Tuesday, May 7, 2024

කොවිඞ් 19 මර්දනය තුළ නිවෙක කම්කරු අයිතීන් කෙළසනු එපා! – සිවිල් සංවිධාන එකතුවක් මා.හි.කොමිසමට ලියයි

නිදහස් වෙළෙඳ කලාපය තුළ කොවිඞ් 19 මර්දනය සහ නිරෝධායන කටයුතු වලදී සේවක සේවිකාවන්ගේ අයිතිවාසිකම් උල්ලංඝනය නොවන බව තහවුරු කිරීම පිණිස මාර්ගෝපදේශ/නිර්දේශ නිකුත් කරන ලෙස ඉල්ලා සිටිිිිිිම්න් අලුත පිහිටුවන ලද වෙළෙඳ කලාපයේ සේවක අයිතිවාසිකම් සඳහා සිවිල් සමාජ එකතුව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව වෙත ලිපියක් යවා තිිිිබේ. මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හරහා පිළිගෙන ඇති මානව හිමිකම් ප්‍රමිතීන් පදනම් කරගෙන පරීක්ෂාවට ලක් කිරීමත් එම ක්‍රියාමාර්ග ඔස්සේ පුරවැසි මානව හිමිකම් කඩනොවන බව තහවුරු කිරීමත් මානව හිමිකම් කොමිෂන් සභාවේ මුඛ්‍ය වගකීමක් බව පෙන්වා දෙන එම ලිපිය එම වගකීම අනුව යමින් මානව හිමිකම් කොමිෂන් සභාව මීට පෙර අවස්ථා කිහිපයකදීම පරිපාලන ක්‍රියාමාර්ග මූලික අයිතිවාසිකම් ප්‍රමීතීන්ට අනුකූලව ක්‍රියාත්මක කළ යුතු ආකාරය සම්බන්ධයෙන් අදාළ පාර්ශ්ව වෙත නිර්දේශ නිකුත් කරන ලද බවත් එවැනි නිර්දේශයන් මෙරට මානව හිමිකම්හි උන්නතිය සම්බන්ධයෙන් ඉතා ප්‍රයෝජනවත් වූ බවත්  අවධාරණය කරයි.

සම්පූර්ණ ලිපිය පහත පළවේ.

වෙළෙඳ කලාපයේ සේවක අයිතිවාසිකම් සඳහා සිවිල් සමාජ එකතුව
අංක 19/4්,
පාගොඩ පාර,
නුගේගොඩ
2020-10-19

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව,
අංක 14, ආර්.ඒ.ද මෙල් මාවත,
කොළඹ 04.

නිදහස් වෙළෙඳ කලාපය තුළ කොවිඞ් 19 මර්දනය සහ නිරෝධායන කටයුතු වලදී සේවක සේවිකාවන්ගේ අයිතිවාසිකම් උල්ලංඝනය නොවන බව තහවුරු කිරීම පිණිස මාර්ගෝපදේශ/නිර්දේශ නිකුත් කරන ලෙස ඉල්ලා සිටීම.

නිදහස් වෙළෙඳ කලාපය ආශ්‍රිතව දෙවැනි වරටත් ව්‍යාප්ත වීම ආරම්භ වූ කොවිඞ් 19 වසංගතය මර්දනය කිරීම මේ වන විට වඩාත් අභියෝගාත්මක වී තිබේ. විශේෂයෙන්ම කලාපය තුළ මෙම අධි-වසංගතය මර්දනය කිරීමෙහිලා සෞඛ්‍ය අංශ සහ ආරක්ෂක අංශ ගෙන යන වැඩපිළිවෙළ අවිධිමත් හා බලහත්කාරී වීමත් මෙවැනි අවස්ථාවක වඩාත් වගකීමෙන් කටයුතු කළ යුතු පාර්ශ්වයන් වගකීමකින් තොරව කටයුතු කිරීමත් හේතුවෙන් සහ මෙම දෙවන රැල්ලට වගකිව යුත්තේ ඇඟලුම් සේවක සේවිකාවන්ය යන වැරදි මතය හේතුවෙන් ඇඟලු‍ම් සේවක සේවිකාවන් බරපතළ ගැටලු රැසකට සහ දැඩි පීඩනයටක මුහුණ දී සිටින බව අප නිරීක්ෂණය කර ඇත්තෙමු.

