Friday, April 19, 2024

අනේ දේශපාලනඥයිනි ඉංග්‍රීසියෙන් ඉගෙන ගැනීමට අපේ දරුවන්ට ඉඩ දෙන්න. – විජයානන්ද ජයවීර

‘ද්වි භාෂා අධ්‍යාපනය; හොඳ ම දේ දරුවන්ට’ යන මැයෙන් කුරුණෑගල ලක්දාස් ද මැල් විදුහලේ විදුහල්පති කේ.ඒ. විමලකීර්ති මහතා දෙසතියකට පෙර රාවයට ලියූ ලිපිය අපේ රටේ අධ්‍යාපන ප්‍රතිපත්ති සකස් කරන නායක කාරකාදීන්ගේත් මෙන් ම තම දරුවන්ට හොඳයැ’යි සම්මත පාසලක් ලබා දීමට හතර අතට වැඳ වැටෙන දෙමව්පිය ඡන්දදායකයන්ගේ ද නො මද අවධානයට යොමු විය යුතු ලිපියක්යැ’යි මම සිතමි. මහව පහසුකම් අඩු ගම්බද ඇහැටුවැව විදුහලේ විදුහල්පති කම කරන කළ නොයෙකුත් කෙනෙහිලි කම් මැද තෝරා ගත් විෂයයන් ඉංග්‍රීසි බසින් ඉගැන්වීමට වසර 2002 තරම් ඈත දී තමා ගත් නිර්භීත තීරණයත්, එනිසා සිසු දරුවන් තුළ ඇති වූ පැහැදිලි ප්‍රගාමී වෙනස හා ආත්ම විශ්වාසයත්, සිංහල බසින් පමණක් ඉගෙන ගත් සිසු දරුවන් අබිබවා යාමට ඔවුන්ට ඇති වූ හැකියාවත් විමලකීර්ති මහතා සහේතුකව සඳහන් කර තිබුණි. 2008 වන විට ඇහැටුවැව විදුහලේ සිසු දරුවෝ සාමාන්‍ය පෙළ විභාගයට ඉංග්‍රීසි මාධ්‍යයෙන් පෙනී සිට හොඳ ප්‍රතිඵල ලබා ගත්තෝ ය. ඔවුහු අද හොඳ රැකියාවල යෙදෙති.

තෝරා ගත් විෂයය මෙසේ ඉංග්‍රීසි බසින් හැදෑරීමේ අවස්ථාව කුරුණෑගල ලක්දාස් ද මැල් විදුහලට ද ඒ මහතා හඳුන්වා දී තිබේ. පසුගිය වසරේ සමස්ත ලංකා අධ්‍යාපන ඇගයීම් වාර්තාවෙන් පෙන්නුම් කරණ පරිදි එම විදුහල කලාපයේ පාසල් අතරින් ඉතා හොඳ පාසලක් බවට පත් ව ඇති බව පෙණේ. විමලකීර්ති මහතාගේ එකී අත් දැකීම් වලින් පෙන්වා දෙන වැදගත් කාරණයක් වන්නේ සිසු දරුවන්ට ඉංග්‍රීසි බසින් විෂය ඉගැන්වීමට නම් මනා භාෂා හැකියාවකින් යුතු ගුරුවරුන් අවශ්‍යය යන මතය හුදු ප්‍රලාපයක් බවයි. ඒ බව දුරකථනය ඔස්සේ මා හා කළ කතාබහක දී ඒ මහතා තහවුරු කළේ ය. ඉගෙන ගැනීම දරුවන් විසින් ම කරනු ලබන ක්‍රියාවක් මිස ගුරු කේන්‍ද්‍රීය ක්‍රියාවක් නොවේ.

