Friday, April 26, 2024

ශ්‍රී ලංකාව, ජනමාධ්‍යවේදීන්ට එරෙහි අපරාධ සම්බන්ධයෙන් යුක්තිය ඉටු නොකළ ඉතිහාසයක් සහිත රටක්! – නිදහස් මාධ්‍ය ව්‍යාපාරය

ජනමාධ්‍යවේදීන්ට එරෙහි අපරාධ සම්බන්ධයෙන් යුක්තිය ඉටු කිරීම ඔනෑම රජයක වගකීමක් වුවත්, ශ්‍රී ලංකාවේ මාධ්‍යවේදීන්ට එරෙහි එකම අපරාධයක් සම්බන්ධයෙන්වත් යුක්තිය ඉටු නොකළ ඉතිහාසයක් හිමි රටක ජීවත්වීමට සිදු වීම සම්බන්ධයෙන් නිදහස් මාධ්‍ය ව්‍යාපාරය කණස්සල්ල පළ කර සිටී.

මාධ්‍යවේදීන්ට එරෙහි අපරාධ සම්බන්ධයෙන් යුක්තිය ඉටු කරන බවට සපථ කරමින් බලයට පත් පසුගිය පාලන කාලය තුළ සිදුවීම් කිහිපයක් සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ වුවද, ඒවා සිදුවූයේ ද මන්දගාමීවය. ඉතිහාසය තුළ මාධ්‍යවේදීන්ට ඒරෙහිව සිදු වූ අපරාධ සම්බන්ධයෙන් මහාධිකරණ නඩු කටයුත්තක් ආරම්භ වී ඇත්තේ සිදුවීම් දෙකක් සම්බන්ධයෙන් පමණී. එයින් ධර්මරත්නම් සිවරාම් ඝාතනය සම්බන්ධ නඩු කටයුත්ත බහා තබා ඇත. ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදහන් කිරීම සම්බන්ධයෙන් ඇති මහාධිකරණ නඩු කටයුත්ත අනෙක් සිදුවීමයි. මෙම නඩුවේ සාක්ෂිකරුවකු උසාවි නියෝග නොතකා, නව රජය විසින් පත් කර ඇති දේශපාලන පළිගැනීම් සම්බන්ධ ජනාධිපති කොමිසමට ඉදිරිපත් වී කියා සිටියේ තමාට සිදුවූ බලපෑම් මත අධිකරණයට සාක්ෂි දුන් බවයි. මේ තත්ත්වය පැහැදිලිවම එම නඩු කටයුත්තට අනිසි බලපෑම් ඇති කරන්නකි. නිදහස් මාධ්‍ය ව්‍යාපාරය සිදු කළ අධ්‍යයනයක තොරතුරුවලට අනුව මාධ්‍යවේදීන්ට එරෙහි අපරාධ වැඩිම සංඛ්‍යාවක් සිදු කළ වකවානුවක බලයේ සිටි පාලකයන්ගෙන් සැදුම්ලත් රජයක් යටතේ මෙවැනි වාතාවරණයක් ඇති වීම යුක්තිය වෙනුවෙන් පෙනී සිටින මාධ්‍ය ප්‍රජාවගේ කණස්සල්ලට හේතු වී තිබේ.

පසුගිය ඔක්තෝබර් 22 දා පාර්ලිමේන්තුවේදී සම්මත කරගත් 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය ප්‍රකාරව ද මාධ්‍යවේදීන්ට එරෙහි අපරාධ සම්බන්ධයෙන් යුක්තිය ඉටු කර ගැනීමට අදාල පරීක්ෂණ ආරම්භවේද, ඒවා ස්වාධීනව සිදුවේද යන සැකය මතු කර ඇත. 20 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අනුව ශ්‍රී ලංකාවේ ඉහළ අධිකරණයේ සිට සියලු විනිශ්චයකාරවරුන් පත් කිරීම, ඉහළ පොලිස් නිලධාරීන් පත් කිරීම සඳහා බලය ඇත්තේ ජනාධිපතිවරයාට ය. එසේ පත්වන පොලිස් නිලධාරීන් මාධ්‍යවේදීන්ට එරෙහි අපරාධ සම්බන්ධයෙන් මෙතෙක් නොකළ පරීක්ෂණ සිදු කරයිද, එසේ පත්වන විනිශ්චයකාරවරුන් ස්වාධීනවේද යන ගැටලුව ක්ෂේත්‍රය තුළ බරපතල ලෙස මතු වී තිබේ.

ජනමාධ්‍යවේදීන්ට එරෙහි අපරාධ සම්බන්ධයෙන් වන දණ්ඩමුක්තිය අහෝසි කිරීමේ ජාත්‍යන්තර දිනය නොවැම්බර් මස 2 දා උදා වන්නේ ශ්‍රී ලංකාවේ මෙවැනි පසුබිමක් යටතේය. බලයේ සිටින්නේ කුමණ පාර්ශ්වයක් වුවද ජනමාධ්‍යවේදීන්ට එරෙහිව යුක්තිය ඉටු කිරීම ඔනෑම රජයක වගකීමක් බව ලෝකයම පිළිගන්නා සත්‍යයකි. යුක්තිය පමා වීම යනු යුක්තිය නොසලකා හැරීමකි. මාධ්‍යවේදීන්ට ඒරෙහි අපරාධ සම්බන්ධයෙන් යුක්තිය ඉටු කිරීම සම්බන්ධයෙන් ඇත්තේ දැරිය නොහැකි නොසලකා හැරීමකි. නිදහස් මාධ්‍ය ව්‍යාපාරය මෙන්ම අනෙකුත් සියලු මාධ්‍ය සංවිධාන සහ මානව හිමිකම් ක්‍රියාකාරීන් නිරන්තරයෙන් සියලු රජයන්ට ඒ සඳහා බලපෑම් කර ඇත. ඉල්ලීම් ඉදිරිපත් කර ඇත. ඉතිහාසය තුළ ගල් ගැසී ඇති මාධ්‍යවේදීන්ට එරෙහි අපරාධ සම්බන්ධ පරීක්ෂණ ඉදිරියට ගෙන යෑම සඳහා පූර්ණ බලැති ජනාධිපති කොමිසමක් පත් කරන ලෙස ඉල්ලීම් ඉදිරිපත් කර ඇත. නව රජය වෙත ද ඒ ඉල්ලීම ඉදිරිපත් කරමින් මාධ්‍ය ප්‍රජාව මෙන්ම යුක්තිය ගරු කරන සියලු ප්‍රජාවගෙන් නිදහස් මාධ්‍ය ව්‍යාපාරය ඉල්ලා සිටින්නේ රජයට ඒ සඳහා ප්‍රබල ලෙස බලපෑම කරන ලෙසයි.

Archive

Latest news

Related news