රජය, සෞඛ්‍ය හා ආරක්ෂක අංශයන්වල සහයෙන් මෙරට කොවිඞ් වසංගතය මර්දනය කිරීම සඳහා ගෙන යන නිරෝධායන වැඩපිළිවෙළ හා අනෙකුත් සෞඛ්‍යාරක්ෂණ වැඩසටහන් සඳහා සිවිල් සමාජ සංවිධාන සහ සිවිල් ක්‍රියාකාරීන් වශයෙන් අපි අපගේ පූර්ණ සහයෝගය පළ කරන අතරම මෙරට සියලු පුරවැසි ජනතාව එම ක්‍රියාවලියට වගකීමෙන් සහයෝගය දැක්විය යුතු බවද අප අවධාරණය කරමු.

මෙම අධි-වසංගතය ජාති, කුල, ආගම් හෝ වෙනත් භේදයකින් තොරව සමස්ත මානව වර්ගයාටම එල්ල වී ඇති මාරාන්තික අභියෝගයකි. මෙහිදී වෙනත් රටවල මෙන්ම ශ‍්‍රී ලංකාවේද අත්දැකීම වන්නේ වෛරසය පැතිරෙන ආකාරය යම් කිසි ප‍්‍රජාවකට හෝ සමාජ පන්තියකට ලඝු කළ නොහැකි වීමයි. එහෙත් සමාජයේ අඩු ආදයම් ලාභී, අඩු වරප්‍රසාදිත ජන කණ්ඩායම් හෙවත් අවදානම් සහිත කණ්ඩායම් වෙත වෛරසයෙන් සහ වෛරසය මැඩලීමට ගන්නා ක්‍රියාමාර්ග වලින් ඇතිවන බලපෑම සමාන නැත. ග්‍රාමීය ප්‍රදේශ වල සිට, විවිධ ජනවර්ගයන් නියෝජනය කරමින් වෙළෙද කලාපයට සංක්‍රමණය වී සිටින, කාන්තාවන් බහුතරයකගෙන් සමන්විත වෙළෙඳ කලාපයේ කම්කරු ප්‍රජාව, එවැනි අවදානම් සහගත කණ්ඩායමක් බව අප සියලු දෙනා දන්නා සත්‍යකි. මේ වන විට කොවිඞ් දෙවන රැල්ල වෙළෙඳ කලාපය තුළින් ආරම්භ වී රට තුළ ව්‍යාප්ත වෙමින් පවතී. මෙය වෙළෙඳ කලාපයෙන් ආරම්භ වූයේ කලාපය තුළ දිගින් දිටම පැවති දැඩි සෞඛ්‍ය අනාරක්ෂිත බව සහ දුර්වල ජීවන සහ වෘත්තීය තත්ත්වය නිසා බව අපගේ වටහා ගැනීමයි.

කොවිඞ් 19 සමඟ සටනේදී ගනු ලබන ක්‍රියාමාර්ග ඇතැම් විට පුද්ගල සහ ජන කණ්ඩායම්වල අයිතීන්ට සෘජුව බලපානු ලැබේ. එහෙත් කොවිඞ් වසංගතය යනු අයිතිවාසිකම් පසෙකලා ක්‍රියාත්මක වීමට ලබාදෙන බලපත්‍රයක් නොවේ. විශේෂයෙන්ම ලෝක සෞඛ්‍ය සංවිධානය, ජාත්‍යන්තර කම්කරු සංවිධානය, මෙන්ම ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව ලෙස ඔබ ආයතනය විසින් ද මීට පෙර නිකුත් කරන ලද මාර්ගෝපදේශයන්/නිර්දේශයන්, පුද්ගල/කණ්ඩායම් අයිතිීන් රැකගෙන කොවිඞ් මර්දනය කළ යුතු බව අවධාරණය කර ඇත.

කොවිඞ්-19 සමඟ සටන් කිරීම රජයේ හුදෙකලා ක්‍රියාවලියක් නොවන අතර ඒ උදෙසා ගනු ලබන සෞඛ්‍ය හා සමාජීය පියවරයන් මහජනතාවගේ පූර්ණ සහභාගීත්වයෙන් ක්‍රියාත්මක කළ යුතු ඇති බව අප අවධාරණය කරන්නෙමු. එම ක්‍රියාදාමය මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් තහවුරු කර තිබෙන පුද්ගල අයිතිවාසිකම් ආරක්ෂා කරමින් ක්‍රියාත්මක විය යුතුව ඇත. එහෙත් මෙම අභියෝගාත්මක අවස්ථාවේ තොරතුරු දැනගැනීමේ අයිතිය, වෙනස් කොට සැලකීම්වලට ලක් නොවී සිටීමේ අයිතිය මෙන්ම අවමන් සහගත සැලකීම්වලට ලක් නොවීමේ ව්‍යස්ථාපිත අයිතිවාසිකම් කලාපයේ ඇඟලුම් සේවක සේවිකාවන් අරඹයා යථාර්ථයක් නොවන බව අප නිරීක්ෂණයයි.

