Thursday, April 25, 2024

ශ්‍රී ලංකාව මෘදු සහ දෘඩ හමුදාකරණය අතරමැද- ජයදේව උයන්ගොඩ

Graphic courtesy of The Economist.
(ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය මගින් සංවිධානය කරන ‘හමුදාකරණය යනු කුමක්ද?’ සාකච්ඡා මාලාවේ පළමුවැන්න පසුගිය 23දා පැවැත්විණි. මේ එහිදී මහාචාර්ය ජයදේව උයන්ගොඩ මහතා විසින් සිදු කළ අදහස් දැක්වීම් ඇසුරින් සකස් කරන ලද ලිපියකි.)
හමුදාකරණය යන වචනය ලංකාවේ විවිධ සාකච්ඡා සහ සංවාදවලදී නිතර අසන්නට ලැබේ. මේ වචනය විවිධ අර්ථයෙන් විග්‍රහ කිරීමත්, ඒ විග්‍රහයන් විවිධ දේශපාලන කෝණවලට අදාළ පරිදි හැඩගැස්වීමත් මේ සංවාදවලදී සිදු වන බවක් ද පෙනෙන්නට තිබේ. පොදුවේ ජනතාව අතර හමුදාකරණය යනු කුමක්ද යන වචනයට නිශ්චිත පිළිතුරක් නැතත්, එය හමුදාව වැඩි-වැඩියෙන් මැදිහත් වන තත්ත්වයක් බවට සමාජයේ අර්ථකතනයක් තිබේ.

හමුදාකරණය යනු කුමක්ද?

සාම්ප්‍රදායික අර්ථයෙන් ගත් විට යම්කිසි ස්ථානයකට හමුදාව විසින් පහසුකම් සැපයීම හෝ යම් ක්‍රියාවලියක් හමුදාමය ස්වභාවයක් ගැනීම හමුදාකරණය ලෙස හැඳින්වේ. කෙසේ වෙතත් නවීන තත්ත්වයන් යටතේ මේ විග්‍රහය තරමක් සංකීර්ණ ලෙස තේරුම් ගැනීම වඩාත් වැදගත් වේ. සිවිල් පරිපාලන යන්ත්‍රණය මගින් සිදු කරන පරිපාලනමය කටයුතු කිසියම් දුරකට වෙනස් වීමේ තත්ත්වයක් හෝ වෙනස් කිරීමේ උත්සාහයක් හමුදාකරණය ලෙස වර්තමානයේදී හඳුනාගත හැකිය.

මියන්මාරයේ තත්ත්වය

එසේ නව්‍ය අර්ථයෙන් ගත් විට, හමුදාකරණය කොටස් දෙකකට බෙදීම මගින් එය වඩාත් පහසුවෙන් තේරුම් ගැනීමට හැකි වනු ඇත. මෘදු හමුදාකරණය (Soft Militarization) සහ දැඩි හමුදාකරණය (Hard Militarization) ඒ කොටස් දෙකයි. ලෝකය පුරා පොදු අර්ථයෙන් බැලූ විට, මේ අන්ත දෙක අතර තත්ත්වයක් හමුදාකරණය ලෙස හැඳින්විය හැකිය. මියන්මාරයේ මේ වන විට ඇත්තේ හමුදා ආණ්ඩුවකි. එනම් සිවිල් පාලන තන්ත්‍රය වෙනුවට හමුදා පාලනයක් පැමිණ තිබේ. දකුණු කොරියාවේ ද වෙනස්කම් සහිත ව මෙවැනි තත්ත්වයක් තිබිණි. පිලිපීනයේ ද එවැනි තත්ත්වයන් දැකිය හැකි විය. විශේෂයෙන්ම පසුගිය පෙබරවාරි මාසයේ සිට මියන්මාරයේ පවතින තත්ත්වය දැඩි හමුදාකරණයට හොඳම උදාහරණයකි. එහි සිවිල් පාලන තන්ත්‍රය සම්පූර්ණයෙන්ම වෙනස් වී තිබේ.

ලංකාවේ අනතුරක් තිබේ ද?

