Monday, January 24, 2022

බහුජන ව්‍යාපාරය තුල ගීතයේ සහ සංගීතයේ භූමිකාව – රංජිත් හේනායක ආරච්චි

අද අප මුහුණ දී සිටින අභියෝගය වන  පුළුල් බහුජන ව්‍යාපාරයක් ගොඩනඟා ගැනීමේ දී කලාකරුවා හමුවෙහි ද  විශාල වගකීමක් තිබේ. විනෝදාස්වාදය සැපයීම මෙන්ම සමාජ යථාර්තයන්  විදහා පෑමද කලාව සතු වගකීමක් යැයි මම සිතමි.

එවැනි උදාහරණ අපට ලොව පුරාම තිබේ. එවැනි විචාරශීලි කලාකරුවන් සහ කලාකාරියන් ජනතාව සතුටු කිරීම සහ ඔවුන්ගේ ප්‍රශ්න වලදී ඔවුන් වෙනුවෙන් පෙනී සිටිමින් ඔවුන්ගේ බුද්ධියට කතා කිරීම ද ලොව පුරා සිදුව තිබේ.  කලාවේ රස වින්දනය ලබන ජනතාව දේශපාලන මර්දනයෙන් සහ සමාජ ආර්ථික පීඩාවන්ගෙන්  විඳවන විට ඒ වේදනාවෙහි  කොටස්කරුවන් සහ කොටස්කාරියන්වීම අලුත් දෙයක් නොවේ.

කලාකරුවාගේ වගකීම “මහරජාණණේ” හෝ “වැඩ කරන අපේ විරුවා”  වැනි, ජනතාව පෙළන, ජනතාවගේ දේපල කොල්ල කන, වංචාකාර, නිර්ලජ්ජී ආඥාදායකයින් හෝ වංචාකාරී දේශපාලකයින්ට ස්තෝත්‍ර ගී ගයමින් ඔවුන්ගේ වන්දිභට්ටයින් වීම නොවේ.  ජනතාවගේ අයිතීන් වෙනුවෙන් ජනතාව සමඟ එකිවීමය. ඔවුන් සමඟ වීදියෙහි අත්වැල් බැද ගැනීමය.

ජැමෙයිකානුවකු වන  බොබ් මාර්ලි ගැයූ පරදි get up, stand up, stand up for your rights  ගී ගයමින් ඔවුන් සමග පෙරමුණේ ගමන් කිරීමයි.

චිලීයේදී වික්ටර් හාරා මෙන්, පිලිපීනයේ දී ජෙය සන්තියාගෝ හෝ සුසාන් සංචෙස් මෙන් දස දහස් ගණන් මිනිසුන් සමග මහපාරට බැස ඔවුන්ගේ පෙරමුණේ සිට තමන්ගේ ගිටාරය වයමින් ජනතාවගේ හදවතේ නගින වේදනාව ගීතයට යොමු කර ගයමින් ජනතාව සමග පෙරමුණේ ගමන් කළ අත්දැකීම්  අපට තිබේ. ඔවුන් තම ගිටාරය ජනතාවගේ හදගැස්ම වෙනුවෙන්ද හැඩවීය. ඔවුන්ගේ අයිතීන් වෙනුවෙන් ගැයූහ. ආදරය ගැන. අහස, මහ පොළව සහ තුරුලතාදිය ගැන ගයනවා මෙන්ම ඔවුහු මිනිස් අයිතීන් සහ ජනතාව යටපත් කිරීමට එරෙහිව ගැයූහ.