විවිධ භාෂා ඉගෙන ගැනීමට දරුවන්ට ජීව විද්‍යාත්මක වශයෙන් ම නිසග හැකියාවක් ඇති බවට නෝම් චොම්ස්කි ප්‍රම්‍රඛ වාග් විද්‍යාඥයන් විසින් පෙන්වා දී තිබුණේ බොහෝ කළකට පෙර ය. ප්‍රකට මනෝවිද්‍යාඥයෙකු හා ලේඛකයෙකු වන ආචාර්ය ස්ටීවන් පින්කර් ඇතුළු පර්යේෂකයන් විසින් අමෙරිකාවේ මැසචූසෙට් තාක්ෂණික ආයතනයේ මෙහෙයවීමෙන් මේ කාරණය ගැන කළ නවතම පර්යේෂණයක ප්‍රතිඵල මීට දෙසතියකට පෙර චිර ප්‍රසිද්ධ ‘සයන්ටිෆික් අමෙරිකන්’ සඟරාවේ පළ විය. භාෂා ඉගෙන ගැනීමට දරුවන්ට ඇති නෛසර්ගික හැකියාව වයස දහ අට වන තෙක් ම හොඳින් පවතින බව එම පර්යේෂණයට අනුව තහවුරු වී තිබේ. අවශ්‍යතාව නම් ආගන්තුක භාෂා ඉගෙනීමට සුදුසු අභියෝග දරුවන්ට ලබා දීමයි. ඇතැම් දරුවන් රූපවාහිනියේ යන ඉංග්‍රීසි කාටුන් වැඩසටහන් නරඹා ඉංග්‍රීසි බස ඉගෙන ගන්නේ එබැවිනි.

සැබවින්ම ‘ළඟ ම පාසල හොඳ ම පාසල’ බවට පත් කළ හැකි වන්නේ විමලකීර්ති මහතා විස්තර කරන අන්දමට ඇහැටුවැව පාසල මෙන් ඉංග්‍රීසියෙන් විෂය හැදෑරීමට පාසල් දරුවන් පොලඹවන ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීම මගිනි. ශිෂ්‍යත්ව තරඟ පීඩනයෙන් පෙළෙන දරුවන් ද, ඉංග්‍රීසියට ලැදි නාමධාරී පාසල් වලට තම දරුවන් ඇතුළු කර ගැනීමට වලිකන දෙමව්පියන්ට ද එය සහනයකි. ඉදින් ඉදිරි වසර කිහිපය තුළ දී දිවයිනේ සියලු ම ද්විතීයික පාසල් වල තෝරා ගත් විෂයයන් ඉංග්‍රීසි බසින් ඉගැන්වීම ප්‍රතිපත්තිය කර ගැනීමට අධ්‍යාපන ප්‍රතිපත්ති සම්පාදකයන් ‍මෙතරම් මන්දෝත්සාහී ඇයි?

අධ්‍යාපන ක්ෂත්‍රෙයේ ඉහළම නිළධාරියෙකු මුණගැසීමට දෙසතියකට පෙර මට අවස්ථාවක් ලැබුණි. ඒ වන විට මා විදුහල්පති විමලකීර්ති මහතාගේ ලිපිය කියවා තිබුණේ නැත. එහෙත් පාසල් විෂය ඉංග්‍රීසි බසින් හැදෑරීමට අවස්ථාව සැලසීමෙන් ඇතිවිය හැකි විපුල ප්‍රයෝජන ගැන අපි කතා බහ කළෙමු. මා සමග එම පිළිසඳරට සම්බන්ධ වූ මගේ ඉන්දියානු මිතුරා ප්‍රධාන භාෂා තිස්හතක් කතා කරන ඉන්දියාවේ පොදු සම්බන්ධතා භාෂාව ලෙස ඉංග්‍රීසි බස යොදා ගැනීමෙන් අන්තර් වාර්ගික සංහිඳියාව තහවුරු කර ගෙන තිබෙන අන්දම අවධාරණය කළේ ය.
අපේ අදහසට මුලු හදින් ම එකඟ බව පැවසුව ද ඉංග්‍රීසි බස තේරෙන ගුරුවරුන් හිඟකම ඉංග්‍රීසියෙන් විෂය ඉගැන්වීමේ දී ඇතිවිය හැකි අභියෝගයක් ලෙස අර කී ඉහළ නිලධාරියා දුටුවේ ය. පුද්ගලික පාසල් වල ඉංග්‍රීසියෙන් ඉගැන්වීමට ගුරුවරුන් බඳවා ගන්නේ හා පුහුණු කර ගන්නේ එකී පාසල් විසින් ම බව මම පෙන්වා දුනිමි. එවැනි හැකියා ඇති ගුරුවරුන් නිසි නියාමන ක්‍රමයක් යටතේ පාසල් මට්ටමින් බඳවා පුහුණු කර ගැනීමට ඉඩ දිය හැකිය. එමෙන්ම ඉංග්‍රීසියෙන් විෂය හදාරා උපාධි ලබා සිය රට පැමිණෙන තරුණ තරුණියන් වසරක කාලයක් ස්වේච්ඡා ගුරු භවතුන් ලෙස කටයුතු කිරීමේ සමාජ මෙහෙවරකට පොලඹවන අවස්ථා සැලසිය හැකිය. පරම විඥාර්ථ සංගමය යටතේ පැවති බොහෝ ඉංග්‍රීසි මාධ්‍ය පාසල් වලට ඉන්දියාවෙන් ගුරුවරුන් ගෙන් වා ගත් බව මම පෙන්වා දුනිමි. ගුරුවරුන්ට මග පෙන්වීමේ ගැටලු ජය ගැනීමට නව තාක්ෂණය ඇතුළු විවිධ නිර්මාණාත්මක විසඳුම් යොදා ගත හැකි බව ඔහුගේ ද අදහස විය. එහෙත් ඡන්දදායක දෙමව්පියන්ගේ තදබල ඉල්ලීමක් නොමැතිව සියලු ද්විතීයික පාසල් වල ඉංග්‍රීසියෙන් ඉගෙන ගැනීමට ඉඩ සලසා දීම සඳහා ප්‍රතිපත්තිමය නායකත්වය දීමට අධ්‍යාපනය භාර මැති ඇමතිවරුන් මැළි විය හැකි බව ඔහු විශ්වාස කළේ ය. ද්විතීයික අධ්‍යාපනය පමණක් නොව උසස් අධ්‍යාපනය සම්බන්ධයෙන් ද අධ්‍යාපන ප්‍රතිපත්ති සම්පාදකයන් අතර මේ හුඹස් බිය පවතින බව පෙනේ. ඒ ගැන මා මුහුණ දුන් සිද්ධියක් මෙසේ ය.

