Saturday, April 20, 2024

සිරකරු අයිතිවාසිකම් කමිටුවෙන් මදූශ් ඝාතනය ගැන මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක්

මාකදුරේ මදූශ් නම් තැනැත්තා පොලිස් අත් අඩංඟුවෙහිදී ඝාතනය කිරීම පිළිබඳ අපක්ෂපාත පරීක්ෂණයක් පවත්වන සේ ඉල්ලා සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කම්ටුව වෙනුවෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට ලිපියක් යවන මානව හිමිකම් ක්‍රියාකාරීයන් දෙදෙනෙකු වන නීතිඥ සේනක පෙරේරා සහ  සුරේශ් නන්දිමාල්   සැකකරුවන් හෝ සිරකරුවන් එවැනි ආකාරයට අවදානම් සහගත පෙන්වීම් වලට හෝ තොරතුරු සොයා ගැනීම සඳහා මෙසේ බාහිර ස්ථානවලට රැගෙන යාම නොකරන මෙන් රජයට නිර්දේශ කරන ලෙසද  ඉල්ලා සිටී.

එම ලිපිය පහත පළවේ.

සභාපති,
ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව,
ආර්. ඒ. ද මෙල් මාවත,
කොළඹ.
සභාපතිතුමනි,

මදූෂ් ලක්ෂිත නොහොත් මාකඳුරේ මධූෂ් නමැති පුද්ගලයාගේ ඝාතනය සම්බන්ධයෙන් අපක්ෂපාතී පරීක්ෂණයක් සිදුකරන ලෙස ඉල්ලා සිටිමු.

නීතියේ ආධිපත්‍යයට අභියෝග කරමින් සහ ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වන ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් නීතියට පිටින් පොලිස් අත්අඩංගුවේ සිටින පුද්ගලයන් සහ බන්ධනාගාර ගත සිරකරුවන් මරණයට පත්කිරීම සහ වධහිංසාවට ලක් කිරීමේ ක්‍රියාවලිය ශ්‍රී ලංකාවේ අද ඊයේ සිදුවූවක් නොවේ.

එම තත්ත්වය 2010-2015 අතර කාලය තුළ ඉතා දැඩිව පැවති අතර වර්ෂ 2015-2019 දක්වා එහි පැහැදිලි අඩුවීමක් දක්නට ලැබුණි. එම තත්වය යටතේ 2020.20 වන දින අලුයම් කාලයේ මදූෂ් ලක්ෂිත නොහොත් මාකඳුරේ මධූෂ් නොමැති තැනැත්තාව ශ්‍රී ලංකා පොලීසිය විසින් සඟවා ඇති තැන් පෙන්වීම සඳහා යැයි ප්‍රකාශ කරමින් රැගෙන යාමේදී ඔහුව මරණයට පත් වීම අප දකින්නේ අහඹුවක් නොව ඉහත විස්තර කළ තත්ත්වයේම දිගුවක් වශයෙනි.

ඉහත විස්තර කළ තත්ත්වය ඔබ කොමිසම විසින් ද නිරීක්ෂණය කර ඇති බවටත් ඒ සම්බන්ධයෙන් දැනුවත් භාවයකින් යුතුව සිටිනවා යැයිද අපි සිතමු. කෙසේ වෙතත් පොලිස් අත්අඩංගුවේ සිටින තැනැත්තන් බන්ධනාගාර සිරකරුවන් සහ පුද්ගලික නිදහස අහිමි කළ තැනැත්තන් මෙසේ ඝාතනයට ලක්වීම සහ වද හිංසාවලට ලක් වීම නව ප්‍රවණතාවක් ලෙස මෑත කාලයේ ආරම්භ වී ඇති බව අපි විසින් මේ මොහොතේ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ අවධානයට ලක්කර සිටිමු.

පොලිස් අත්අඩංගුවේ සිටින තැනැත්තන් බන්ධනාගාර ගත සිරකරුවන් සහ පුද්ගලික නිදහස අහිමි කළ තැනැත්තන් ගේ ජීවිත ආරක්ෂාව ඉදිරියේ දී හෝ තහවුරු කිරීම අරමුණු කර ගනිමින් 1996 අංක 21 දරන ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභා පනත අනුව Suyamoto පරීක්ෂණයක් ඔබ ආයතනය විසින් කිරීම හෝ සිද්ධිය ජාතික වැදගත්කමකින් යුතු මානව හිමිකම් උල්ලංඝනය කිරීමක් ලෙස සලකා අපක්ෂපාතී පරීක්ෂණයක් ආරම්භ කර ඒ සම්බන්ධ වාර්තාවක් රජයට හා ජනතාවට නිකුත් කරන ලෙස අපි සංවිධානය මෙන් ඉල්ලා සිටිමු.

ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම් සම්බන්ධයෙන් පරිච්ඡේදයෙන් ලබා දී ඇති අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම කොමිසමේ ද ප්‍රධාන වගකීම්ක් වන අතර මේ අවස්ථාවේහි ජාත්‍යන්තර මානව හිමිකම් සුරකින්නන් විසින් ඔබ කොමිසමේ නිරීක්ෂණ දෙස විමසිල්ලෙන් බලා සිටින බවද ඔබට පෙන්වා දෙන්නෙමු. එසේම එක්සත් ජාතීන්ගේ ආයතන මගින් හඳුන්වා දී ඇති ශ්‍රී ලංකාව ද අත්සන් කර ඇති සිරකරුවන්ට සැලකීම පිළිබඳ අවම ප්‍රමිතීන් ජාත්‍යන්තර සම්මුතිය ද උල්ලංඝණය කරමින් කටයුතු කිරීම සම්බන්ධයෙන් අපි සංවිධානය කනස්සල්ල මේ අවස්ථාවේ ප්‍රකාශකර සිටිමු. තවද ඉහත සඳහන් කළ සිද්ධිය හා මෑතදී සිදු වූ එවැනි සිදුවීම් සිද්ධීන් මගින් මානව හිමිකම් උල්ලංඝනය වීම සිදු වී ඇති නිසා මේ සඳහා කඩිනම් පරීක්ෂණයක් පැවැත් ම මේ මොහොතේ ඔබගේ අත්‍යාවශ්‍ය කටයුත්තක් බවද අවධාරණය කර සිටිමු.

1978 ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ හා ශ්‍රේෂ්ඨාධිකරණය මගින් ලබාදී ඇති තීරණ මගින් ද තහවුරු වී ඇති ජීවත්වීමේ අයිතිය සහ නිර්දෝෂීභාවය පූර්ව නිගමනය ද නොතකා හරිමින් මෙලෙස රක්ෂිත භාරයට පත් කළ පුද්ගලයින් ආරක්ෂා කිරීමේ වගකීම රජය විසින් මග හැරිය හොත් අවභාවිතයට ලක් කළහොත් ආධිපත්‍ය බිඳ වැටී නීතිය පිළිබඳ ජනයාගේ විශ්වාසය සුන් වීම නොවැළැක්විය හැක්කක් වනු ඇත.

සැකකරුවන් හෝ සිරකරුවන් ඒ සඳහන් කළ ආකාරයට අවදානම් සහගත පෙන්වීම් වලට හෝ තොරතුරු සොයා ගැනීම සඳහා මෙසේ බාහිර ස්ථානවලට රැගෙන යාම නොකරන මෙන් රජයට නිර්දේශ කරන ලෙසද ඉල්ලා සිටිමු.

මෙයට

නීතිඥ සේනක පෙරේරා, සභාපති
සුදේශ් නන්දිමාල් සිල්වා, ලේකම්
සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව

Archive

Latest news

Related news