Friday, March 29, 2024

තිරු නඩේසන්, නිරූපමා රාජපක්ෂ සහ පැන්ඩොරා පත්‍රිකා: කුමක්ද කෙසේද කොහිදීද කවරදාද යත් ( ICIJ ලිපිය)

ඡායාරූපය: එ ගොල්ලො යාලුවො මල්ලී.

රාජපක්ෂ පාලක පවුලේ සාමාජිකාවක සහ ඇගේ සැමියා ලොව පුරා ධනස්කන්ධය ගබඩා කිරීම සඳහා රහස් සමාගම් භාවිතා කළ බව රහස් ලිපි ගොනුවලින් හෙළිදරව් වේ.

“ලක්ෂ්මී දේවිය”

2018 මුල් භාගයේ දී ලන්ඩන් ගබඩාවක සේවකයන් විසින් ස්විට්සර්ලන්තය බලා යන වෑන් රථයකට සෞභාග්‍යයේ හින්දු දෙවතාවිය වන ලක්ෂ්මිගේ තෙල් සිතුවමක් ප්‍රවේශමෙන් පටවන ලදී.

19 වන සියවසේ ඉන්දියානු කලාශූරී රාජා රවි වර්මා විසින් නිර්මාණය කරන ලද මෙම සිතුවමේ රතු සාරියකින් සැරසී ගත් අත් සතරක් ඇති දේවතාවිය, රන් ආභරණ පැළඳ ගෙන නෙළුම් මලක් මත සිට ගෙන සිටින අයුරු නිරූපණය විය. එය, ස්විට්සර්ලන්තයේ ජිනීවා ෆ්‍රීපෝට් වෙත නැව් ගත කරන ලද ඩොලර් මිලියන 1 කට ආසන්න වටිනාකම් සහිත කලා කෘති 31 න් එකක් විය.

පාපන්දු ක්‍රීඩාංගණ 20 කට වඩා විශාල මෙම අති-ආරක්ෂිත ගබඩා සංකීර්ණය තුළ බොහෝ ධන නිධාන ගබඩා කර තිබූ අතර, BBC විසින් වරක් එය හැඳින්වූයේ “කිසිවෙකුට දැකිය නොහැකි ශ්‍රේෂ්ඨතම කලා එකතුව” ලෙසිනි.

“ලක්ෂ්මී දේවිය” සහ ඒ සමග තිබූ කලා කෘතිවල හිමිකරු වූයේ, ඇසුරුම් ලැයිස්තුවේ සටහන්ව තිබූ පරිදි, සමෝවා-ලියාපදිංචි කළ ෂෙල් සමාගමක් වන Pacific Commodities Ltd නම් වූ කැපී පෙනෙන නමකි. නමුත් සිංගප්පූරුව පදනම් කර ගත් මූල්‍ය සේවා සැපයුම්කරුවෙකු වන Asiaciti Trust වෙතින් කාන්දු වූ ලිපි ලේඛනවලින් පෙනී ගියේ, දේශපාලනයට සම්බන්ධ ශ්‍රී ලාංකිකයෙකු වන තිරුකුමාර් නඩේෂන් විසින් එම සමාගම රහසිගතව පාලනය කරන බවත්, ඒ අනුව මෙම කලා කෘති 31 සඳහා සැබෑ හිමිකරුවා ඔහු බවත්ය.

ඔහුගේ බිරිඳ නිරූපමා රාජපක්ෂ, ශ්‍රී ලංකාවේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක වන අතර, දශක ගණනාවක් තිස්සේ ඉන්දියානු සාගරයේ දූපත් රාජ්‍යයේ දේශපාලනය අරා සිටින බලවත් රාජපක්ෂ වංශයේ ඥාතියෙකි.

දශක ගණනාවක් පුරා පැවති ලේ වැකි සිවිල් යුද්ධයෙන් රට විනාශ වෙන විට, මෙම යුවල කලා කෘති සහ සුඛෝපභෝගී නිවාස අත්පත් කර ගැනීම සහ මුදල්, වෙළඳ පොළ කොටස්, සහ වෙනත් වත්කම් එක්රැස් කිරීම සඳහා මුහුදෙන් එතෙර නිර්නාමික අරමුදල් සහ ෂෙල් සමාගම් රහසිගතව පිහිටුවා ඇති බව ‘අන්තර්ජාතික ගවේෂණාත්මක ජනමාධ්‍යවේදීන්ගේ එකමුතුව’ (ICIJ) විසින් ලබා ගෙන ඇති රහස්‍ය ලේඛනවලින් පෙනේ. ශ්‍රී ලංකා බලධාරින් විසින් පවත් වන ලද, හොඳින් ප්‍රසිද්ධියට පත් වූ දූෂණ විමර්ශනවල ඉලක්කයක් බවට නඩේෂන් පත් වූ පසුව ද, ධනයේ ප්‍රභවය ගැන සුළු සුළු ප්‍රශ්න කීපයක් පමණක් අසන, මූල්‍ය සේවා සපයන්නන්, නීතීඥයින් සහ ඉහළ පෙළේ වෘත්තිකයින්ගේ සහාය ඇතිව රහසිගත අධිකරණ බල ප්‍රදේශ තුළ තම ධනස්කන්ධය එක්රැස් කිරීමට සහ සඟවා තැබීමට ඔවුන්ට හැකි විය.

නඩේසන්ගේ ධනස්කන්ධය ඩො.මි. 160 කට වඩා..

නඩේසන් භාර අරමුදලේ මූල්‍ය ප්‍රකාශන පිළිබඳ ICIJ විශ්ලේෂණයකට අනුව, 2017 වන විට රාජපක්ෂ හා නඩේසන්ගේ එතෙර කොටස් සමාගම්වල, කලින් ප්‍රකාශයට පත් කර නොතිබුණු අගය ඩොලර් මිලියන 18 ක් විය. ශ්‍රී ලංකාවේ මධ්‍ය වාර්ෂික ආදායම ඩොලර් 4,000 කටත් අඩුය.

Asiaciti වෙත ඊමේල් පණිවුඩයක් යවමින්, නඩේසන්ගේ දිගු කාලීන උපදේශකයෙකු කියා සිටියේ, 2011 දී නඩේසන්ගේ සමස්ත ධනස්කන්ධය ඩොලර් මිලියන 160 කට වඩා වැඩියෙන් තිබූ බවය. ICIJ එය ස්වාධීනව තහවුරු කර ගෙන නැත.

Pandora Papers කළ විමර්ශණයේ කොටසක් ලෙස ICIJ විසින් Asiaciti ඇතුළු තවත් එතෙර මූල්‍ය සේවා සපයන්නන් 13 දෙනෙකුගෙන් ලබා ගෙන ගෝලීය මාධ්‍ය හවුල්කරුවන් සමග බෙදා හදා ගත් වාර්තා සංඛ්‍යාව මිලියන 11.9 කට අධිකය.  නඩේසන් සහ නිරූපමා රාජපක්ෂගේ මූල්‍ය කූටෝපායන් විස්තර කෙරෙන වාර්තා ඒ අතර විය.

