Monday, May 6, 2024

සිරිල් මැතිව්, නලින්ද සිල්වා මෙන් විමල් වීරවංශත් එකපහරින් බිම වැටෙයිද?

ඩිකී මේ අපේ ඊ. ඩබ්ලිව් මැතිව්ගේ මල්ලී. පක්ෂයේ වැඩට සම්පතක් වේවි” ඩඩ්ලි සේනානායක  එසේ  ජේ. ආර් ජයවර්ධනට තරුණ සිරිල් මැතිව් හඳුන්වාදුන්නේය. ඒ පනහ දශකයේ මුල්භාගයේදී ය. සිරිල් මැතිව්ගේ වැඩිමහල් සොහොයුරා ඊ. ඩබ්ලිව්. මැතිව් 1947 සිට 1956 දක්වා වූ කාලයේ  බහු ආසනයක් වූ බළංගොඩ ආසනයේ එ.ජා.ප. දෙවැනි මන්ත්‍රීවරයා වශයෙන් කටයුතු කළේ ය. ඔහු ඩඩ්ලිගේ හිතවතෙකි. ඩඩ්ලි,  ජේ. ආර් ට සිරිල් මැතිව්ව හඳුන්වා දෙන්නේ ඊ. ඩබ්ලිව් ගේ ලේ ඥාතිත්වය මතක් කරමින් පක්ෂයට වැඩක් ගන්නා ලෙස ඉල්ලීමක් ද කරමිනි. මැතිව් පවුල ධනවත් ඉඩම්හිමි වැවිලිකරුවන් ය. කොළඹ රාජකීය විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය හැදෑරූ සිරිල් නීති විද්‍යාලයට ඇතුළු වී වැඩිදුර අධ්‍යාපනය ලබා නීතිඥයෙක් වශයෙන් දිවුරුම් දුන්නේ ය.

තරුණ සිරිල් මැතිව්….

1956 මහ මැතිවරණයෙන් ආසන අටට ඇද වැටුණු එජාපය යළි ගොඩ ගැනීම සඳහා ජේ. ආර් ආරම්භ කළ පක්ෂ ප්‍රතිසංස්කරණ වැඩ පිළිවෙල ක්‍රියාත්මක කිරීමට සිරිල් මැතිව් උරදී කටයුතු කළේ ය. 1960 මාර්තු මහ මැතිවරණයේ දී අලුතින් බිහිවූ කොළොන්න ආසනය සඳහා සිරිල් මැතිව් තරඟ කර ජයගත්තේ ය. එම වසරේ ජූලි මහ මැතිවරණයේ දීත් ඔහු නැවත එම ආසනය දිනා ගත්තේ ය. 1965 මහ මැතිවරණයේ දී ඔහු කොළොන්න ආසනය සඳහා සිය පුත්‍රයා වන නන්ද මැතිව් ඉදිරිපත් කර බණ්ඩාරවෙල ආසනය තෝරාගත්තේ ය. තරුණ නන්ද ජය ගත් නමුත් සිරිල් මැතිව් බණ්ඩාරවෙලින් පරාජය විය. වසර 1970 මහ මැතිවරණයට සිරිල් මැතිව් තරඟ නොකළේ ය. එහෙත් පක්ෂ ක්‍රියාකාරිකයෙක් වශයෙන් දේශපාලනයේ නිරත විය. විශේෂයෙන් වසර 1973 දී ජේ. ආර් එජාප නායකයා බවට පත්වීමෙන් පසුව සිරිල් මැතිව් ඔහුගේ දකුණු අත විය.

ප්‍රබල කර්මාන්ත සහ විද්‍යා තාක්ෂණ කටයුතු ඇමති…

වසර 1977 මහ මැතිවරණයේදී කැළණිය ජය ගත්  සිරිල් මැතිව්, ජේ. ආර් ආණ්ඩුවේ ප්‍රබල කර්මාන්ත සහ විද්‍යා තාක්ෂණ කටයුතු ඇමතිධූරයට පත් විය. රාජ්‍ය, අර්ධ රාජ්‍ය ආයතන සහ සංස්ථා හතළිස් හතරක් ඔහු යටතේ විය.