අඩුම වශයෙන් තෝරාගත් විශ්ව විද්‍යාල එකක හෝ දෙකක කලා සහ මානව ශ්‍රාස්ත්‍ර විෂයයන් ඉංග්‍රිසි බසින් ඉගැන්වීම ආරම්භ කිරීමේ වටිනා කම කලකට පෙර අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ දී පැවැති සාකච්ඡාවක දී මම එවකට සිටි උසස් අධ්‍යාපන ඇමැතිවරයාට පෙන්වා දුනිමි. කලා හා මානව ශ්‍රාස්ත්‍ර උපාධිධාරීන් බොහෝ කොට ගුරු වෘත්තියට යොමුවන බැවින් ඉංග්‍රිසියෙන් ඉගැන්වීමට හැකි ගුරුවරුන් බිහි කිරීමේ කෘතහස්ත මෙහෙයක් අපේ විශ්ව විද්‍යාල වලට කළ හැකි බව මගේ අදහස විය. එහෙත් ඇමැතිවරයාගේ ප්‍රතිචාරය බෙහෙවින් ඇල්මැරුණු ස්වභාවයක් පෙන්නුම් කළේය. ඉංග්‍රීසියෙන් කලා හා මානව විද්‍යා විෂයන් ඉගැන්වීමේ ප්‍රතිපත්තියකට යාම දේශපාලන වශයෙන් අර්බුදකාරීයැ’යි ඔහු අදහස් කළ බව මට සිතුණේය. එවැනි ව්‍යායාමයකට විරුද්ධව ශිෂ්‍යයන් හා ඇතැම් ඇදුරන්ද මෙහෙයවීමට සිංහල ජාතියේ උරුමක්කාරයන් බවට ස්වයං පත්වීම් ලබා ඇති දේශපාලනඥයන්, ඇතැම් පූජකයන් ප්‍රමුඛ විරෝධතා ව්‍යාපාර ක්‍රියා කරනු ඇතැ’යි ඔහුට සිතෙන්නට ඇත. ඒ වන විටත් සයිටම් ආයතනය සම්බන්ධයෙන් ගොඩ නැගුණු දැඩි විරෝධයකට ඔහු ලක් වී සිටියේ ය. ඇතිවිය හැකි විරෝධතාවයන් නිර්භයව සාකච්ඡාවට ලක් කරමින් යහපත් ප්‍රතිපත්ති හඳුන්වාදීමේ විචක්ෂණ බව අවාසනාවකට මෙන් බොහෝ විට අපේ ප්‍රතිපත්ති සම්පාදකයන්ට නැත.