දුප්පත් හා අත්තනෝමතික රාජ්‍යවලින් සොරකම් කළ මුදල්, ෂෙල් සමාගම් සහ මූල්‍ය භාර යටතේ ලැයිස්තු ගත කර ඇති පුද්ගලික ගිණුම්වලට බිලියන ගණනක් ගලා එන බව වසර දෙකක් තිස්සේ කළ විමර්ශණයේ දී සොය ගත හැකි විය. ඒවා බොහෝ විට උසාවි, ණය දෙන්නන් සහ නීතිය බලාත්මක කරන්නන්ගෙන් සැඟවී තිබුණි.

ප්‍රතිඵල අතර: ලොව පුරා රාජ්‍යයන් ඉතාම අත්‍යවශ්‍ය සම්පත් හිඟකමින් පෙළෙන අතර, ගෝලීය ධනය සංකේන්ද්‍රනය වී ඇත්තේ කීප දෙනෙකු අතය. ආර්ථික විද්‍යාඥයන් කියන පරිදි, දුප්පතුන් හා පොහොසතුන් අතර ආදායම් පරතරය අඛණ්ඩව ඉහළ යන ශ්‍රී ලංකාවේ, ලිහිල් බදු රෙගුලාසි ධනවතුන්ට සහ බලවතුන්ට මහත් පිටිවහලක් වී තිබේ. සිවිල් යුද්ධයෙන් තවමත් සුවය ලබමින් සිටින රටේ සෙසු ප්‍රදේශවලට පාසල්, සෞඛ්‍ය සේවා සහ වෙනත් සමාජ වැඩ සටහන් සඳහා ලැබෙන්නේ සොච්චමකි.

සේවාදායකයින් කෙරෙහි නිසි අවධානය යොමු කිරීම සහ ඔවුන්ගේ ගනුදෙනු නිරීක්ෂණය කිරීම මගින් එතෙර මූල්‍ය සේවා සමාගම් විසින් නීති විරෝධී මුදල් ගලා ඒම නැවැත් විය යුතු බව හිටපු ශ්‍රී ලංකා මුදල් අමාත්‍යාංශ නිලධාරියෙකු සහ දැන් ඕස්ට්‍රේලියාවේ මොනෑෂ් විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය පියදාස එදිරිසූරිය පවසයි. “නමුත් ජාත්‍යන්තර මූල්‍ය මධ්‍යස්ථාන වල බොහෝ දෙනෙක් ඒක කරන්නේ නැහැ,” යයි ඔහු පැවසීය. “ඒ නිසාම ශ්‍රී ලංකාව වැනි රටවල මිනිසුන්ට දූෂිත ක්‍රමවලින් මුදල් උපයා ගන්න පුළුවන් වෙලා තියෙනවා. ඒ සල්ලි ලේසියෙන්ම පිටරට යවා ගන්න ඔවුන් මේ “බදු තෝතැනි” පාවිච්චි කරනවා.”

ශ්‍රී ලංකාවේ ජනාධිපති ගෝටාබය රාජපක්ෂය. නිරූපමා රාජපක්ෂගේ මිය ගිය පියා ගෝටාබයගේ ඥාති සොහොයුරෙකි. ජනාධිපතිවරයාගේ වැඩිමහල් සහෝදරයා වන මහින්ද රාජපක්ෂ රටේ අගමැතිවරයාය.

අයිය මල්ලිලාට එරෙහිව යුද අපරාධ චෝදනා..

මානව හිමිකම් සංවිධාන විසින් මේ අයිය මල්ලිලාට එරෙහිව යුද අපරාධ චෝදනා නගා තිබේ. මෙම පවුල ඩොලර් බිලියන ගණනක ධනයක් එක්රැස් කර එයින් කොටසක් ඩුබායි, සීෂෙල්ස් සහ සේන්ට් මාර්ටින් යන රටවල බැංකු ගිණුම්වල සඟවා ගෙන ඇතැයි හිටපු රජයේ නිලධාරීහු චෝදනා කරති. අවම වශයෙන් මෙම පවුලේ සාමාජිකයින් අට දෙනෙකු ඇතුළු ඔවුන්ගේ පක්කලියන් ගැන බලධාරීන් විසින් විමර්ශන පවත්වා ඇත. සමහරුන්ට එරෙහිව වංචා, දූෂණ සහ මූල්‍ය මගඩි ඇතුළු අපරාධ සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇතැයි මාධ්‍ය වාර්තා කරයි.

නිරූපමා රාජපක්ෂගේ සැමියා වන නඩේෂන්, ඔහුගේ නෑදෑයෙකු වන රජයේ ඇමතිවරයෙකුට රජයේ මුදල්වලින් සුඛෝපභෝගී මාලිගාවක් තැනීමට රහසින් උදව් කළ බවට චෝදනා එල්ල වේ.

2015 දී දිවුරුම් පෙත්සමක් ඉදිරිපත් කරමින් ගෝටාබය රාජපක්ෂ කියා සිටියේ, තමා සහ ඔහුගේ පවුලේ සමහර සාමාජිකයින් “දුෂ්ට පලිගැනීමේ ව්‍යාපාරයක” ඉලක්ක බවට පත්ව ඇති බවයි.

ICIJ විසින් අසන ලද ප්‍රශ්නවලට පිළිතුරු වශයෙන් නිරූපමා රාජපක්ෂ සහ නඩේසන් කියා සිටියේ ඔවුන්ගේ “පෞද්ගලික කාරණාවල දී ඔවුන් (ජෝඩුව එකතු වී) උපදේශකයින් කියන පරිදි නිසි පරිදි කටයුතු කරන” බවකි. එහෙත් ඔවුන්ගේ සමාගම් සහ මූල්‍ය භාර පිළිබඳව කිසිවක් සඳහන් කළේ නැත.

නඩේෂන් වැඩි දුරටත් පැවසුවේ 2016 දී ඔහුට එරෙහි චෝදනා “ව්‍යාජ සහ දේශපාලනමය වශයෙන් නැගූ ඒවා” බවයි.

Asiaciti පැවසුවේ ඔවුන්ගේ මෙහෙයුම් සියලුම නීති හා රෙගුලාසිවලට අනුකූල වන බවට වග බලා ගැනීම ඇතුළුව ඉහළම ව්‍යාපාරික ප්‍රමිතිවලට සමාගම කැපවී සිටින බවයි.

නඩේසන් සහ නිරූපමා රාජපක්ෂට ලබා දුන් සේවා ගැන ඔවුන් අදහස් දැක්වූයේ නැත.

සිවිල් යුද්ධය අස්සේ රාජවංශයක් නැඟී එයි..

