පෙබරවාරි 24 වන දින රුසියාවේ යුද ටැංකි යුක්රේනයේ මායිම් හරහා ගමන් කරන අයුරු ලෝකයම බලා සිටියහ. දෙවන ලෝක යුද්ධයෙන් පසු ලෝකය පුරා විවිධ යුද්ධ ඇතිව තිබුණ ද මෙවර සිදු වෙමින් පවතින්නේ තුන්වන ලෝක යුද්ධයකට අතවැනීමක් ද යන සැකය නිරවුල් මනසක් ඇති සියලු මිනිසුන්ගේ සිත් සතන් තුළ රජ කරති.
ලෝක යුද්ධ දෙකටම වග කිය යුතු එසේ නැත්නම් ලෝක යුද්ධ දෙකකම ආරම්භකයා වූ ජර්මනිය මේ දෙස නිකම්ම බලා නොසිට යුද්ධයකට යාම නතර කර ගැනීම සඳහා උපරිම වෑයමක යෙදුණු බව අපට දකින්ට ලැබුණි. පුටින්ගේ යක්ෂාවේශය එයට නතර කර ගත හැකි මට්ටමක නොපැවතුණු බව පෙනෙන්නට තිබුණි.
මේ පිළිබඳව විග්‍රහයක යෙදෙන රුසියාවේ ප්‍රකට ගත් කතුවරයකු වන වලඩිමීර් සොරොකින් පවසන්නේ බලය තම අතට ලැබීමත් සමග පුටින් විශාල වෙනස් ආවේශයකට පත්වූ බවයි. ඔහු පවසන්නේ පීටර් ජැක්සන් ගේ The Lord of The Ring හිි මෙන් අවසානයේ මෙම යක්ෂාවේශ වලල්ල විසිකර දැමීම වෙනුවට ඔහු එය තමා සඳහා සඟවා ගැනීමත් සමගම ඔහු ගේ මුහුණේ ස්වරූපය පවා වෙනස් වෙමින් ඔහු යක්ෂාවේශ වූ ආකාරයට පුටින්ගේ වෙනස සිදු වූයේද බලය ලැබීමත් සමග එයාකාරයෙන් බවයි.
කෙසේ වුවත් මගේ මතකයට අනුව 1999 යෙල්සින් ජනාධිපතිවරයා අසනීප වී එතැනට පූටින් පත්කර ගන්නා විට පූටින් පෙනී සිටියේ ඉතා සෞම්‍ය මිනිසකු ලෙසිනි. අනෙකාගේ මත වලට ගරු කරන, ප්‍රජාතන්ත්‍රවාදයට ගරුකරන පස්චාත් සෝවියට් රාජ්‍යය නූතනත්වයට ගෙන එන නූතන මිනිසෙකුගේ ස්වරූපයෙනි.
අද රුසියාවේ ඔහුගේ විරුද්ධවාදීන් වැඩි දෙනෙකු එදා ඔහුගේ සගයන් ව සිටි අතර ඔහුගේ ජයග්‍රහණය සඳහා සියලු දෙනා එක්ව කටයතු කළෝය. එදා ඔහු පැහැදිලිව කියා සිටියේ කිසි දිනක තමා මෙම පුටුවෙ ඇලි නොසිටින බවත්, පැහැදිලිවම ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරමින් රටේ මූලික නීතියට එනම් ව්‍යවස්ථාවට එකඟව ක්‍රියා කරන බවයි. බලය ලැබීමත් සමග ඔහු ක්‍රමයෙන් වෙනස් වූ ආකාරය දකින්නට ලැබුණි.
දෙවතාවක් රටෙහි ජනාධිපති වූ කෙනෙකුට එක දිගට යළි ජනාධිපති ධුරය දැරිය නොහැකි බව රුසියානු රටෙහි ව්‍යවස්ථාවේ තිබේ. එබැවින් ඔහු ව්‍යවස්ථාවට පොඩි වෙට්ටුවක් දමමින් ඔහුගේ මිතුරකු රූකඩයක් ලෙස ජනාධිපති කරමින් තමා අගමැතිකම භාර ගත්තේය. ඊළඟ වතාවේදී ඔහු නැවත ජනාධිපති බවට පත්විය. මේ ආකාරයේ ව්‍යවස්ථා වෙට්ටු තුළින් බලයහි ඇලී සිටින යක්ෂාවේශ බල කෑදරකම ඔහුගේ මනසට ඇතුළු වූ බව පෙනෙන්නට තිබුණි.
