Friday, April 26, 2024

පොලිසිය කළ යුත්තේ මානව හිමිකමි දින සැමරැම තහනම් කිරීම නොව ඊට එරෙහිව වෛරය සහ ප්‍රචන්ඩත්වය වැපිරීම නතර කිරීමයි. – මහනුවර මානව හිමිකම් කාර්යාලය

මහනුවරදී පැවැත්වීමට නියමිතව තිබී අධිකරණ නියෝගක් මගින් වලක්වන ලද මානව හිමිකම් දින සැමරුම පිළිබඳ පැහැදිළි කිරීමක් කරන මහනුවර මානව හිමිකම් කාර්යාලය  පොලීසිය, මානව හිමිකම් කොමිසම, අධිකරණය, අදාල සියලු ආයතන වලින් හා ලංකාවේ යහපත් පුරවැසියන් සියලු දෙදෙනාගෙන්ම  ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ලබා දී ඇති අදහස් ප්‍රකාශ කිරීමේ හා රැස්වීමේ අයිතිය තහවුරු කරමින් අපහට මෙම මානව හිමිකම් දින සැමරුම පැවැත්වීමට අවකාශ සලසා දෙන ලෙස ඉල්ලා සිටිමින්   මෙම නීත්‍යානුකූල රැස්වීමට වෛරී ප්‍රකාශ වලින්, වැරදි සහ නොමග යවන සුළු තොරතුරු සමාජගත කිරීමෙන්, ප්‍රචන්ඩත්වයෙන් හෝ වෙනත් අනීතික ක්‍රම වලින් බාධා කිරීමට උත්සහ කරන පුද්ගලයන් සහ කණ්ඩායම් වලට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙස ඉල්ලා සිටී.

එම නිවේදනය පහත දැක්වේ.

දෙසැම්බර් මස 10 වන දිනට යෙදෙන ජාත්‍යන්තර මානව හිමිකම් දිනය නිමිත්තෙන් මහනුවර මානව හිමිකම් කාර්යාලය විසින් දැනට වසර 10 කටත් වඩා අධික කාලයක් පුරාවට මානව හිමිකම් දින සැමරුම් උත්සව පවත්වා ඇත. මෙම වසරේ මානව හිමිකම් දිනයේ තේමාව වූයේ “බන්ධනාගාරගත වූවන්ට මානව ගරුත්වය සහ මානුෂීය තත්වයන් යටතේ සිටීමට ඇති අයිතිය තහවුරු කරමු” යන්නයි. මෙය ශ්‍රී ලංකාවේ විශාලතම බන්ධනාගාරයේ ඉදිරිපස තාප්පයේ ලියා ඇති “සිරකරුවෝද මනුෂ්‍යයෝය” යන ප්‍රසිද්ධ වැකියෙන් හා ජාත්‍යන්තර හා ශ්‍රී ලාංකීය නීතියෙන්ද තහවුරු වන කරුණකි.

අපගේ මානව හිමිකම් දින සැමරුම පැවැත්වීමට යෙදෙන මෙම කාල වකවානුව වන විට බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් බන්ධනාගාරවල තදබදයට පිළියම් සෙවීම සදහා කෙටිකාලීන මධ්‍යකාලීන හා දීර්ගකාලීන වශයෙන් සැලසුම් ප්‍රකාශයට පත් කොට ඇති අතර, බන්ධනාගාර ප්‍රතිසංස්කරණය සඳහාද පස් අවුරුදු සැලැස්මක් ඉදිරිපත් කොට ඇත. අපගේ මෙම වසරේ මානව හිමිකම් දින සැමරුම අප විසින් බන්ධනාගාර ගතවූවන්, ඔවුන්ගේ පවුල් වල අය සහ බන්ධනාගාර නිලධාරීන් සමග වසර ගණනාවක් පුරාවට සිදු කරන ලද කාර්යභාරයේ පිළිඹිබුවකි.