නිදහස් වෙළෙඳ කලාපය තුළ උද්ගතව ඇති මෙම වාතාවරණය මෙරට ආර්ථීක ප්‍රගමනයට දරුණු පහරක් එල්ල කරමින් ඇති බව අප හොඳින්ම වටහා ගන්නෙමු. එහෙත් කලාපීය කම්කරු ප්‍රජාවගේ මානව හා සේවක අයිතිවාසිකම්වලට ගරු කිරීම තහවුරු කරමින් වෙළෙඳ කලාපයේ කටයුතු පවත්වා ගෙන යා යුතුව ඇත. ඒ සඳහා නිවැරදි හා විධිමත් නිරෝධායන නිර්දේශ අනුගමනය කරමින් කටයුතු කිරීම අත්‍යවශ්‍යව තිබේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙහි එන මූලික අයිතිවාසිකම් සම්බන්ධව වන විධිවිධාන නිසි පරිදි ක්‍රියාත්මක වන බව තහවුරුකිරීමටත්, විධායක සහ පරිපාලන ක්‍රියාවන් හරහා මූලික අයිතිවාසිකම් ආරක්ෂාවන බවට තහවුරුකිරීමටත් 1996 අංක 21 දරන ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභා පනත ප්‍රකාරව මානව හිමිකම් කොමිසමට බලතල හිමිව ඇත. ඒ අනුව රජයේ පරිපාලන ක්‍රියාමාර්ග, මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හරහා පිළිගෙන ඇති මානව හිමිකම් ප්‍රමිතීන් පදනම් කරගෙන පරීක්ෂාවට ලක් කිරීමත් එම ක්‍රියාමාර්ග ඔස්සේ පුරවැසි මානව හිමිකම් කඩනොවන බව තහවුරු කිරීමත් මානව හිමිකම් කොමිෂන් සභාවේ මුඛ්‍ය වගකීමක්ව ඇත.

මෙම වගකීම අනුව යමින් මානව හිමිකම් කොමිෂන් සභාව මීට පෙර අවස්ථා කිහිපයකදීම පරිපාලන ක්‍රියාමාර්ග මූලික අයිතිවාසිකම් ප්‍රමීතීන්ට අනුකූලව ක්‍රියාත්මක කළ යුතු ආකාරය සම්බන්ධයෙන් අදාළ පාර්ශ්ව වෙත නිර්දේශ නිකුත් කරන ලද බවත් එවැනි නිර්දේශයන් මෙරට මානව හිමිකම්හි උන්නතිය සම්බන්ධයෙන් ඉතා ප්‍රයෝජනවත් වූ බවත් අප අවධාරණය කරමු.

මෙම ලිපියේ පළමු ඇමුණුමෙහි අප විසින් නිරීක්ෂණය කර ඇති පරිදි, රජයේ වසංගත මර්දන ක්‍රියාදාමය තුළ කලාපයේ සේවක සේවිකාවන් මුහුණ දෙන ප්‍රමුඛතම ගැටලු ගණනාවක් මතු කර තිබේ. මෙහි දෙවැනි ඇමුණුම දැනටමත් (ඔක්තෝබර් 16 වන දින) ඔබ ආයතනය වෙත යොමු කර ඇති අතර එමඟින් වසංගත මර්දන ක්‍රියාදාමයේ හමුදාකරණය වූ වැඩපිළිවෙළ තුළ පීඩනයට පත් කලාපයේ කම්කරු ප්‍රජාව සම්බන්ධයෙන් ඔබ ආයතනයේ අවධානය යොමු කරවයි.
මෙම කරුණු පදනම් කර ගනිමින් වෙළෙඳ කලාපය ආශ්‍රිතව ක්‍රියාත්මක වන කොවිඞ් මර්දන ව්‍යාප්තිය අවම කිරීම හා මර්දනය කිරීම මූලික කර ගත් වැඩසටහන් තුළින් කම්කරු ප්‍රජාවගේ අයිතිවාසිකම් උල්ලංඝනය නොවන බව තහවුරු කිරීම සඳහා සුදුසු නිර්ණායක හා නිරෝධායන ක්‍රියාවලියේදී අනුගමනය කළ යුතු මාර්ගෝපදේශ/නිර්දේශ නිකුත් කරන ලෙසත් කොවිඞ් මර්දනය සඳහා පත් කර ඇති ජනාධිපති කාර්ය සාධක බලකාය, කොවිඞ් ව්‍යාප්තිය වැළැක්වීම සඳහා වන ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය, ශ්‍රී ලංකා යුද හමුදාව සහ ශ්‍රී ලංකා පොලිසිය ඇතුළු රාජ්‍ය ආයතන එකී නිර්ණායක අනුගමනය කිරීම සම්බන්ධයෙන් දැනුවත් කරන ලෙසත් අප ඉල්ලා සිටිමු.