යුද්ධය යනු මනුෂ්‍ය සංහාරයකි. චෙචේනියන් යුද්ධය, ජෝර්ජියාවේ යටපත් කිරීම, ආදී විවිධ ආකාරයන් වලින් ඔහු ක්‍රමවත්ව නැවත රුසියන් අධිරාජ්‍යයක් ගොඩනැගීමට ආරම්භ කරන ලදී.
බොහෝ වාමාංශිකයන් පටලවා ගන්නා කාරණයක් වන්නේ මොහු නැවත සෝවියට් දේශය ගොඩ නගනවා යන්නයි. නමුත් මෙහි ගොඩනැගෙන්නේ ඊට පෙර තිබූ වැඩවසම් සාර් අධිරාජ්‍යයක් බව බොහෝ අය වටහා ගන්නා බවක් නොපෙනේ. බටහිර ව්‍යාප්තවාදී දේශපාලනයට එරෙහි වන සියල්ල ප්‍රගතිශීලී යයි වටහා ගැනීම දේශපාලන මුලාවකි. මෙය තුර්කියේදී එර්ඩොගාන්ගේ දේශපාලනයේ සිදුවන්නේද එවැන්නකි.
පූටින්ගේ සිහිනය නූතන සාර් වීමයි. යුක්රේනය ආක්‍රමණයට ප්‍රථම ඔහු පැවසූ “යුක්රේනය යනු ලෙනින්ගේ නිපැයුමකි. ලෙනින් කළ වැරැද්දකි.” යන කියමනින් එය හොඳින් පැහැදිලි වෙයි. සාර් යටතේ තිබූ යුක්ක්‍රේනය ස්වාධීන රාජ්‍යයක් ලෙස අනුමත කලේ 1917 සෝවියට් රාජ්‍යය යටතේ ලෙනින් බැවිනි. “යුක්රේනය ස්වාධීන රාජ්‍යක් ලෙස තමන් පිළි නොගන්නා බවත් ඔහු කීවේය.
මේ සියල්ල මගින් පූටින් කියා කියා සිටින්නේ තම අභිලාශය යුක්රේනය රුසියාවේ ප්‍රාන්තයක් ලෙස යටපත් කර ගැනීම මිස ස්වාධීන යුක්ක්‍රේනයක් ලෙස පැවතීම නොවේ.
පූටින්ට අවශ්‍ය පරිදි මෙම යුද්ධය අවසන් වුවහොත් එහි විපාකය වන්නේ යුක්රේනය කියා ස්වාධීන රාජ්‍යක් නැති වී යාමයි. ඔහු මෙහිදී සම්පූර්ණ ජයග්‍රහණයක් ලබා ගතහොත් පූටින් එැතිනින් නොනවතිනු ඇත. දැනටමත් ස්වීඩනයට සහ පින්ලනතයට පූටින් පරහ දෙන බවට තර්ජනය කර තිබේ.
බොහෝ වාමාංශිකයෝ මෙම අර්බුදය හඳුනාගැනීමේදී නේටෝ යුද හවුලේ ක්‍රියාකාරිත්වය පිළිබඳව පමණක් කථා කරති. නේටෝ කණ්ඩායම පැරණි සෝවියට් රාජ්‍යයන් තම කණ්ඩායමට ඇතුල් කරගැනීම පැහැදිලිවම වරදක් බව මගේ අදහසයි. බටහිර අධිරාජ්‍යවාදී උවමනාවන් සඳහා පෙනී සිටින නේටෝ සංවිධානය ආරක්ෂාවට යයි කියමින් මෙම රටවල් තම කණ්ඩායමට එක්කර ගැනීම අනුමත කළ නොහැකි කාරණයකි.
එසේ නමුත් අපට අමතක වන කාරණය වන්නේ මෙම රටවල් නේටෝ සංවිධානයට එකතු වන්නේ ඔවුන්ගේ උවමනාවෙන් ඉල්ලුම් පත්තර දමා මිස බලහත්කාරයෙන් නොවන බවයි. එයට හේතුව නම් යළිත් වරක් රුසියාව විසින් සිය රටවල් යටත් කරගනු ඇතැයි යන බියය. දැන් යුක්රේන ආක්‍රමණයෙන් පෙන්වන්නේ එස්තෝනියාව වැනි කුඩා රාජ්‍යන්ට ඇති බව සාධාරණ බවයි.
