Monday, May 6, 2024

නවතම දේශගුණික පුරෝකථන : සාගරය මීටරයක් ඉහළට; නිරන්තර ගිගිරුම් වැසි ; දියවූ අයිස් කඳු ;ගෝලීය උණුසුම ඉහළට – අප කොයිබටද?

ඡායාරූපය: මාලදිවයනට පසු දකුණු ආසියාවෙහි බංගලදේශය මුහුණ දෙනු ඇත්තේ මහත් විපතකටය. (Unicef photo)

දෙ දිනකට පෙර නිකුත් කරන ලද IPCC, The Intergovernmental Panel on Climate Change එනම් දේශගුණ විපර්යාස පිළිබඳ අන්තර් ආණ්ඩු මණ්ඩලය විසින් ප්‍රසිද්ධ කරන ලද දේශගුණ විපර්යාස පිළිබඳ වාර්තාව අපේ පෘතුවියේ අනාගතය පිළිබඳ බියකරු චිත්‍රයක් ඉදිරිපත් කරයි.

ලෝකයා එක්ව නිසි පියවර නොගත හොත් ලංකාවේ අපටද ඉන් ගැලවීමක් නැත.

IPCC යනු එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාසයන්ට  අදාළ විද්‍යාත්මක කරුණූ විමසා බලන සංවිධානයයි. රටවල් 195ක් එහි සාමාජිකත්වය දරන අතර මෙම වාර්තාව මූලික වශයෙන් ඉදිරිපත් කර ඇත්තේ එම රටවල් ප්‍රතිපත්ති සම්පාදකයින්ගේ අවධානය පිණිස ය.

එම වාර්තාව පෙන්වා දෙන්නේ දේශගුණික විපර්යාස එන්නන එන්නම පුළුල්, වේගවත් හා තීව්‍ර වන අතර එය අනාගතය පිළිබඳ ප්‍රශ්නයක් නොවන අතර අද අප මත පතිතව ඇති ප්‍රශ්නයක් බවයි.

අධික උෂ්නත්වය විසින් වඩ වඩා ලැව් ගිනි ඇති කරනු ඇත. ( Reuters photo)

මිනිසා විසින් ඇති කරනු ලබන වෙනස්කම් මෙම දේශගුණික විපර්යාසයන්ට ඍජුව බලපා ඇති බව වාර්තාව පෙන්වා දෙයි. එබැවින් එයට විසඳුම ඇත්තේද මිනිසා මතමය.

ප්‍රතිපත්ති සම්පාදකයින් සඳහා වූ සාරාංශයේ පිටු 40 ක “බොහෝ දුරට ඉඩ” ඇත යන වාක්‍යය දක්නට ලැබේ. ඉන් අදහස් වන්නේ විද්‍යාත්මකව ගත් කල, යම් දෙයක් සත්‍ය බවට 90-100% ක විශ්වාසයකි.

IPCC වාර්තාව පෙන්වා දෙන ප්‍රධාන කරුණු‍

2011-2020 අතර දශකයේදී 1850-1900 අතර කාලයට වඩා ගෝලීය මතුපිට උෂ්ණත්වය සෙන්ට්‍රිග්‍රේඩ් 1.09C කින් වැඩි විය.

1850 න් පසු ගත වූ වසර 5 ක කාලය තුළ වාර්තා වූ උණුසුම්ම කාලය මෙයයි.

1901-1971 හා සසඳන විට මෑත කාලීන මුහුදු මට්ටම ඉහළ යාමේ අනුපාතය තුන් ගුණයකට ආසන්න ය.

1990 දශකයේ සිට ගෝලීය වශයෙන් ග්ලැසියර දියව යාමේ සහ ආක්ටික් මුහුදේ හිම වල අඩුවීමේ ප්‍රධානම හේතුව මානව බලපෑමය.  “බොහෝ දුරට”  එය (90%) විය හැකිය.

1950 ගණන් වල සිට උණුසුම් කාලගුණය ඇතුළු ආන්තික උණුසුම්වීම් නිතර නිතර හා වඩාත් තීව්‍ර වෙමින් පවතින අතර සීතල සිදුවීම් අඩු  වෙමින් පැවතුන බව “ඇත්තෙන්ම නිසැක ය”.

අද දක්වා අප අත්දැක ඇති උණුසුම් වීම සියවස් ගණනාවක සිට සහස්‍ර ගණනාවක් දක්වා ආපසු හැරවිය නොහැකි අපගේ පෘතුවි  පද්ධතීන්හි බොහෝ වෙනස්කම් සිදු කර ඇති බව නව වාර්තාවෙන් පැහැදිලි වේ.