සිරිල් මැතිව් බලසම්පන්න දේශපාලන චරිතයක් වන්නේ මූලික වශයෙන් ඔහුගේ කුල පදනම හේතුවෙනි. ඔහු එම කුල කණ්ඩායමේ නායකයා විය. මේ කුලය බලංගොඩ, කොලොන්න, රඹුක්කන සහ කැළණිය යන ප්‍රදේශ පදනම් ව කේන්ද්‍ර වී පවතියි. ධනයෙන් සහ දේශපාලන බලයෙන් සන්නද්ධ වූ සිරිල් මැතිව් ට මේ කුලයේ ජනතාව ආමන්ත්‍රණය කළේ “අපේ දෙයියෝ” යන ආදරණීය නාමයෙනි. දෙවනුව, ජේ. ආර් ආරම්භ කළ එජාප වෘත්තීය සමිතිය වන ජාතික සේවක සංගමයට නායකත්වය දුන්නේ සිරිල් මැතිව් ය. එම වෘත්තීය සමිතිය  රාජ්‍ය සහ පෞද්ගලික ක්ෂේත්‍රයේ ව්‍යාප්ත කරමින් එජාපයට ශක්තිමත් පදනමක් දැමීමට ඔහු මූලික විය. ජාතික සේවක සංගම් පිරිස් බලය විපක්ෂයේ දී මෙන්ම ආණ්ඩු බලය පවතින අවස්ථාවේ දීත් විශාල ශක්තියක් විය. තෙවනුව ඔහු “අවංක” සිංහල බෞද්ධ ජාතිවාදියෙකු විය. අප “අවංක” යැයි කියන්නේ ඔහු තම ඡන්ද පදනම සඳහා පමණක් සිංහල බෞද්ධ ජාතිවාදී සම් පොරවා ගත් පුද්ගලයකු නොවූ බැවිනි.

බෙදුම්වාදයට සහ ත්‍රස්තවාදයට එරෙහි එජාප ආණ්ඩුවේ “නිළ” හඬ…

දෙමළ සටන්කාමී සංවිධාන සහ එවකට විපක්ෂ නායක අමිර්තලිංගම් ප්‍රමුඛ ද්‍ර.එ.වි.පෙ “බෙදුම්වාදී ” ප්‍රතිපත්ති සිරිල් මැතිව් පාර්ලිමේන්තු තුළ සහ ඉන් පිටත දැඩිව විවේචනය කළේ ය. ඔහු බෙදුම්වාදයට සහ ත්‍රස්තවාදයට එරෙහි එජාප ආණ්ඩුවේ “නිළ” හඬ විය. ඒ සම්බන්ධයෙන් ජනාධිපති ජයවර්ධන ප්‍රමුඛ ආණ්ඩුවේ සහ සිරිල් මැතිව්ගේ මතය අතර වෙනසක් නොවීය. ඔහුගේ පාර්ලිමේන්තු කථා එක්කර 1980 දී  මුද්‍රණය කළ “කවුද කොටියා” ග්‍රන්ථය අධ්‍යයනය කරන විට එය පැහැදිලිය. ඔහුගේ ක්‍රියාමාර්ග සහ මතවාදය විවේචනය කළ ඇතැමෙක් ඔහුව ජයවර්ධන ආණ්ඩුවේ  “දෙමළ කටයුතු ඇමති” වශයෙන් හැඳින්වූහ.

“කවුද කොටියා”…

සිරිල් මැතිව් ජයවර්ධන ආණ්ඩුවට අවශ්‍ය පරිදි “දෙමළ කටයුතු” සපුරා දුන්නේ ය. යාපනය සංවර්ධන සභා ඡන්ද මෙහෙයුම මෙන්ම යාපනය පුස්තකාලය ගිනි තැබීමේ ඉලක්කය ඔහු සාර්ථකව සම්පූර්ණ කළේ ය. ඔහුගේ තවත්  අපකීර්තිමත්  මෙහෙයුමක් වූයේ 1983 ජූලි දෙමළ සංහාරයයි. කර්මාන්ත අමාත්‍යාංශයට අයත් සංස්ථාවන් හි නිල වාහනයන් හි නැගුණු මැරයෝ සහ ජාතික සේවක සංගමයේ ඇතැම් ක්‍රියාකාරීහු කොළඹ ඇතුළු ප්‍රදේශවල දෙමළ සංහාරය සංවිධානාත්මක ව මෙහෙයවූහ. ඔහුගේ මෙහෙයුම් දෙමළ ජනතාව වෙත පමණක් ඉලක්ක නොවීය. 1982 ජනාධිපතිවරණය සහ 1983 ජනමත විචාරණ ජය ගැනීමට අවශ්‍ය හොර ඡන්ද මෙහෙයුම් සඳහා ද සිරිල් මැතිව් සහ ඔහුගේ මැර හමුදාව සම්බන්ධ විය. ඔහු ජනාධිපති ජයවර්ධනගේ දකුණු අත මෙන්ම ආණ්ඩුවේ ප්‍රබල බල කණුවක් විය.