අනෙක් කාරණය වන්නේ රුසියන් ගැති ප්‍රචාරක මාධ්‍යයයන් තුළින් පවසන ජනාධිපති සෙලෙන්ස්කි ගේ රජය ජනතාව යටපත් කරගෙන පවත්වාගෙන නාට්සි රජයක්ය යන්නයි. අද යුක්රේනයේ ජනාධිපති සහ අගමැති යන දෙදෙනාම යුදෙව් සම්භවයක් සහිත පුද්ගලයින්ය. යුක්රේනය ලෝකයේ හතරවැනි ස්ථානයට යුදෙව් ජනයා ජීවත්වන රටය.
සෙලෙන්ස්කි 73% ඡන්ද ලබමින් බලයට පත් ජනාධිපතිවරයෙක් බව මේ බොහෝ දෙනෙක් නොදනිති. ඒ වාගේම නේටෝ වලට ඇතුළුවීමේ උවමනාව යුක්රේනය විසින් ජනමත විචාරණයකින් වැඩි ඡන්දයෙන් තීරණය කළ කාරණයක් බව ද බොහෝ දෙනෙකු නොදනිති.
යුද්ධ ඇති කිරීමට ප්‍රථම සහ යුද්ධයේදී සිදු වන්නේ ප්‍රථමයෙන්ම සත්‍ය වළ දැමීමයි. අද පුටින්ගේ ආක්‍රමණයට එරෙහිව එරට රටේ ජනයා බෝතල් වලට මොලටෝෆ් කොක්ටේල් පුරවමින් සටනකට සූදානම් වෙති. මෙතුලින් පෙන්වන්නේ පුටින්ගේ මේ සියලු ප්‍රචාරණ, මේ සියලු කියමන් බොරු බව නොවන්නේ ද? රුසියානු යුද ටැංකි ඉදිරියට නිරායුධව ගමන් ගන්නා ගම් වැසියන්ගේ ජායාරූප ද දැන් දැක ගත හැකිය.
සෙලෙන්ස්කිගේ මර්දනයක් තුල මෙම මිනිසුන් ජීවත් වූවා නම් මේ වන විට මෙහි එහි අනිත් පැත්ත සිදුවී තිබිය යුතු නොවේද?
අප කරුණු විග්‍රහ කර ගත යුත්තේ පවතින සාධක විමර්ශනාත්මක ව විමසා මිස විවිධ ප්‍රචාරක මාධ්‍යයන් පතුරුවන නොරැවටෙමිනි. අප ස්වාධීනව සිතිය හැකි මිනිසුන් ලෙස සිතනවා මිස විවිධ බලවතුන් ගේ ප්‍රචාරණයට නතුව එම ප්‍රචාරයන් වැමෑරිය යුතු නැත. නැටෝ සංවිධානයේ රටවල් වලින් කරන ප්‍රචාරණයක් දෙස විවේචනාත්මකව බලනවා මෙන්ම ප්‍රකෝපකාරී ආක්‍රමණිකයෙකු ලෙස හැසිරෙන පූටින්ගෙන් ක්‍රියාදාමය සහ ඔහුගේ ප්‍රචාරයන්හි ගොදුරු බවට පත් නොවීමටද අප වග බලාගත යුතුය.
රුසියාව තුළ ප්‍රජාතන්ත්‍රවාදයට කිසිම ඉඩක් නොතබමින් සියලුම මාධ්‍ය ආයතන තමා අතට ගනිමින් මාධ්‍යවේදීන් මරා දමමින් පසුගිය වකවානුවේ පූටින් කරගෙන ගිය දේශපාලනය දෙස අප විමසිළිමත්ව බැලිය යුතුය. රුසියාව තුළ විරුද්ධ අදහස්වලට විපාක්ෂික සංවිධානයන්ට ඉඩක් නොමැත. නිදහස් අදහස් ප්‍රකාශ කිරීමට නිදහසක් නොමැත. මෙසේ තිබෙද්දීත් මෙම යුද්ධයට එරෙහිව එරට ජනයා පාරට බසිති. මේ වන විටත් 1000කට වැඩි රුසියානුවන් ප්‍රමාණයක් මෙම යුද්ධයට එරෙහි වීම නිසා අත්අඩංගුවට ගෙන ඇති අතර තවමත් විවිධ ආකාරයෙන් ජනයා කණ්ඩායම් ලෙස තැන් තැන්වල විරෝධතා ප්‍රකාශ කරති. ඒවාගේම රටින්පිට ජීවත්වන රුසියන්වරුද සෑම තැනකම පූටින්ට එරෙහිව තම විරෝධය පාමින් වීදි බසිති.