අයුක්තිය සහ යුක්තිය හමුවෙහි නිහඩව සිටීම යනු අයුක්තියේ පැත්ත ගැනීමය යන්න දේශපාලනයට මෙන්ම කලාවට ද ආදේශ වෙයි. ආදරය ගැන ගැයීම සමාජයට අවශ්‍ය ය. එමෙන්ම  තමන්ගේ ජීවන යථාර්තය සහ පීඩාවන් ගැන ගැයීමද වැයීමද වැදගත්ය. එසේ නොවූ කළ අප  නොදැනුවත්වම හෝ ඒකාධිපතියන් සහ කුරිරු පාලකයින්ගේ ක්‍රියාවන්හි  නිහඬ අනුගාමිකයින් බවට පත් වෙමු.

“එනිසා ආදරේ ගැන ගී ගයන්න. ආදරේ සුන්දරත්වය ගැන ගී ගයන්න. ඒ වාගේම ජනතාවගේ අයිතීන් වෙනුවෙන් පෙනී සිටිමින් යුක්තිය සඳහා ද ගී ගයන්න. ජන කණ්ඩායම් අතර සහයෝගීතාවය ගැන ගී ගයන්න” යැයි අප කියා සිටිය යුතුය.

ගුණදාස කපුගේ ගැයුවා මෙන් “උතුරු කොනේ” “සිංහල සින්දු කියන කිරිල්ලියන්” ගැන ගී ගයන්න. ලංකාව වැනි තැනක ජන කණ්ඩායම් අතර සහයෝගීතාවය ගැන, ඔවුන්ගේ අයිතීන් ගැන, ජන කණ්ඩායම් යටපත් කිරීමට එරෙහිව ගී ගැයීමේ වැදගත්කම කිසිදිනකටත් වඩා අද අවශ්‍ය වී තිබේ. එවැනි වාතාවරණයක කලාකරුවනි, ඔබේ වගකීම ඔබේ යුතුකම ඒ වෙනුවෙන් ගී ගැයීම යැයි මම කල්පනා කරමි.

ලොව පුරා කලාකරුවන් දකින සිහින වලින් ලෝකය ඉදිරියට ගමන් කරවන බව අපි දනිමු.  ජර්මනියේදී හයින්රිච් බෝල් වැනි ලේඛකයින් සිවිල් සමාජය පෙරදැරි කරගෙන ලක්ෂ ගණනින් මිනිසුන් සමග පෙළපාලිවල ගියේ මිනිසුන්ගේ අයිතීන් තහවුරු කරගැනීමටයි. පීටර් සීගර්, ජෝන් බේස්, බොබ් ඩිලන් වැනි කලාකරුවන් තම ගිටාරය වයමින් මිනිස් අයිතීන් වෙනුවෙන් ගී ගයමින් කඳුළු ගෑස් නොබා පෙළපාලිවල ගියේ ජනතා අයිතිය වෙනුවෙනි. ඔවුන් බැටන් පොල්ලට හෝ අත්අඩංගුවට ගැනීමට බියනොවී ජනතාව වෙනුවෙන් ගී ගැයුවේය. වැය්වේය. we shall over come “අපි ජය ගන්නෙමු” යැයි   ඔවුන් සමග දස දහස් ගණනින් ජනයා ගායනා කළහ.

කලාකරුවාගේ යුතුකම සහ වගකීම වන්නේ ජන හදෙහි නැගෙන රිද්මයට කතා කිරීමයි. ඔවුන් සමග එකට එක පෙළට සිට ගැනීමයි.  ලෝකය පුරාම මිනිසුන් තම ප්‍රශ්න ගැන කතා කිරීමට පාරට බසින සෑම මොහොතකම විප්ලවීය හෝ රැඩිකල් හෝ මානවීය හෝ කලාකරුවන් එම පෙරමුණෙහි ගීත ගයමින් එකට ගමන් කරන ආකාරය අප දැක ඇත්තෙමු. ඉතිහාසය පුරාවටම එය සිදුවුණි. වර්තමානයේ ද සිදුවෙයි.

