Thursday, April 25, 2024

පාස්කු ප්‍රහාර නඩුව: හමුදා බුද්ධි අංශ ප්‍රධානියාගේ විස්මිත සාක්ෂියෙන් පසු අනෙක් බුද්ධි ප්‍රධානීන් නවතයිද?

පාස්කු ප්‍රහාර පිළිබඳ පැවැත්වෙන නඩුවෙහි දී එවකට සිටි යුද හමුදා බුද්ධි ප්‍රධානියාගේ 13දා දෙන ලද සාක්ෂියෙන් පසු අනෙක් බුද්ධි අංශ ප්‍රධානීන් සාක්ෂි වශයෙන් කැඳවීම නතර කිරීමට නීතිපති තීරණය කර ඇතැයි නොනිල ආරංචි මාර්ග ප්‍රකාශ කරයි.‍

කෙසේ වෙතත් ඊට පසුදා සාක්ෂි දීමට පැමිණ සිටි ජාතික බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී නියෝජ්‍ය පොලිස්පති සිසිර මෙන්ඩිස් ගේ සාක්ෂිය නොකැදවීමට නීතිපතිවරයා තීරණය කර ඇතැයි අධිකරණය හමුවේ ප්‍රකාශ වී තිබේ.

යුද හමුදා හිටපු බුද්ධි අධ්‍යක්ෂ විශ්‍රාමික බ්‍රිගේඩියර් චූල කොඩිතුවක්කු සිය සාක්ෂියේදී රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන 2019 අප්‍රේල් 21දා  ප්‍රහාරය සිදුවන තුරුම ඔහුට එම අප්‍රේල් 04 වනදා ලැබී තිබූ ප්‍රහාරය පිළිබඳ විදේශ බුද්ධි තොරතුර යුද හමුදා බුද්ධි සේවයට දැනුම් දී නොතිබූ බව කියා සිටියේය.

තවද  නිලන්ත ජයවර්ධන ජනාධිපති සිරිසේනට  සෘජුවම බුද්ධි තොරතුරු සන්නිවේදනය කරන බව ආරක්ෂක ප්‍රධානින් සියලු දෙනාට අවබෝධයක් තිබු බව ද ඔහු අධිකරණය හමුවේ ප්‍රකාශ කළේය.

මෙම නඩුවෙහි රජයේ සාක්ෂිකරුවකු වන නිලන්ත ජයවර්ධන නැවත නැවත කියා ඇත්තේ තමා ජනාධිපති සිරිසේනට  මෙම ප්‍රහාරය පිළිබඳව ලැබුණූ තොරතුරු දැනුම් නොදුන් බවයි.

එනමුත් පාස්කු ප්‍රහාර විමර්ශනය කළ ජනාධිපති කොමිෂන් සභාව එම ප්‍රකාශය පිළිගෙන නැත.

නියෝජ්‍ය පොලිස්පති සිසිර මෙන්ඩිස් යටතේ වූ ජාතික බුද්ධි සේවය පිහිටුවා  ඇත්තේ සියළු බුද්ධි සේවා සම්බන්ධීකරණය කිරීම පිනිසය. පාස්කු ප්‍රහාර විමර්ශණය කළ ජනාධිපති කොමිෂන් සභාව නියෝජ්‍ය පොලිස්පති සිසිර මෙන්ඩිස්ට චූදිතයකු ලෙස නම් කර තිබේ.

බ්‍රිගේඩියර් චූල කොඩිතුවක්කු  විසින් ඉහත කී හෙළිදරව්ව කරන ලද්දේ ප්‍රහාරය පිළිබඳව හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දුට  විරුද්ධව නීතිපති විසින් පවරා ඇති  නඩුව කොළඹ මහාධිකරණයේ දී විභාගයට ගත් අවස්ථාවේදීය.

තමා ජාතික තවුහිත් ජමාත් සංවිධානයේ නායක සහරාන් හෂීම්ගේ අන්තවාදී ක්‍රියා කලාපය පිළිබඳව අවස්ථා කිහිපයකදී ම එවක ආරක්ෂක ලේකම්, පොලිස්පති සහ රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂවරයා දැනුවත් කර තිබූ බවත්, ඔහුගේ සංවිධානයෙන් ජාතික ආරක්ෂාවට එල්ල විය හැකි තර්ජන පිළිබඳව තමා ලිපි 9ක් මඟින් ලිඛිතව දැනුවත් කර තිබූ බවත් යුද හමුදා හිටපු බුද්ධි අධ්‍යක්ෂවරයා එහිදී කියා සිට තිබේ.