“සිහළුනි බෞද්ධාගම බේරාගනිව්”

ඔහු උතුර නැගෙනහිර බෞද්ධ සිද්ධස්‌ථාන මෙන්ම පුරාවිද්‍යාත්මක ස්‌ථාන ආරක්ෂා කර ගැනීම සඳහා ද හඬ නැගුවේ ය.  ” සිහළුනි බෞද්ධාගම බේරාගනිව්” යනුවෙන් ඔහු පල කළ ආන්දෝලනාත්මක ග්‍රන්ථය එයට එක් නිදසුනකි. සේරුවිල, දීඝවාපිය, තිරියාය ආදී පූජා නගර මෙන්ම කැලණිය පුද බිමද සංවර්ධනය කිරීමට ඔහු මූලික වී කටයුතු කළේ ය. ඒ හරහා පක්ෂ භේදයෙන් තොරව බෞද්ධ භික්ෂූන් වහන්සේලාගේ සහ රටේ බෞද්ධ ජනතාවගේ කැපීපෙනෙන සහයෝගයක් ගොඩනඟා ගැනීමටත් සිංහල බෞද්ධ නායකයෙකු වශයෙන් ස්ථාපිතවීමටත් සිරිල් මැතිව්ට හැකි විය.

උතුරේ දෙමළ සටන්කාමීන් ත්‍රස්තවාදීන් ලෙස සළකා මර්දනය කිරීමට මෙන්ම “බෙදුම්වාදී” මතවාද ය පරාජය කිරීමේ අවශ්‍යතාව ද සිරිල් මැතිව් නිතර අවධානය කළ අතර ඔහුගේ මතය ඉහළින් අනුමත කළ විශාල පිරිසක් ද දකුණේ සිටියහ. එහෙත් ඉන්දීයාව ප්‍රමුඛ ජාත්‍යන්තර ප්‍රජාවේ බලපෑම හේතුවෙන් දෙමළ ජනතාවගේ ප්‍රශ්න සඳහා දේශපාලන විසඳුමක් ලබා දීමේ මාර්ගයට අවතීර්ණ වීමට ජයවර්ධන ජනාධිපතිවරයාට  සිදුවිය. ආණ්ඩුව එතෙක් අනුගමනය ක්‍රියාමාර්ගයන් ගෙන් පිට පැනීම ගැන සිරිල් මැතිව් විටින් විට විවේචනය කළේ ය. එය ප්‍රසිද්ධ ගැටුමක් බවට පත් වන්නේ වසර 1984 දී ජනාධිපති ජයවර්ධන ඉන්දියාවේ බලපෑම් මත දෙමළ ජනතාවගේ ප්‍රශ්න පිළිබඳ සාකච්ඡා කිරීමට සර්වපාක්ෂික සම්මේලනයක් කැඳවීමත් සමඟ ය.

ජේ. ආර්,  සිරිල් මැතිව් ව පන්නයි…

සිරිල් මැතිව් එම තීරණය ප්‍රසිද්ධියේ දැඩිව විවේචනය කළේ ය. තම ආණ්ඩුවේ දේශපාලන ක්‍රියාමාර්ග ඉදිරියට ගෙනයෑමට  සිරිල් මැතිව් ඇමතිවරයා බාධාවක් වී ඇති බව අවබෝධ කර ගන්නා ජනාධිපති ජයවර්ධන ඔහුව වහාම කැබිනට් ඇමතිධූරයෙන් ඉවත්කර පක්ෂ සාමාජිකත්වය ද අත්හිටුවීමට කටයුතු කළේ ය. සිරිල් මැතිව් සර්වපාක්ෂික සමුළුව විවේචනය කර පැය විසිහතරක් යෑමට ප්‍රථම ඔහුට සිය කැබිනට් ඇමතිධූරය මෙන්ම පක්ෂ සාමාජිකත්වය අහිමි කරනු ලැබූවේ දේශපාලන ලොව කැළඹීමට ලක් කරමිනි.