සිය වස් කාලක් තිස්සේම සිවිල් යුද්ධය ලංකාව කෑවේය. ගැටුමේ බීජ 1948 දක්වා දිව යන අතර, දොන් ඇල්වින් රාජපක්ෂගේ නායකත්වයෙන් යුත් ජාතිවාදීහු, සුළුතර දෙමළ ජනයා කළකිරවමින්, සිංහල බහුතරයට යම් යම් පුරවැසි වරප්‍රසාද ලබා දුන්හ. කැරලිකාර කණ්ඩායමක් වූ දෙමළ ඊලාම් විමුක්ති කොටි සංවිධානය විසින් 1983 දී රජයේ හමුදා භටයින් 13 දෙනෙකු ඝාතනය කරනු ලැබීමත් සමග සතුරුකම විවෘත ගැටුමකට තල්ලු විය.

බෙදුම්වාදීන් සහ රජයේ හමුදා විසින් වධහිංසා පැමිණ වීම්, පැහැර ගැනීම්, අත්තනෝමතික ලෙස අත්අඩංගුවට ගැනීම් සහ සිවිල් වැසියන් සමූල ඝාතනය කිරීම් වැනි සිදු වීම්වලින් ගත වූ වසර ගණනාවම ගෙවී ගොස් තිබුණි. කොටින්ට එරෙහි සටනේ පෙරමුණ ගත් එක් හමුදා ප්‍රධානියෙක් වූයේ දොන් ඇල්වින්ගේ පුත්‍රයා වන ගෝටාබය රාජපක්ෂය. ගෝටාබය [හමුදාව යොදවා] නිර්දය ලෙස [මිනීමැරීමෙන්] ප්‍රසිද්ධියට පත් වූ නිසා “ටර්මිනේටර්” යන විකට නම ලැබීය.

කාන්දු වූ වාර්තා වලින් පෙනී යන්නේ, ගැටුම උත්සන්න වීමත් සමගම, දැන් 59 හැවිරිදි නිරූපමා රාජපක්ෂ සහ ඇගේ සැමියා වන නඩේසන්, එතෙර අධිකරණ බල සීමා තුළ ෂෙල් සමාගම් සහ මූල්‍ය භාර පිහිටුවමින් සිටි බවය. කාන්දු වූ ලිපි ගොනුවල ඇති සේවාදායක සමාලෝචනයකට අනුව එසේ කිරීමට හේතුව: “රහස්‍යභාවය සහ දේපල සැලසුම් කිරීමයි.” ඉන්දුනීසියානු සහ පිලිපීන අත්තනෝමතිකයින් වන සුහාර්ටෝ සහ ෆර්ඩිනන්ඩ් මාර්කෝස්ගේ ඥාතීන් ඇතුළු කලාපයේ අනෙකුත් බලවත් ප්‍රභූන් ද නිරතව සිටින්නේ ඒ “සෙල්ලමේය.”

නඩේසන් චැනල් අයිලන්ඩ් වල.. Pacific Commodities Ltd

බ්‍රිතාන්‍ය අධ්‍යාපනය ලැබූ ව්‍යාපාරිකයෙකු සහ ශ්‍රී ලංකාවේ හින්දු පුණ්‍යායතන හා විහාරස්ථාන ගණනාවක භාරකරුවෙකු වූ නඩේසන්, 1990 දී, ප්‍රංශ වෙරළට ඔබ්බෙන් පිහිටි බ්‍රිතාන්‍ය ඔටුන්නට යටත් චැනල් දූපත්වල මූල්‍ය භාරයක් සහ ෂෙල් සමාගමක් ආරම්භ කළේය.

අභ්‍යන්තර ලේඛනයක දැක්වෙන පරිදි, ශ්‍රී ලංකා රජය සමග ව්‍යාපාර කරන විදේශීය සමාගම්වලට උපදෙස් දීම මගින් Pacific Commodities Ltd සමාගම ඩොලර් මිලියන ගණන් එක්රැස් කරයි. එහි එක් සේවාදායකයෙකු වූයේ ශ්‍රී ලංකාවේ ජාතික ගුවන් සේවය වන, දැන් ශ්‍රී ලංකන් ගුවන් සමාගම සම්බන්ධ ව්‍යාපෘතියක් සඳහා ගුවන් සේවා බස් සැපයූ Contrac GmbH නම් ජර්මානු නිෂ්පාදකයාය.

Contrac පැවසුවේ සමාගමට ව්‍යාපෘතිය පිළිබඳව අදහස් දැක්වීමට නොහැකි වූ බවයි. “වසර 31 ක් පැරණි මෙම කාරණය අපගේ භාවිත හා සංරක්ෂිත දත්ත සඳහා ද ඉතාම පරණයි,” යනුවෙන් එහි ප්‍රකාශකයෙක් පැවසීය.

නඩේසන් චැනල් අයිලන්ඩ් වල.. Rosetti Limited

1991 මැයි මාසයේ දී සිවිල් යුද්ධය උත්සන්න වීමත් සමග රාජපක්ෂ සහ නඩේසන්, විශාලතම චැනල් දූපත වන ජර්සි දූපතේ තවත් ෂෙල් සමාගමක් වන Rosetti Limited පිහිටුවා ගත්හ. රහස්‍ය ලියකියවිලිවලට අනුව එය “ප්‍රධාන වශයෙන් ශ්‍රී ලංකාව තුළ කෙරෙන ආයෝජන සම්බන්ධව” උපදේශන සේවා සපයනු ඇත.

සිඩ්නි නගරයේ ඩාර්ලිං වරාය අසල සුඛෝපභෝගී මහල් නිවාසයක් මිල දී ගැනීමට මෙම යුවල Rosetti භාවිතා කළහ. ලන්ඩනයේ මහල් නිවාස 3 ක් මිල දී ගැනීම සඳහා ද ඔවුහු එම ෂෙල් සමාගම පාවිච්චි කළහ. වසර කිහිපයකට පසු තේම්ස් නදිය අසල නිවාසය ඩොලර් 850,000 කට විකුණා දැමිණ. ඩොලර් මිලියන 4 කට වඩා වටිනා අනිත් නිවාස දෙක “වාණිජමය පදනමින්” කුලියට දී තිබේ.

මෙම දේපල සහ මේ ජෝඩුව අතර මීට කලින් සම්බන්ධතාවයක් නොතිබිණ. ඒවා මිල දී ගැනීම චැනල් දූපතේ සමාගම හරහාම සිදු කිරීමට වග බලා ගෙන තිබිණ.  සුළු බදු ප්‍රමාණයක් ගෙවන අතරම සැබෑ අයිතිකරුවන්ගේ විස්තර මහජනතාවගෙන් ඈත් කර තබා ගැනීමට එහි සංස්ථා ගත කර ඇති සමාගම්වලට අධිකරණ බලයෙන්ම ඉඩ සලසා ඇත.

එතෙර ධනස්කන්ධය දිගින් දිගටම වර්ධනය වෙත්ම, නිරූපමා රාජපක්ෂ දේශපාලනයට පිවිසියාය. 1994 දී ඇය ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට තේරී පත් විය.