එකී ඇමැතිවරයාගේ පමණක් නොව අනෙකුත් දේශපාලන නායකයන්ගේ ද අරකී ප්‍රවේසම්කාරී ආකල්පයට හේතු වන කරුණක් මා දන්නා ප්‍රකට විශ්ව විද්‍යාල මහාචාර්ය වරයෙකු ගෙන් මට දැන ගන්නට ලැබුණි. ඒ කතාව මෙසේය. ඔහු සහ තවත් විශ්ව විද්‍යාල ඇදුරන් අතලොස්සක ගේ මැදිහත් වීම නිසා කලා සහ මානව ශ්‍රාස්ත්‍ර විෂය ධාරාවේ තොරාගත් විෂයයන් කිහිපයක් ඉංග්‍රසි බසින් ඉගැන්වීමට ඉඩ සැලැසීමට පසුගිය රජය පැවැති කාලයේ කොළඹ විශ්ව විද්‍යාලය කරවූ උප කුලපතිවරයෙකු එකඟ විය. එහෙත් මේ වෑයම කණට වැටුණු එවකට ඇමැති ධුරයක් දරමින් සිටි කට වාචාල කමට බෙහෙවින් ප්‍රසිද්ධ එක්තරා දේශපාලනඥයෙක් මැතිසභය අමතා කතාවක් කරමින් එම ව්‍යායාමය සංස්කෘතික ව්‍යසනයක් ලෙස හුවා දක්වමින් ගැරහීමට ලක් කළේය. ඉන් බියට පත් වූ උපකුලපති සිය ව්‍යායාමය අතහැර දැමීමට සිදු වන බව අරකී මහාචාර්ය වරයාට පැවසීය. මෙහි ඇති කුහක කම නම් එකී දේශපාලනඥයා ඉංග්‍රීසි බසින් ඉහළ අධ්‍යාපනය ලබා දීමට තම පුත්‍රයා පිටරට විශ්ව විද්‍යාලයකට යැවීමයි.

අපේ දරුවන්ට ඉංග්‍රීසි බසින් ඉගෙන ගැනීමට ඇති අයිතිය සාක්ෂාත් කර දීමකින් තොර ව නව දැනුම භාවිතා කිරීමට හෝ නිපදවා ගැනීමට අප රටට නොහැකිය. ඉංග්‍රීසියෙන් ඉගෙන ගැනීමට හැකි දරුවන්ට අද කාලයේ අන්තර්ජාලය හරහා ලෝකයේ ඉහළ ම පෙළේ විශ්ව විද්‍යාලවල ප්‍රමාණිකයන් ගේ විෂය දේශන වලට නොමිලේ ම කන්දීමට හා විවෘත පාඨමාලාවලට සහභාගී වීමට ඇති තරම් අවස්ථා සැලසී තිබේ.

එහෙත් ලංකාවේ විශ්ව විද්‍යාල වල මූලික අරමුණ වූයේ තරමක් හොඳ රැකියාවකට අවශ්‍ය පමණට ප්‍රාථමික උපාධියක් ලබා දීම සඳහා ශිෂ්‍යයන් සූදානම් කිරීම මිස, විෂය කරුණු වලට විචක්ෂණ දැනුමක් එක් කළ හැකි ලොව පිළිගත් බුද්ධිමතුන් හා ප්‍රමාණිකයන් බිහි කිරීම නොවේ. ඒ නිසා බොහෝ විට ඉංග්‍රීසි බස අවශ්‍ය ඉහළ ප්‍රමිතියකින් යුත් පශ්චාත් උපාධි හා පර්යේෂණ ආයතන විශ්වවිද්‍යාලයීය පද්ධතියේ අත්‍යවශ්‍ය කොටසක් විය යුතු බව සහ ඒ මගින් ප්‍රාථමික උපාධි විෂය ක්ෂේත්‍ර‍ නිරන්තරයෙන් පෝෂණය විය යුතු ය වැනි කරුණු සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමු නො වීය. පසු කලෙක‍ බොහෝ පශ්චාත් උපාධි පාඨමාලා හඳුන්වා දෙන ලද්දේ විශ්ව විද්‍යාල වලට අතිරේක ආදායමක් ලැබෙන මාර්ගයක් වශයෙන් මිස නව දැනුම නිෂ්පාදනය කිරීම අරමුණු කොට නොවේ.