සාගර උණුසුම් වෙමින් පවතින අතර ආම්ලිකතාවය වැඩි වේ. දශක සහ සියවස් ගණනාවක් පුරා කඳු සහ ධ්‍රැව ග්ලැසියර දිය වෙමින් පවතී.

මුහුදු මට්ටම ඉහළ යාමේදී විද්‍යාඥයන් විවිධ මට්ටමේ විමෝචන සඳහා පරාසයක් සකස් කර ඇත.

ඉහඵ යන මුහුදු මට්ටම වෙරළ බඩ ජනාවාස අනතුරට ලක් කරයි. ( NYT photo)

මීටර දෙකක සිට පහක් ඉහළ යන සාගරය

කෙසේ වෙතත්, මෙම සියවස අවසානය වන විට මීටර් 2 ක් පමණ ඉහළ යාම බැහැර කළ නොහැකි කරුණකි. 2150 වන විට මීටර් 5 ක වර්ධනයක් ද සිදුවීමට දුරස්තර ඉඩක් තිබේ.

2100 වන විට ජලගැලීම් හේතුවෙන් වෙරළබඩ ප්‍රදේශවල තවත් මිලියන ගණනක ජනතාවකගේ ජීවිත සහමුලින්ම වෙනස් වනු ඇත.

තත්වය මෙසේ නමුත් අපේ පෘථිවියේ වෙසෙන සෑම ජාතියක්ම පාහේ 2015 පැරිස් දේශගුණික ගිවිසුමේ අරමුණු සඳහා අත්සන් තැබූහ.

මෙම ගිවිසුම මඟින් මෙම සියවසේදී ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම 2C ට නොදී පවත්වා ගැනීම සහ එය 1.5C ට අඩු මට්ටමක පවත්වා ගැනීමට උත්සාහ කිරීම අරමුණු කර ගෙන ඇත.

මෙම නව වාර්තාව පවසන්නේ විද්‍යාඥයින් විසින් සලකා බැලූ සියලුම විමෝචන අවස්ථා යටතේ කාබන් වල විශාල කප්පාදුවක් සිදු නොවන්නේ නම් මෙම සියවසේදී ඉලක්ක දෙකම බිඳ වැටෙනු ඇති බවයි.

” ගෝලීය පරිමාණයෙන් අධික වර්ෂාපතනයේ වර්ධනය වැඩි වන අතර ලෝකයේ සමහර ප්‍රදේශවල සමහර නියඟ වල වර්ධනය ද වැඩි වනු ඇත.”

( Reuters photo)

අනාගත බලපෑම් පහක්

විද්‍යාඥයින් විසින් සලකා බලන ලද සියලු විමෝචන අවස්ථා යටතේ 2040 වන විට උෂ්ණත්වය 1850-1900 ට වඩා 1.5C දක්වා ඉහළ යනු ඇත

තක්සේරු කළ සෑම අවස්ථාවකදීම අවම වශයෙන් 2050 ට පෙර සැප්තැම්බරයේදී ආක්ටික් කලාපය ප්‍රායෝගිකව අයිස් රහිත වීමට ඉඩ ඇත.

1.5C උණුසුම් වීමේදී පවා “පෙර නොවූ විරූ” සමහර ආන්තික වර්ධනය සිදුවීම් වැඩි වෙමින් පවතී.

මෑත අතීතයේදී සියවසකට වරක් සිදු වූ අධික මුහුදු මට්ටමේ ඉහළ යෑම් අවම වශයෙන් වාර්ෂිකව 2100 වන විට ඉතා ඉහළ යා හැකි බවට පුරෝකථනය කර ඇත.

බොහෝ ප්‍රදේශ වල ගිගුරුම් සහිත කාලගුණය වැඩි විය හැක.

සමුද්‍ර ඛාදනය දැනටමත් ශ්‍රි ලංකාවේ ප්‍රශ්ණයකි. සාගර ජල මට්ටම ඉහළ යාම බටහිර, මෙන්ම නැගෙනහිර ජනාවස තර්ජනයට ගක් කරයි. ( Daily Mirror photo)

දකුණු ආසියාවේ ඉරණම

අප ජීවත් වන දකුණූ අසියාව දේශගුණික විපර්යාසයන් නිසා දරුණූ බලපෑම් වලට ලක් විය හැකි කලාපයකි. ශ්‍රී ලංකාවද වර්ග කර ඇත්තේ දේශගුණික විපර්යාසයන් නිසා අනතුරුවලට ලක් වීමට ඉඩ ඇති දෙවන පෙළ රටක් ලෙසය. මුහුුදූ මට්ටම මීටරයක් ඉහළ ගිය හොත්  ශ්‍රී ලංකාවේ පහත් බිමි සහිත වෙරළ තීරුව ජලයෙන් යට වනු ඇත.