බලවත් ජෝඩුව

සිය වස් කාර්තුවක් පුරා පැවති සිවිල් යුද්ධය ඵලදායීව අවසන් කරමින්, ශ්‍රී ලංකා හමුදාව විසින් 2009 දී දෙමළ ප්‍රධානී වේලුපිල්ලේ ප්‍රභාකරන් ඝාතනය කරන ලදී.

කැරලිකරුවන් පරාජය කළ නායකයා ලෙස ගෝටාබයගේ අයියා වූ මහින්ද රාජපක්ෂ පිළිගැනුණි. යුරෝපා සංගම් නිලධාරීන් සහ අනෙකුත් විදේශීය නිරීක්ෂකයින් විසින් නගන ලද යුද අපරාධ චෝදනා පසෙක තිබිය දී, 2010 ජනාධිපතිවරණයේ දී ඔහු දෙවන වරටත් ජයග්‍රහණය කළේය.

මහින්ද රාජපක්ෂ ආරක්ෂක, මුදල්, වරාය, ගුවන් හා මහාමාර්ග යන විෂය පථයන් පවරා ගත් අතර, ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස ගෝටාබය රඳවා ගත්තේය. ඔහු තවත් මල්ලියෙකු වූ බැසිල්, ආර්ථික සංවර්ධන ඇමති ලෙස නම් කළ අතර, ඔහුගේ අයියා වූ චමල් පාර්ලිමේන්තුවේ කථානායක විය.

නිරූපමා රාජපක්ෂට රජයේ තනතුරක් වන ජල සම්පාදන හා ජලාපවහන නියෝජ්‍ය ඇමති පදවිය ලැබුණි.

සමස්තයක් වශයෙන් ජාතික අයවැයෙන් 70% ක්ම පාලනය කරන ලද්දේ රාජපක්ෂ පවුල විසින් බව අල් ජසීරා ප්‍රවෘත්ති නාලිකාව වාර්තා කළේය.

“පදිංචි කරුවාගේ බිරිඳ” 

ජාත්‍යන්තර මුල්‍ය ලෝකයේ, නිරූපමා රාජපක්ෂ සහ ඔවුන්ගේ පවුල් වැනි රජයේ නිලධාරීන් “දේශපාලනිකව හෙළිදරව් වූ පුද්ගලයන්” (PEP) ලෙස සලකනු ලැබේ. එනම්, අතිරේක සියුම් නිරීක්ෂණයකට ඔවුන් භාජනය විය යුතු යැයි සැලකෙන්නේ, නිදසුනක් වශයෙන්, මූල්‍ය වාසි සඳහා තම තනතුරු අයුතු ලෙස යොදා ගන්නා බැවිනි. සිය සේවාදායකයින් නීති විරෝධී ක්‍රියාවලට සම්බන්ධ යැයි සැක කරන්නේ නම් මූල්‍ය සේවා සපයන්නන් විසින් ඒ බව බලධාරීන්ට දැනුම් දිය යුතුය.

Asiaciti විසින් PEP සේවාලාභීන් සඳහා වූ විශේෂ ලේඛනයකට නඩේසන් ඇතුළත් කරන ලදී. 2010 න් පසු නිරූපමාගේ නියම නම ඇගේ පවුලේ එතෙර මූල්‍ය භාරවලට අදාල කාන්දු වූ ලියකියවිලිවල දක්නට ලැබෙන්නේ කලාතුරකිනි, සමහර විට ඇය පිළිබඳ සඳහන් වූයේ “පදිංචි කරුවාගේ බිරිඳ” ලෙස පමණි, ලිපි ගොනු: shottps://www.documentcloud.org/documents/21072241-asiaciti-review_-nadesan-trustw

නඩේසන්ගේ ගනුදෙනුවලට අදාල සැක කටයුතු ක්‍රියාකාරකම් සෝදිසි කළ බවත් අපරාධ හැසිරීම් චෝදනා සඳහා මාධ්‍ය වාර්තා පරීක්ෂා කළ බවත් Asiaciti නිලධාරින් පැවසූ බව ලිපි ගොනුවල දැක්වේ. එම සෝදිසි හා පරීක්ෂණ දෝෂ සහිත බව ලිපි ගොනුවලින් පෙනේ.

අභ්‍යන්තර පරීක්ෂණ වාර්තාවකින් ඇඟවෙන්නේ, මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ සමාලෝචන භාරව සිටින Asiaciti නිලධාරියා නඩේසන්ගේ පසුබිම පිළිබඳ සවිස්තර තොරතුරු ලබා නොදුන් බවයි. ඒ අනුව, ලංකාවෙන් ඔහුගේ එතෙර ගිණුම්වලට ගලා යන ධනය පිළිබඳව ප්‍රශ්න මතු කළ හැකිය. එමෙන්ම, සේවාලාභියාගේ ක්‍රියාකාරකම් තක්සේරු කිරීම පිළිබඳ කලින්-කල වාර්තා සොයා ගැනීමට ද Asiaciti සේවකයින්ට නොහැකි විය.

සමාගම “ශක්තිමත්” අනුකූලතා වැඩසටහනක් පවත්වා ගෙන යන බව Asiaciti පැවසීය. “කොහොම වෙතත්, දෝෂ නැති කිසිම අනුකූලතා වැඩ සටහනක් නැහැ,” යනුවෙන් ICIJ වෙත එවන ලද ඊමේල් පිළිතුරක සඳහන් විය.

“ගැටළුවක් හඳුනා ගත්තාම, සේවාලාභියා සම්බන්ධ කර ගැනීම ගැන අවශ්‍ය පියවර ගන්නවා, ඒ අතරේ නියාමන ආයතනවලට අදාල දැනුම් දීම් සිදු කරනවා,” යයි එම සමාගම පැවසීය.

නඩේසන් අළුත් අළුත් රහස්‍ය බල ප්‍රදේශවල; කුක් දූපත්..

නඩේසන්ගේ බිරිඳ රජයේ තනතුර භාර ගැනීමෙන් පසු නඩේසන් අළුත් අළුත් රහස්‍ය බල ප්‍රදේශවලට සිය වත්කම් මාරු කිරීමට පටන් ගත්තේය. Asiaciti විසින් 2012 දී ඔහු වෙනුවෙන් මූල්‍ය භාරයක් නවසීලන්තයේ පිහිටු වන ලද අතර, පසුව එය දකුණු පැසිෆික් කලාපයේ ‘කුක් දූපත්’ වෙත ගෙන යන ලදී. එම දූපත මූල්‍ය භාර පිළිබඳ අධිකරණ තීන්දුවලින් ප්‍රතිලාභීන් ආරක්ෂා කරන අතර, මුදල් විශුද්ධිකරණයට “සැදී පැහැදී සිටින බව” එක්සත් ජනපද නීති බලාත්මක කිරීමේ එජන්සි විශ්වාස කරයි.

