Thursday, April 18, 2024

රට මිලිටරිකරණය කිරීමෙන් වසංගතය මර්දනය කරන්න බැහැ; රට බංකොලොත්වීමේ අනතුර අභියස ජීවිත ඔට්ටුවට නොතබනු  – කරු ජයසූරිය

රට බංකොලොත්වීමේ අනතුරක් අභියස ඉන් මිදීමට කටයුතු කරනු විනා ජනතාවගේ ජීවිත සමඟ රජය සූදු නොකෙළිය යුතුය.

අද වන විට අපේ රට පවතින්නේ ඉතාමත් බරපතල  අනතුරක් අභියසය. රට ආර්ථික වශයෙන් බංකොලොත් වීමේ දැවැන්ත අවධානමකට මුහුණ දී තිබෙනවා. ඒ අතර කොවිඩ් වසංගතය මුළු මහත් රටම වෙලාගනිමින් පවතිනවා. එවැනි භයානක තත්වයකට රට ඇද වැටී ඇති පසුබිමක  පාලකයන්ගේ අත්තනෝමතික, හිතුවක්කාරී තීරණයක ප්‍රතිපලයක් ලෙස රටේ කෘෂිකර්මාන්තය ද කඩාවැටෙන තත්වයක් ඇතිවෙලා.

මෙම තත්වය කෙටියෙන් පැහැදිලි කරන්නේ නම් අද ගොවියන්ට වගා කරන්නට පොහොර නෑ. ධීවරයා අසරණ කරලා. රටේ ව්‍යාපාරික ක්ෂේත්‍රය දවසින් දවස කඩාවැටෙමින් පවතිනවා. දරුවන්ට අධ්‍යාපනය ලබන්නට හැකියාවක් නොමැති වෙලා. සමස්ත රාජ්‍ය සේවයම අකර්මන්‍ය වෙලා. ඒ නිසා රට මුහුණ පා ඇති මෙම අවාසනාවන්ත තත්වයෙන් මුදවාගැනීමේ වගකීම අප සියලු දෙනාගේම කර මත පැටවී තිබෙනවා.

පාලකයන් මේ පිළිබඳව සිය අවධානය බලවත් ලෙස යොමුකළ යුතුයි. පක්ෂ, ජාති, ආගම් ආදී සියලුම පටු බේද නොසලකා හරිමින් රටේ අනාගත යහපත උදෙසා සියළුම පාර්ශව එක්සත් කරමින් විධිමත් හා පැහැදිලි ක්‍රියාමාර්ග වෙත යොමුවිය යුතුය.

පසුගිය මාස ගණනාව තිස්සේම අප පුන පුනා ප්‍රකාශ කළ පරිදිම 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය හේතුවෙන් රටේ සමස්ත බලය එක් පුද්ගල හස්තයක් යටතට යොමුකරගෙන තිබෙනවා. ඒ නිසා රටේ සමස්ථ ප්‍රජාතන්ත්‍රීය ආයතන පද්ධතියම බිඳවැටී තිබෙනවා.

රට බරපතළ වසංගතයකට මුහුණදී තිබියදීත් අඩුම වශයෙන් එයට හෝ සාර්ථකව මුහුණදීමට නොහැකි වී ඇත්තේ ඒ නිසයි. මෙවැනි ව්‍යසනයක් හමුවේ පවා බල අහංකාරය ඉවත්කරගන්නට සූදානම් බවක් පෙනෙන්නට නැහැ.

අවම වශයෙන් වසංගත රෝග විශේෂඥයන්ගෙන් පවා නිසි ප්‍රයෝජනයක් නොගෙන තනි මතයට වැඩකරන බවක් පෙනෙන්නේ ඒ නිසයි. ලංකාවේ පමණක් නොව ලංකාවෙන් පිටත ජීවත්වන විද්වත් ප්‍රජාව මෙවැනි මොහොතක රටට උදව් කරන්නට සූදානමින් සිටින බව අප හොදින්ම දන්නවා. නමුත් රටක් ලෙස අප ඔවුන්ගෙන් පවා නිසි ප්‍රයෝජනයක් ගන්නා බවක් පෙනෙන්නට නැහැ.

රට මිලිටරිකරණය කිරීමෙන් වසංගත රෝග මර්දනය කරන්නට බැහැ. එවැන්නකින් සිදුවන්නේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය හා ජනතාවගේ නිදහස දුර්වල කිරීම පමණයි.

ඒ කෙසේ නමුත් දැන්වත් අප යතාර්ථයට මුහුණදිය යුතුව තිබෙනවා. ඒ නිසා මෙම වසංගතය මැඩලීම සඳහා දැන්වත් සෞඛ්‍ය ක්ෂේත්‍රය නියෝජනය කරන විශේෂඥයන් මූලික කරගන්නා සිවිල් යාන්ත්‍රණයකට  එම කටයුත්ත භාරකළ යුතුව ඇතයි අප විශ්වාස කරනවා. හමුදාව ඇතුළු ආරක්ෂක අංශ ක්‍රියාත්මක වියයුත්තේ එම යාන්ත්‍රණයට අනුබද්ධවයි. ඔවුන් ලබා දුන් සේවය අපි අගය කරනවා. රට මිලිටරිකරණය කිරීමෙන් වසංගත රෝග මර්දනය කරන්නට බැහැ. එවැන්නකින් සිදුවන්නේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය හා ජනතාවගේ නිදහස දුර්වල කිරීම පමණයි.