පාස්කු ඉරුදින ප්‍රහාරයක් එල්ල වන බවට බුද්ධි තොරතුරක් ප්‍රහාරයට පෙර තමන්ට ලැබුනේදැයි එහිදි රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා විමසූ විට යුද හමුදා හිටපු බුද්ධි අධ්‍යක්ෂවරයා ප්‍රහාරයට පෙර එවැනි බුද්ධි තොරතුරක් තමන්ට නොලැබුණු බව පැවසිමෙන් පසු විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ සාක්ෂිකරුගෙන් මෙසේ විමසා සිටි බව මාධ්‍ය වාර්තා කරයි.

ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වන බවට 2019 අප්‍රේල් 04 වන දින එවකට රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන මහතා වෙත ලැබී තිබුණු විදෙස් බුද්ධි තොරතුරට අදාළ ලිපිය ප්‍රහාරයට පෙර ඔබට ලැබුණාද?” 

නැහැ. ස්වාමීනි. එවැනි ලිපියක් මට ලැබී තිබුණේ නැහැ. ප්‍රහාරයට පෙර අප්‍රේල් 09 වන දා පැවති අවසන් බුද්ධි සමාලෝචන රැස්වීමට ද මා සහභාගි වුණා. එම රැස්වීමට එවකට රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන මහතාත් සහභාගී වී සිටියා. එහෙත් අප්‍රේල් 04 වනදා ලැබුණු තොරතුර පිළිබඳව ඔහු එම බුද්ධි සමාලෝචන රැස්වීමේ දී කරුණු ඉදිරිපත් කළේ නැහැ යැයි හිටපු යුද හමුදා බුද්ධි අධ්‍යක්ෂවරයා කියා සිටි තිබේ.

ඔහු තවදුරටත් මෙසේ ප්‍රකාශ කර ඇත.

අප්‍රේල් 09 වෙද්දි ප්‍රහාරය පිළිබඳව තොරතුරු ලැබිලා තිබුණා නම් එය ඔහුට බුද්ධි සමාලෝචන රැස්වීමට ඉදිරිපත් කරන්න තිබුණා. ඊට කිසිදු බාධාවක් තිබුණේ නැහැ. අනික බුද්ධි තොරතුරක් තිබෙනවා නම් එය ඉදිරිපත් කිරීමට සුදුසුම සහ හොඳම ස්ථානය තමයි බුද්ධි සමාලෝචන රැස්වීම. කෙසේ නමුත් බුද්ධි තොරතුරු හුවමාරු කිරීමේදී රාජ්‍ය ආයතන අතර එතරම් සහයෝගයක් තිබුණේ නැහැ. රාජ්‍ය බුද්ධි සේවය වෙතින් එවැනි සහයෝගයක් දක්නට ලැබුණේ නැහැ. නමුත් නිලන්ත ජයවර්ධන මහතා එවක සිටි ජනාධිපතිවරයාට සෘජුවම බුද්ධි තොරතුරු සන්නිවේදනය කරන බව ආරක්ෂක ප්‍රධානින් වෙච්ච අපි හැමෝටම අවබෝධයක් තිබුණා.” 

ආරක්ෂක ප්‍රධානීන් වූ “අප හැමෝම” යනුවෙන් බ්‍රිගේඩියර් චූල කොඩිතුවක්කු  සඳහන් කරන ලද්දේ අනෙක් බුද්ධි සේවා ප්‍රධානීන් විය හැකි යැයි අනුමාන කෙරේ.

එම  නඩුවේ තුන්වන සාක්ෂිකරු ලෙස නම් කර සිටින හිටපු ජාතික බුද්ධි ප්‍රධානී සිසිර මෙන්ඩිස්ගේ සාක්ෂිය කැඳවීමට බලාපොරොත්තුවක් නොමැති බව නීතිපතිවරයා විසින් 14වනදා කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණයට දැනුම් දෙනු ලැබූයේ මෙම සාක්ෂියෙන් පසුය.

ඒ මහාධිකරණ විනිසුරුවරුන් වන නාමල් බලල්ලේ, ආදිත්‍ය පටබැඳිගේ සහ මොහොමඩ් ඉර්ෂදීන් යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ මෙම නඩුව විභාග වෙයි.

නඩුව වැඩිදුර විභාගය ජනවාරි මස 18 වනදා පැවැත්වේ.

(අද දෙරණ වාර්තා ද අසුරු කෙරිණි.)

Archive

Latest news

Related news