විශේෂයෙන්ම වසංගත මර්දනය අතරවාරයේ සිදුවන කලාපයේ සේවක සේවිකාවන්ගේ රැකියා හා වැටුප් කප්පාදුව සහ අනෙකුත් ආයතනික ගැටලු සම්බන්ධයෙන් අවධානය යොමු කරමින් කම්කරු කොමසාරිස් ජනරාල්වරයාගේ අවධානය ඒ වෙත යොමු කරවන මෙන්ද අප ඉල්ලා සිටිමු.

ඒ සඳහා මානව හිමිකම් කොමිෂන් සභාවේ මූලිකත්වයෙන් වෙළෙඳ කලාපයේ සේවක සේවිකාවන්ගේ නියෝජිතයන්, සිවිල් සංවිධාන, වෘත්තීය සමිති, ආයෝජන මණ්ඩලයේ නිලධාරීන්, ජනාධිපති කාර්ය සාධක බලකායෙහි නියෝජිතයින්, හාම්පුතුන්ගේ සංගම්, ආරක්ෂක අංශ, සෞඛ්‍ය සහ කම්කරු නිලධාරීන් අතර කඩිනම් විශේෂ සාකච්ඡාවක් කැඳවන ලෙසද අපි යෝජනා කරන්නෙමු.

ස්තූතියි
මෙයට,

වෙළෙඳ කලාපයේ සේවක අයිතිවාසිකම් සඳහා සිවිල් සමාජ එකතුව වෙනුවෙන්,
රයිට්ස් නව් ප්‍රජාතන්ත්‍රවාදය සඳහා සාමූහිකය (077-1097916)
චමිලා තුෂාරි – ඩාබිඳු සාමූහිකය, කටුනායක (077-5453362)
පද්මිණි වීරසූරිය – ස්ත්‍රී මධ්‍යස්ථානය, ඒකල (077-3416474)
අශිලා නිරෝෂනි දන්දෙණිය – ීඒබා ඹච ඵදඩැපැබඑ ඛ්බන්, කටුනායක (0777-139006)
චන්ද්‍රා දේවනාරායන – මානව සංවර්ධනය සඳහා විප්ලවීය පැවැත්ම, කටුනායක (077-4149916)

ඇමුණුම් අංක 01

මේ වන විට කොවිඞ් 19 වසංගතය විශේෂයෙන්ම නිදහස් වෙළෙඳ කලාපය තුළ මහජන සෞඛ්‍ය ප්‍රශ්නයක් පමණක් නොව අයිතිවාසිකම් උල්ලංඝනය වීමේ අර්බුදයක් දක්වා වර්ධනය වී ඇති බව පෙනෙන්නට ඇත.

01. වෛරී හා අපහාසාත්මක ප්‍රකාශ
නිදහස් වෙළෙඳ කලාපය තුළින් මෙම වසංගත ව්‍යාප්තිය ඇරඹීමත් සමඟ විශේෂයෙන්ම ප්‍රධාන දහරාවේ රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේද ඇඟලුම් සේවිකාවන්ගේ ලිංගිකත්වය, වෘත්තීය සහ ස්ත්‍රීත්වය පදනම් කර ගත් වෛරී හා අපහාසාත්මක ප්‍රකාශ දිගින් දිගටම සිදුවන බව නිරීක්ෂණය වී තිබේ. මේ හේතුවෙන් ඇඟලු‍ම් සේවක සේවිකාවන් වෛරසය පැතිරවීමේ වාහකයින් යැයි සමාජය හමුවේ දෝෂ දර්ශනයට ලක්ව ඇත. විශේෂයෙන්ම මෙවැනි චෝදනා සමඟ ඔවුන්ට නවාතැන් ගැනීම්, ගමනාගමනය, කඩ සාප්පුවලට යෑම් අවහිර කෙරෙන තත්ත්වයක් උද්ගතව තිබේ.