සෝවියට් රාජ්‍යය ගැන මතක ඇති අයට එම යුගයේ එනම් බ්‍රෙෂ්නෙව්වලාගේ, ඇන්ඩ්‍රි ග්‍රොමිකෝලාගේ, ග්‍රෝබ්‍රචෝව්ලාගේ යුගයේ, එනම් සෝවියට් දේශය පැවති අවධියේ දේශපාලන තීරණ ගැනීම හෝ ආරක්ෂක මණ්ඩල රැස්වීම් වලදී ඒවා රැස් වූයේ ඔවුන්ගේ අභ්‍යන්තර කාරණා වශයෙන් රහසිගතවය. ඒවායෙහි තර්ක විතර්ක සාකච්ඡා ඉදිරිපත්වී ගැනෙන තීරණ පමණක් එළියට දෙනු ලැබීය. නමුත් පූටින් දැනට සතියකට උඩින් තම ආරක්ෂක මණ්ඩලය රැස් කරමින් හෝඩියේ පන්තියේ ළමයින් ඉදිරිපිට සිටින ගුරුවරයකු ලෙස ඉඳ ගනිමින් එකිනෙකාගෙන් ප්‍රශ්න අසන්නේ හෝඩිය පන්තියට උගන්වන ගුරුවරයකු සහ තරවටු කරන ගුරුවරයකු සිහිගන්වමිනි. එහි ස්වාධීන ව සිතිය හැකි කිසිම ආරක්ෂක මණ්ඩල සභිකයකු සිටින බවක් නොපෙනුණි. ඔහුගේ රටේ රහස් ඔත්තු සේවාවේ ප්‍රධානියා පමණක් ඔහුගේ මතයට සම්පූර්ණයෙන් එකඟ නොවන වචනයක් පිට කිරීම නිසා ඔහුට කළ තරවටු වෙන් පසු ඔහු සම්පූර්ණයෙන් පුටින්ගේ මතයට එකඟ වන්නේ යටහත් බැගෑපත් අයුරකිනි. (ලංකාවේ ඇමති කන්ඩායම රාජපක්ෂ ජනාධිපති ඉදිරියේ හැසිරෙන අයුරිනි.)
එයින් අපට වටහා ගැනීමට ඇත්තේ පුටින්ගේ රාජ්‍යය තුළ රුසියානු රාජ්‍ය තුළ අද සිදු වෙමින් පවතින්නේ සෝවියට් දේශයේ තිබූ දේශපාලනය නොව සාර් යුගයේ තිබු දේශපාලනය බවයි. එදා සාර් රජු රුසියාව වටා තිබූ සියලු රාජ්‍යයන් යටපත් කරගෙන ඔහුගේ රාජ්‍යයෙහි කොටස් බවට පත්කර ගත්තාක් මෙන් පුටින්ගේ අද උවමනාව නූතන සාර් කෙනෙකු වීමටයි.
විසිඑක් වෙනි සියවසේ එවැන්නක් සිදුවීම ඛේදජනකයි. නමුත් පරමාණු බෝම්බවලින් ලෝකෙට පිළිතුරු දෙනවා යයි තර්ජනය කරමින් කරන පුටින්ගේ හැසිරීම හමුවෙහි අපට සිතීමට පැතීමට සිදුව ඇත්තේ අනිත් පැත්ත එනම් බටහිර බලවතුන් තෙවැනි ලේක යුද්ධයක් ඇතිවීම වළක්වා ගැනීමට බුද්ධිමත්ව කටයුතු කරනු ඇතැයි යන්න පමණි.
එසේ නැත්නම් සිදු විය හැක්කේ මහා විනාශයක් බව මගේ වැටහීමයි. පූටින් ක්‍රියාත්මක වන්නේ ඒකාධිපතියකු ට යක්ෂාවේශය වැහුණු ආකාරයකිනි. එවැනි තැනක අනෙකුත් කොටස් කල යුත්තේ කල්පනාකාරීව ක්‍රියාත්මක වී මහා විනාශයක් වළක්වා ගැනීමය. එළෙස උත්සාහ කිරීම හැරුණු කොට බලයට බලයෙන් පිළිතුරු දීමකින් නොවන බව මගේ වැටහීමයි.
රංජිත් හේනායක ආරච්චි