Tuesday, July 16, 2024

පළිගැනීම් පිළිබද ජනපතිගේ කොමිෂන් සභාව සිය වාර්තාවට ලියූ අපූරු “පසුබිම” කියවන්න!

ජායාරූපය, කොමිසමේ පිටු 2043කින් යුතු සිය වාර්තාව  ජනාධිපතිවරයට පිළිගැන්වීම.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් පත් කරන ලද පිළිගැනීම් විමර්ශන කොමිෂන් සභිව විසින් සිය වාර්තාවට ලියන ලද අපූරු පසුබිම් කතාව පහත එළෙසින්ම දැක්වේ.

මෙම පසුබිම් විග්‍රහයට අනුව 1976 දී  යාපන නගරාධිපති වූ දොරේඅප්පාට වෙඩි තබා ඝාතනය කරමින් ද්‍රවිඩ ඊලාම් විමුක්ති කොටි ත්‍රස්තවාදීන් විසින් ලේ හලන බිහිසුණු අරගලයක් දියත් කරන ලද්දේ ඇමෙරිකාව එංගලන්තය ඇතුළු බටහිර රාජ්‍ය කිහිපයක ආශිර්වාදයෙනි.

පුදමයට කරුණක් නම් එල්ටීටීඊය ඇතුළු ඊළාම් සංවිධානයන්ට සන්නද්ධ පුහුණූව ලබා දෙමින් ඔවුන්ට සහාය සැපයූ ඉන්දියාව ගැන කිසිවක් මෙම පසුබිම් කතාවෙහි නැති වීමයි.

එමෙන්ම 2009 වර්ශයේදී එම යුද්ධය අවසන් කරන ලද්දේ 2005 වර්ශයේදී ආරක්ෂක ලේකම් වරයා වශයෙන් පත් වූ වර්තමාන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ හමුදා අත්දැකීම් උපයෝගී කරගෙනය.

එමෙන්ම යුද අපරාධ සිදු කළ බවට අභූත චෝදනා ඊලාම් යුද්දයේ සැබෑ විරුවන්ට එරෙහිව එල්ල කරන ලද්දේ ද්‍රවිඩ ඩයස්පෝරාවෙන් පන්නරය ලද බටහිර නායකයින් විසිනි.

ඒ සඳහා 2015 ජනවාරි 8 වන දින පිහිටුවනු ලැබූ නව රජය සුදුසුම තෝතැන්න බවට තෝරාගත් බටහිර නායකයින් නව රජයේ අනුග්‍රහය ඇතිව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සැසියේ දී 30/1 යෝජනාවලිය සම්මත කර ගන්නා ලදී.

වද 2015 පත්වූ රජය මෙම යෝජනාවළිය දඩමීමා කරගෙන තම සිතැඟි ඉටුකර ගැනීමේ අභිප්‍රාය ක්‍රියාත්මක කරමින් තම දේශපාලන සතුරන්ගෙන් පළිගැනීමේ ක්‍රියාවලිය දියක් කරන ලදී.

මෙම පසුබිම් ජේදය  දේශපාලන ප්‍රචාරක පත්‍රිකාවක් හා සමානය. එම වාර්තාවෙහි එම නිගමන පිළිබඳව දීර්ඝ ලිපියක් ඉක්මණින්ම පළ කරන්නට ශ්‍රී ලංකා බ්‍රීෆ් අදහස් කරයි.

සාමාජිකයින් තිදෙනාගේ අත්සන් වාර්ථව අගට ඇැත.

පසුබිම

ඉන්දියන් සාගරයේ මුතු ඇටය යැයි විරුදාවලිය ලත් මෙම මනරම් දිවයිනෙහි ඒකීයභාවය ඉතිහාසයේ විවිධ යුගයන්හි එල්ල වූ විදේශීය ආක්‍රමණ වලින් සහ දේශ වශයෙන් පැන නැගුණු ආක්‍රමණික ස්වභාවයේ කැරලි වලින් සුනු විසුනු වී ගියේය. එවැනි සෑම අවස්ථාවකදීම යුගයේ වීරයන් පහළ වූ අතර ඔවුන් ආක්‍රමණිකයින් මෙන්ම දේශීය කැරලිකරුවන් ද පලවා හැර රටේ ඒකීයභාවය සුරක්ෂිත කිරීමට අභීතව සටන් කළහ.

