Tuesday, July 16, 2024

පළිගැනීම් කොමිසමේ අරුම පුදුම (02): කරන්නාගොඩ පැමිණිල්ල සහ නිගමන

ළිගැනීම් විමර්ශන ජනාධිපති කොමිසමේ වාර්තාවේ අංක 09 යටතේ පැමිණිල්ල ඉදිරිපත් කර ඇත්තේ හිටපු නාවික හමුදාපති අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කුමාර ජයදේව කරන්නාගොඩ විසිනි.

මෙමගින් ඔහු කියා සිට ඇත්තේ ත්‍රිකුණාමළ ගන්සයිට් කඳවුරෙහි 11 දෙනෙකු රදවාගෙන සිට ඝාතනය කිරීම සම්බන්ධයෙන් ඔහුට චෝදනා ඉදිරිපත් කිරීම දේශපාලන පළිගැනමක් බවයි.

ඔහුගේ පැමිණිල්ල අනුව පහත සඳහන් අය වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇත.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ශානි අබේසේකර,
සහකාර පොලිස් අධිකාරි තිසේරා,
පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා,
අමාත්‍ය රන්ජන් රාමනායක,
අමාත්‍ය රාජිත සෙනවිරත්න,
අමාත්‍ය ස්වාමිනාදන්,
නියෝජ්‍ය පොලිස්පති රවි වෛද්‍යාලංකාර,
නියෝජ්‍ය පොලිස්පති රවී සෙනවිරත්න,
ජනාධිපති නීතිඥ ජේ.සී. වැළිඅමුණ

මෙම පැමිනිල්ල විභාග කර දෙන ලද තීරණයෙහි මෙසේ සඳහන් වේ.

මෙම නඩුවේ ඉදිරිපත් කර සාක්ෂි පරීක්ෂාකාරී ලෙස විශ්ලේෂණය කිරීමෙන් අනතුරුව අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ මහතා යම් වරදකට හසු කර ලීම සඳහා අසත්‍ය සාක්ෂි නිර්මාණය කරමින් ඔහු රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කටයුතු කිරීමත් එයට ආධාර සහ අනුබල දීමත් ඉහත නම් සඳහන් පුද්ගලයින් ක්‍රියා කර ඇති බවට ප්‍රබල සාක්ෂි මගින් ඔප්පු කර ඇති බවට කොමිෂන් සභාව ඒකමතිකව තීරණය කර ඇත.

එමෙන්ම මෙම නිගමනය අනුව සියලුම චෝදනාවලින් පැමිණිලිකාර වසන්ත කාරන්නාගොඩ මහතා නිදහස් කොට නිදහස් කළ යුතු බවට කොමිෂන් සභාව ඒකමතිකව තීරණය කර ඇත.

එසේම පැමිණිලිකර වසන්ත කාරන්නාගොඩ මහතාඑරෙහිව කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණය පවරා ඇත1448/2020 දරණ නඩුවේ අධි චොදනා පතුය ඉල්ලා අස්කර ගැනීම මගින් පැමිණිලකරු සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කළ යුතු බවට කොමිෂන් සභාව ඒකමතිකව තීරණය කර ඇත.

නිගමනය වශයෙන් ඉහත සදහන් කරන ලද පුද්ගලයින්ට නිසි අධිකරණයක් ඉදිරියෙහි අධිචෝදනා යටතේ නඩු පැවරීම පිනිස මෙම වාර්තාව නීතිපතිවරයා වෙත යැවීම සහ පොලිස් නිලධාරීන්ට පොලිස් විනය රීති යටතේ චෝදනා ඉදිරිපත් කර දඩුවම් පැමිණවීමද වාර්තාවෙහි සදහන්කර තිබේ.

කිසිදු අධිකරණ බලයක් නැති මෙවැනි මෙවැනි කොමිෂන් සභාවක් විසින් තිපුද්ගල මහාධිකරණයක් යටතේ පැවැත්වෙන නඩුුවක් සම්බන්ධයෙන් කරුණු විභාග කිරීම නීතියට පටහැනි බව නීතිවේදීන් දැනටමත් පෙන්වා දී තිබේ. එවැනි අධිකරණයක විභාගවන නඩුවක් සම්බන්ධයෙන් තීරණ දීම අධිකරණ අපහාසය යටතට ගැනෙන වරදකි.

නීිතියේ අධිපත්‍ය යනු යම් පුද්ගලයකුට එරෙහිව නීතිපති දෙපාර්ථමේන්තුව විසින් අධිචෝදනා ගොනු කර ඇති නඩුවක් එම අධිකරණය හමුවෙහි විභාග කිරීම මිස මෙවැනි කොමිසමකින් නිදහස් කරන ලෙස නියෝග ලබා ගැනීම නොවේ.

එසේ නමුත් දැන් ජනාධිපති රාජපක්ෂ විසින් ඉදිරිපත් කරන ලද ඇමැති මණ්ඩල සංදේශය අනුව මෙම නිගමන ක්‍රියාත්මක කිරීමට අනුමැතිය ලැබි තිබේ. ඒ අනුව නීතිපති දෙපාර්තමේන්තුව විසින් වසන්ත කරන්නාගොඩට එරෙහිව ඇති මෙම නඩුව ඉල්ලා අස්කරගත යුතුය.