ලංකාවේ වර්තමාන තත්ත්වය ගත් විට, මෘදු හමුදාකරණ ලක්ෂණ හඳුනාගත හැකිය. එය දැඩි හමුදාකරණ තත්ත්වයක් දක්වා යෑමේ අනතුරක් සම්බන්ධයෙන් විවිධ පාර්ශ්ව බිය පළකරනු දැකිය හැකිය. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ආණ්ඩුව යටතේ සිවිල් පරිපාලනයේ ප්‍රධාන තනතුරු වන අමාත්‍යංශ ලේකම්, සංස්ථා ප්‍රධානීන් ලෙස හමුදාවේ විශ්‍රාමික නිලධාරීන් පත්කිරීම දිගින්-දිගටම සිදු වේ. සෞඛ්‍ය ක්ෂේත්‍රය, අධ්‍යාපන ක්ෂේත්‍රය, කර්මාන්ත ක්ෂේත්‍රය ඇතුළු ක්ෂේත්‍ර ගණනාවකට හමුදාව මැදිහත් කරගන්නේ කෙසේද යන්න සම්බන්ධයෙන් ද සාකච්ඡාවක් පවතී. කොවිඩ් 19 වසංගත මර්දන කටයුතුවලදී ප්‍රමුඛත්වය ලබාදීමේ කාරණය සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමේදී ද මේ තත්ත්වය පැහැදිලිව පෙනේ. මෙවැනි තත්ත්වයක් යටතේ ලංකාවේ හමුදාකරණ තත්ත්වය මෘදු තැනක සිට දැඩි බවක් දක්වා යෑමේ අනතුරක් සම්බන්ධයෙන් බිය පළකරන පාර්ශ්ව යම් ආකාරයකට සාධාරණ බව කිව හැකිය.

ආපසු බැරැක්ක වෙත !

වසංගත, ගංවතුර, නියං වැනි හදිසි ආපදා තත්ත්වයන් තුළදී හමුදාව යෙදවීම දැකිය හැකිය. එවැනි තත්ත්වයන් සිවිල් පරිපාලනයට කාර්යක්ෂම ලෙස මුහුණ දිය නොහැකි තත්ත්වයන් වේ. ඊට හේතුව සිවිල් පරිපාලනය හැඩගැසී ඇත්තේ සාමාන්‍ය තත්ත්වයන්ට මුහුණ දීමට වන නිසා ය. මෙහිදී සිදුවන්නේ මෘදු හමුදාකරණයක් ද, දැඩි හමුදාකරණයක් ද යන්න සම්බන්ධයෙන් නිශ්චිතව පැවසීමට හැකි වන්නේ එය දීර්ඝ කාලීනව සිදුවන ක්‍රමවේදය පිළිබඳව අවධානය යොමුකිරීමෙන් ය. ඇතැම් විට අදාළ කාර්යයෙන් පසු හමුදාව පෙර සිටි ස්ථානවලට ආපසු යෑම සිදුවිය හැකිය. ඇතැම් විට අදාළ කාර්යයෙන් පසු හමුදාව නව ස්ථාන පිහිටුවා, ඒවායෙහි ස්ථානගත වීම ද සිදුවිය හැකිය. මෙවැනි හදිසි අවස්ථාවක් සඳහා හමුදාව මැදිහත් කිරීමෙන් පසු නැවත බැරැක්ක වෙත යා යුතුයි යනුවෙන් සංකල්පයක් තිබේ. (Back to Barrack)

වචන හරඹ

මත්ද්‍රව්‍යයට එරෙහි යුද්ධය (War against drugs), දිළිඳුකමට එරෙහි යුද්ධය (War against poverty) වැනි වචන යොදාගැනීම ද වක්‍රව මෘදු හමුදාකරණයක් ලෙස හැඳින්විය හැකිය. යුද්ධය යන වචනය ඇසුණු විගස, ඒත් සමගම හමුදාව, හමුදා නිල ඇඳුම සහ අවි-ආයුධ සිහියට එයි. යුද්ධය කරන්නේ කුමක් සඳහා ද යන්න සිහියට එන්නේත්, තේරුම් ගන්නේත් ඉන්පසුව ය. එම නිසා මෙවැනි අවස්ථාත් මෘදු හමුදාකරණයට උදාහරණ ලෙස පොන්වා දිය හැකිය.