මෙම වසරේ ආරාධිතයන් ලෙස නිදහස ලැබූ සිරකරුවන්, සිරකරුවන්ගේ පවුල් වල සාමාජිකයන්, පූජක පක්ෂය, නීතීඥවරුන්, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කාර්ය මංඩලය, පොලිස් නිලධාරීන් සහ බන්ධනාගාර නිලධාරීන් මානව හිමිකම් උළෙලට සහභාගීවීමට නියමිතව පැවතුනි.

මෙම වාර්ෂික මානව හිමිකම් දින සැමරුම් හීදී ශ්‍රී ලංකාව තුළ මානව හිමිකම් ආරක්ෂා කිරීමටත්, ප්‍රවර්ධනය කිරීමටත්, දැඩි වෙහෙසක් දරණ ලද පුද්ගලයන්ට හා කණ්ඩායම් වලට සම්මාන ලබා දීමක් ද අප විසින් සිදු කරනු ලබයි. මින් පෙර එලෙස සම්මානයට පාත්‍රවූවන් අතර, ලංකාවේ විවිධ ප්‍රදේශ වල කාන්තාවන් සහ පුරුෂයින්ද, විවිධ ආගමික හා ජනවාර්ගික කණ්ඩායම් වලට අයත් පුද්ගලයන්ද, නීතීඥවරුන්, වෛද්‍යවරුන්, මාධ්‍යවේදීන්, පූජකයින්, අධ්‍යාපනඥයන්, රජයේ සේවකයන් ආදී පුද්ගයන් සිටී. එමෙන්ම මේ අය අතර, බොහෝ දෙනෙක් ස්ත්‍රීන් ලිංගික අපයෝජනය, වධහිංසාව, අසාධාරණ ලෙස සිරගත කර තැබීම ආදී මානව අයිතිවාසිකම් කඩවීම් හේතුවෙන් වින්දිතභාවයට පත් වූවන් මෙන්ම, 1980 දශකයේ අවසන් භාගයේ පමණ අතුරුදහන්වූ අයගේ පවුල් මෙන් වින්දිත පවුල් ද විය.

එමෙන්ම මානව හිමිකම් සම්මාන ලැබූවන් අතර, පොලිස් නිලධාරියෙකු, හමුදා නිලධාරියෙකු සහ බන්ධනාගාර නිලධාරියෙකු ද සිටී.

මෙම වසරේ මානව හිමිකම් දිනයේ තේමාවට සමගාමීව අප විසින් බන්ධනාගාරගතවූන්ගේ පවුල් වල සාමාජිකයන් 19 කට සහ ඔවුන්ට සහය වන්නන් 3 දෙනෙකුව ඇගයීමට ලක්කිරීමට සැලැසුම් කර තිබුනේ ඔවුන් විසින් මානසික, ආර්ථික, සාමාජීය හා අනිකුත් අභියෝගයන්ට මුහුණ දෙමින් වසර ගණනාවක් පුරාවට සාධාරණ නඩු විභාගයක් සහ නීතිීයේ පාලනය තහවුරු කිරීම සඳහා සිදු කලාවූ අරගලය හේතුවෙනි.

මෙයින් පවුල් 14 ක් බන්ධනාගාරයෙන් නිදහස ලබා සිටින පුද්ගලයන්ගේ වන අතර, අනෙක් පවුල් 5 හි සාමාජිකයෙක් මේ වන විටත් බන්ධනාගාරයේ සිටී.