නඩේසන් බ්ලැක් ලිස්ට් රටක; සැමෝවා දූපත

පැසිෆික් වෙළඳ භාණ්ඩ චැනල් දූපත්වල සිට තවත් දකුණු පැසිෆික් දූපත් රටක් වන සමෝවා වෙත මාරු කිරීම ද Asiaciti විසින් සිදු කරනු ලැබේ. සැමෝවා යනු, “හානිකර මනාප බදු ක්‍රමය” හේතුවෙන් යුරෝපා සංගමයේ අනුපකාරී රටවල් පිළිබඳ අසාධු ලේඛනයට ඇතුළත්ව සිටින රාජ්‍යයකි.

Rte du Grand-Lancy 6a, 1211 Genève මෙම රහසිගතව පවත්වගෙන යන ජිනීවා ප්‍රී පෝට් පිහිටා තිබේ

මිලියන ගණන් වටිනා සැඟවූ කලා කෘති

මේ වන විට නඩේෂන්ගේ උපදේශන සමාගම කලා එකතුවක හිමිකරුවෙකු බවට පත්ව තිබුණි. එයට ප්‍රසිද්ධ ශ්‍රී ලාංකික ජ්‍යාමිතීය චිත්‍ර ශිල්පී ජෝර්ජ් කීට්, (ඉන්දියානු සහ බටහිර ශෛලීන් බද්ධ කිරීමෙන් ප්‍රසිද්ධියට පත්) ජාමිනි රෝයි, සහ (ඉන්දියාවේ පිකාසෝ ලෙස හැඳින් වෙන) මක්බූල් ෆිඩා යන ශිල්පීන්ගේ චිත්‍ර ද ඊට ඇතුළත් විය. 2014 වන විට එම කලා කෘති එකතුව ඩොලර් මිලියන 4 කට වඩා වැඩි වටිනාකමකින් යුත් කෑලි 51 ක් දක්වා වර්ධනය විය. සමහර කලා කෘති ලන්ඩන් ගබඩාවක සඟවා තිබුණි; අනෙකුත් කලා නිර්මාණ ගබඩා කර තිබුණේ ජිනීවා ෆ්‍රීපෝට් කලා කෘති ගබඩා සංකීර්ණයේය.

සැන් ෆ්‍රැන්සිස්කෝ විශ්ව විද්‍යාලයේ ආශ්‍රිත මහාචාර්යවරයෙකු සහ කලා ආර්ථික විද්‍යාව පිළිබඳ ප්‍රවීණයෙකු වන ජෝන් සැරොබෙල් පැවසුවේ, සමහර එක්රැස් කරන්නන් විසින් කලා කෘති ද නිශ්චල දේපල හෝ රත්තරන් වැනි තවත් එවැනි වෙළඳ භාණ්ඩයක් ලෙස පමණක් දකින බවයි. “එය [ඔබේ මූල්‍ය ආයෝජනවල] විවිධත්වයක් ඇති කිරීම සහ එහි වටිනාකම අන් අයට පැවරීම සඳහා ඔබට භාවිතා කළ හැකි වත්කම්වලින් එකක්,” යයි ඔහු පැවසීය.

මෙම යුවලගේ කුලී දේපල ඩොලර් දහස් ගණනක ආදායමක් ලබා දෙන අතර සමහර විට ගෙවීම් සිදු වූයේ අත්පිට මුදලිනි. නඩේසන් සඳහා සේවය කරන, ලන්ඩනයේ නියෝජිතයන් එහි නේවාසික කුලී නිවැසියන් ගැන සොයා බලනු ඇත. මෙම යුවලගේ සුඛෝපභෝගී මහල් නිවාසයේ රූපවාහිනිය, ජනේල තිර සහ අනෙකුත් උපාංග නිසියාකාරව ක්‍රියාත්මක වන බව සිඩ්නි නගරයේ කොන්ත්‍රාත්කරුවෙකු විසින් පරීක්ෂා කර බලනු ලැබේ.

මුහුදෙන් එතෙර මේ ක්‍රියාකාරකම් මධ්‍යයේම, නඩේසන් කොළඹට නුදුරු අක්‍කර 16 ක ඉඩමක් ද මිල දී ගත් අතර පසුව එය විමර්ශකයින්ගේ අවධානයට ලක් විය.

කොළඹ දී නඩේසන් එහි හිල්ටන් හෝටලය හිමි රාජ්‍ය සමාගමක සභාපති බවට පත් විය. ඔහු උසස් සමාජයේ සාමාජිකයින් සහභාගී වූ ගාලා-නයිට් උත්සවවල මුල් පුටුවේ විය.

සයිප්‍රස් සිටිසන් නඩේසන්..

ද්විත්ව පුරවැසිභාවය ලබා දීම සඳහා නීති සම්පාදනය කිරීම ශ්‍රී ලංකා රජය විසින් 2014 දී සලකා බලන ලද හෙයින්, ඩොලර් මිලියන 1.3 ක් එහි බැංකුවක තැන්පත් කිරීමෙන් පසු නඩේසන් සයිප්‍රස් විදේශ ගමන් බලපත්‍රය සඳහා ඉල්ලුම් කළ බව රහස්‍ය ලිපි ගොනුවල දැක්වේ. දූෂිත දේශපාලකයන් සහ අපරාධකරුවන් විසින් යුරෝපා සංගමය තුළ වීසා රහිතව සංචාරය කිරීම සහ වැඩිදුර පරීක්ෂණයකින් තොරව යුරෝපා සංගම් රටවල්වලට මුදල් මාරු කිරීම සඳහා සයිප්‍රසයේ පවතින “පුරවැසිභාවය විකිණීමට තිබේ” වැනි ව්‍යාපෘති භාවිතා කර ඇත. ඔහුගේ එකී පුරවැසි අයදුම් පත සාර්ථක වූවා ද යන්න ලිපි ගොනුවල සඳහන් නොවේ.

රජයේ ඇමතිවරියක ලෙස නිරූපමා ආසියානු අගමැතිවරුන්ට අතට අත දෙමින්, සම්මුඛ සාකච්ඡා ලබා දෙමින්, දේශීය කර්මාන්තය ප්‍රවර්ධනය කළාය. පුරුෂ මූලික පරිසරයක් තුළ කාන්තා දේශපාලකයන් මුහුණ දෙන දුෂ්කරතා පිළිබඳව ඇය වරක් පැහැදිලි කළාය.

“කාන්තාවන් හැටියට අපට පිරිමින්ට වඩා හොඳ ගුණාංග තියෙනවා. අපි අවංකයි, අපි අල්ලස් හා දූෂණවලට ගොදුරු වීමේ අවදානමත් අඩුයි,” යනුවෙන් ඇය 2014 දී ප්‍රාදේශීය සඟරාවක් සමග සම්මුඛ සාකච්ඡාවකට සහභාගි වෙමින් පැවසුවාය. “අපේ රට පාලනය කිරීමට වැඩිපුර කාන්තාවන් සිටියා නම් හොඳයි.”