රොමාන්තිකකරණය කරන හමුදාව

ලංකාවේදී පමණක් නොව, ඉන්දියාව, පාකිස්තානය ඇතුළු බොහෝ රටවලදී අප දකින විශේෂිත තත්ත්වයකි, හමුදාව රොමාන්තිකකරණයට ලක්කිරීම. ජනමාධ්‍ය, සංගීතය, චිත්‍රපට, ටෙලිනාට්‍ය ඇතුළු විවිධ අංශ ඔස්සේ මෙය සිදුකරනු දැකිය හැකිය. හමුදාවේ පුරප්පාඩු පිරවීම සඳහා තරුණයන් ආකර්ෂණය කරගැනීම ද මෙමගින් සිදු‌ කෙරේ. එසේම දේශප්‍රේමය වැනි ජාතිකවාදී ව්‍යාපාර හරහා මතුකෙරෙන මතවාද සමාජගත කිරීම සඳහා ද මෙවැනි මෘදු හමුදාකරණයන් භාවිත කරනු ලබයි. මෙවැනි මතවාද සමාජගත කිරීම සඳහා යොදාගන්නා ගීත සඳහා හමුදා ආචාර පෙළපාලි සංගීතයට සමාන සංගීතයක් භාවිත කිරීම ලංකාවේදී මෙන්ම ඉන්දියාවේදී ද බහුලව දැකිය හැකි තත්ත්වයකි.

තාවකාලික තත්ත්වයක්?

කෙසේ වෙතත් මේ මෘදු හමුදාකරණයේ ඇති විශේෂත්වය වන්නේ මෙමගින් සිවිල් පරිපාලන ක්‍රියාවලියේ ස්ථිර වෙනසක් සිදුනොවීම ය. මේවා තාවකාලික හමුදාකරණ තත්ත්වයන් ලෙස ද හැඳින්විය හැකිය.

දැඩි හමුදාකරණයේදී සිදුවන්නේ කුමක්ද?

එහෙත් දැඩි හමුදාකරණයේදී මෙසේ නොවේ. එහිදී හමුදාව ආණ්ඩු කිරීමේ හෝ සිවිල් පරිපාලනයේ හෝ ස්ථිර කොටසක් බවට පත් වේ. සාමාන්‍ය ප්‍රජාතන්ත්‍රවාදී තත්ත්වයක් යටතේ හමුදාව තිබෙන්නේ සිවිල් පරිපාලනය යටතේ ය. හමුදාකරණ ලක්ෂණ බහුලව පවතින රුසියාවේ පවා තත්ත්වය එසේ ය. මීට හේතු වන්නේ සන්නද්ධ බලයට හිමිකම ඇති ආයතනය හමුදාව වීම ය. එය ඇතැම් තැනකදී න්‍යෂ්ඨික බලය දක්වා විහිදුණු ප්‍රබල බලයකි. එම නිසා සෑමවිටම හමුදාව සිවිල් පරිපාලනයට යටත් කිරීමේ වැදගත්කම ඉස්මතු කෙරේ.

හමුදා පුහුණුව

හමුදාව තුළ සංවිධානය වීමේ, අදහස් ප්‍රකාශ කිරීමේ නිදහ සීමාසහිත වේ. හමුදාවට පුහුණුව ලබාදෙන්නේ අණ පිළිපැදීමට සහ එම අණට යටත්ව යුද්ධ කිරීමට ය. මේ නිසා ප්‍රජාතන්ත්‍රවාදී සිවිල් පරිපාලන කටයුතු සඳහා හමුදාව මැදිහත් කර ගැනීමේදී, ඔවුන් තමන්ට ලැබුණු පුහුණුව අනුව කටයුතු කිරීමට පෙළඹීම සාමාන්‍ය දෙයකි. විශ්‍රාමික හමුදා නිලධාරියෙක් ගතහොත්, ඔහු බොහෝ විට වසර හතළිහකට ආසන්න කාලයක් හමුදාවේ නියෝග සහ පුහුණු යටතේ ජීවත් වූ අයෙකි. එක්වරම ඔහු සිවිල් පරිපාලන කටයුතු මෙහෙයවීම සඳහා ස්වයං පුහුණුවක් ලබන්නේ කෙසේද?