සිරිල් මැතිව් යනු ජනාධිපති ජයවර්ධනගේ දකුණු අතකි.  එජාපයේ සංවිධානය ශක්තිය කේන්ද්‍ර වූ ජාතික සේවක සංගමයේ නායකයාය. ගිහි, පැවිදි අනුගාමිකයන් විශාල සංඛ්‍යාවක් සිටි සිංහල බෞද්ධ නායකයෙකි. එයට අමතර කුල නායකයෙකි. ජනාධිපති ජයවර්ධනගේ දේශපාලන ප්‍රහාරය ඉදිරියේ සිරිල් මැතිව් ප්‍රතිප්‍රහාර එල්ල කරනු ඇති බව එදා බොහෝ දෙනෙක් විශ්වාස කළහ. ඔහුගේ නායකත්වයෙන් යුතු විකල්ප සිංහල බෞද්ධ බලවේගයක් නිර්මාණය වනු ඇතැයි බොහෝ දේශපාලන විචාරකයෝ අනාවැකි පළ කළහ. එහෙත් කැබිනට් ඇමැතිධූරය සහ පක්ෂ සාමාජිකත්වය අහිමි වූ සිරිල් මැතිව් ස්වල්ප කලකින් ම අවලංගු කාසියක් බවට පත්විය. ඔහුට කිසිදු දේශපාලන අභියෝගයක් කිරීමට හැකිවූයේ නැත.

ආචාර්ය නලීන් ද සිල්වාගේ භූමිකාව..

හැත්තෑව දශකයේ අගභාගයේ සිට අසූව දශකයේ මැදභාගය දක්වා රටතුළ සිංහල බෞද්ධ ජාතිවාදී බලවේගය මෙහෙයවූ සිරිල් මැතිව්ගේ අදහස් සහ සටන් පාඨවලට න්‍යායාත්මක පදනමක් ලබාදී ඒවා සංවිධානාත්මක ලෙස ස්ථාන ගතකරන්නේ ආචාර්ය නලීන් ද සිල්වා ය. ඒ අසූව දශකයේ දී ය. නව සමසමාජ පක්ෂය ට සම්බන්ධව උග්‍ර ට්‍රොට්ස්කිවාදියෙක් වශයෙන් කටයුතු කරන ආචාර්ය නලීන් ද සිල්වා පසු කලෙක එම දේශපාලන ප්‍රවාහයෙන් ඉවත්වී සිංහල බෞද්ධ ජාතිවාදය වැළඳ ගත්තේ ය. එය ඔහු “ජාතික චින්තනය” නමින් අර්ථ දැක්වීය. ජවිපෙ දෙවන කැරැල්ල පරාජයවීමෙන් පසුව ඇතිවූ දේශපාලන රික්තය පිරවීමට ආචාර්ය නලීන් ද සිල්වා සහ ඔහුගේ “ජාතික චින්තන” ව්‍යාපාරය උත්සාහ ගත්තේ ය. ආචාර්ය නලීන් ද සිල්වා සේවය කළ කොළඹ විශ්ව විද්‍යාලයේ විද්‍යා පීඨය මේ ව්‍යාපාරයේ මූල කඳවුර ලෙස හැඳින්විය හැක. ඔහුගේ අනුගාමික ශිෂ්‍ය කණ්ඩායමක් පළමුව විද්‍යා පීඨ ශිෂ්‍ය සභාවේ  බලය ලබාගත් අතර එය ක්‍රමයෙන් කොළඹ විශ්ව විද්‍යාලයේ අනෙකුත් පීඨයන්ට දක්වා  විහිදී ගියේය. කොළඹ විශ්ව විද්‍යාලයෙන් පරිබාහිර අනෙකුත් විශ්ව විද්‍යාලයන්හි ද ආචාර්ය නලීන් ද සිල්වාගේ “ජාතික චින්තන” අනුගාමිකයෝ බිහිවූහ. ශිෂ්‍ය ව්‍යාපාරය එහි ගාමක බලවේග වුවද දකුණේ පහල මධ්‍යම පංතිය අතර ද ආචාර්ය සිල්වාගේ සිංහල බෞද්ධ ජාතිවාදී මතවාදයට සැළකිය යුතු ආකර්ෂණයක් විය. සිංහල බෞද්ධ ජාතිවාදී පත්තර පඩංගුවක් වූ “දිවයින” නලීන් ද සිල්වාගේ “ජාතික චින්තන” ව්‍යාපාරයේ ප්‍රචාරක කටයුතු මෙහෙයවීය. ආචාර්ය නලීන් ද සිල්වා රටට විශාල බලපෑමක් කළ හැකි සිවිල් චරිතයක් වශයෙන් ස්ථාපිත විය.