අවසන් වශයෙන් බ්‍රිතාන්‍ය ජාතිකයින් ශ්‍රී ලංකාව ඔවුන්ගේ යටත් විජිතයක් බවට පත්කරගෙන ශතවර්ෂාධික කාලයක් ගෙන ගිය පාලනයෙන් රට මුදවා ගැනීමට මහත් අරගලයක් සිදු කරමින් 1948 වර්ෂයේ දී නිදහස ලබාගෙන ඒකීය රාජ්‍යයක් තුළ ලාංකික ජනතාවට සාමකාමී ලෙස ජීවත්වීමේ වරම ලබා දීමට මෙම දිවයිනේ බිහි වූ ජාතික වීරයින් ට අවකාශය ලැබිණි.

සේ වුවත් එසේ ලබාගත් නිදහසට 1971 වර්ෂයේ දියත් කළ ත්‍රස්තවාදී කැරැල්ලෙන් බරපතල හානි පැමිණුනි. ත්‍රස්තවාදීන් කැරැල්ලේ ගිනි පුපුරු නිවී යාමටත් ප්‍රථම 1976 වර්ෂයේ දී යාපනය නගරාධිපති ධුරය අප්පා මහතාට වෙඩි තැබමින් ද්‍රවිඩ ඊලාම් විමුක්ති කොටි ත්‍රස්තවාදීන් විසින් නැවතත් ශ්‍රී ලංකාවේ ඒකීය භාවයට සහ සාමකාමීත්වය ට බාධා පමුණුවමින් සිවිල් වැසියන් ඝාතනය කරමින් රට දෙකඩ කර වෙනම පාලනයක් ඇති කිරීම සඳහා ඇමෙරිකාව එංගලන්තය ඇතුළු බටහිර රාජ්‍ය කිහිපයක ආශිර්වාදයෙන් යාපනය ප්‍රදේශය මුල් කරගෙන ලේ හලන බිහිසුණු අරගලයක් දියත් කළහ.

1975 වර්ෂයෙන් පසුව මෙරට පාලනය භාරගත් ජනාධිපති ජේ ආර් ජයවර්ධන, ජනාධිපති ආර් ප්‍රේමදාස, ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන රාජ්‍ය නායකයින් මෙම ද්‍රවිඩ ඊලාම් ත්‍රස්තවාදී කැරැල්ල මැඩ පැවැත්වීමට අසමත් වූහ.

මෙම කාලය තුළදී මෙම ත්‍රස්තවාදී කැරැල්ල කොතෙක් දුරට වර්ධනය වූවා ද කිවහොත් 2005 වන විට ලංකාවේ පැරණිම රාජධානිය වූ අනුරාධපුරයෙන්බ්බට යාපනය දෙසට සාමාන්‍ය පුද්ගලයෙකුට යාමට නොහැකි වන අන්දමට මෙම දිවයිනෙහි පාලන තන්ත්‍රය දෙකඩ වී ගොස් තිබුණි.

අව්රුදු 30කට වැඩි මෙම අඳුරු යුගය තුළ ද්‍රවිඩ ඊලාම් කොටි ත්‍රස්තවාදීන් බෞද්ධයින්ගේ මුදුන් මල්කඩ වූ ද ලෝක උරුමයක් වූ ද ශ්‍රී දළදා මාලිගාව, ශ්‍රී මහා බෝධිය ඇතුළු බෞද්ධ සිද්ධස්ථාන රැසක් විනාශ කර ලෙයින් තෙත් කළහ. ජනාධිපති රණසිංහ ප්‍රේමදාස ඇතුළු දේශපාලනඥයින්, සිවිල් පුරවැසියන්, ත්‍රිවිධ හමුදා සහ පොලිස් නිලධාරීන්, බෞද්ධ භික්ෂූන් වහන්සේලා ඇතුළු විශාල පිරිසක් ඝාතනය කළහ. කටුනායක ගුවන් තොටුපල ඇතුලු මහජන දේපල බෝම්බ දමා විනාශ කළහ. 2005 වර්ශය වන විට ශ්‍රී ලංකාව වන විට අරාජික තත්වයක් කරා ළඟා වෙමින් තිබුණි.

මෙවන් අඳුරු යුගයක දී 2005 වර්ෂයේ පැවති ජනාධිපතිවරණය ජයග්‍රහණය කරමින් මහින්ද රාජපක්ෂ මැතිතුමා ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා වශයෙන් තේරී පත් වූ අතර එතුමාගේ ප්‍රධානත්වයෙන් නව රජයක් බිහිකර ආරක්ෂක ලේකම් වරයා වශයෙන් පත් වූ වර්තමාන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ හමුදා අත්දැකීම් උපයෝගී කරගෙන ත්‍රිවිධ හමුදාව සහ පොලිස් බලකාය මෙහෙයවමින් ඊලාම් කොටි ත්‍රස්තවාදීන්ගේ යුද්ධයට එරෙහි මානුෂීය සටන නව මුහුණුවරකින් දියත් කරන ලදී.

