Friday, March 29, 2024

බහු භාර්යා සේවනය සාධාරණ කරන ෆාතිමා හලල්දීන්ගේ විලම්බීත – සුනන්ද දේශප්‍රිය

ලංකා ඊ නිව්ස් වේබ් අඩවියට ලිපියක් ලියන පලාල් හලාල්දීන් නම් අයකු බහු භාර්යා සේවනය සාධාරණ කිරීම පිනිස විලම්බීත තර්ක කිහිපයක් ඉදිරිපත් කර තිබේ.

මෙම ලිපියේ ඇති ප්‍රධාන තර්කය වන්නේ මුස්ලිම් පිරිමින් ස්ත්‍රීන් හතර දෙනෙකු  විවාහ කර ගැනීමට ඇතැයි කිය ආගමික අවසරය සාධාරණ කිරීමයි.

පළමුවෙන්ම කිය යුත්තේ වසර දහස් ගණනාවකට පෙර බිහිවූ  අද පවත්වා පවතින කිසිම ආගමක් සම්බන්ධයෙන් “මේ තමයි නියම ආගම” යැයි කීමට කිසිවකුට නොහැකි බවයි.

මා ඉපදුණූ බුදු දහම රටින් රටට වෙනස්ය. ජපානයේ, තායිලන්තයේ, නේපාලයේ, චීනයේ යනාදී වශයෙන් ඇති බෞද්ධවත් පිළිවෙත් එකිනෙකට වෙනස් ය. ඒ සෑම රටකම බෞද්ධාගමික පිරිස් කියනු ඇත්තේ “ අපේ එක තමයි නියම එක” කියාය.

ම්ලේච්ච සහ අධම පාලනයක් ගෙන ගිය ඉස්ලාමීය රාජ්‍ය නායකයින් කියා සිටියේ නියම ඉස්ලාමය තමන් සතු බවය. ඔවුන් ස්ත්‍රීන්ට සළකන ලද්දේ සතුන්ටත් වඩා නරක ලෙසය. එනමුත් ස්ත්‍රින්ට සාමානත්මතාවය ලබා දී ඇති ඉස්ලාමීය රටවල්ද වෙති. ඉරානයේ සහ සවුදියේ ඉස්ලාමය වෙනස්ය. නමුත් මේ හැම කෙනෙකුම කියනු ඇත්තේ “හරියට කරන්නේ තමන්” බවය.

ක්‍රිස්තියානි දහමද එම ඉරණමටම ගොදුරු වී තිබේ. නිකාය වලට බෙදී ගොස් තිබේ.  බෞද්ධයින් බෞද්ධයින් අතරද මුසල්මානුවන් සහ මුසල්මානුවන් අතරද ක්‍රිස්තියානුවන් සහ ක්‍රිස්තියානුවන් අතරද යුද්ධ ඇති වී තිබේ.

එබැවින් වර්තමානයෙහි අප මානවයාගේ අයිතීන් සැළකිල්ලට ගැනීමේ මිනුම ලෙස පාවිච්චි කරන්නේ ආගමික නීති රීති නොවේ. ලෝකයම පිළිගත් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් විශ්ව ප්‍රකාශනය මත පදනම්ව ගොඩ නැගී ඇති දැනුම් සම්භාරයයි.

ඉස්ලාමීය ආගමික සම්ප්‍රදායන් ලෙස දක්වන වර්ම ජේදනය සහ ළමා විවාහ මානව හිමිකම් කෙලෙසීමක් ලෙස ලොව පුරා සැලකෙන්නේ එනිසාය.

පලාල් හලාල්දීන් ඒ ගැන කුමක් කිවනු ඇත්දැයි මම  නොදනිමි.

ශිෂ්ඨාරවත් සමාජයන්හි බහු භාර්යා විවාහ තහනම්ය. පලාල් හලාල්දීන් කුමක් කීවත් ශ්‍රී ලාංකික මුස්ලිම් සමාජයේද අති බහුතරය බහු භාර්යා සේවනය භාවිතාවෙන් ඉවත් කර තිබේ. එළෙස නැතිවෙමින් යන භාවිතයක් යළි පිම්බීමට ජලාල්දීන් උත්සාහ කරන්නේ ඇයි දැයි තේරුම් ගැනීම දුෂ්කරය.

පෙනෙන විදිහට නම් මෙම ලිපිය මෙරට මුස්ලිම් සමාජයේ ප්‍රජාතන්ත්‍රවාදී පිරිස් විසින් ඉදිරිපත් කර ඇති, ආණ්ඩුවද යම් දුරකට පිළිගෙන ඇති මුස්ලිම් විවාහ නීතිය ප්‍රතිසංස්කරණ යෝජනාවන්ට වක්‍ර ලෙස විරුද්ධ වීමකි.

එම යෝජනා මගින් බහු භාර්යා සේවනය අහෝසි කරන ලෙස ඍජුවම ඉල්ලා තිබේ.

එපමණක් නොව එම යෝජනා පෙන්වා දෙන්නේ මෙරට මුස්ලිම් විවාහ නීතිය යටතේ භාර්යාවගේ කැමැත්ත වචනයෙන් හෝ ලිඛිතව හෝ ලබා ගැනීම අනවශ්‍ය බවයි. ඊට අවශ්‍ය වන්නේ පවුලේ වැඩිහිටි පිරිමින්ගේ කැමැත්තය.