කොළඹ සරසවියේ  මැර සේනාංකය…

සිරිල් මැතිව්ට මෙන් ඔහුට ශක්තිමත් සංවිධාන ව්‍යුහයක් විය. ඔහුගේ පා සොල්දාදුවන් වූයේ විශ්ව විද්‍යාව ශිෂ්‍ය ප්‍රජාවය. ඔහුගේ මැර සේනාංකය සමන්විත වූයේ කොළඹ විශ්වවිද්‍යාලයේ “නලීන් බැතිමතුන්” ගෙනි. කොළඹ විශ්ව විද්‍යාලයේ “ජාතික චින්තන” මතයට එරෙහි කිසිදු දේශපාලනයක් කිරීමට ඉඩක් නොවීය. එයට එරෙහිවූ සිසුන්ගේ ඔළු පැලුවේය. පහර දුන්නේ ය. ඇතැම් සිසුන් ට විශ්ව විද්‍යාල භෑමියට ඇතුළුවීමට පවා ඉඩ නොදුන්නේ ය. සිසුන්ට පමණක් නොව  “ජාතික චින්තන” මතයට අභියෝග කළ විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ට පවා විවිධ තර්ජන අවලාදයන්ට මුහුණ දීමට සිදු විය. එදා “නලීන් බැතිමතුන්” වූ අද පොහොට්ටුවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වශයෙන් කටයුතු කරන ගෙවිඳු කුමාරතුංග සහ අනූප පැස්කුවෙල් ගෙන් මේ පිළිබඳ වැඩි විස්තර දැන ගත හැකිය.

ආචාර්ය නලීන් ද සිල්වා විද්‍යා පීඨයේ සිය දේශන පාඨමාලා ආරම්භ කරනුයේ වසරේ තම දේශන කාලයෙන් හරි අඩක් “ජාතික චින්තන” පැහැදිලි කිරීමටත් ඉතිරි අඩ විෂය කරුණු සඳහාත් වෙන් කරන බවට වන නිවේදනය සමඟිනි. ඔහුගේ චින්තනය ගැන උනන්දුවක් නොමැති, එම මතවාදය පිළිනොගන්නා සිසුන්ට පවා තම දේශන කාලයේ දී “චින්තන” තෙල බෙදීම අසා සිටීමට සිදුවෙයි. මේ පිළිබඳ පැමිණිලි එවකට කොළඹ විශ්ව විද්‍යාලයේ උපකුලපතිවරයා වශයෙන් කටයුතු කළ මහාචාර්ය ජී.එල් පීරිස් ට ලැබිණි. එයට අමතරව “නලීන් බැතිමතුන්” විසින් මෙහෙයවූ මැර ප්‍රහාර, තර්ජන පිළිබඳ පැමිණිලි ද ඔහුට ලැබිණි. එහෙත් ඔහු  ඒ පිළිබඳ නිහඬව සිටියේ ය. මේ අතර නලීන් ද සිල්වා විශ්ව විද්‍යාල ආචාර්ය ප්‍රජාව අතරේ ද ශක්තිමත් චරිතයක් වූ අතර විශ්ව විද්‍යාල ආචාර්ය සංගමයේ සභාපතිධූරයට ද පත්විය.

“නෝංජල්”  උපකුලපති මහාචාර්ය ජී.එල් පීරිස්..

සිංහල බෞද්ධ ජාතිවාදයේ සහ දෙමළ විරෝධයේ ප්‍රකාශයා වශයෙන් රටතුළ සිවිල නායකයෙකු වශයෙන් ස්ථාපිත වෙමිනි සිටි ආචාර්ය නලීන් ද සිල්වා කොළඹ විශ්ව විද්‍යාලය සිය අධිපත්‍යයට නතු කර ගැනීම සම්බන්ධයෙන් උපකුලපති මහාචාර්ය ජී.එල් පීරිස් දැඩි කනස්සල්ලෙන් පසුවිය. විශේෂයෙන්ම ආචාර්ය සිල්වා සේවය කළ විද්‍යා පීඨය “මුදවා නොගත් ප්‍රදේශයක්” බඳුවිය. එහෙත් ආචාර්ය සිල්වාට සිසුන් අතර තිබූ ශක්තිමත් පදනම සහ ඔහු සිවිල් චරිතයක් වශයෙන් ස්ථාපිතව සිටීම හේතුවෙන් ඔහුට විරුද්ධව විනය ක්‍රියාමාර්ගයක් ගැනීමට උපකුලපතිවරයා බිය වූයේ ය. එහෙත් තත්ත්වය පාලනය කර ගත නොහැකි මට්ටමකට පත්වන විට උපකුලපතිවරයාට තීරණයක් ගන්නවා හැරෙන්නට විකල්පයක් නොවීය.