වාසනාව ආපසු හැරීම

2015 දී රාජපක්ෂ පවුලේ ඉරණම පුදුමාකාර ලෙස වෙනස් විය. දූෂණයේ හා ඒකාධිපතිවාදයේ චෝදනාවලට ගොදුරු වූ මහින්ද රාජපක්ෂ, ප්‍රතිසංස්කරණ පොරොන්දුවක් මත උද්ඝෝෂණය කළ හිටපු සගයෙකුට ජනාධිපතිවරණයේ දී පරාජය විය. වැඩි කල් නොගොස්, අළුත් කැබිනට් මණ්ඩලයේ ප්‍රකාශකයෙකු වාර්තාකරුවන් සමග පැවසුවේ, රාජපක්ෂ ආණ්ඩුවට සමීප පුද්ගලයින් ඩොලර් බිලියන 10 ක් කුප්‍රකට “බදු කෙම්බිමක්” වන ඩුබායිවලට රහසිගතව ගෙන ගොස් ඇති බවය. එය “අපේ රටේ විදේශ සංචිතවලට වඩා වැඩියි,” යනුවෙන් ප්‍රකාශකයා වැඩි දුරටත් පැවසීය.

මහින්ද රාජපක්ෂ සියලුම වැරදි වැඩ ප්‍රතික්ෂේප කළේය. රාජපක්ෂ පවුලේ තවත් සාමාජිකයින් ගණනාවකටම දූෂණ විමර්ශනවලට මුහුණ දීමට සිදු විය.

නිරූපමාගේ නියෝජ්‍ය ඇමති තනතුර අහිමි විය..

වසරකට පසු, නිරූපමා සහ ඇගේ සැමියා වසර හයකට පෙර නඩේසන් විසින් අත්පත් කර ගන්නා ලද අක්කර 16 ක ඉඩම සම්බන්ධ ඩොලර් මිලියන 1.7 ක වංචා කිරීමේ නඩුවකට සම්බන්ධ වූහ.

2016 මාර්තු මාසයේ දී, මූල්‍ය වංචා විමර්ශණ නිලධාරීන් විසින් මෙම යුවල කැඳවා, විසිතුරු මන්දිරයක් ඉදි කරන ලද එම ඉඩම පිළිබඳ ප්‍රකාශ සටහන් කර ගන්නා ලදී. මෙම මන්දිරය ඇත්ත වශයෙන්ම හිටපු ආර්ථික සංවර්ධන ඇමති බැසිල් රාජපක්ෂගේ යැයි රජයේ නීතිඥවරු චෝදනා කළහ. නඩේෂන්ගේ සහාය ඇතිව ඔහු මන්දිරය ඉදිකිරීම සඳහා මහජන මුදල් භාවිතා කළා ද යන්න සොයා බැලීමට ඔවුහු උත්සාහ කළහ.

ප්‍රාදේශීය මාධ්‍ය විසින් වාර්තා කරන ලද පරිදි, මන්දිරයේ ගෘහ නිර්මාණ ශිල්පියා සාක්ෂි දෙමින් කියා සිටියේ, බැසිල් රාජපක්ෂගේ බිරිඳ ජනාධිපති ජ්‍යෝතිර්වේදියාගේ ප්‍රධානත්වයෙන් පැවති මුල් ගල් තැබීමේ උත්සවයකට සහභාගී වූ බවත්, ව්‍යායාම ශාලාවක්, පිහිනුම් තටාකයක් සහ අවට ගොවි පොළක් සහිත මන්දිරයේ ඉදිකිරීම් සැලැස්ම ඇමති කාර්යාලය විසින් අනුමත කර ඇති බවත්ය.

ඩුබායි ගිය ‘TN’

කාන්දු වූ ලිපි ගොනුවල දැක්වෙන්නේ, 2016 ගිම්හානයේ දී විමර්ශන කටයුතු සිදු වෙමින් පවතින විට, නඩේසන් ඔහුගේ ඩුබායි-ලියාපදිංචි ඇස්ෆල්ට් සමාගමක් හිමි ආයෝජන සමාගම සඳහා ඩුබායි බැංකු ගිණුමක් ආරම්භ කිරීමට සූදානම් වූ බවයි.

බැංකු නිලධාරියෙකුට රහස්‍ය ඊමේලයක් යවමින් නඩේසන් තමා හඳුන්වා දුන්නේ “අර්ධ විශ්‍රාමික” දේශපාලකයෙකුගේ ස්වාමි පුරුෂයා සහ ශ්‍රී ලංකාවේ නැගෙනහිර වෙරළේ කාමර 60 ක හෝටලයක හිමිකරු ලෙසය. ඔහු ඊමේල්වලට අත්සන් කළේ “TN” යනුවෙනි.

බැංකු සේවකයා විසින් සමාගමේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ බැංකු ගිණුම් මෙන්ම අනෙකුත් ව්‍යාපාරික වාර්තා ද ඉල්ලා සිටියේ, බැංකුවේ නිසි ප්‍රතිපත්තිවලට අනුකූලව කටයුතු කිරීම සඳහාය. එවිට නඩේසන් කලබල විය. හෙළිදරව් කළ තොරතුරු ප්‍රමාණය සීමා කරන ලෙස ඉල්ලමින් ඔහු වහාම Asiaciti නිලධාරින්ට ඊමේලයක් යැව්වේය: “WE CANNOT [yield to] EVERY WHIM @ FANCY A BANK REQUIRES WITHOUT GIVING ANY COMMITMENT THAT WE WILL BE ON BOARDED,” යයි ඔහු කැපිටල් අකුරින්ම ලීවේය. “THESE ARE CONFIDENTIAL SENSITIVE INFORMATION[.] WE HAVE TO DRAW A LINE AT A POINT”

ඕනෑම හේතුවක් මත, [ඔබගේ බැංකුව විසින්] ගිණුමක් ආරම්භ නොකළ ද එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඇති සියළුම බැංකු ගිණුම්වල විස්තර [අප සමාගම විසින්] ලබා නොදෙන බව කරුණාවෙන් සලකන්න,” යයි සඳහන් වෙනම ඊමේලයක් නඩේසන් බැංකුවට යැවීය.

නඩේසන් අත් අඩංගුවට..

ඔක්තෝම්බර් මාසයේ දී නඩේසන් අත්අඩංගුවට ගනු ලැබුවේ කොළඹට නැගෙනහිරින් පිහිටි ඉඩම හා මන්දිරය සම්බන්ධ වංචා චෝදනා යටතේය.

අත්අඩංගුවට ගැනීමට පෙර ඔහු සිය නිර්දෝෂීභාවය ප්‍රකාශ කරමින් නව ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට යැවූ ලිපිය ලීක් වූ ලිපි ගොනුවල තිබී හමු විය. නඩේසන් පැවසුවේ, බැසිල් රාජපක්ෂ ඔහුගේ දේපලේ [ඉඩමේ] නිවසක් තනා ඇති බව ප්‍රවෘත්ති කියවන තුරු තමා නොදන්නා බවයි. පසුව ඔහු පැවසුවේ, “ඔහුගේ නමට හා කීර්ති නාමයට හානි වීම වළක්වා ගැනීමට” ඉඩම විකුණා දැමූ බවය.