කෙසේ වෙතත් විද්‍යාර්ථීයෙකු වශයෙන් වර්ධනය වීමට වඩා බොහෝ කලා ශිෂ්‍යයන්ගේ අරමුණ වූයේ කෙසේ හෝ අවසාන විභාගය සමත් කොට තම උපාධි සහතිකය ලබාගැනීමයි. මේ ඒකායන අරමුණ නිසා බොහෝ සිසුන් ඉගෙන ගන්නේ ඉගෙනීම කරදරයක් ලෙස සලකා බව මා දන්නා ඇතැම් සරසවි ඇදුරෝ පවසති. පෙළ ග්‍රන්ථ ගැඹුරින් හදාරා ඒවායේ ඇති ප්‍රධාන තේමා හා ආනුෂංගික තර්ක වටහා ගන්නවා වෙනුවට බොහෝ ශිෂ්‍යයන් කරන්නේ පෙළ අනුක්‍රමයෙන් කියවා ගෙන ගොස් විෂය කරුණු මතුපිටින් හදාරා විභාගයට අවශ්‍ය පමණට කරුණු මතක කතා ගැනීමයි. සමාජවිද්‍යා වැනි විෂය ක්ෂේත්‍රවල අනිවාර්ය ආශ්‍රය ග්‍රන්ථ ඇත්තේ ඉංග්‍රීසි බසින් බැවින් එවැනි විෂයයන් ගැඹුරින් හැදෑරීමට ඔවුන්ට නොහැකිය. අධ්‍යන පැවරුම් බුද්ධිමය අභියෝගයක් වශයෙන් සලකනවා වෙනුවට මෙවැනි සිසුන් කරන්නේ ඒවා බලෙන් පටවන වැඩ ලෙස සලකා නො රිස්සීමයි.

ශිෂ්‍ය ප්‍රජාවේ මේ සෘණ ආකල්පයට තවත් බොහෝ හේතු තිබිය හැකිය. ඒ අතර ඉගැන්වීම ශිෂ්‍ය කේන්ද්‍රීය නො වීම, ගුරුවරුන්ගේ සීමා සහිත දැනුම, විෂය කරුණු ඇල්ම දනවන අන්දමට ඉගැන්වීමට ගුරුවරු අසමත් බව ශිෂ්‍යයන්ට වැටහීම, භාෂා ඥානයේ සීමා නිසා ඉංග්‍රීසි බසින් ඇති දැනුම පරිහරණය කිරීමට නො හැකි වීම ආදිය ද ශිෂ්‍ය අසහනයට හේතු විය හැකිය.
කලා අංශයේ ශිෂ්‍යයන් සම්බන්ධයෙන් පවතින මේ තත්වය ඒ අන්දමින් ම ශුද්ධ විද්‍යා, ඉංජිනේරු , වෛද්‍ය හා කළමනාකරණ අංශ වල ශිෂ්‍යයන් සම්බන්ධයෙන් නො පවතී. කලා විෂයයන්‍ මෙන් නොව ශුද්ධ විද්‍යා, වෛද්‍ය, ඉංජිනේරු ආදී විෂයයන් ඉගෙන ගැනීම, බොහෝ විට අතීත හා සමීප සුසමාදර්ශයන් (paradigm) වෙනස් කරන සුලු, විද්‍යා පර්යේෂණ නිගමන වලින් මෙහෙය වෙයි. එයට වෙනස් ව කලා හා මානව ශ්‍රාස්ත්‍රීය‍ විෂයයෙහි වෙනස් කම් සිදු වන්නේ නිරන්තරයෙන් සංක්‍රාන්තියට (transition) ලක් වෙන සංස්කෘතියකට එම විෂය ක්ෂේත්‍ර‍ අයත් වන බැවිනි. බොහෝ විට එම සංක්‍රාන්තීය වෙනස්කම් සිදු වන්නේ ආභ්‍යන්තරික මතභේද, වාද විවාද, රස වින්දනයේ ඇතිවෙන වෙනස් කම්, සමීක්ෂණ මගින් තහවුරු කිරීමට තැත් කරන දේශපාලනික හා දාර්ශනික මත ආදිය සමතික්‍රමණය වීම් ආදී වශයෙනි. ඒ නිසා කලා අංශයේ විෂය උගන්වන ආචාර්යවරයන් සතු විෂය අවබෝධයේ ගුණාත්මක බව හා ක්ෂේත්‍රයේ ප්‍රමාණිකයන් වශයෙන් ඔවුන් දිනා ගත යුතු කීර්තිය ද ශිෂ්‍ය ප්‍රජාව ගේ ඉගෙනීම පිළිබඳ ආකල්ප කෙරෙහි බෙහෙවින් බලපා හැක. ඒ සියල්ලට ම ද්විභාෂා දැනුම අත්‍යවශ්‍යයි.