ආචාර්ය සිල්වාගේ සේවය අත්හිටුවයි…

විශ්ව විද්‍යාල භූමියේ ක්‍රියාකාරී දේශපාලනයේ නිරතවීම ඇතුළු චෝදනා කිහිපයක් යටතේ ආචාර්ය නලීන් ද සිල්වාගේ සේවය අත්හිටුවීමට උපකුලපති මහාචාර්ය ජී.එල් පීරිස් වසර 1993 අප්‍රේල් මාසයේ දී තීරණය කළේය. ඒ සමඟ ඔහුට කොළඹ විශ්ව විද්‍යාල භෑමියට ඇතුළුවීම ද තහනම් විය.  එය විශ්ව විද්‍යාල ප්‍රජාව මෙන්ම සමස්ත සමාජ කම්පනයකට පත් කළ තීරණයක් විය. ආචාර්ය සිල්වා ට සම්බන්ධ ශිෂ්‍ය ප්‍රජාව ඔහුව යළි සේවයේ පිහිටුවන ලෙසට පංති වර්ජනයක් සහ උද්ඝෝෂණ ව්‍යාපාරයක් ගෙන ගිය ද උපකුලපතිවරයා එයින් සැළුණේ නැත. ආචාර්ය නලීන් ද සිල්වාට විශ්ව විද්‍යාල ආචාර්ය සංගමයේ සභාපතිවරයා වශයෙන් හෝ කොළඹ විශ්ව විද්‍යාල භූමියට ඇතුළුවීමට උපකුලපති මහාචාර්ය ජී.එල් පීරිස් ඉඩදුන්නේ නැත. වරෙක අදාළ සංගමයේ රැස්වීමක් තර්ස්ටන් පාරේ මාර ගසක් යට පැවැත්වීමට ආචාර්ය සිල්වාට සිදු විය. පරිපාලනයේදී මෙන්ම දේශපාලනයේදී නෝංජල් චරිතයක් වශයෙන් ප්‍රකට මහාචාර්ය ජී.එල් පීරිස් ඒ අවස්ථාවේ නිර්භීතව සහ සෘජුව කටයුතු කළේ ය.

නලීන්ගේ රැස් බසියි…

ආචාර්ය නලීන් ද සිල්වා සේවය අත්හිටුවීමෙන් මාස කිහිපයකට පසුව පැවති විද්‍යා පීඨ ශිෂ්‍ය සභා නිළවරණයේ දී ආචාර්ය සිල්වාගේ “ජාතික චින්තන” කණ්ඩායම ප්‍රථමවරට පරාජය විය. “ජාතික චින්තන” විරෝධී සන්ධානයක් එහි බලය ලබා ගත්තේ ය.  එය ආචාර්ය සිල්වා ලැබූ දැවැන්ත පරාජයකි. එතැන් සිට කිසිදිනෙක “ජාතික චින්තන” කණ්ඩායමට විද්‍යා පීඨ ශිෂ්‍ය සභාවේ බලය ලබා ගැනීමට නොහැකි විය. ඔහුගේ සිංහල බෞද්ධ ජාතිවාදය සමඟ ගැලපුණු ම.එ.පෙන් 1994 අගෝස්තු මහ මැතිවරණය සඳහා කළුතර දිස්ත්‍රික්කයෙන් ආචාර්ය සිල්වා තරඟ කළේ ය. ඔහු සිය ගෝල බාලයන් සමඟ එක්ව කළුතර දිස්ත්‍රික්කයේ මැතිවරණ ප්‍රචාරණයේ නිරතවූ නමුත් ඔහුට අත්වූයේ පරාජයකි.

සිංහල බෞද්ධ වීරයා දෙකේ කොළයට….

