන් විසින් පාලනය කරන පක්ෂයකි. රුසියාව යනු සමාජවාදයට අහලකින්වත් නොවන නිරුවත් ධනවාදය රජ කරන රටකි.

එනයින් මෙම යුද්ධය සමාජවාදය සහ ධනවාදය අතර යුද්ධයක් නොවේ. මේ වනාහි මහා බලවත් රාජ්‍යයක් කිසිදු කුපිත කිරීමකින් නැතිව කුඩා රාජ්‍යයක් ආක්‍රමණය කිරීමකි.

එසේ නමුත් ජනතා විමුක්ති පෙරමුණේ සහ එහි ප්‍රචාරක අංශයන්හි ලිපි ලේඛන පෙන්නුම් කරන්නේ යුක්‍රේනයෙනි කෙරී ගෙන යන රුසියානු ආක්‍රමණය සම්බන්ධයෙන් එය සතුටින් සිටින බවයි.

“බාහිර යුධ නිරීක්ෂකයින්ගේ අදහසට අනුව යුක්‍රේනය යනු අතීතයේ සිටම දැඩි රුසියානු බලපෑමකට යටත් වූ රාජ්‍යයක් බවත්, රටින් 90%ක් පමණ රුසියානු භාෂාව කතා කරන ජනතාවක් වෙසෙන රටක් හා රුසියාවේ පෙරදිග ධාන්‍යාගාරය ලෙස ද හඳුනා ගෙන ඇති බවයි.

– ජවිපෙ වෙබ් අඩවිය, ලංකා ට්රුත්

ජවිපෙ නිවුන් සොයුරකු වන පෙරටුගාමී පක්ෂය හැසිරෙන්නේ  යුක්‍රේනයේ යුද්ධයක් නැති අන්දමට ය.

චීන කොමියුනිස්ට් පක්ෂයේ ශත සංවත්සරයට ජනතා විමුක්ති පෙරමුණ සුභ පැතූයේ එය සහෝදර කොමියුනිස්ට් පක්ෂයක් ලෙස සළකමිනි. එළෙසින්ම අතිශය මර්දනකාරී පාලනයක් ගෙන යන උතුරු කොරියාව සම්බන්ධයෙන් ජවිපෙ ජනමාධ්‍ය දක්වන්නේ මිත්‍රශීලී ආකල්පයකි. ජවිපෙ ශ්‍රී ලංකාව තුල ඉල්ලා සටන් කරන මාධ්‍ය නිදහස, රැස්වීමේ නිදහස. සාමකාමී සහ නිදහස් මැතිවරණ යනාදිය මේ රටවල් දෙකේම මෙන්ම කියුබාව සහ වියට්නාමය යන රටවල්ද නැත.

රුසියාවේ පූටින් දැන් එරට සමාජ මාධ්‍ය පමණක් නොව රජයේ අදහස් විවේචනය කරන සියලු මාධ්‍ය තහනම් කර තිබේ.

ජාතික ජන බලවේගයේ සිටින නිදහස් අදහස් ඇති අය ජනතා විමුක්ති පෙරමුණේ මෙම අදහස් පිළිගන්නේද?

යුක්‍රේනයේ යුද්ධය සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණේ ලංකා ට්රුත් වෙබ් අඩවියේ පළ වූ පහත සඳහන් අදහස් වලින් ඉතා පැහැදිලිව පෙනෙන්නේ ජවිපෙ යුක්‍රේනයේ යුද්ධය සම්බන්ධයෙන් දක්වන ආකල්පයයි. ( ලංකා ට්රුත් වෙබ් අඩවිය තමන්ගේ නොවේ යැයි ජවිපෙ කීමට පුළුවන. එය 80-90 හීෂනය මුදා හැරි දේශප්‍රේමී ව්‍යාපාරය තමන් නොවේ යැයි කීවාට සමානය.)

එක්සත් ජාතීන්ගේ සියලුම ආයතන වලදී රුසියාව හුදකලා වීම ජවිපෙට අනුව සැලකිය යුතු ජයග්‍රහණයකි.

“මේ අතර, එක්සත් ජාතින්ගේ ආරක්ෂක මණ්ඩලයට ඉදිරිපත් වූ යුක්‍රේන ආක්‍රමණය කිරීම හෙළා දකින යෝජනාව සිය නිශේධ බලය භාවිත කරමින් ප්‍රතික්ෂේප කිරීමට රුසියාව පියවර ගෙන ඇත.

යෝජනාවට පක්ෂව ඡන්ද 11ක් ලැබුණු අතර චීනය, ඉන්දියාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍ය ජන්දය දීමෙන් වැළකී සිටීම විශේෂත්වයකි.