ඒ නිසා අප නැවත නැවතත් ප්‍රකාශ කරන්නේ රටේ ජනතාවගේ ජීවිත සමග සූදු කෙළිමින් රටත් ජනතාවත් අනතුරේ නොහෙලන ලෙසයි. රට මුහුණ දී ඇති අවදානම අවතක්සේරු නොකරන ලෙසයි.

මෙවැනි පසුබිමක් තුළ පසුගිය 21 වනදා සංචරණ සීමා ඉවත්කිරීම ගැන රට පිළිගත් විද්වතුන් ගණනාවක්ම සිය විරෝධය පළකර තිබෙනු අප දුටුවා. ඇතම් ප්‍රධාන මාධ්‍ය, රජයේ මෙම තීරණය හඳුන්වාදී තිබුණේ ආත්ම වංචාවක් ලෙසටය. ඒ නිසා රජය මේ පිළිබදව බලවත් අවධානයක් යොමුකල යුතුය. ඒ අනුව වෛද්‍ය විශේෂඥයන්ගෙන් යුත් විවිධ ක්ෂේත්‍රවල විද්වතුන්ද ඇතුළත් කරගන්නා සිවිල් යාන්ත්‍රණයකට කොවිඩ් මර්දන ක්‍රියාවලිය භාරදෙන ලෙස සංවිධානයක් ලෙස අප බලවත් වුවමනාවකින් යුතුව ඉල්ලා සිටිනවා. හමුදාවට ද මෙහි කාර්‍යභාරයක් තිබෙනවා.

මේ අතර පූර්ව සැලසුමක් හා කෘෂිවිශේෂඥයන්ගේ නිසි තක්සේරුවකින් තොරව පොහොර සම්බන්ධයෙන් රජය ගෙන ඇති අත්තනෝමතික තීන්දුව රටේ සමස්ත කෘෂිකාර්ම ක්ෂේත්‍රයම විනාශය මුඛයට තල්ලු කළ හැකි හේතුවක් වී තිබෙනවා.

මේ අතර පූර්ව සැලසුමක් හා කෘෂිවිශේෂඥයන්ගේ නිසි තක්සේරුවකින් තොරව පොහොර සම්බන්ධයෙන් රජය ගෙන ඇති අත්තනෝමතික තීන්දුව රටේ සමස්ත කෘෂිකාර්ම ක්ෂේත්‍රයම විනාශය මුඛයට තල්ලු කළ හැකි හේතුවක් වී තිබෙනවා. අද වගා කිරීමට අවශ්‍ය පොහොර නොමැති කමින් රට පුරා ගොවියන් බලවත් අසීරුතාවයකට පත්කර තිබෙනවා. රජයේ මෙම අදූරදර්ශී ප්‍රතිපත්තිය නිසා රටේ සමස්ත කෘෂි නිෂ්පාදනය අවම වශයෙන් 40%න් හෝ පහත වැටෙනු ඇතැයි විද්වතුන් මත පළ කර තිබෙනවා.

එය අවාසනාවන්ත තත්ත්වයක්. එවැන්නක් සිදුවුවහොත් රටේ ආහාර සුරක්ෂිතතාවය බරපතළ ලෙස බිඳ වැටිය හැකිය. විශාල ආහාර අහේනියක් ඇතිවීමේ අනතුර නිසා ජනතාව බරපතළ දුෂ්කරතාවයන්ට පත් විය හැකිය. එමෙන්ම එවැනි තත්ත්වයක් නිර්මාණය වීමෙන් රට පුරා ලේ හැලෙන විරෝධතාවයක්ද මතු විය හැකිය. ඒ නිසා මෙම කාරණයට අදාළව අප බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ සාමාන්‍ය පොදු ජනතාවගේ ජීවිත සමග සූදු නොකෙළින ලෙසයි.

මෙම සියලු තත්ත්වයන් තුළ අප රටේ ආර්ථිකයද බරපතළ ලෙස කඩා වැටෙමින් තිබෙනවා. අද වන විට අපගේ විදේශ මුදල් සංචිතය ඩොලර් බිලියන 300ක් දක්වා හැකිලී තිබෙනවා. එය අතිශයින්ම භයානක තත්ත්වයක්. විදේශීය රටවලින් ලබාගන්නා ඩොලර් බිලියන 200ක මුදල් පමණක් යොදවා එයට පිළියම් සෙවීම විහිළුවක්. ඛණිජ තෙල් මිල වැඩිකිරීමෙන් රජය තාවකාලික සහනයක්  ලබා ගත්තත් ඒ මගින් පමණක් අද පවතින තත්ත්වය අනුව රටේ ආර්ථිකය ශක්තිමත් කළ නොහැකිය.