නමුත් ලංකා සමාජයේ අපේ පෙළපාලිවල එදා වමේ කොටස් “සාදුකින් පෙලෙන උන්, දැන් ඉතින් නැගිටියව්” කියා ගායනා කරා හැරුණු කොට එයින් එහා ගිය කලාකරුවන් විසින් නිර්මාණය කළ නිර්මාණ තුළින් ජනතාවගේ හදවත් අවදි කර කුළු ගැන්වූ සංස්කෘතියක්, ගීත සංස්කෘතියක්, අපට උරුම කර නැත.

ඇත්තෙන්ම අද වන විට තරුණ කලාකරුවන්, කලාකාරියන් ගණනාවක්ම ඉතා අගනා ගීත ගායනා කරන නමුත්, ඔවුන්ගේ දැක්ම ඉතා හොඳ බව පෙනේ. එනමුත් ඔවුන් තම ගීත කලාව දහස් ගණන් එකට එක් වී ගයමින් මහ පාරේ ගමන් කළ හැකි, එසේ නැත්නම් විරෝධය පෑමේ ගමනේ ශක්තිය බවට පත් කිරීමේ සංස්කෘතියක් වෙත යොමු කල හැකි ගී නිර්මානයක් තවම දක්නට නැත.

සටන්කාමී රිද්මය  ජන ගංගාවක් එකට බැද තැබෙන වර පටක් වැන්න.

අද ඒ සංස්කෘතිය ඇති කළ යුතුව තිබේ. මා මෙහි කතා කරන්නේ අප රටේ සිටින තරුණ කලාකරුවන් සහ කලාකාරියන‍ටයි.  ලෝකය පුරාම පෙළපාලි හෝ උද්ඝෝෂණයන්හි දී ගිටාරය සහ බෙර වයමින් ගායනා කරන හැටි එම තාලවලට නටන හැටි ඔබ දැක ඇතුවාට සැක නැත.

බ්‍රසීලයේ ඉඩම් නැති ජනතාව ඉඩම් වෙනුවෙන් කරන පෙළපාලියක හෝ දකුනු අප්‍රිකාවේ අපාතයිඩ් රෙජීමයට එරෙහිව කළ පෙළපාලි, එසේ නැත්නම් සුදු රුසියාවේ පෙළපාලි ආදී බොහෝ රටවල එවැනි සටන්කාමී ගී සංස්කෘතියක් අපි දැක ඇත්තේමු.

එක්දහස් නවසිය අසූ ගණන් වල අප පරමානු අවි වලට, වර්ගවාදයට සහ යුද්දයට එරෙහිව ජර්මනියේ වීදි වල පෙළපාලි යන විට ගායකයින් ගිටාර් වයමින් බෙර ගසමින් සින්දු කියමින් ගමන් කරමින් අපේ උද්ඝෝෂනයන්ට ජවයක් එක් කලහ. යුරෝපයේ, ලතින් අමෙරිකාවේ මෙන් බොහෝ රටවල පෙළපාලි සහ උද්ඝෝෂණ වල සාමූහික ගී ගයමින් යන දසුන් එමටය. ඒවායෙහි chao bella, chao chao chao, හෝ ඒ වගේම ලෝකය පුරාමත් Guantanamera, Guajira Guantanamera,  වැනි ගීත ගැයෙති.

කණගාටුවට මෙන් අපේ රටෙහි මෙම සංස්කෘතිය අපට අහිමිය. අද අපට එවැනි සංස්කෘතියක් අවශ්‍යය. සංස්කෘතිය යන්න එක තැන පවතින්නක් නොවන බව අපි දනිමු. සංස්කෘතිය නිරන්තරයෙන් වෙනස් වෙමින් ගමන් කරයි. ලෝකයේ විවිධ සංස්කෘතීන් වලින් අපට බොහෝ දේ එකතු වී ඇති බවත් අපි දනිමු. එසේ නම් අද ජනතාවගේ විරෝධතාවයන් හිදී කලාකරුවන් සහ කලාකාරියන් විසින් නව නිර්මාණ, නව ආභාෂයන් අපට එක් කිරීම අත්‍යාවශ්‍ය දෙයකි.