හමුදා – සිවිල් බලතුලනය

මේ නිසා ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික ලක්ෂණයක් වන්නේ අවි දැරීමට නීත්‍යනුකූල බලයක් හිමි ආයතන සිවිල් පරිපාලනයට සම්බන්ධ කර නොගැනීම ය. අත්‍යවශ්‍ය තත්ත්වයන් යටතේ සිවිල් පරිපාලනයට මැදිහත් කරගන්නා හමුදාව, එම කටයුතුවලින් පසු නැවත සිටි ස්ථාන වෙත ම යැවීමේ වැදගත්කම් ඉස්මතු කෙරෙන්නේ ද එම නිසා ය. මේ නිසා නිරන්තරයෙන් ම හමුදා සහ සිවිල් අංශ දෙක අතර බල තුලනයක් පවත්වාගත යුතුය. එම බල තුලනය යම් ආකාරයකින් බිඳ වැටුණහොත්, පෙර කී දැඩි හමුදාකරණයක අනතුරක් නිර්මාණය විය හැකිය. ලංකාවේ මේ වන විට ඇතැම් පාර්ශ්ව බිය පළකරන්නේ මෙවැනි තත්ත්වයක් සම්බන්ධයෙන් ය.

හදිසි නීතිය මාසයකට පමණයි !

ප්‍රජාතන්ත්‍රවාදී පාලන ව්‍යුහයන් මේ තත්ත්වය බරපතළ ලෙස අවධානයට ගෙන ඇති බව තහවුරු කරන උදාහරණයකි, හදිසි නීතිය. හදිසි නීතිය යටතේ පොලිසියට හිමි නීතිය හා සාමය ආරක්ෂා කිරීමේ බලය හමුදාවට පැවරේ. එහෙත් ඒ සම්බන්ධයෙන් සඳහන් කිරීමේදී විශේෂයෙන් දක්වා ඇත්තේ මාසිකව හදිසි නීතිය දීර්ඝ කිරීමේ හෝ අවලංගු කිරීමේ කාර්යයත්, එය මාසිකව මහජන නියෝජිතයන්ගෙන් සමන්විත පාර්ලිමේන්තුවේ අනුමැතියට යටත් කළ යුතුය යන්නත් ය. මෙමගින් පැහැදිලි කෙරෙන්නේ හමුදාව දිගින් – දිගටම නීතිය හා සාමය ආරක්ෂා කිරීමේ ක්‍රියාවලියට යොදාගැනීමේ අනතුරයි.

තුනෙන් දෙක, සරල බහුතරය වෙයි

1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරම්භයේදී මෙහි තවත් බරපතළ කරුණක් ද සඳහන් විය. එනම් මාස තුනකට වඩා, එක දිගට හදිසි නීතිය දීර්ඝ කරන්නේ නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර බලය ලබාගත යුතුය යන්නයි. එහෙත් පසුව කරන ලද ව්‍යවස්ථා සංශෝධනයක් මගින් එය සරල බහුතරයෙන් කළ හැකි බවට ලිහිල් කරන ලදි. එය බරපතළ තත්ත්වයක් වන්නේ හමුදා සහ සිවිල් බලතුලනය සඳහා ව්‍යවස්ථාවෙන් ඉදිරිපත් කරන ලද තුනෙන් දෙකේ අනුමැතිය ලබාගැනීම තරමක් අසීරු කරුණක් වුවද, සරල බහුතරය ලබාගැනීම පහසුවෙන් කළ හැකි වීම ය.

ජනාධිපතිවරයාගේ වගවීම

කෙසේ වෙතත් මහජන ආරක්ෂක පනතේ 12 වැනි වගන්තිය යටතේ හදිසි අවස්ථාවක් නැතත්, ජනාධිපතිවරයාට හමුදාව කැඳවීම කළ හැකිය. එය අභියෝගයට ලක්කළ නොහැකි බලයකි. මෙය අභියෝගයට ලක්කළ නොහැකි වුවද, ජනාධිපතිවරයා තමන්ගේ තීරණය සම්බන්ධයෙන් වගවිය යුතුය. තමන් එවැනි තීරණයක් ගැනීමට සාධාරණ සහ පිළිගත හැකි හේතු පැහැදිලි කළ යුතුය. එහෙත් එවැන්නක් අපට ප්‍රායෝගික තලයේදී දැකිය නොහැකිය. මෙවැනි වගවන තත්ත්වයක් නොමැති නිසා ම, හදිසි නීතිය ලංකාව වැනි රටවල සාමාන්‍ය නීතිය බවට පත්වී තිබේ. ’78 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත වීමෙන් පසු කාලය ගත්විට, ලංකාව පාලනය වී ඇත්තේ සාමාන්‍ය නීතියට වඩා හදිසි නීතිය යටතේ යැයි කෙනෙකුට තර්ක කළ හැකිය. එමගින් ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුකරණය විකෘතියක් බවට පත්කර තිබේ.