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ නිත්‍ය සාමාජිකයෙකු ලෙස රුසියාව, අදාළ යෝජනාවට එරෙහිව සිය නිශේධ බලය භාවිත කිරිම හමුවේ මෙම යෝජනාව අසාර්ථක වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ එය රුසියාවට සැලකිය යුතු මට්ටමේ ජයග්‍රහණයක් බවය.”

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේදී රටවල් 141ක් විසින් රුසියාවට විරුද්ධව ද රටවල් 35ක් මධ්‍යස්ථවද  රුසියාවට පක්ෂව ජන්ද පහක් පමණක් ලැබීමද ස ජවිපෙට අනුව රුසියාවට ජයග්‍රහණයක් විය හැකිය.

ජවිපෙ තවම සිහින මවන්නේ සෝවියට් සමූහාණ්ඩු පිහිටුවිමටය.

“මේ අතර කියෙව් ආසන්නයේදී පැරණි සෝවියට් සමූහාණ්ඩුවේ ධජය සහිතව ගමන් ගත් රුසියානු යුද ටැංකියක් ජාත්‍යන්තර මාධ්‍යයන්ගේ දැඩි අවධානයට ලක්ව ඇත.

යුක්‍රේන අගනුවරින් එම ජනයාට ඉවත්වීමට පූටින් කරන ලද නියෝගය ජවිපෙ සාධාරණ කරන්නේ සාහසික ලෙසය. ඇත්ත වශයෙන්ම නම් සිදුවන්නේ රුසියානු හමුදාවන්ට විරුද්ධව සිවිල් ජනයා පාරවලට පැමිණීමයි. එය, ජවිපෙට අනුව පළිහක් ලෙස යොදා ගැනීමකි. පෙනෙන විදිහට ජවිපෙ මෙරට යුද සමයේ සිය වාග්මාලිව යළි එලියට ගෙන තිබේ!

“ඒ හා සමගාමිව සිවිල් මරණ සීමා කිරීමට හා යුක්‍රේන හමුදා විසින් ඔවුන් පලිහක් ලෙස යොදාගැනීම වැළැක්වීම සඳහා අගනුවරින් ඉවත් වන ලෙස රුසියානු ආරක්ෂක අමාත්‍යවරයා ඉල්ලා සිටින බව මේ අතර වාර්තා වේ.”

යුක්‍රේන ජනතාවගේ භාෂාව ගැන ජවිපෙ ඇද බාන්නේ අමු මුසාවකි.

“යුක්‍රේන හා රුසියානු සාම සාකච්ඡා වලදී යුක්‍රේන ජනාධිපතිවරයා සටන් විරාමයක් ඉල්ලා සිටින අතර එසේම රුසියානු හමුදා වලට ආයුධ බිම දමා යටත් වන ලෙස ඉල්ලා සිට ඇත. බාහිර යුධ නිරීක්ෂකයින්ගේ අදහසට අනුව යුක්‍රේනය යනු අතීතයේ සිටම දැඩි රුසියානු බලපෑමකට යටත් වූ රාජ්‍යයක් බවත්, රටින් 90%ක් පමණ රුසියානු භාෂාව කතා කරන ජනතාවක් වෙසෙන රටක් හා රුසියාවේ පෙරදිග ධාන්‍යාගාරය ලෙස ද හඳුනා ගෙන ඇති බවයි.

යුක්‍රේනයේ සියයට 70 ක් තරම් කතා කරන්නේ ස්ලාව් සම්භවයක් ඇති නමුත් ස්වකීයම වූ ලක්ෂන ඇති යුක්‍රේනියානු භාෂාවය.

තවද ජවිපෙට  අනුව යුක්‍රේනය යනු රුසියාවේ පෙරදිග ධාන්‍යාගාරයයි! ස්වාධීන රාජ්‍යයක් වෙනත් රටක ධාන්‍යාාගරය වන්නේ කෙසේද?

ජවිපෙට අනුව රුසියාව විසින් යුක්‍රේනය අල්ලා ගැනීමෙන් පසු ගරිල්ලා අරගලයක් කිරීමට ය්‍රක්‍රේනියානුවන්ට හැකියාවක් නැත. ( ජවිපෙ 88-90 සමයේ නාගරික ගරිල්ලා අරගලයක් කලේ කදු සහ කැලෑ තිබියදීද යන්න තමන්ගෙන්ම අසා ගත යුතුය.)