ඒ අනුව එම අභියෝගයට මුහුණදීමේ වගකීම පැවරී ඇත්තේ ආණ්ඩුවටය. ඒ සඳහා ස්ථාවර හා පැහැදිලි ප්‍රයත්නයක පිහිටා කටයුතු කළ යුතුව තිබේ. සමහර ඇමතිවරුන්ට අනුව රජයට අවශ්‍ය ආකාරයට වියදම් කිරීමට මුදල් ඇති බවක් ප්‍රකාශ වෙනවා.  ඒ නිසා කල් නොයවා එම අභියෝගයටද සාර්ථක පිළිතුරක් සපයා නොගතහොත් මේ රටේ ජනතාවගේ ජීවිත තව තවත් දුක්ඛිත තත්ත්වයකට පත් කර ලිය හැකියි.

ඒ නිසා ශ්‍රී ලංකාව වගකීමකින් යුතුව කටයුතු කරන රාජ්‍යයක් බවට අප මේ මොහොතේ ප්‍රදර්ශනය කළ යුතුව තිබෙනවා. එහිදී ශ්‍රී ලංකා ආණ්ඩුව යුරෝපා සංගමය සමඟ සාකච්ජා කළ යුතුව තිබෙනවා.

රටේ ආර්ථිකය මේ ආකාරයට දවසින් දවස දුර්වල කරමින් කඩා වැටීමේ අනතුරක පවතිද්දී GSP+ අපට අහිමි වුවහොත් ඒ මගින් සිදුවන්නේ රටේ ආර්ථිකය කබලෙන් ලිපටද ඇද වැටීමය. ඒ වගේම රටේ නිශ්පාදන ආර්ථිකය දැවැන්ත පසුබෑමකට ලක් විය හැකියි. මේ වන විට විවිධ නිශ්පාදන හා සේවාවන් හි නියුතු අතිවිශාල පිරිසකට ඒ මගින් රැකියා අහිමිවිය හැකියි. විශේෂයෙන්ම ඇඟළුම්, තේ, ධීවර ඇතුළු නිශ්පාදන හා කර්මාන්ත ගණනාවක්ම ඒ මඟින් දැඩි පසුබෑමකට ලක් විය හැකියි.

ඒ නිසා ශ්‍රී ලංකාව වගකීමකින් යුතුව කටයුතු කරන රාජ්‍යයක් බවට අප මේ මොහොතේ ප්‍රදර්ශනය කළ යුතුව තිබෙනවා. එහිදී ශ්‍රී ලංකා ආණ්ඩුව යුරෝපා සංගමය සමඟ  මාකච්ජා කළ යුතුව තිබෙනවා. රටේ ප්‍රජාතන්ත්‍රවාදය, ජනතාවගේ අයිතිවාසිකම් හා නිදහස ආරක්ෂා කරන බවට පැහැදිලි සහතිකයක් ලෝකයට ලබා දිය යුතු වෙනවා. යුරෝපා සංගමය නියෝජනය කරන සෑම රටක්ම අපගේ මිත්‍ර රාජ්‍යයන්ය. එක් එක් රටවල් ලෙස ගත්විට හෝ සංගමයක් ලෙස ඔවුන් ශ්‍රී ලංකාවට එරෙහි වන්නේ නැත. නමුත් වඩා යහපත් ලෝකයක් සඳහා ඔවුන් ඉහළින්ම පිළිගන්නා නිර්නායකයන්ට ඔවුන් ගරු කළ යුතු වෙනවා. ඒ බව අපද පිළිගත යුතුය.

අපේ ඉතිහාසය හා සංස්කෘතිය අනුවද එකී නිර්ණායකයන් අපට ද ඉතාමත් වටිනාකම් ගෙන දෙන බව අප පිළිගත යුතුය. ජනතාවගේ මූලික අයිතිවාසිකම් ආරක්ෂා කිරීම, නීතියේ ආධිපත්‍ය තහවුරු කිරීම, සිවිල් පාලන ව්‍යුහයන් ශක්තිමත් කිරීම, අල්ලස හෝ දූෂණ පිටුදැකීම, මානව ගරුත්වය හා ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීම වැනි එකී වටිනාකම් තහවුරු කරන ප්‍රමාණයට රටත් රටේ ජනතාවත් ආරක්ෂා වන බව අප තේරුම් ගත යුතුය. නිදහසින් පසු රටක් ලෙස අප ද පිළිගත් එවැනි අගයන්ටද ජාත්‍යන්තර මට්ටමෙන්ද ඉහළ පිළිගැනීමක් තිබේ. නමුත් මෑත කාලයේ  සිදු වූ ඇතැම් අමිහිරි සිදුවීම් නිසා එම වටිනාකම්වලට බරපතළ හානියක් සිදුව තිබෙනවා.

(සංස්කරණය කරන ලදී)

Archive

Latest news

Related news