“මා අයුතු හෝ නීති විරෝධී කිසිවක් කර නැති අතර මා යුක්තිය ඉටු කර ඇති බව අගය කරන ලෙස මම ඔබෙන් ඉල්ලා සිටිමි,” යයි නඩේසන් ලිවීය. “මගේ ගනුදෙනු විනිවිද පෙනෙන සුළුයි.”

නඩේසන් වරදක් සිදු කර නැති බවත් නඩුව පදනම් වී ඇත්තේ විශ්වාස කළ නොහැකි සාක්ෂිකරුවෙකු මත බවත් ඔහු පැවසීය. “මේ චෝදනාවලින් “නීතිය හාස්‍යයට ලක් කිරීමක්,” යැයි ඔහු පැවසීය.

අපරාධ නඩුව “තවමත් ක්‍රියාත්මක වෙමින් පවතින” බව සඳහන් කරමින්, Asiaciti නිලධාරීන් නඩේසන් සහ ඔහුගේ මූල්‍ය භාර “අධි අවදානම් අඛණ්ඩ අධීක්ෂණය” යටතේ තැබූ බව, අභ්‍යන්තර වාර්තා පෙන්වා දෙයි. සේවාලාභීන්ගේ සමාලෝචන පෝරමයට අමුණා තිබූ Asian Tribune ප්‍රවෘත්ති ලිපියක, “රට හැර යාම” තහනම් කිරීම ඇතුළුව නඩුවේ සමහර විස්තර Asiaciti නිලධාරීන් විසින් කහ පැහැයෙන් ඉස්මතු කර දක්වා තිබිණ.

එහෙත් නඩේසන් සඳහා ඔහුගේ මූල්‍ය භාර හා ෂෙල් සමාගම් කළමනාකරණය කරමින් සමාගම දිගටම කටයුතු කළ අතර, එම අවස්ථාවේ දී ඩොලර් මිලියන 10 ක වත්කම් තිබුණි. වසර හතරකට පසුව, 2020 දී, සිංගප්පූරුවේ මූල්‍ය අධිකාරිය විසින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට අපොහොසත් වීම සහ මූල්‍ය අපරාධ සිදුකිරීමේ අවදානමක් ඇති සේවාදායකයින් හඳුනා නොගැනීම නිසා Asiaciti සමාගමට ඩොලර් 793,000 ක දඩ මුදලක් අය කෙළේ ය.

ධනයේ හා සමෘද්ධියේ දේවතාවිය

දූෂණ විමර්ශනය මධ්‍යයේ, ලන්ඩනයේ තිබූ කලා කෘති ජිනීවා ෆ්‍රීපෝට් සංකීර්ණයට මාරු කිරීමට නඩේසන් භාණ්ඩ ප්‍රවාහකයන් කුලියට ගත්තේය.

වෙනත් ඊනියා නිදහස් වරායවල මෙන්ම, අවුරුදු 133 ක් පැරණි ජිනීවා ෆ්‍රීපෝට් හි ගනුදෙනුකරුවන් වන තනි පුද්ගලයින්ට මෙන්ම සමාගම්වලට ද රේගු බදු හෝ විකුණුම් බද්දක් නොමැතිව එහි භාණ්ඩ ගබඩා කළ හැකිය.

මුදල් විශුද්ධිකරණයට එරෙහි විශේෂඥයින් පවසන්නේ ධනවත් සේවාදායකයින්ගේ අනන්‍යතාවය සහ මූල්‍ය ගණුදෙනු ආරක්ෂා කිරීම සඳහා පුද්ගලික බැංකු විසින් ඉටු කරන කාර්යභාරය නිදහස් වරායවල් විසින් දැන් වැඩි වැඩියෙන් භාර ගනු ලැබ ඇති බවයි.

වටිනා දේපල මත පැනවෙන බදු පැහැර හැරීම සහ ඒවා ණය හිමියන්ගෙන් සහ විමර්ශකයන්ගෙන් වසන් කිරීම සඳහා සේවාදායකයන්ට දැන් ජිනීවා පළාත් රජයට වැඩි කොටසක් හිමි ජිනීවා ගබඩා සංකීර්ණය භාවිතා කළ හැකිය.

ස්විට්සර්ලන්ත රජයේ නීතීඥයන් සහ ඉතාලි පොලිසිය පවසන පරිදි, කලා කෘති මංකොල්ලකරුවන් විසින් කෞතුක භාණ්ඩ මෙන්ම, කොල්ලකන ලද රෝම සහ එට්‍රස්කන් ශිෂ්ඨාචාරයේ පුරාවස්තු තොග පිටින් සැඟවීම මෙන්ම කළු සල්ලි සුදු කිරීම සඳහා ද ජිනීවා ෆ්‍රීපෝට් භාවිතා කර ඇත. ( ඒ නමුත් ෆ්‍රීපෝට් කළමනාකරුවන් විසින් පුරාවස්තු පිළිබඳ නිසි පරීක්ෂා කිරීම් ක්‍රියාත්මක කර ඇති බව එහි සභාපති ඩේවිඩ් හිලර් රොයිටර් පුවත් සේවයට පැවසීය.)

ඩොලර් මිලියන 25 ක සිතුවමක් පැනමා ෂෙල් සමාගමක් නමින් ජිනීවා ෆ්‍රීපෝට්හි වසර ගණනාවක් තිස්සේ ගබඩා කර තිබෙන බව ICIJ Panama Papers මගින් හෙළිදරව් කිරීමෙන් පසු, ස්විට්සර්ලන්ත බලධාරීන් විසින් 2016 දී ඇමීඩෝ මොඩිග්ලියානිගේ සිතුවමක් සිය භාරයට ගනු ලැබිණ.

ජිනීවාහි පිහිටි කලා කෘති ගබඩා සමාගමක් වන Rodolphe Haller SA විසින් කළමනාකරණය කරන ලද ෆ්‍රීපෝට් ගබඩා කාමරයක “වේවැලක් ඇතිව හිඳ ගෙන සිටි මිනිසා” යන සිතුවම සඟවා තබා තිබුණි. නඩේෂන්ගේ කලා කෘති එකතුව ද ගබඩා කළේ එම සමාගමය.

19 වන සියවසේ ඉන්දියානු කලා ශිල්පී රාජා රවි වර්මාගේ කෘති 6 ක් තම පෞද්ගලික ප්‍රයෝජනය සඳහා වෙන් කළ යුතු බව 2017 අග භාගයේ දී නඩේසන්  Asiaciti නිලධාරීන්‌ගෙන් ඉල්ලා සිටි බව Asiacit සහ කලා කෘති ගබඩා කළමණාකරුවන් අතර වූ ඊමේල් පණිවුඩවලින් අනාවරණය විය. එයින් එකක් වන්නේ “ලක්ෂ්මී දේවියයි.”