“එසේම ඇෆ්ගනිස්ථානයේ වැනි කඳු, කියුබාවේ සියරා මස්ත්‍රා වැනි දැවැන්ත කැලෑ නොමැති විවෘත භූමි ඇති රටක් හේතුවෙන් දීර්ඝ කාලින ගරිල්ලා යුද්ධයක් සිදු කල නොහැකි රටක් ලෙස පිළිගැනෙන අතර රට අභ්‍යන්තරය තුලම සිටින මිලියන 10ක ජනගහනයක් රුසියානු වීමත් හේතුවෙන් ඔවුන් භුමිය හොඳින් දන්නා පිරිසක් වීම මගින් සමස්ථ යුක්‍රේනය රුසියාවේ ග්‍රහණයට ලක් වීම කාලය පිළිබඳ ප්‍රශ්ණයක් පමණක් වන බව ඔවුන් තව දුරටත් පෙන්වා දෙති.”

මෙම ඡේදයෙන් පෙන්වන්නේ යුක්‍රේනය රුසියාව විසින් අල්ලා ගැනීමට ජවිපෙ දක්වන කැමැත්තක් නොවේද?

යුක්‍රේන ජනගහනය මිලියන 40කි. ඉන් 4/1න් රුසියානු බස කතා කරන අතර එම ජනයා ජීවත් වන්නේ දැනටමත් රුසියාව විසින් අල්ලා ගෙන ඇති Donetsk සහ Luhansk යන ප්‍රදේශවලය.

මෙම තර්කය ශ්‍රී ලංකාවට සහ දෙමළ කතා කරන ජනයාට අදාළ කළහොත් ඉන්දියාවට ලංකාව අල්ලා ගෙන පාලනය කිරීමට ද පුලුවන!

යුද්ධයට විරුද්ධ නොවී සිටීමට ජවිපෙ එල්ලෙන්නේ හම්පඩ වූ තර්කයකය:

“අධිරාජ්‍යවාදීන්ගේ යුද්ධයට එරෙහිව සිවිල් යුද්ධය එනම් තම යුද්ධය මෙහෙයවන පාලක පංතිය පෙරලා දමන ලෙස ලෙනින් අදාල රටවල ජනතාවගෙන් ඉල්ලා සිටියේ හුදු සාම කුරුල්ලන් ලෙස පමණක් තමන් පෙනී නොසිටන බවට අවධාරණය කරමිනි. ඒ අනුව යුද්ධය වෙනුවෙන් කඳුළු සලමින් යුරෝපා සංගමය යුද්ධයේ එක් පාර්ශ්වයකට ආයුධ ලබාදීම මගින් ඔවුන්ගේ යුධ විරෝධය පුස්සක් වන බවත් පුටීන්ගේ යුධකාමය හා යුද්ධය මගින් තම පැරණි නිලධාරිවාදී පාලනය රැකගැනීමේ උත්සාහය පරාජය කල හැක්කේ රුසියානු කොමියුනිස්ට් පක්‍ෂය හා යුරෝපයේ, යුක්‍රේනයේ හා ලොව පුරා වමේ පක්‍ෂ වල පොදු ජාත්‍යන්තරවාදී ක්‍රියා මාර්ගයකින් පමණක් බව වාම දේශපාලන විචාරකයින් මේ අතර පෙන්වා දෙති.”

ජවිපෙට අනුව රුසියානු කොමියුනිස්ටි පක්ෂය සමඟ ලොව පුරා වමේ පක්ෂ එක් විය යුතුය. රුසියානු කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධානියා වන Gennady Zyuganov පසුගිය පෙබරවාරි 14 වන දින ප්‍රකාශයක් කරමින් පූටින්ගේ යුද්ධයට සම්පූර්න සහාය පළ කළේය. රුසියානු මන්ත්‍රණ සභාව වන ඩූමාවෙහිදී එහි මංත්‍රීවරු සියලු දෙනාම යුද්ධයට පක්ෂව ඡන්දය දුන්හ. දැන් ජවිපෙට ද අවශ්‍ය වී ඇත්තේ එවැනි පක්ෂයක් සමඟ සන්ධාන ගතවීමටයි.

ප්‍රශ්ණය නම් ජවිපෙ නොවන ජාතික ජන බලවේගයේ කොටස්කරුවන් වන හරිනි අමරසූරිය, ලාල් විජේනායක වැනි පිරිස් ද මෙම මතවාදය පිළිගන්නේද යන්නයි. එසේ නොවන්නේ නම් යුක්‍රේනයේ රුසියානු ආක්‍රමණය ගැන ඔවුන්ගේ මතය කුමක්ද යන්නයි.

Archive

Latest news

Related news