02. පුද්ගල ගෞරවය අහිමි කිරීම
නිරෝධායනයට ලක් කිරීමට හෝ ආසාදිතව රෝහල් කරා ගෙන යන ඇඟලුම් සේවක සේවිකාවන් වෙත පැහැදිලි තොරතුරු නොදී බස් රථවලට පැටවීම, නිරෝධායන මධ්‍යස්ථානවල දුර්වල සනීපාරක්ෂක පහසුකම් පැවතීම සහ පීසීආර් පරීක්ෂණ කිරීම් නොසැලකිලිමත් අන්දමින් සිදුව ඇති බවත් එම ක්‍රියාවලිය ඔස්සේ මෙම ඇඟලුම් සේවක සේවිකාවන් වෙනස් කොට සැලකීමට ලක්ව ඇති බවටත් වාර්තා වී තිබේ. විශේෂයෙන්ම හමුදාව රාත්‍රී කාලයේ පැමිණ නිසි සුදානමකට හෝ තමන් ගෙන යන ස්ථානයක් පිළිබඳ හෝ පැහැදිලි තොරතුරු දැනගැනීමකට ඉඩක් නොතබා අපරාධ වරද සඳහා සැකකරුවන් අත්අඩංගුවට ගන්නා ආකාරයට පැමිණ නිරෝධායන ක්‍රියාවලිය සඳහා ඇඟලුම් සේවක සේවිකාවන් බස් රථවලට පටවා ගෙන යන බවට කරුණු වාර්තාවී ඇත. කාන්තාවන්, ගැබිණි මව්වරුන්, වයස්ගත කාන්තාවන් සහ දරුවන් මෙම පිරිස්වලට අයත් වන අතර ඔවුන් නිරෝධායනට ලක් කරන්නේ නම් ගෙන යන ස්ථාන පිළිබඳ පැහැදිලි තොරතුරු ලබාදීමට කටයුතු කිරීම මෙන්ම වෙනස් කොට සැලකීමට ලක්නොවී නිරෝධායනය වීමට හැකිවීම අනිවාර්ය මෙන්ම අත්‍යවශ්‍යය.

03. සෞඛ්‍ය අනාරක්ෂීත බව
ප්‍රබල සෞඛ්‍ය තර්ජනයක් සහමුලින් යටපත්ව නොතිබුන වාතාවරණයක නිදහස් වෙළෙඳ කලාපයේ කර්මාන්ත ශාලා බොහොමයක් සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කිරීම පැහැර හැර ඇති බව උද්ගතව ඇති තත්ත්වය විසින් සනාත කර තිබේ.
වැඩපොළේ සුරක්ෂිතතාව සහ සෞඛ්‍යාරක්ෂාව පිළිබඳ 1981 අංක 155 දරන ප‍්‍රඥප්තිය ^Occupational Safety and Health Convention, 1981 (No. 155) ප‍්‍රකාර, සේවකයන්ට වැඩපොළේ දී වසංගතය බෝවීමේ හැකියාව අවම කිරීම සඳහා සහ සේවකයන් වසංගතයෙන් ආරක්ෂා කිරීම පිණිස ප‍්‍රායෝගිකව ගත හැකි හැකි සියලු පියවර ගැනීම සහතික කිරීමේ සම්පූර්ණ වගකීම සේව්‍යයන්ට (හාම්පුතුන්ට) පැවරෙන බව ලෝක කම්කරු සංවිධානයේ නිර්දේශයකි. එමෙන්ම වසංගතයක් සමයක ඒ සම්බන්ධයෙන් සිය සේවකයන් නිසි පරිදි දැනුවත් කිරීමත් වැඩපොළේ සුරක්ෂිතතාව සහ සෞඛ්‍යාරක්ෂාව පිළිබඳ ඔවුන්ට නිසි පුහුණුවක් ලබාදීමත් සේව්‍යයන්ගේ වගකීමකි. වැඩපොළේ දී කම්කරුවෙකු අසනීප වූයේ නම් කම්කරු බලධාරීන් දැනුවත් කිරීමට ද ඔවුහු බැඳී සිටින බව ජාත්‍යන්තර කම්කරු සංවිධානය නිකුත් කළ මාර්ගෝපදේශවල දැක්වේ.