කලාකරුවනි, කලාකාරියනි, ඔබේ යුතුකම ජනතාව සමඟ එකට ගමන් කිරීමයි. එවැනි නිර්මාණ වලින් අප සංස්කෘතිය පෝෂණය කිරීමයි. අපට අවශ්‍ය ජනතාවට ඉහළින් වැජඹෙන කලාකරුවන් නොව ජනතාව සමග ජීවත් වෙන කලාකරුවන්ය. කලාකාරියන්ය. නව නිර්මාණ ඇති කිරීම ඔබේ වගකීමයි. පැරණි දෙයින් ඉගෙන අළුත් ආරක නිර්මාණ අපට අද අවශයය.

උදාහරණයක් ගන්නේ නම් 1950 ගණන්වලදී සිවිල් අයිතීන් වෙනුවෙන් පෙනී සිටින ජනයා විසින් ආරම්භ කරන we shall overcome ගීතය පසු කලක සිවිල් අයිතීන් වෙනුවෙන් බලවේගයේ තේමා ගීතය බවට පත් විය.

මෙම ගීතයේ ඉතිහාසය 1900 තරම් දුරය. එය අලුත් අධ්‍යනයන් තුළින් ජනප්‍රිය කරනු ලබන්නේ පීටර් ෂීගර්, බොබ් ඩිලන්, ජෝන් බේස් වැනි ජනප්‍රිය ගායක ගායිකාවන් විසිනි. මුලින්ම ඔවුහු එම ගී ජනයා සමග එක්ව ගයමින් ඔවුනට ඒවා හුරු කරවති. මෙම ගීත වල ඉතිහාසය ජන ගී වලින් සහ යටපත් කිරීමට එරෙහිව කළු ජනතාව විසින් ගැයූ ගී තුලින් ආරම්භ වෙයි.

අද අපට අවශ්‍යව ඇත්තේ අපේ ජනතාවගේ හදට කතා කරන ජන ගී ආරයෙන් ගොඩනැගෙන මුත් සැමගේ පොදු ප්‍රශ්න වෙනුවෙන් ගායනා කළ හැකි, සෑම මිනිසෙකුටම ලං විය හැකි  ආරකින් ගැයෙන මෙවැනි ගීතයි.

මම සංගීතඥයෙක් නොවන නිසා මට ඒ ගැන මීට වැඩි දෙයක් කිව නොහැක. නමුත් මානවවාදී කලාකරුවාගේ යුතුකම වන්නේ තම දැනුම තම හැකියාව අපේ ජන ගී ආර වලින් පැමිණෙන ගී ආරට එකතු කිරීම් වලින් එය සමාජගත කිරීම යැයි මම සිතමි. අපේ රටේ මෙවැනි සංස්කෘතියක් තවම  බිහිවී නැති බව මගේ වැටහීමයි.

සමහර විට ගාමිණී හත්තොටුවේගම වැනි කලාකරුවන් ඇති කල වීදි නාට්‍ය සම්ප්‍රදාය හරහා  මෙවැනි ආරකින් මතුවූ බවත් අද වන විට ඒවා ඉතා සීමිත කොටසකට සීමා වී ඇති බවත් පෙනේ.

https://www.youtube.com/watch?v=z0Na2Z5Lw-w  මෙහි සවන් දිය හැකිය.

සංගීතය ඉතා ශක්තිමත් මාධ්‍යයක් බව අප අමතක නොකළ යුතුය. විශේෂයෙන්ම බහුජන බලවේගයන් ගොඩනැගෙන විට ඒ සඳහා කලාකරුවා විසින්, මෙහිදී මා අදහස් කරන්නේ යම්කිසි පදනමක් ද ඇති කලාවෙහි නියැලෙන කොටස් විසින් බිහි කළ යුතු ගීත සාහිත්‍යයක් ඇති බවයි.