අවුරුදු කීපයක් පුරා සිදුකරන ලද බිහිසුණු සටන් වලින් පසුව 2009 වර්ෂයේ මැයි 19 වන දින ඊලාම් කොටි ත්‍රස්තවාදීන් පලවා හරිමින් ශ්‍රී ලංකාව නැවතත් ඒකීය රාජ්‍යයක් බවට පත් කිරීමට මෙම වීරෝදාර නායකයන්ට සහ රණවිරුවන්ට හැකිවිය.

ද්‍රවිඩ ඊළාම් ත්‍රස්තවාදීන් පෝෂණය කළ බටහිර නායකයන්ට මෙම විජයග්‍රහණය ඔවුන්ගේ මනදොල සපුරන්නක් නොවීය. බැවින් ද්‍රවිඩ ඊලාම් යුද්ධයේ අවසන් මානුෂීය සටනේදී යුද අපරාධ සිදු කළ බවට අභූත චෝදනා ඊලාම් යුද්දයේ සැබෑ විරුවන්ට එරෙහිව ද්‍රවිඩ ඩයස්පෝරාවෙන් පන්නරය ලද බටහිර නායකයින් විසින් එල්ල කරන ලදී.

2015 ජනවාරි 8 වන දින පිහිටුවනු ලැබූ නව රජය මේ සඳහා සුදුසුම තෝතැන්න බවට තෝරාගත් බටහිර නායකයින් නව රජයේ අනුග්‍රහය ඇතිව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සැසියේ දී 30/1 යෝජනාවලිය සම්මත කර ගන්නා ලදී. මෙම යෝජනාවළිය දඩමීමා කරගත් නව රජය තම සිතැඟි ඉටුකර ගැනීමේ අභිප්‍රාය ක්‍රියාත්මක කරමින් තම දේශපාලන සතුරන්ගෙන් පළිගැනීමේ ක්‍රියාවලිය ආරම්භ කළ බවටත් එසේම දේශපාලන පළිගැනීම සඳහා අග්‍රාමාත්‍යවරයාගේ විෂයපථය යටතේ ක්‍රියාත්මක කෙරුණු දූෂණ විරෝධී කමිටුව නමැති නිල නොවන සංවිධානයක් පිහිටුවා එහි නිර්දේශයන් ඒ සමගම පිහිටුවා ගත් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය නැමැති නිල නොවන පොලිස් ඒකකයක් මගින් ද එසේ ම අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව, ශ්‍රි ලංකා පොලිසියේ පොලිස් විශේෂ විමර්ශන ඒකකය සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් ද ක්‍රියාත්මක කළ බවටත් සඳහන් කරමින් ළිගැනීමට ලක්වූ පුද්ගලයන්ගෙන් පැමිණිලි ගලා එන්නට විය.

මහින්ද රාජපක්ෂ සහ ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඇතුළු යුද විරුවන්ට එරෙහිව අසත්‍ය නඩු පවරා ඔවුන් රක්ෂිත බන්ධනාගාර ගත කර ඇමරිකාව හා බ්‍රිතාන්‍ය ඇතුළු බටහිර රාජ්‍ය නායකයින් සහ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම සතුටු කිරීමට නව රජය ක්‍රියා කරන බවට විවිධ මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධියේම චෝදනා එල්ලවිය. යුද නායකයින් හා රණවිරුවන් සිරගත කිරීම සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය කරන ලෙසට තමන්ට මෙම දේශපාලනයෙන් බලපෑමක් බලපෑම් කරන බවට රාජ තන්ත්‍රයේ ඉහළ නිලතල දැරූ නිලධාරීන් ප්‍රසිද්ධියේම නව රජයට එරෙහිව චෝදනා කළ.

අල්ලස් හෝ විමර්ශන කොමිෂන් සහාව, මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය, පොලිස් විශේෂ විමර්ශන ඒකකය සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මහජනයා විසින් සිදුකරනු ලබන සමහර පැමිණිළි නොසලකා හරින බවට දේශපාලන පළිගැනීම සඳහා රජයට අවශ්‍ය පැමිණිළි විභාග කර නඩු පැවරීම් සිදු කරන බවටත් චෝදනා එල්ල විය.

එබැවින් මෙම පැමිණිළි සහ චෝදනා පිළිබඳව පරීක්ෂණ කිරීම සිදු කිරීමට 2019 නොවැම්බර් 16 වැනි දින පැවති ජනාධිපතිවරණ බලයට පැමිණි ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා විසින් මෙම කොමිෂන් සභාව ස්ථාපිත කිරීමට පියවර ගන්නා ලදී.

(වාර්තාවෙන් උපුටා ගන්නා ලදී)

Archive

Latest news

Related news