මෙම ජාත්‍යන්තර කම්කරු නීති මඟ හැර කලාපයේ සේවා ආයතන කටයුතු කර ඇති බවට පැහැදිලි කරුණු නිරීක්ෂණය වී ඇත.

නිරෝධානයන සහ රෝග වැළැක්වීමේ අඥාපනත යටතේ නිකුත් කර ඇති 2197/25 දරන ගැසට් පත්‍රයේ 95 වන නියෝගය ප්‍රකාරව, නිසි බලධාරියා විසින් තීරණය කරන පරිදි වරකට ව්‍යාපාරික පරිශ්‍රයක් තුළ සිටිය හැකි බවට අවසර දී ඇති උපරිම තැනැත්තන් සංඛ්‍යාව නොඉක්මවිය යුතු බව සඳහන් වේ. තවද ආයතනය තුළ ද ප්‍රවාහනයේදී ද දෙදෙනකු අතර දුරස්ථතාව පවත්වාගෙන යන බවට සහතික විය යුතුය.

එහෙත් පීසීආර් පරීක්ෂණ සිදුනොකරන ලද කම්කරුවන් නිරෝධායන මධ්‍යස්ථානවල දුර්වල සනීපාරක්ෂක තත්ත්වයන් යටතේ එකට තබා ගැනීමත් අනාරක්ෂිත ලෙස පරීක්ෂා නොකරන ලද අයද ඇතුලුව සියලු දෙනා එකම බස් රථවල නිරෝධායන මධ්‍යස්ථාන කරා ප්‍රවාහනය කිරීමත් හේතුවෙන් මෙම කම්කරු පිරිස රෝගයට ගොදුරු වීමේ සැබෑ අවදානමක් මතුව තිබේ. නිදහස් වෙළෙඳ කලාපයේ සේවකයන්ට යහපත් සෞඛ්‍යයකට ඇති අයිතිවාසිකම ආයතනවල අනාරක්ෂිත තත්ත්වයන් සහ අවිධිමත් සහ බලහත්කාරී නිරෝධානයන ක්‍රියාවලිය විසින් පැහැදිලි ලෙස අහිමි කර ඇති බව අප නිරීක්ෂණයයි.

04.රැකියා හා වැටුප් කප්පාදුව
මෙම තත්ත්වය කොවිඞ් වසංගතය මෙරට ඉස්මතු වූ මාර්තු මාසයේ සිට ක්‍රමිකව උද්ගත වූවකි. රට තුළට විදේශ විනිමය ගෙන එමින් ආර්ථීකයේ විශාලම පංගුව දරන්නන් අතර ඇඟලු‍ම් ක්ෂේත‍්‍රයට හිමි වන්නේ දෙවැනි තැනය. මෙරට දළ දේශිය නිෂ්පාදිතයට 7%ක් එක් කරන ඇඟලු‍ම් කර්මාන්තයෙන් ලැබෙන අපනයන ආදායම, රටේ සමස්ත අපනයන ආදායමෙන් 44% කි. අපනයන ආදායමට, ඇගලුම් ක්ෂේත‍්‍රය හරහා වාර්ෂිකව එක්වන ආදායම ඩොලර් බිලියන 5 කි. එහෙත් කොවිඞ් වසංගත ව්‍යාප්තිය සමඟ මෙරට අපනයන සඳහා තිබෙන ඉල්ලුම අවම වීමේ ප්‍රතිඵලයක් වශයෙන් පසුගිය මාර්තුවේ සිට මේ දක්වා 14,500ක් වැනි අවම වැටුපකට අතිකාල දීමනා නොමැතිව ශ්‍රමය යෙදවීමට සිදුව තිබේ. මෙම තත්ත්වය සමඟ වෙළෙඳ කලාපයේ කර්මාන්ත ශාලා 10කට ආසන්න ප්‍රමාණයක් වැසි ඇත. ඇඟලු‍ම් ක්ෂේත‍්‍රයේ 74,000ක පමණ ඇබෑර්තු පැවතියද කොවිඞ් පැතිරීම පාලනය කිරීම සඳහා ආණ්ඩුව අඛණ්ඩව ඇඳිරී නීතිය පැනවීම හේතුවෙන් කර්මාන්ත ශාලා වැසීමට සිදුවූයෙන් හාම්පුතුන් ඒ අවස්ථාව තම සේවක සංඛ්‍යාව කප්පාදු කිරීමටත් වෘත්තීය සමිති ක්‍රියාකාරීන්ගෙන් තොර ස්ථානයක් බවට සේවා ස්ථාන පත් කර ගැනීම සඳහාත් මෙය අවස්ථාවක් කරගෙන තිබේ. මේ වන විට අසූදහසකට ආසන්න සේවක පිරිසකගේ රැකියා අහිමිව ඇති බවට වාර්තා වී ඇත. කොවිඞ් වසංගත අර්බුදයට මෙරට අපනයනයේ ප්‍රධානම ඉපැයීම් මුලාශ්‍රයක් වන ඇඟලුම් ක්ෂේත්‍රයේ රැකියා අහිමි කිරීම හෝ සේවක වැටුප් කප්පාදුව හෝ විසඳුම නොවන බවත් මෙය සේවකයන්ගේ මූලික අයිතිවාසිකම් කඩවීමක් බවත් අප අවධාරණය කරමු.

