Thursday, November 21, 2024

ත්‍රස්ත පනත සහ ඒ යටතේ සිටින රැදවියන් ගැන එජා මහ කොමසාරිස්වරියගේ ශ්‍රී ලංකා වාර්තාවට එක් කරන්න – සිරකරු අයිතිවාසිකම් කමිටුවෙන් ඉල්ලීමක්

ලබන 13 වන දින ආරම්භ  වන එක්සත් ජාතීන්ගේ මානව අයිතිවාසිකම් කවුන්සිලයේ 48වන සභා වාරයට ඉදිරිපත් කැරෙන මානව හිමිකම් මහකොමසාරිස්වරියගේ ශ්‍රී ලංකාව පිළිබද වාර්තාවට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සහ ඒ යටතේ  සිටින රැඳවියන්ගේ අයිතිවාසිකම් ගැන සඳහන් කරන සේ සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව ලිපියක් මගින් ඉල්ලා සිට තිබේ.

එම ලිපියට සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවෙහි සභාපති මානව හිමිකම් නීතිඥ සේනක පෙරේරා අත්සන් කර තිබේ.

එම ලිපිය ශ්‍රී ලංකාවේ යුරෝපීය සංගම් කාර්යාලයට ද අනිතික රඳවා ගැනීම් පිළිබඳ ඒකසත් ජාතීන්ගේ ක්‍රියාකාරී කණ්ඩායමටද යවා තිබේ.

ඉංග්‍රිසි බසින් ඇති එම ලිපිය “ශ්‍රී ලංකාවේ පුද්ගල නිදහසට හා නීතියේ ආධිපත්‍යයට හානිකර ලෙස ක්‍රියාත්මක  වන ත්‍රස්තවාදය වැලැක්වීමේ පනතේ  පීඩාකාරිත්වයට විසදුම් ලබා දීම” යනුවෙන් හැදින්වේ.

වර්ෂ 1979 අංක 48 දරණ ත්‍රස්තවාදය වැලැක්වීමේ (සමකාලින විධිවිධාන) පනත තාවකාලික පදනමකින් ක්‍රියාත්මක කිරිමට පනවා තිබුණද මේ වන විට එය ශ්‍රී ලංකා නීති පද්ධතියේ කොටසක් වී තිබෙන බවත්  රටේහි කිසිම කැරලිකාරිත්වයක් හෝ ප්‍රචන්ඩකාරිත්වයක් නැතිව තිබියදීත් මෙම පනත ක්‍රියාත්මක කිරිම තුල ආණ්ඩුවට වෙනත් අරමුණක් ඇත්දැයි එම ලිපිය ප්‍රශ්න කරයි.

එම ලිපියතවදුරටත් මහ කොමසාරිස්වරිය වන මිශෙල් බෂලේ ගේ අවධානයට පහත සඳහන් කරුණූ යොමු කරයි:

ත්‍රස්තවාදය වැලැක්විමේ පනත  මගින් විධායකය වෙත ලබා දී ඇති පුළුල් බලතල දෙස බලන විට අධිකරණයට නොගොස්ම නීතිවිරෝධී අත්අඩංගුවට ගැනීම්, රඳවා තබා ගැනීම් වධහිංසාවන්ට පත් කිරීම් සහ චෝදනා නොමැතිව දීර්ඝ කාලයක් විවිධ ස්ථානවල රඳවා තබා ගැනීම් වලට හැකියාව ලැබී ඇත.

පිළිගත් යුක්ති මූලධර්ම නොතකා තමන්ගේම පාපෝච්ඡා මගින් තමන්ම වැරදිකරු වීමේ හැකියාව මෙහි ප්‍රතිපාදන වල ඇතුලත්ව තිබේ.

මේ අතර ශ්‍රි ලංකා ජනාධිපති විසින් ත්‍රිපුද්ගල කම්ටුවක් පත් කරමින් ත්‍රස්තවාදය වැලැක්විමේ පනත යටතේ සිටින රැදවියන්ට සහන ලබා දීමට යන බවට මාධ්‍ය වාර්තා පළ වී ඇත.

දැනට මෙම පනත යටතේ සැලකිය යුතු පිරිසක් රඳවාගෙන ඇති අතර, තවදුරටත් මෙම පනත අනුව මෙහෙයුම්ද සිදු කරමින් තිබේ.

එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුළු ලෝකය පිළිගත් මූලික මානුෂිය මූලධර්මයන්ට එරෙහිව යන ප්‍රතිපාදන මෙම පනතේ ඇතුලත් නිසාම බොහෝ අවස්ථාවල මෙය සංශෝධනය කිරීමේ අවශ්‍යතාවය ශ්‍රි ලංකා රජය විසින් ප්‍රතිපත්තිමය වශයෙන් පිළිගෙන ඇත.

ඒ අනුව ශ්‍රී ලංකා රජය 2021.01.21 සහ 2021.02.12 දිනයන් හි අති විශේෂ ගැසට් පත්‍රයක් මගින් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එම්.එච්.එම්.ඩී නවාස් මහතාගේ සභාපතිත්වයෙන් යුක්තව මානව හිමිකම් සම්බන්ධයෙන් ජනාධිපති කොමිෂමක් පත්කල අතර, එහි අතුරු වාර්තාව 2021.07.20 වන දින ජනාධිපතිවරයාට බාර දී තිබේ.