අපගේ අත්දැකීම අනුව යම් සැකකරුවෙකු අධිකරණයක් මගින් වරදකරු කරනු ලැබුවාත් නැතත් ඔවුන්ගේ පවුල් වල අයට බොහෝ දුක් කම්කටොලු වලට මුහුණ දීමට සිදු වන අතර, විවිධාකාර අභියෝගයන් රැසකට මුහුණදීමට සිදු වේ. එමෙන්ම ශ්‍රී ලංකාවේ ශේෂ්ඨාධිකරණය මගින් ඉතාම මෑතකදී එනම්, 2021 දෙසැම්බර් මස 06 වන දින තීරණය කරන ලද ීක්‍ත්‍ඍ 531/2012 නඩු තීන්දුවේද තීන්දු කර ඇති ආකාරයට යම් පුද්ගලයෙකු සිදු කලා යැයි සැක කරන හෝ කළ බවට ඔප්පු වී ඇති වරදක් සම්බන්ධයෙන් එම පුද්ගලයාගේ පවුලේ සාමාජිකයන්ට දඬුවම් කිරීම සිදු නොකල යුත්තක් බව අපගේද අදහසයි.

එසේ හෙයින් අප සමග කාලයක් පුරාවට වැඩකටයුතු කරන මෙම බන්ධනාගාරගත වූවන්ගේ පවුල් වල අය සහ ඔවුන්ට සහයවන්නන්ව අගය කිරීමේදී එම පවුල් වල බන්ධනාගාරගතව සිටින තැනැත්තා සැකකරුවෙක්ද, වරුදකරු කරනු ලැබූවෙක්ද, නිදහස ලැබූ තැනැත්තෙක්ද යන්න සහ ඔවුන් විසින් කරන ලද වරදේ ස්වභාවය නොලසකා එම ඇගයීම සිදුකිරීමට සැලැසුම් කරන ලදි.

මෙම ඇගයීමට ලක්වීමට සිටි සමහර පුද්ගයින්ගේ පවුලේ සාමාජිකයන්ගේ නඩු කටයුතු අවසන් වී බන්ධනාගාරයෙන් ඔවුන් නිදහස් වී සිටින නමුත් ඔවුන් ඉන් පසුවත් කණ්ඩායමක් ලෙස දිගටම අප සමග එක්ව වැඩකටයුතු කරමින් සිටි. ඔවුන් අනෙකුත් වින්දිතයන්නටද සහයෝගය ලබා දෙමින් කාලයත් සමග මානව හිමිකම් ක්‍රියාකාරකයින් බවට පත්ව ඇත.

මෙම තත්වයන් යටතේ දෙසැම්බර් මස 11 වන දින පැවැත්වීමට නියමිතව තිබුණ අපගේ මානව හිමිකම් දින සැමරුම වැලැක්වීම සඳහා, එය පැවැත්වුවහොත් විවිධ ජාතීන් අතර අසමගියක් ඇති විය හැකි බවට කරුණු දක්වමින් අපරාධ නඩු විධාන සංග්‍රහයේ 106 (1) වගන්තිය යටතේ මහනුවර පොලීසිය විසින් මහනුවර අතිරේක මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඒක පාර්ශවික නියෝගයක් ලබා ගැනීමෙන් අප කම්පනයට පත්වුනෙමු. මෙම අධිකරණ නියෝගයට හා ශ්‍රී ලංකා පොලීසියට ගරු කරමින්, මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරියේ පෙනී සිටිමින් සහ මධ්‍යම පලාත භාර නියෝජ්‍ය පොලිස්පතිතුමන් හමුවෙමින් අපි මෙම මානව හිමිකම් දින සැමරුම පිළිබදව හා එහි පසුබිම පිළිබදව වැඩි දුරටත් තොරතුරු ඉදිරිපත් කළෙමු. කෙසේ වෙතත් අධිකරණ නියෝගයේ වෙනසක් සිදු නොවූ බැවින් අප දෙසැම්බර් මස 11 වන දින මානව හිමිකම් දින සැමරුම නොපවත්වන ලදී.