කෙසේ වෙතත් කලා උපාධිධාරීන් වැඩි වශයෙන් ගුරුවෘත්තියට යොමු වන බැවින් ඔවුන්ගේ බුද්ධිමය පරිචය ලංකාවේ පාසල් අධ්‍යාපනයේ ගුණාත්මක බව ඉහළ නැංවීමේ ලා ඉතා වැදගත් වෙයි. එනිසා විශ්ව විද්‍යාලවල කලා හා මානවවිද්‍යා විෂය ක්ෂේත්‍රවල ඉංග්‍රිසි බසින් ඉගැන්වීමේ සහ ඉගෙන ගැනීමේ ගැට‍ළු නිසි ලෙස හඳුනා ගෙන සිසුන් ඒ සඳහා පෙලෙඹවීම ඉතා වැදගත් ය. ආරම්භයක් වශයෙන් තෝරා ගත් විශ්ව විද්‍යාල කිහිපයක කලා සහ මානව ශ්‍රාස්ත්‍රීය විෂයයන් ඉංග්‍රීසි බසින් ඉගැන්විය හැකිය.

පාසල් වල මෙන් ම විශ්ව විද්‍යාලවල ද ද්වි භාෂා අධ්‍යාපන අවස්ථා සැලසීමෙන් සහ සුවිශේෂයෙන් ම තෝරා ගත් විෂයයන් ඉංග්‍රිසි බසින් ඉගැන්වීමෙන් ද්විතීයික අධ්‍යාපනයත් උසස් අධ්‍යාපනයත් අන්නෝන්‍ය වශයෙන් ප්‍රතිපෝෂණය කළ හැකිය. මේ කතිකාව සමාජ ගත කරන අතරතුර විමලකීර්ති මහතා වැනි නියමු විදුහල්පතිවරුන්ගෙන් බොහෝ දෑ ඉගෙන ගැනීමට ද අධ්‍යාපන ප්‍රතිපත්ති සම්පාදකයන්ට ද තමන්ට වඩා යහපත් දිවියක් තම දරුවන්ට ළඟා කර දිය යුතුයැ’යි විශ්වාස කරන දෙමව්පිය ඡන්ද දායකයන්ට ද හැකිය.

(විජයානන්ද ජයවීර/ https://jayavoice.com/)