එම අතුරු වාර්තාවේ ප්‍රධාන නිර්දේශයන් 3 ක් ඇති අතර, එක් අතකින් ඒවා ඉදිරිගාමි නිර්දේශයන් වශයෙන් හැදින්වීම වැරදි නොවේ.

01. මාස 3 කට නොවැඩි කාලයක් තුල අධිචෝදනා ගොනු කිරිම නමුත් පනතේ 9 වගන්තිය අනුව අධිචෝදනා නොමැතිවම රැදවුම් කාලය දීර්ඝ කළ හැකිවේ.

02. පනතේ 11 වගන්තිය සංශෝධනය කරමින් මාස 3 කට වැඩි කාලයක් රැදවුම්භාරයේ සිටින්නන් විශේෂ ආරක්‍ෂාවක් යටතේ තම නිවාස අඩස්සියේ හෝ පදිංචි ප්‍රදේශයේ ස්ථානයක රඳවා තැබීම.

03. පනතේ 13 වගන්තිය යටතේ ජනාධිපතිට හෝ ආරක්‍ෂක ඇමතිවරයාට උපදෙස් දීම සඳහා උපදේශක මණ්ඩලයක් ජනවාර්ගික සංයුක්තිය අනුව පත් කිරිම.

එසේම ඉහත නිර්දේශ සම්බන්ධයෙන් සාකච්ඡා කිරිමට 2021.06.23 වන දින කැබිනට් අනු කම්ටුවක් ද  පත් කර ඇත.

නමුත් මේ දක්වා අතුරු වාර්තාවේ නිර්දේශ ක්‍රියාවට නැංවීමට හෝ කැබිනට් අනුකමිටුව මගින් සාධනීය කාර්යක් කිරිමට ශ්‍රී ලංකා රජයට නොහැකි වී ඇත.

දිගින් දිගටම රජය විසින් මෙසේ කල්මැරීමේ ප්‍රතිපත්තියක සිටිමින් කටයුතු කරමින් සිටින අතරතුර රැදවියන් විශාල පරිසකට තම ජිවිත කාලයෙන් වන්දි ගෙවීමට සිදුව තිබේ.

වසර 12 කට වැඩි කාලයක් චූදිතයන් වශයෙන් මේ වන විටත් සිය ජීවිත කාලයෙන් දඩුවම් ලැබු රැදවියන් ගණනාවකි.

මෙසේ වසර ගණන් අනීතික ලෙස රඳවා තබා ගැනීමට මග පාදන ත්‍රස්තවාදය වැලැක්විමේ පනත  අහෝසි කර ජනතාවගේ අයිතිවාසිකම් තහවුරු කිරිම වහා සිදු කළ යුතු ය.

එසේ නොමැතිව   වෙනයම් ආකාරයක ජාත්‍යන්තර සහන ලබා ගැනීම වෙනුවෙන් ජාත්‍යන්තරය හා ශ්‍රි ලාංකික පුරවැසියන් රැවටිමට රජය කටයුතු කරන්නේ නම් එයට එකඟ විය නොහැක.

ඒ අනුව ත්‍රස්තවාදය වැලැක්විමේ පනත යටතේ අසාධාරණය  සඳහා  රැදවියන්ට සහන ලබා දීමට පත් කළ ජනාධිපති කොමිෂන් සභාවේ අතුරු නිර්දේශ ක්‍රියාත්මක නොකිරිම, පනතේ 13 වගන්තිය අනුව පත් කර ඇති ජනාධිපති උපදේශක සභාවේ ජනවාර්ගික සංයුක්තිය ගැන සැලකිල්ලක් නොදැක්වීම සහ කැබිනට් උප කම්ටුව විසින් කිසිදු සාධනීය පියවරක් නොගැනීම වැනි අතීත අත්දැකිම් නිසාම ඡඕ රැදිවියන් සම්බන්ධයෙන් රජය සද්භාවයෙන් කටයුතු කරන්නේ යැයි විශ්වාස කිරීම දුෂ්කරය.

තවද ශ්‍රි ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අගවිනිසුරු ධූරය දැරු තැනැත්තකුට නීතිඥවරයෙක් වශයෙන් පෙනී සිටින්නේ නම් ඒ සඳහා ජනාධිපතිවරයාගේ අවසරය ලබා ගත යුතු බවට තිබෙන නෛතික ප්‍රතිපාදන උල්ලංඝනය කරමින් ජනාධිපති වීමට පෙර ගෝඨාභය රාජපක්‍ෂ මහතා වෙනුවෙන් ඇමරිකාවේදී ලසන්ත වික්‍රමතුංග නඩුවට පෙනී සිටි හිටපු අගවිනිසුරු අශෝක ද සිල්වා ජනාධිපති උපදේශණ සභාවේ සභාපති ලෙස පත් කිරීමද ප්‍රශ්ණකාරීය .

(මුල් ලිපිය ඉංග්‍රිසි බසින් බව සළකන්න.)

Archive

Latest news

Related news