වර්ග කිලෝමීටර් 65,610 (කි.මී. 2) සහ වෙරළ තීරයේ කි.මී. 1,340 ක භූමි ප්‍රදේශයක් සහිත ශ්‍රී ලංකාව දේශගුණික විපර්යාසයන්ගේ බලපෑමට බෙහෙවින් ගොදුරු විය හැකිය.  ශ්‍රී ලංකාවේ ජනගහනය මිලියන 22 කට අධික වන අතර, දළ වශයෙන් සියයට 50 ක ජනගහනයක් ජීවත් වන්නේ දිවයිනේ බටහිර, නිරිතදිග සහ දකුණු වෙරළ තීරයේ ය.

කොළඹ වාණිජ අගනුවර වැඩිම ජනගහන ඝනත්වයක් ඇති අතර කි.මී. 2 ට ජනාවාස 21,000 කි. පසුගිය කාලය තුළ ශ්‍රී ලංකාව ලබා ඇති ප්‍රගතියේ විශාල කොටසක් දේශගුණික විපර්යාසයන්ගේ බලපෑම් හේතුවෙන් සැලකිය යුතු තර්ජනයකට මුහුණ පා සිටී. සංචාරක ව්‍යාපාරය, වාණිජ කෘෂිකර්මාන්තය සහ නිෂ්පාදන ඇතුළු ප්‍රාථමික ආර්ථික සාධක අධික කාලගුණික විපර්යාසයන්ට සහ මුහුදු මට්ටම ඉහළ යෑම නිසා අතිශයින් අවදානමට ලක්වනු ඇත.

මාලදිවයින යටවෙයිද?

දේශගුනික විපර්යාස පිළිබඳ පුරෝකථනයන්ට අනුව 2050 දී  මුහුදු මට්ටම අඩි 1.5 (මීටර භාගයක්) ඉහළ යාමෙන් මාලදිවයිනට භූමි ප්‍රමාණයෙන් සියයට 77 ක් පමණ අහිමි වනු ඇතැයි පුරෝකථනය කර ඇත. 2100 වසර වන විට මුහුදු මට්ටම අඩි 3 ක් (මීටර 1) පමණ ඉහළ යන්නේ නම් 2085 පමණ වන විට මාලදිවයින මුළුමනින්ම පාහේ ජලයෙන් යට විය හැකිය.

බංග්ලාදේශය විශේෂයෙන් දේශගුණික විපර්යාසයන්ට ගොදුරු විය හැකි යැයි සැලකෙන අතර මුහුදු මට්ටම ඉහළ යාම හේතුවෙන් ජනගහනයෙන් තුනෙන් එකක් අවතැන් වීමේ අවදානමට ලක්ව ඇත. සමහර දර්ශකවලට අනුව, 1998-2017 (ගෝලීය දේශගුණික අවදානම් දර්ශකය) තුළ අධික කාලගුණික විපර්යාසයන්ට වඩාම ගොදුරු වූ ලොව රටවල් දහය අතර එරටද ඇතුළත් විය.

එක්සත් ජාතීන්ගේ සංවිධානයක් වන දේශගුණික විපර්යාස පිළිබඳ අන්තර් රාජ්‍ය මණ්ඩලයේ ප්‍රවීණයන් පවසන පරිදි මුහුදු මට්ටම ඉහළ යාම සහ වෙරළ ඛාදනය හේතුවෙන් 2050 වන විට බංගලාදේශයේ   භූමි ප්‍රමාණයෙන් සියයට 17 ක් සහ ආහාර නිෂ්පාදනයෙන් සියයට 30 ක් අහිමි විය හැකිය.

කෙසේ වෙතත් දේශගුණ විපර්යාස පිළිබඳ අන්තර් ආණ්ඩු මණ්ඩලයේ වාර්තාව සාධනීය අපේක්ෂා සටහන් කරයි. මිනිසා විසින් සහ මෙම පෟතුවියේ ආණුඩු විසින් වහාම සහ ස්ථිරසාර ලෙස දේශගුනික විපර්යාස ආමන්ත්‍රණය කිරීමට පියවර ගන්නේ නම් මහ ව්‍යසනයකින් ගැලවීමට අපට හැකි වනු ඇති බව එය ප්‍රකාශ කරයි.

විදෙස් පුවත් වාර්තා අසුරෙන සකස් කළේ සුනන්ද දේශප්‍රිය විසිනි.

(ශ්‍රී ලංකාව මුහුණ දිය හැකි තත්වය ගැන තවත් තොරතුරු මීළගට)

Archive

Latest news

Related news