මව් බසින් පමණක් ප්රාථමික අධ්යාපනය ලබාදිය යුතු බවක් යුනෙස්කෝව කියා තිබේයැ’යි යන්න අමු බොරුවකි. ඇත්ත වශයෙන්ම යුනෙස්කෝව සිය සාමාජික රටවලට නිර්දේශ කර තිබෙන්නේ මව් බසට අතිරේකව දෙවැනි බසක් අත්පත් කර ගැනීමේ හැකියාව මුල් කාලයේදීම එනම් බාලාංශ හා පෙරපාසැල් අවදියේම ලබා දෙන ලෙසය. එපමණක් නොව ප්රාථමික මට්ටමේ සිට දෙවැනි බස ඉගැන්වීමේ මාධ්යක් ලෙස යොදා ගැනීම මගින් පාසැලේ සිට විශ්ව විද්යාලය දක්වාම දැනුම අත්පත් කර ගැනීම සඳහා භාෂා දෙකක් යොදා ගන්නා ලෙසද යුනෙස්කෝව නිර්දේශ කර තිබේ.
මෙකී යුනෙස්කෝ නිර්දේශය 1999 දී දෙවසරකට වරක් පැවැත්වෙන 30 වැනි යුනෙස්කෝ මහා සම්මේලනයේදී සියලු සාමාජික රටවල් විසින් සාකච්ඡා කොට අනුමත කරන ලද්දකි. එය අනුමත කළ යෝජනාව හැඳින්වෙන්නේ 30C/Res. 12 යන නමිනි. එම යොජනාවේ ක්රියාන්විත නිර්දේශ ඉංග්රිසි බසින් ඇති සම්මත යෝජනාවෙන් පහත උපුටා දක්වමි. ඉහත දැක්වූ දෙකරුණ ගැන සිංහල පරිවර්තනයක් ද අඩංගු කර ඇත. විමසිය යුත්තේ මෙතෙක් කලක් ශ්රී ලංකාවේ අධ්යාපන ඇමතිවරු මේ නිර්දේශය නොසලකා හැරියේ ඇයි? යන්නයි.
30C/Res. 12
Recommends that Member States:
(a) create the conditions for a social, intellectual and media environment of an international character which is conducive to linguistic pluralism;
භාෂාමය බහුත්වවාදයට හිතකර ජාත්යන්තර ලක්ෂණ වලින් යුත් සමාජයීය, බුද්ධිමය හා මාධ්ය වාතාවර්ණයකට සුදුසු තත්වයන් නිර්මාණය කරණ ලෙස
(b) promote, through multilingual education, democratic access to knowledge for all citizens, whatever their mother tongue, and build linguistic pluralism; strategies to achieve these goals could include:
(බහුභාෂාමය අධ්යාපනයක් මගින්, මව් බාසාව කුමක් වුවද සියලු පුරවැසියන්ට දැනුම ප්රජාතන්ත්රවාදී ලෙස අත්පත්කරගැනීමේ හැකියාව සහ භාෂා බහුවිධත්වය ගොඩ නැගීම ප්රවර්ධනය කිරීම; මේ අරමුණු සාක්ෂාත් කර ගැනීමට පහත සඳහන් ක්රියා අඩංගු විය හැකිය:)
(i) the early acquisition (in kindergartens and nursery schools) of a second language in addition to the mother tongue, offering alternatives; (මව් බසට අතිරේකව මුල් කාලයේදී(බාලාංශ සහ පෙර පාසැල් අවදියේ) දෙවැනි බසක් අත්පත් කරගැනීම පිණිස විකල්ප හඳුන්වාදීම)
(ii). further education in this second language at primary-school level based on its use as a medium of instruction, thus using two languages for the acquisition of knowledge throughout the school course up to university level; ((ii) මෙකී දෙවැනි බසින් වැඩිදුර අධයාපනය ලබාදීම පිණිස ප්රාථමික පාසැල් මට්ටමේදී එම බස ඉගැන්වීමේ මාධ්යක් වශයෙන් යොදා ගැනීම, එමගින් පාසැල් අධ්යාපනයේ සිට විශ්ව විද්යාල මට්ටම දක්වා දැනුම අත්පත්කර ගැනීම පිණිස භාෂා දෙකක් යොදා ගැනීම
(iii) intensive and transdisciplinary learning of at least a third modern language in secondary school, so that when pupils leave school they have a working knowledge of three languages – which should represent the normal range of practical linguistic skills in the twenty-first century;
(iv) an assessment of secondary-school leaving certificates with a view to promoting a grasp of modern languages from the point of view of communication and understanding;
(v) international exchanges of primary- and secondary-school teachers, offering them a legal framework for teaching their subjects in schools in other countries, using their own languages and thus enabling their pupils to acquire both knowledge and linguistic skills;
(vi) due attention in education, vocational training and industry to the potential represented by regional languages, minority languages, where they exist, and migrants’ languages of origin;
(vii) availability to teachers and education authorities of a computerized network, including a database, to facilitate exchanges of information and experience;
(viii) the establishment of a national and/or regional committee to study and make proposals on linguistic pluralism in order to initiate the necessary dialogue between the representatives of all professions and all disciplines so that they can identify the main lines of a language education system which is adapted to each country but which also facilitates international communication, while preserving the rich and inalienable linguistic and cultural heritage of humanity;
(c) encourage the study of the languages of the major ancient and modern civilizations, with a view to safeguarding and promoting a literary education;
විජයානන්ද ජයවීර ‍මහුනු පොතෙනි.

Archive

Latest news

Related news