මවා පාන ණයට ගැනීම්

නඩේසන්ගේ උපදේශකයන් පැවසුවේ නඩේසන් ඔහුගේ මූල්‍ය භාරය මගින් කලා කෘති ණයට ගැනීමට බලාපොරොත්තු වන බවයි.

“ඔබ මූල්‍ය භාරයක් තුළින් ඔබේ අයිතිය වසන් කිරීමට උත්සාහ කරන්නේ නම්, ඔබ යමක් ණයට ගත්ත ද ඔබට එහි අයිතියක් නැති බවක් පෙනෙනවා,” යයි කලා විශාරද සරොබෙල් පැවසීය. “එය සමහර විට මවාපෑමක් විය හැකියි.”

2018 ජනවාරියේ දී ෆ්‍රීපෝට් වෙත කලා කෘති පටවන ලද වෑන් රථය පැමිණීමට පෙර, Rodolper Haller සමාගමේ සේවකයෙක් නඩේසන් සඳහා නව ගිණුමක් ආරම්භ කළේය. ගිණුමේ නම නඩේසන්ගේ හෝ ඔහුගේ බිරිඳගේ නොව ඔවුන්ගේ එතෙර සමාගමක් වන Pacific Commodities Ltd බව කාන්දු වූ ලිපි ගොනුවල දැක්වේ.

“රහස්‍ය (හේතුන්) නිසා Asiaciti බලයලත් නිලධාරීන්ට පමණක් ගිණුම පිළිබඳ උපදෙස් දීමට හෝ ගිණුම පිළිබඳව දැන ගැනීමට හැකි බව කරුණාවෙන් සලකන්න,” යයි Rodolphe Haller සමාගමේ නිලධාරියා ඊමේලයකින් දන්වා ඇත.

අදහස් දැක්වීමට ICIJ කළ ඉල්ලීමට Rodolphe Haller ප්‍රතිචාර නොදැක්වීය.

නඩේසන්ගේ මරණයෙන් පසු කලා කෘති මෙන්ම ලන්ඩන් සහ සිඩ්නිවල පිහිටි මහල් නිවාස ද ඔහුගේ සයිප්‍රස් පුරවැසිභාවය ලබා සිටින දරුවන් දෙදෙනාට අයත් විය යුතු බව නඩේසන් Asiaciti වෙත උපදෙස දී ඇති බව ලීක් වූ ලිපි ගොනුවලින් හෙළි වේ.

හොං කොං Red Ruth Investments

නඩේසන්ගේ එතෙර වත්කම් පිළිබඳව විමර්ශනය කරන බලධාරීන් විසින් නඩේසන්ට සම්බන්ධ Red Ruth Investments Ltd නම් සමාගමකට අයත් ඩොලර් මිලියන 22 ක හොංකොං බැංකු ගිණුමක් සොයා ගෙන ඇති බව ශ්‍රී ලංකාවේ මාධ්‍යයක් කලා කෘති මාරුවෙන් මාස කිහිපයකට පසු වාර්තා කළේය.
එම සමාගම නිරූපමා රාජපක්ෂ සහ නඩේසන් සතු ජර්සි සමාගම වන Rosetti Ltd සමාගමෙන් ඩොලර් 140,000 ක වාර්ෂික ණය මුදලක් ලබා ගෙන ඇති බව පැන්ඩෝරා පත්‍රිකා හෙළි කරයි. අනතුරුව Red Ruth විසින් වෙනත් ෂෙල් සමාගම් සහ නඩේෂන්ගේ කුක් දූපතේ මූල්‍ය භාරයට ද අරමුදල් බෙදා දුන් බව වාර්තාවල දැක්වේ.

නඩේසන් කියා සිටියේ තම සමාගම වන Red Ruth පිළිබඳව බලධාරීන් කළ පරීක්ෂණ ගැන තමා නොදන්නා බවයි.

නැවත බලයට

2015 දී තේරී පත් වූ ශ්‍රී ලංකා රජය 2018 අවසානයේ දී බිඳ වැටීමට පටන් ගත්තේය. සිංහල බහුතරයක් වූ බොහෝ දෙනෙක් තමන්ගේ ආධිපත්‍යයට තර්ජනයක් වන පරිදි පෙනෙන්නට තිබූ යෝජිත ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණවලට විරුද්ධ වූහ. නව ජනාධිපතිවරයා හදිසියේම අගමැතිවරයා ඉවත් කළේය. අගමැති තනතුරට පූර්ව ජනාධිපතිවරයා මෙන්ම පැරණි විරුද්ධවාදියා ද වූ මහින්ද රාජපක්ෂ පත් කළේය. දේශපාලන විශ්ලේෂකයින්ට අනුව, එය රාජපක්ෂගේ ජනප්‍රියතාවයෙන් ප්‍රයෝජන ගැනීමට ගත් උත්සාහයක් විය.

එකී පත් කිරීම නීති විරෝධී යැයි ප්‍රකාශ කළ පාර්ලිමේන්තුව සහ අධිකරණය එය අවලංගු කළේය. නමුත් දේශපාලන අර්බුදය රාජපක්ෂ සහෝදරයින්ට සහනයක් විය. 2019 නොවැම්බර් මාසයේ දී යුද සමයේ හිටපු ආරක්ෂක ප්‍රධානියා වූ ගෝටාබය රාජපක්ෂ ජනාධිපති ලෙස තේරී පත් විය.

ඔහු වහාම මහින්ද, අගමැතිවරයා ලෙස පත් කළ අතර අනෙකුත් පවුලේ සාමාජිකයින් අතර ආණ්ඩුවේ හොඳම භූමිකාවන් බෙදා හැරියේය.

පසු ගිය රජය විසින් රාජපක්ෂ පාර්ශවකරුවන්ට එරෙහිව ගෙන එන ලද, නඩේසන්ට එරෙහි ඉඩම් ගනුදෙනුවට සම්බන්ධ වංචා කිරීමේ චෝදනා ඇතුළු, අපරාධ චෝදනා සමාලෝචනය කිරීම සඳහා 2021 ජනවාරියේ දී නව ජනාධිපතිවරයා විසින් රජයේ කොමිසමක් පත් කළේය.

මානව හිමිකම් නීතීඥයින්ගේ සහ අනෙකුත් විවේචකයන්ගේ විරෝධතා මත කොමිසම නඩේසන්ට එරෙහි චෝදනා ඉවත් කර ගැනීමට නිර්දේශ කළේය. නඩුව විභාග වෙමින් පවතී.

(ලංකා ඊ නිව්ස්)

-2021 ඔක්තෝබර් 4 වන දින ICIJ වෙබ් අඩවියේ පළ වූ, Scilla Alecci ලියූ, ‘Sri Lankan power couple piled up luxury homes, artworks and cash offshore as ruling family rose and rose’ නම් විමර්ශන වාර්තාව ලංකා ඊ නිව්ස් වෙනුවෙන් සිංහලට පරිවර්තනය කර ඇත්තේ ආනන්ද විසිනි.

Archive

Latest news

Related news