05. මෑන් පවර් සේවකයන් වෙනුවෙන් වගකියන පාර්ශ්වයක් නොමැති වීම.
පවත්නා වාතාවරණය හමුවේ වඩාත් අර්බුදයට පත්ව ඇත්තේ මෑන් පවර් ආයතන හරහා සේවයේ නියුතුව සිටි පිරිසය. මේ වන විට කිසිදු මෑන් පවර් සේවකයෙකුට ආයතන තුළ කටයුතු කිරීමේ ඉඩකඩ ලබා දී නැති අතර කිසිදු සේවායෝජකයෙකු ඔවුන්ගේ වගකීම දැරීමට ද සුදානම් නැත. එසේම කිසිදු ආයතනයක ස්ථිර සේවකයන් නොවීම නිසා සේවක අර්ථ සාධක, රක්ෂණ, වන්දි, දීමනා වැනි අමතර කිසිදු වරප‍්‍රදාසයක් හෝ ආයතනික හිමිකමක් ඔවුන්ට නැත. එනිසාම වෘත්තීය සමිති සාමාජිකත්වයක් දැරීමේ හැකියාව ඔවුනට අහිමිව ඇති අතර කිසිදු වෘත්තීය සමිතිකට ඔවුන් නියෝජනය කිරීමේ හැකියාව ද නැත. දෛනික වැටුපකින් ජීවත් වන නිසාම නවාතැන් සඳහා කුලිය ගෙවීමට නොහැකි වීමෙන් මෑන් පවර් සේවකයන්ට නවාතැන් පහසුකම් දීම ද මේ වන විට ප‍්‍රතික්ෂේප වෙමින් තිබේ. විශේෂයෙන්ම දෛනිකව ආයතනයෙන් ආයතනයට හුවමාරු වෙමින් කටයුතු කරන කණ්ඩායමක් වීමෙන් මොවුන් වඩාත් අනතුරාසන්නව සිටින අතරම රෝග වාහකයන් යැයි සමාජයේ අපවාදයට ලක්වීමේ ඉඩකඩක් තිබේ. මොවුන් මෙරට ශ්‍රම බලකායේ අත්‍යවශ්‍ය කොටසක් වශයෙන් කටයුතු කර තිබුනද උද්ගතව ඇති වාතාවරණය හමුවේ මෙම පිරිසගේ අයිතිවාසිකම් බරපතළ ලෙස උල්ලංඝනයට ලක්ව ඇත.

06.බලහත්කාරයෙන් වැඩ ගැනීම සහ නිවාඩු අහිමි කිරීම
පසුගිය දා මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයෙන් පළමුවරට හඳුනාගත් ආසාදිත වූ කාන්තාව ප්‍රකාශ කර ඇති පරිදි ආයතනයේ අසනීප තත්ත්වයන් පෙන්වූ සේවිකාවන් සිටියද නිවාඩු ලබා දීමක් හෝ රෝග පරීක්ෂාවක් හෝ සිදුව නැත. බ්‍රැන්ඩික්ස් ආයතනයේ ස්වසන රෝග තිබූ සේවක සේවිකාවන් සැප්තැම්බර් 20 වන දින සිට තමන්ට අසනීප තත්ත්වයන් ඇති නිසා සේවය කළ නොහැකි යැයි කියූ විට පැනඩොල් පෙති ලබා දී වැඩ කරන මෙන් කලමනාකරුවන් බලකර ඇති බවත් සහ හදිසි ඇනවුමක් ඇති නිසා නිවාඩු ලබා දිය නොහැකි යැයි පවසා ඇති බවත් සේවක සේවිකාවන් පවසති.
අදාළ ආයතනය මෙන්ම අනෙකුත් කර්මාන්ත ශාලා බොහෝමයක තත්ත්වය මෙය වන අතර සේවකයන්ට සේවයට වාර්තා කිරීම කුමන තත්ත්වයක් යටතේ පවා අනිවාර්ය වී තිබේ.