දික්සාදය ලබා දීමට පිරිමින්ගේ ආධිපත්‍යට යටත්ය.

ජාලාල්දීන් ස්ත්‍රියගේ පාර්ශවයෙන් දෑවැද්ද දීමට විරුද්ධ වන අතර පිරිමියා විසින් දෑවැද්දක් ලබා දීම අගය කරයි! එය නම් අපූරු බල්ටියකි. දෑවැද්ද කවරකු විසින් කවරකුට දුන්නද ඉල්ලා සිටියද වැරදි නම් වැරදිය.

මුස්ලිම් විවාහ ප්‍රතිසංස්කරණ යෝජනා මෙම දෑවැදි ක්‍රමය ද අහෝසි කරන සේ ඉල්ලා සිටී.

ජලාල්දීන්ගේ විස්මිත තර්කය ලිංගික තෘප්තියට සම්බන්ධය. ඇය මෙසේ කියයි:

“පොදුවේ කාන්තාවකගේ කායික තත්වය අනුව බහු පුරුෂ සේවනය ඔරොත්තු දීමට නොහැකි වනු ඇත. එමෙන්ම එවැනි බහු පුරුෂ විවාහයක දී එම කාන්තාව ලබන දරුවා ගේ පීතෘත්වය අවිනිශ්චිත වනු ඇත. ඊට අමතරව සැමියාගේ මහළු දෙමාපියනට සැළකීමේ ලේලියක සතු යුතුකම ඉටු කිරීමේදී අට දෙනකු උදෙසා කැප වීමට ඇයට සිදු වනු ඇත.”

ජලාල්දීන්ට අනුව ස්ත්‍රී පුරුෂ සම්බන්ධතාවය යනු හුදෙක් ලිංගික සංසර්ගය පමණක් බව පෙනේ.  ඇයට අනුව වැදගත් වන්නේ මාතෘත්වය නොව පීතෘත්වයයි. පියකුගේ නම නැති දරුවන් ලෝකයේ නැත්ද? එමෙන්ම මහළු දෙමාපියන්ට සැළකිය යුත්තේ ගැහැණු දරුවන්ය! බහු භාර්යා සේවනය කරන පිරිමි වැඩිහිටි මාපියන් අට දෙනාම බලා ගන්නවාද? එකගෙයි කෑම පැවැති ලංකාවෙහි ඒ සඳහාම සැකසුූන වාසගම්ද විය. ඒවා අවසන් වූයේ ලාගේ යන අකුරු වලිනි.

මෙම අපූරු තර්කය අනුව පිරිමින්ට  කායික පිහිටීම අනුව ඇති තරම් සංසර්ග තෘප්තිය ලබා ගත හැකිය. ස්ත්‍රියකට බහු පුරුෂ සේවනය ඔරොත්තු නොදෙන්නේ කායික තත්වය නිසාය!

ජලාල්දීන්ගේ සාහසික ප්‍රකාශය එන්නේ ඉන් පසුවය. එනම් බහු භාර්යා සේවනයේ යෙදෙන පිරිමින් ඉතා හොද මානසික තත්වය සිටින නමුත් බහු පුරුෂ සේවනයක යෙදෙන ස්ත්‍රීන් කායික මානසික රෝගීන් බවය. ඒ මෙසේය‍:

“පුරුෂාගේ සහ කාන්තාවගේ ලිංගිකත්වයන් එක සමාන නැත. එක් පුරුෂයකු ගෙන් කායික මානසික තෘප්තියට පත් වන කාන්තාවක බහු පුරුෂ විවාහයකට එළැඹුනහොත් ඇගේ කායික තෘප්තිය ද එම පුරුෂයන්ගේ සංඛ්‍යාව අනුව ඉහළ යාමක් සිදු නොවනු ඇත. එසේ වනුයේ ලිංගික හෝමෝන විෂමතාවයන්ගෙන් යුතු රෝගී කාන්තාවන්ට පමණි.”

ලිංගික හෝමෝන ගැන මේ බහුබූත කතාව ජලාල්දීන් ඉගෙන ගෙන ඇත්තේ කුමන පොතපතින්ද?

විිවාහය පිළිබඳ ජලාල්දීන්ගේ ප්‍රවිශ්ඨය රමණය පමණි. ජලාල්දීන් සිතා සිටින්නේ බහු විධ සම්බන්ධතා පවත්වන ගැහැණුන් සහ පිරිමීන් කරන එකම  ක්‍රියාව රමණය පමණක් කියාය. රමණය එක පිට එක කැරෙන අශ්ව රේස් එකක් කියාය.

මානව සම්බන්ධතා ඊට වඩා බොහෝ වෙනස්ය. විවාහ නොවී බහුවිධ සම්බන්ධතා පවත්වන ස්ත්‍රීහු ද  පිරිමි ද  සිටිති.

පාතිමා ජලාල්දීන්ගේ ලිපිය මෙරට මුස්ලිම් විවාහ නීතිය ප්‍රතිසංස්කරණය කිරීමට දැරෙන ප්‍රජාතන්ත්‍රවාදී පියවරයන්ට විරුද්ධ වක්‍ර ප්‍රහාරයකි. වහෙන් ඔරෝ බාසාවෙන් නැතිව කෙලින්ම සිය අදහස් දක්වන්නේ නම් වඩා හොඳය.

Archive

Latest news

Related news