අභියෝගයට ලක්කළ නොහැක !

මෙසේ හදිසි නීතිය සාමාන්‍ය තත්ත්වයක් වී ඇති සමාජයක, හමුදාකරණය (Militarism) මතවාදයක් බවට තහවුරු වී තිබේ. මේ නිසා විශ්‍රාමික හමුදා නිලධාරීන් සිවිල් පරිපාලනයට සම්බන්ධ කරගැනීම ප්‍රශ්න කෙරෙනු පොදුවේ දැකිය නොහැකිය. ඔවුන්ව සිවිල් පරිපාලනයට යොදාගන්නේ ඇයි? ඔවුන්ගේ හමුදා පුහුණුව නිසා ය, එය සිදුවන්නේ. අවස්ථා එකකදී හෝ දෙකකදී මෙය සිදුවිය හැකිය. එහෙත් දිගින්-දිගටම එසේ සිදුවීම මගින් මේ පත්කිරීම්වලට අලුත් අර්ථයක් ලබාදෙයි. එය හුදෙකලා සිදුවීම් ලෙස කොයිතරම් දුරට හොඳ ද, නරක ද යන්න තීරණය කළ යුත්තේ කාලය සමග ය. එහෙත් පොදුවේ ගත් විට ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩු ක්‍රමයක් ක්‍රියාත්මක වන රටක, පුරවැසි අයිතිවාසිකම් සම්බන්ධයෙන් මෙවැනි පත්කිරීම් යහපත් දෙයක් නොවේ. එහෙත් ව්‍යවස්ථානුකූලව මේ පත්කිරීම් බලය ඇත්තේ ජනාධිපතිවරයාට ය. එය අභියෝගයට ලක්කළ නොහැක.

කාර්යක්ෂමතා මතවාදය

මෙවැනි පත්කිරීම් සමාජයේ බහුතරය පිළිගනු ලබන්නේ කාර්යක්ෂමතාව යන තැනින් ය. සිවිල් පරිපාලනය, දේශපාලනඥයන් අකාර්යක්ෂම, අසාර්ථක, දූෂිත බවට මතවාදයක් සමාජයේ තිබේ. එය සිවිල් පරිපාලනය සහ දේශපාලනඥයන් විසින් තවදුරටත් තහවුරු කරමින් සිටී. 1958දී පාකිස්තානයේත්, 1962 බුරුමය හෙවත් වර්තමාන මියන්මාරයේත් සිදු වූයේ මේ මතවාදය පෝෂණය කිරීමේ උච්ඡ අවස්ථාවේදී සිදු වන දෙයයි. එනම් හමුදාව පාලනයේ වෙනසක් සඳහා සෘජුව මැදිහත් වීම ය.

කළ යුත්තේ කුමක්ද?

මේ නිසා මෘදු හමුදාකරණය, දැඩි හමුදාකරණයක් දක්වා යන මාර්ගය නිවැරදිව තේරුම් ගත යුතුය. අධිකරණයේ ප්‍රශ්න කළ නොහැකි කරුණු, සමාජය තුළ ප්‍රශ්න කළ යුතුය. ඊට අදාළ මැදිහත්වීම කළ යුතුය. යුදවාදයට ගොනු වූ බහුතර මතයක් මෙන්ම දිනෙන්-දින රාජ්‍ය බලය, මාධ්‍ය යොදාගනිමින් තව-තවත් එම මතය පෝෂණය කරන තත්ත්වයක් තුළ, නිර්යුදවාදී මතවාදයක් සමාජගත කිරීම දුෂ්කර ප්‍රයත්නයක් වීම අනිවාර්ය ය. එහෙත් යා යුත්තේ එම මාර්ගයේ ය.
(සකස් කළේ – ශාලික විමලසේන – medialk.com)

Archive

Latest news

Related news