මේ පරාජයන් දෙකත් සමඟ ඔහුගේ සිවිල් බල රැස් අඩුවන්නට විය. ඔහුගේ දැඩි “නලීන් බැතිමතුන්” ක්‍රමක්‍රමයෙන් ඔහු හැරයන්නට විය. විශ්ව විද්‍යාලයන්හි “ජාතික චින්තන” දේශපාලන  බලපෑම් අවම වූ අතර යළිත් ජවිපෙ ශිෂ්‍ය දේශපාලනයේ ප්‍රධාන බලවේගය බවට පත් විය. ආචාර්ය නලීන් ද සිල්වා සිදු කළ සමාජ බලපෑම ද ක්‍රමක්‍රමයෙන් මැකීයන්නට විය. වසර ගණනාවක් පුරා සෑම සති අන්තයකම ආචාර්ය සිල්වාගේ “කොලමක්” පළ කළ “දිවයින” පුවත්පත පවා එය තවදුරටත් පළ කිරීම ප්‍රතික්ෂේප කළේ “එයාගේ අදහස් මිනිස්සු දැන් කියවන්නේ නැහැ” යැයි කියමිනි. මහාචාර්ය ජී.එල් පීරිස්ගේ එක් නිර්භීත තීරණයකින් සිංහල බෞද්ධ නායකයෙක්  “බ්ලාස්ට්” වී ගියේය.

සිරිල් මැතිව්ගෙන් පසුව සිංහල බෞද්ධ ජාතිවාදයේ කොඩිය ඉහළින් ම ඔසවා ගෙන ගිය ආචාර්ය නලීන් ද සිල්වා අද වන විට අවලංගු කාසියකි. ඔහුව කොළඹ විශ්ව විද්‍යාලයෙන් එළියට ඇද දැමූ මහාචාර්ය ජී.එල් පීරිස් පොහොට්ටුවේ සභාපතිවරයා ය. ජ්‍යෙෂ්ඨ කැබිනට් ඇමතිවරයෙකි. එවකට “නලීන් බැතිමතුන්” වූ ගෙවිඳු කුමාරතුංග සහ අනූප පැස්කුවෙල් පොහොට්ටුවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ය. ආචාර්ය නලීන් ද සිල්වා මියන්මාරයේ තානාපතිය. රාජපක්ෂලා යටතේ දයාන් ජයතිලක පවා ප්‍රංශයේ, ජිනීවාහි තානාපතිධූර දැරුවේ ය. එහෙත් ආචාර්ය සිල්වාට අවසානයේ  හිමිවූයේ කිසිවෙකු යෑමට අකමැති “තුන්වන පංතියේ” මියන්මාරයයි.

වීරවංශගේ ඉරණම සිරිල් මැතිව් සහ නලීන් ද සිල්වාගෙන් වෙනස්වේද?

සිරිල් මැතිව්, ආචාර්ය නලීන් ද සිල්වා මඟ ගමන් කරමින් සිංහල බෞද්ධ ජාතිවාදය මෙන්ම සුළු ජාතික වෙෙරය වසර කිහිපයක් පුරා වපුරමින් සිටින වර්තමාන කර්මාන්ත ඇමැති විමල් වීරවංශගේ ඉරණම ඉහත නායකයන් දෙදෙනා ගෙන් වෙනස් නොවනු ඇත. දේශපාලඥයෙකු වන සිරිල් මැතිව් සමඟ සංසන්දය කිරීමේ දී වර්තමාන කර්මාන්ත ඇමතිවරයා සිටින්නේ වඩා දුර්වල තැනකය. ඔහුට සිරිල් මැතිව්ට මෙන් සංවිධාන ශක්තියක් සහ පිරිස් බලයක් නොමැත. විමල් වීරවංශ ද කුල නායකයෙකු වුවද සිරිල් මැතිව්ට තරම් විහිදී ගිය ජන පදනමක් නොමැත. එමෙන්ම බෞද්ධ භික්ෂූන් අතර පිලිගැනීමක් නැත. විමල්ට තනිව තරඟ කර ප්‍රාදේශීය සභාවක් හෝ දිනාගත නොහැකිය. එබැවින් මේ මොහොතේ රාජපක්ෂලාගේ ඇඟේ එල්ලී සිටිනවා හැරෙන්නට විමල් වීරවංශට විකල්පයක් නොමැත.