ඇමැති මණ්ඩල අනුමැතිය ලද නිර්දේශය

සිය නිර්දේශ ඉදිරිපත් කිරීමෙන් පසුව කොමිසම, ඉදිරිපත් කරන ලද වාචික සහ ලිඛිත සාක්ෂි යන මැය යටතේ පිටු 50කට ආසන්න කරුණු ඉදිරිපත් කරයි.

පුදුමයට කරුණ වන්නේ කොමිසම දඩුවම් කළ යුතු අය වශයෙන් දක්වා ඇති හිටපු ඇමැතිවරුන් වන රාජිත සේනාරත්න, ස්වාමිනාදන් සහ අජිත් සී. පෙරේරා සහ ජනාධිපති නීතිඥ වැළිඅමුන යන අය ගැන එක වචනයක් හෝ ප්‍රබලයැයි කියන සාක්ෂි යටතේ ඉදිරිපත් කර නොතිබීමයි.

පුදුම නමුත් ඇත්තය.

අනෙක් අතට කරන්නාගොඩට විරුද්ධව අධිචෝදනා බාර දීම බාරව සිටි නීතිපතිවරයාට එරෙහිව කිසිදු පියවරක් ගන්නැයි වාර්තාව නිර්දේශ කර නැත.

සිය නිගමනය ඉදිරිපත් කිරීමට එක් හේතුවක් වශයෙන් කොමිසම දක්වන්නේ හිටපු නාවික හමුදාපතිවරයකු බව ට්‍රැවිස් සින්නයියා විසින් දෙන ලද ප්‍රකාශය, අද්මිරාල් කරන්නාගොඩ සමඟ වූ ආරෝවක් නිසා කරන ලද්දක් බවයි. කරන්නාගොඩට, ගන්සයිට් කඳවුරෙහි රදවා තබා මරා දැමුණු බවට කියැවෙන පුද්ගලයින් ගැන දැනුම් දෙන ලද මුල් අවස්ථාවෙහි ඔහු ක්‍රියාත්මක වූයේ නම් එම පිරිසගේ ජීවිත බේරා ගැනීමට තිබූ බවට ට්‍රැවිස් සින්නයියා ප්‍රකාශයක් දී තිබේ. කොමිසම එම ප්‍රකාශය බොරුවක් බව පෙන්වීමට බොහෝ උත්සාහ දරා තිබේ.

නමුත් මෙම පැමිණිල්ලටම අදාළව සාක්ෂියක් ලෙස කොමිසමේ වාර්තාවට අමුණා ඇති අදමිරාල් කරන්නාගොඩ ලියා පළ ක “අධිශ්ඨානය” නම් පොතට අනුව (පිටුව 337, 363, 378) එල්ටීටීඊ සංවිධානයේ නැව් විනාශ කිරීමේ මෙහෙයුම් දෙකක් සඳහා කරන්නාගොඩ විසින් විශ්වාසදායක කපිතාන්වරයකු ලෙස තොරාගෙන ඇත්තේ මෙම ට්‍රැවිස් සින්නයියාමය.!

එවැනි පරස්පරතා කොමිෂම ගණන් ගෙන නැත.

හිටපු අමාත්‍ය රංජන් රාමනායක කරන්නාගොඩ සිරගත කිරීමට ක්‍රියා කර ඇත්තේ ද්‍රවිඩ ඩයස්පෝරාවේ සහ යුරෝපීය රාජයන්හි උවමනාව අනුුව බවට නිගමනයක්ද කොමිසම ද ඇතත් ඒ සඳහා කිසිදු සාක්ෂියක් ඉදිරිපත් කර නැත. කොමිෂන් වාර්තාව පුරාම මෙවැනි හිතලු නිගමන වශයෙන් ඉදිරිපත් කර තිබේ.

මෙහි ඇති තවත් අපූරු විහිලු කතාවක් නම් ශානි අබේසේකරට කරන්නාගොඩ වරදකරුවෙක් ලෙස ජීනීවා ගෙන ඒමට උවමනාවක් තිබු බව සදහන් කර තිබීමයි. ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවර නම් එවැනි වරදකරුවන් ඉදිරිපත් කිරීමට තැනක් නැත. මානව හිමිකම් කවුන්සිලය එවැනි “අපරාධකාර” පුද්ගලයින්ගෙන් සාක්ෂි විමසන්නේ නැත.

අඩුම වශයෙන් එවැනි නිගමනයක් සිය වාර්තාවට ඇතුළත් කිරීමට පෙර ඔවුන් ජිනීවා ගෙන ගොස් කරන්නට යන්නේ වැව රවුමේ රවුමක් ඇවිද්දවීමද නැත්නම් දඩු කදේ ගැසීඹ පිනිස කාට හෝ බාර දීමද කියා හෝ මෙම ජනාධිපති කොමිසම විමසා නැත.

ඊටත් වඩා අපූරු කතාව නම් ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ ගෝඨාභය රාජපක්ෂද ජිනීවා කරා ගෙන ඒමට සැළැස්මක් තිබූ බවයි!

මෙවැනි ප්‍රකාශ ඇතුළත් වන්නේ බාල දේශපාලන පත්‍රිකාවන්හි මිස ජනාධිපති කොමිෂන් සභා වාර්තාවන්හි නොවේ.

මතු සම්බන්ධයි.

(c) SriLanka Brief

Archive

Latest news

Related news