පසුගිය වකවානුවේ සමහර තරුණ ගායක ගායිකාවන් විශේෂයෙන්ම ස්ත්‍රි අයිතීන් යටපත් කිරීම, පුරුෂාධිපත්‍ය වැනි කාරණා පිළිබඳව ගීත ගායනා කරනු අසන්නට ලැබුණි. (පොඩ්ඩියේ, කොවුලකු මොටද මට, රෑ මැදියම මත්වූ) මෙයින් පෙන්වන්නේ ජනතාවගේ ප්‍රශ්න පිළිබඳව සංවේදී බවක් ඇතිව ගායනා කරන කන්ඩායම් සිටින බවයි. මේ ආරාධනාව ඔබ වැන්නන්ට තවදුරටත් සිතා බලා ඉන් එහාට යන ලෙසයි. ජනතාවගේ ප්‍රශ්ණ හඳුනා ගෙන ඒ වෙනුවෙන්ද ගීත නිර්මාණ කරන ලෙසයි.

යම් ආකාරයකින් අප පොදු ජන බලවේගයක් පිළිබඳ කතා කරන විට සමහර දෙනෙකු අපිට ඇඟිල්ල දික් කරන බව පසුගිය දිනවල දකින්නට ලැබුණේ අප යහපාලනය උදෙසා ද පෙනී සිටි අය නොවේද කියාය.

යහපාලනය වෙනුවෙන් පෙනී සිටි නමුත් යහපාලන රජය පත්කර ගැනීමෙන් පසු එය අයහපත් පාලනය දක්වා ගමන් කරන්නේ වසරක් දෙකක් ඇතුළතයි. දේශපාලකයින් දෙසට පමණක් ඇඟිල්ල දික් කිරීම ප්‍රමාණවත් ද? අප අපේ යුතුකම් ඉටුකලාද යන්න අප ද සිතා බැලිය යුතුය. එදා සිවිල් ජනතා බලවේග බල හුවමාරුවෙන් පසු නිහඬව දේශපාලනඥයින්ට රට බාර දී බලා සිටියා නොවේද? අප කළ යුතුව තිබුනේ බල මාරුවෙන් පසු වහාම ජන බලවේග ඉදිරියට ගැනීමත් දේශපාලකයින් එම ජනතා බලවේග තුල හිර කරමින් ඔවුන්ට අපේ වුවමනාවන් ඉටු කිරීමට බලපාන තත්ත්වයක් සමාජය තුළ දේශපාලනය තුළ ගොඩ නැගීමය. නමුත් එහිදී අපේ යුතුකම ඉටු නොකළ බවත් ඒ නිසාම දේශපාලනඥයින් තමාට හුරු මඟ යාමට අවස්ථාව සැළසුණ බවයි. අප සොයා බැලිය යුත්තේ දේශපාලනඥයින් කළ වැරැද්දට වඩා අපේ වරද  කුමක්ද කොහිද යන්නයි. එනිසා අප එදා වැරදි වලින් අද ඉගෙන ගනිමින් කළ යුතුව ඇත්තේ අද ගොඩනගන පුළුල් ජනතා බලවේගය දේශපාලන බල හුවමාරුවකින් එහා ගොස් බලයේ සිටින දේශපාලනයට බල කිරීමේ බලවේගයක් බවට පත් වීමයි. අපේ උවමනාවන් ඉටු කර ගන්නා තුරු දිගින් දිගටම ඒ සටන කරගෙන යාමයි.

 

Archive

Latest news

බන්ධනාගාර පාලනයේ අවළම් හැසිරීම පෙන්වන එළිමහන් සිරකදවුරේ මිනී මැරුම

සිරකරු අයිතිවාසිකම් කමිටුවේ පහ​ත ඡායාරූපයේ ඇති බැනර් එක ඉදිරියේ තිබෙන අසුනේ කිසිවෙකු වාඩි වෙනවාට වඩා හිස්ව තිබෙනු දැකීමට අපගේ වැඩි කැමැත්තක් ඇත. ඒ, එම...