මේ අනුව අප විසින් මෙම දිනය සඳහා කාලයක් පුරාවට සංවිධානය කරන ලද කටයුතු සියල්ලම අත්හිටුවන ලදී. මෙහිදී අසීරුම කටයුත්ත වූයේ මෙම දිනය එළඹෙන තෙක් ඇඟිලි ගනිමින් බලා සිටි, මෙදින ඇගයීමට පාත්‍රවී සිටි පුද්ගලයන්ට මේ පිළිබදව දැනුම් දීමයි. මෙම උත්සවය සඳහා ඔවුන් අලුත් ඇඳුම් මිලදීගෙන තිබූ අතර, තවත් කොටසක් මේ වන විටත් නුවර ප්‍රදේශයට පැමිණීමට ගමන් අරඹා තිබුනි. නුවර ප්‍රදේශයෙන් හා අවට ප්‍රදේශවලින් පැමිණීමට සිටි පුද්ගලයන්ද මේ පිළිබදව ඔවුන්ගේ කනගාටුව පල කරන ලදී.

තවද අපව සම්බන්ධකරගෙන කරුණු විමසීමක් පවා සිදු නොකරමින් විවිධ මාධ්‍යයන්හි පලවූ ඒක පාර්ශවික, නොමග යවන සුළු වැරදි සහගත මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන්ද අප අපගේ කනගාටුව පල කරන්නෙමු. මෙම පුවත් හේතුවෙන් ඇගයීමට ලක්වීමට සිටි අය විශාල වශයෙන් මානසික පීඩාවට ලක්වූ අතර, එක් පුද්ගලයෙක් ජනප්‍රිය සිංහල පුවත් පතක පලවූ ලිපියක් දැක හැඬූ කඳුලින් යුතුව අපට අදහස් ප්‍රකාශ කරන ලදී.

මෙම වසරේ මානව හිමිකම් දින සැමරුම් ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශයන් හි සිටින, විවිධ ජාතීන්ට හා ආගම් වලට අයත්, සමාජය තුළ වඩාත්ම කොන්වී සිටින, කිසිඳු සැලකිල්ලකට ලක් නොවන නමුත්, අධිෂ්ඨානශීලි හා මහන්සියෙන් වැඩ කරන පිරිසක් ඇගයීමට ලක් කිරීමට නියමිතව තිබුණු බැවින්, එය විවිධ ජාතීන් අතර, සමගිය තව තවත් තහවුරු කරන අවස්ථාවක් වන්නට තිබුණු බව අපගේ විශ්වාසයයි.

පොලීසිය විසින් අධිකරණයට ඉදිරිපත් කරන ලද කරුණු වලට තවමත් අපට ප්‍රවේශයක් නොමැති බැවින් අපගේ මානව හිමිකම් දින සැමරුම විවිධ ජාතීන් අතර අසමගියක් ඇති කරනු ලබන්නේ කෙසේද යන්න අපට තේරුම් ගත නොහැක.
මේ අවස්ථාව වන විට අප ඉදිරි පියවරයන් පිළිබදව සාකච්ඡා කරමින් සිටින අතර, මෙම මානව හිමිකම් දින සැමරුම ඉදිරි දිනයකදී පැවැත්වීම පිළිබදව ද අවධානය යොමු කොට ඇත.

අප පොලීසියෙන්, මානව හිමිකම් කොමිසමෙන්, අධිකරණයෙන්, අදාල සියලු ආයතන වලින් හා ලංකාවේ යහපත් පුරවැසියන් සියලු දෙදෙනාගෙන්ම ඉල්ලා සිටින්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ලබා දී ඇති අදහස් ප්‍රකාශ කිරීමේ හා රැස්වීමේ අයිතිය තහවුරු කරමින් අපහට මෙම මානව හිමිකම් දින සැමරුම පැවැත්වීමට අවකාශ සලසා දෙන ලෙස හා මෙම නීත්‍යානුකූල රැස්වීමට වෛරී ප්‍රකාශ වලින්, වැරදි සහ නොමග යවන සුළු තොරතුරු සමාජගත කිරීමෙන්, ප්‍රචන්ඩත්වයෙන් හෝ වෙනත් අනීතික ක්‍රම වලින් බාධා කිරීමට උත්සහ කරන පුද්ගලයන් සහ කණ්ඩායම් වලට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙසයි.