ලෝක කම්කරු සංවිධානය සිය මාර්ගෝපදේශවල දක්වා ඇත්තේ, සිය සෞඛ්‍යයට හෝ ජීවිතයට හදිසි තර්ජනයක් විය හැකි තත්ත්වයක් මතු වී තිබෙන්නේ යැයි විශ්වාස කරන අවස්ථාවක වැඩපොළෙන් ඉවත්ව යාමට සේවකයන්ට හිමිකමක් තිබෙන බව ලෝක කම්කරු සංවිධානය පෙන්වා දෙයි. සේවකයෙකු එසේ ඉවත්ව ගියහොත් ඒ හේතුව නිසා ඔහු/ඇය සේවයෙන් පහකිරීම හෝ සේවකයාට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීම වැනි තත්ත්වයකට මුහුණ නොදිය යුතු බව ද එම නිර්දේශවල දැක්වේ.

07. වසංගත කලමනාකරණයේදී භාෂාවන් පිළිබඳ සැලකිලිමත් වීම
නිදහස් වෙළෙඳ කලාපය තුළ කටයුතු කරන පිරිස රටේ විවිධ ප්‍රදේශවලින් සංක්‍රමණය වූවන් වන අතර දෙමළ භාෂාවෙන් පමණක් කතා කරන කම්කරුවන් දහස් ගණනක් කලාපයේ සිටින බව වෘත්තීය සමිති සංගම් පෙන්වා දී තිබේ. එම නිසා විශේෂයෙන්ම කලාපය තුළ නිවැරදි හා පැහැදිලිව තොරතුරු දැනගැනීමට, සෞඛ්‍ය අංශ ගෙනයන වසංගත මර්දන වැඩපිළිවෙළ හා මැනවින් සම්බන්ධ වීමට දෙමළ භාෂාවෙන්ද සේවාවන් ලබා ගැනීමේ පහසුකම් සහතික කළ යුතුව ඇත.

08. වෘත්තීය සමිති අයිතිය අහිමි වීම
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙහි තෙවන පරිච්ඡේදයේ 14.1 අනුව්‍යවස්ථාවට අනුව, මේ රටේ සියලු‍ පුරවැසියන්ට ඒකරාශිවීමෙත් සංවිධානයවීමේත් වෘත්තීය සමිතියක සාමාජිකත්වය ලබා ගැනීමේත් අයිතිය මූලික මානව හිමිකමකි. එහෙත් වෙළද කලාපයේ එම අයිතියට ඉඩක් නැත.

එම අයිතීන් සාමුහික කේවල් කිරීමේ අයිතියිද ඇතිව ශ්‍රී ලංකාණ්ඩුව ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ 87 හා 98 සම්මුතීන් අත්සන් කිරීමෙන් හා අපරමානුකරණය කිරීමෙන් තවදුරටත් සහතික කර ඇත.
මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කම්හලේ පිළිගත් නිල සේවක වෘත්තීය සමිතියක් තිබුණි නම්, රෝගී සේවක සේවිකාවන්ට පැනඩොල් දී වැඩ ගැනීමට ඉඩ නොලැබෙන බවද අප අවධාරණය කරමු

09. මිලිටරි මැදිහත්වීම
මෙහි දෙවැනි ඇමුණුමේහි දක්වා ඇති පරිදි වසංගත මර්දනය ක්‍රියාවලිය තුළ වන හමුදා ක්‍රියාකාරකම් හේතුවෙන් විශේෂයෙන්ම කලාපයේ කම්කරු ප්‍රජාව පීඩාවට පත්ව ඇත. වසංගත මර්දනය වූ කලී යුද්ධ කිරීමක් නොවන අතර හමුදා නිලධාරීන් මෙවැනි සිවිල් ක්‍රියාකාරකම් සඳහා යෙදවීමට පෙර කිසියම් පුහුණුවක් ලබා දිය යුතුව ඇති බව අප අවධාරණය කරන්නෙමු.

අමණුම 02: Annexure 02 Sinhala

 

 

Archive

Latest news

Related news