වරාය නගරය බලන්න ටිකට් අස්ප ගණන්! අයෙකුට අවම රු.5000යි.

ඡාායරූපය: ශෙහාන් ගුණසේකර මුහුණූ පොතෙනි. කොළඹ වරාය නගරයේ සංචාරය කිරීමට දේශීය ජනයා පැමිණෙන තත්වය තුළ එහි ඡායාරූප ගැනීමට සහ වීඩියෝ කිරීමට ගෙවිය යුතු ගාස්තු කොළඹ...

ප්ලාස්ටික් සෙල්ලම් බඩු පොලිසියට ආයුධ ගබඩාවක් වෙලා – ඕශල හේරත්

බොරැල්ල සියලු සාන්තුවරයන්ගේ දේවස්ථානයට අත් බෝම්බයක් තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් පිළියන්දල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් විශ්‍රාමික වෛද්‍යවරයාගේ නිවස තුළ තිබී ආයුධ තොගයක් සොයාගෙන ඇතැයි ඇතැම් මාධ්‍යවල පලවී...

පාස්කු ඉරිදා ප්‍රහාරය: දෙවසරක් සිරකොට සිටින 63කට තවමත් නඩු නෑ !

මානව හිමිකම් කඩකිරීම් වලට තමන් අනුබල දී නොමැති බව ජනාධිපතිවරයා පවසද්දී, වසර දෙක හමාරකට වැඩි කලක් නඩු නැතිව රඳවාගෙන සිටින සැකකරුවන් හැට තුන් දෙනකු තව...

Related news

බන්ධනාගාර පාලනයේ අවළම් හැසිරීම පෙන්වන එළිමහන් සිරකදවුරේ මිනී මැරුම

සිරකරු අයිතිවාසිකම් කමිටුවේ පහ​ත ඡායාරූපයේ ඇති බැනර් එක ඉදිරියේ තිබෙන අසුනේ කිසිවෙකු වාඩි වෙනවාට වඩා හිස්ව තිබෙනු දැකීමට අපගේ වැඩි කැමැත්තක් ඇත. ඒ, එම...

වරාය නගරය බලන්න ටිකට් අස්ප ගණන්! අයෙකුට අවම රු.5000යි.

ඡාායරූපය: ශෙහාන් ගුණසේකර මුහුණූ පොතෙනි. කොළඹ වරාය නගරයේ සංචාරය කිරීමට දේශීය ජනයා පැමිණෙන තත්වය තුළ එහි ඡායාරූප ගැනීමට සහ වීඩියෝ කිරීමට ගෙවිය යුතු ගාස්තු කොළඹ...

ප්ලාස්ටික් සෙල්ලම් බඩු පොලිසියට ආයුධ ගබඩාවක් වෙලා – ඕශල හේරත්

බොරැල්ල සියලු සාන්තුවරයන්ගේ දේවස්ථානයට අත් බෝම්බයක් තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් පිළියන්දල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් විශ්‍රාමික වෛද්‍යවරයාගේ නිවස තුළ තිබී ආයුධ තොගයක් සොයාගෙන ඇතැයි ඇතැම් මාධ්‍යවල පලවී...

පාස්කු ඉරිදා ප්‍රහාරය: දෙවසරක් සිරකොට සිටින 63කට තවමත් නඩු නෑ !

මානව හිමිකම් කඩකිරීම් වලට තමන් අනුබල දී නොමැති බව ජනාධිපතිවරයා පවසද්දී, වසර දෙක හමාරකට වැඩි කලක් නඩු නැතිව රඳවාගෙන සිටින සැකකරුවන් හැට තුන් දෙනකු තව...