පසුබිම:
මහනුවර මානව හිමිකම් කාර්යාලය යනු ශ්‍රී ලංකාවේ මධ්‍යම පලාතේ, මහනුවර 2008 වර්ෂයේ සිට ක්‍රියාත්මක වන මානව හිමිකම් කණ්ඩායමකි. එය මහනුවර කතෝලික පදවියේ (මධ්‍යම පලාතේ) රදගුරුතුමන් යටතේ කටයුතු කරන ආයතනයකි.
එහි ආරම්භකයා හා අධ්‍යක්ෂකවරයා වන්නේ 2018 වර්ෂයේදී කොරියාවේ මානව හිමිකම් සඳහා වන ග්වන්ජු සම්මානයෙන් පිදුම් ලැබූ ගරු. නන්දන මනතුංග කතෝලික පියතුමාවේ. මෙම මානව හිමිකම් කාර්යාලය මහනුවර කතෝලික රදගුරුතුමාගේ හා ජාතික හා ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන රැසකගේ සහයෝගය ඇතිව ක්‍රියාත්මක වන ආයතනයකි. මහනුවර මානව හිමිකම් කාර්යාලයේ ක්‍රියාකාරී ප්‍රධාන කණ්ඩායම වන්නේ කුඩා සේවක මණ්ඩලයක් සහ පූජකයන්, වෛද්‍ය වෘත්තිකයන්, මනෝ වෛද්‍ය උපදේශකයන්, නීතීඥවරුන් ආදීන්ගෙන් සමන්විත සහයක කණ්ඩායමකි. ඔවුන් කාලයක් පුරාවට අතුරුදහන් වූවන්ගේ පවුල් සහ බන්ධනාගාරගතවූවන්ගේ පවුල්ද වධහිංසනයෙන් හා ලිංගික හිංසනයන්ගෙන් වින්දිතභාවයට පත්වූවන් සහ ඔවුන්ගේ පවුල් සමග කටයුතු කරමින් සිටී. මොවුන් ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශවලින් පැමිණෙන විවිධ ආගම් හා ජාතීන්ට අයත් පුද්ගලයන් වේ.

නීතියේ ආදිපත්‍ය තහවුරු කිරීම සඳහා මහනුවර මානව හිමිකම් කාර්යාලය කරනු ලබන ක්‍රියාකාරකම් අතර නීතිමය සහය ලබා දීම, මනෝ වෛද්‍ය උපදේශනය ලබා දීම, ජාතික හා ජාත්‍යන්තර වශයෙන් කරනු ලබන මැදිහත්වීම්, යුක්තිය උදෙසා අරගල කරන වින්දිතයන් සහ ඔවුන්ගේ පවුල් සංවිධානය කිරීම හා බලවන්ත කිරීම, ආගමික නායකයන්, සිසුන් හා තරුණ කොටස් වලට මානව හිමිකම් පිළිබද අධ්‍යාපනය ලබා දීම ආදිය වේ. ඔවුන්ගේ ප්‍රධානම ක්‍රියාකාරකමක් වන්නේ බන්ධනාගාර සමග කටයුතු කිරීමයි. මහනුවර මානව හිමිකම් කාර්යාලය කාලයක් පුරාවටම සිරකරුවන්, නිදහස ලැබූ සිරකරුවන්, සිරකරුවන්ගේ පවුල්වල සාමාජිකයන් සහ බන්ධනාගාර නිළධාරීන් සමග ඉතාමත් සමීපයෙන් කටයුතු කරන අතර වර්තමානයේ ගාල්ල රදගුරුතුමා නායකත්වය දරණ බන්ධනාගාර සම්බන්ධයෙන් වන ජාතික කතෝලික කොමිසමේ (National Catholic Commission for Prison Ministry) සාමාජිකත්වය දරයි.

Archive

Latest news

Related news