බැසිල්ගේ  නොනවතින රැල්ල…

දේශපාලන වශයෙන් විමල් වීරවංශ ඇදවැටී ඇති දුර්වල තත්ත්වය ගැන මනා අවබෝධයක් ඇති පොහොට්ටු නායකයෝ ඔහුට දිගින් දිගටම පහරදෙමින් සිටිති. සතිපතා මාධ්‍ය සාකච්ඡා පවත්වමින් විමල් වීරවංශට අභියෝග කරති. පසුගිය මාර්තු 10 වන දා අගමැති මහින්ද රාජපක්ෂ හමුවූ පොහොට්ටුවේ පසුපෙළ මන්ත්‍රීවරු පිරිසක් කර්මාන්ත ඇමැති විමල් වීරවංශට එරෙහි දැඩි ක්‍රියාමාර්ගයක් ගන්නා ලෙසට බලකර සිටියහ. ඒ අවස්ථාවට බැසිල් රාජපක්ෂට හිතවත් පසුපෙළ මන්ත්‍රීවරුන් 46 දෙනෙකු එක්ව ඇත.

විමල්ලා ආණ්ඩුවෙන් ඉවත් කරන බවට බැසිල් ගෙන් තර්ජන…

මේ අතර බැසිල් රාජපක්ෂ,  විමල් වීරවංශ ඇතුළු කණ්ඩායමට පසුගිය දා ප්‍රසිද්ධ අභියෝගයක් කළේ ය. “මේක අපි අමාරුවෙන් හදපු ආණ්ඩුව. හැබැයි මම එකක් කියනවා. මේ සැරේ ගල් ලෙන බිඳලා එළියට ගිහින් කවුරුහරි මේ ආණ්ඩුව විනාශ කරනවා නම් අපි ඒකට ඉඩ තියන්නේ නැහැ. මේ සැරේ ගල්ලෙන බිඳගෙන එළියට යනකම් අපි බලන් ඉන්නෙත් නැහැ. එහෙම නම් ඊට කලින් අපි ඒ අයව එලවල දානවා. ” බැසිල් රාජපක්‍ෂ සිදු කළ මේ විවෘත තර්ජනය උදයංග වීරතුංගගේ “මුහුණු පොතේ” පලකර තිබිණි. බැසිල් මේ තර්ජනය කරන්නේ විමල් වීරවංශට පමණක් නොවෙයි. ඔහු සමඟ එක්ව සිටින “ත්‍රීවීල්” පක්ෂ සියල්ලටය. උදය ගම්මන්පිල, ගෙවිඳු කුමාරතුංග, වාසුදේව නානයක්කාර, ඩිව් ගුණසේකර, තිස්ස විතාරණ වැනි “දේශපාලන ඇණ” සියල්ල ගලවා දැමීමට බැසිල්ට අවශ්‍යය. කවරෙක් හෝ මේ “දේශපාලන ඇණ” ගලවා දමන්නේ නම් එය රටේ ඉදිරි දියුණුවට සිදු කරන අමිල සේවයකි. මොවුන්ගේ සිංහල බෞද්ධ ජාතිවාදයත්, ව්‍යාජ අධිරාජ්‍ය විරෝධයත් පරාජය කළ යුතුය.

විමල් වීරවංශලා රඟන්නේ දේශපාලන සහ සිවිල් බලය තිබෙන තුරු පමණි. එම බලය නොමැති විට මේ සියලු දෙනා අවලංගු කාසිය. දැවැන්ත සිංහල බෞද්ධ චරිත වශයෙන් මතුව සිටි සිරිල් මැතිව්ලා, ආචාර්ය නලීන් ද සිල්වලා වේදිකාවෙන් බැස ගිය අන්දම සළකන විට විමල් වීරවංශලා නොසළකා හැරිය හැකි චරිතය. බැසිල් සතුරාව ක්‍රමයෙන් වටකරමින් සිටිනු දැකිය හැක. ඊළඟ අදියරේදී ප්‍රහාරය එල්ල වනු ඇත. එහෙත් මේ මොහොතේ අවශ්‍ය වන්නේ සතුරාට සංවිධානවීමට කාලය ලබානොදී ජනාධිපති ජයවර්ධන මෙන් ක්ෂණික ප්‍රහාරයක් එල්ල කිරීමය. මහාචාර්ය ජී.එල් පීරිස් මෙන් ප්‍රතිවිරෝධතාවයන්ට නොසැලී මුහුණ දීමය.

ලංකා ඊ නිව්ස්/ආනුභානන්ද

Archive

Latest news

Related news