Wednesday, October 9, 2024

20වන සංසෝධනය: විජයදාස රාජපක්ෂ ජනාධිපති රාජපක්ෂට ලියූ සම්පුර්ණ ලිපිය

2020 ඔක්තෝබර් 12
අතිගරු ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා,
ශ්‍රී ලංකා ජනරජයේ ජනාධිපති,
ජනාධිපති ලේකම් කාර්යාලය,
කොළඹ 01.

අතිගරු ජනාධිපතිතුමනි,

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ යෝජිත 20 වන සංශෝධනය
මෙරට පැවති දේශපාලන ව්‍යාකූලතාවය, ජාතික ආරක්ෂාව අහිමි වීමේ අනතුර, විදේශ ආධිපත්‍යයේ ව්‍යාප්තිය සහ රාජ්‍ය අංශවල පැවති දූෂණය යනාදී කරුණු හේතුවෙන් මහත් ලෙස අසහනයට, පීඩාවට හා කම්පනයට පත් ශ්‍රී ලාංකික පුරවැසියන් අතරින් ලක්ෂ හැටනමයක් ජනාධිපතිවරණයේ දී ඔබතුමා වෙත සිය ඡන්දය ලබා දෙමින් ඔබතුමන් ජනාධිපති කරවන ලද්දේ සහ ලක්ෂ හැටඅටක් පුරවැසියන් ඔබතුමන් නියෝජනය කරනු ලබන දේශපාලන බල කඳවුරට පාර්ලිමේන්තු මැතිවරණයේ දී ඡන්දය ලබා දෙන ලද්දේ ඔබතුමන් ඉදිරිපත් කළ “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශනය අනුව වෛරක්කාරී දේශපාලනයෙන් මිදී සියලු ජනතාවට නිදහසේ ජීවත් විය හැකි සෞභාග්‍යමත් සුරක්ෂිත දේශයක් ගොඩනඟනු ඇතයි යන අසීමාන්තික බලාපොරොත්තු පෙරදැරි කරගෙන ය. අද වන විට රට දැරිය නොහැකි ණය බරකින් පීඩාවට පත් වී ඇති අතර බහුතරයක් ජනතාවගේ ආර්ථිකය මුළුමනින් ම බිඳ වැටී අන්ත අසරණ තත්ත්වයට පත්ව ඇත.

කොරෝනා වසංගතය ද ඊට බලපෑ නමුත් ඊටත් වඩා බලපා ඇත්තේ 2005 වසරේ සිට විධිමත් කළමනාකරණයකින් තොර ව අධික පොලී අනුපාත යටතේ ණය ලබා ගනිමින් රාජ්‍ය ණය ප්‍රමාණය මේ වන විට බිලියන 13,000 ඉක්මවා යාමට ඉඩ සලස්වා තිබීමයි. එම හේතුව නිසා ම අපේ රටේ වටිනා සම්පත් කොටස් වශයෙන් චීනය අත්පත් කරගෙන ඇති අතර රටේ වටිනා ම ආර්ථික හා ආරක්ෂක මර්මස්ථාන මේ වන විට අපට අහිමි වී ඇත. එහි ප්‍රතිඵලයක් ලෙස ඇමෙරිකාව ඇතුළු බටහිර ආධිපත්‍ය මෙරට ආරක්ෂක හා ආර්ථික මර්මස්ථාන ඩැහැ ගැනීමට කටයුතු කරමින් සිටින අතර එළිපිට නොපෙනුනත් චීනය හා ඇමෙරිකාව අනාගතයේ ඔවුන්ගේ යුධ පිටිය බවට ශ්‍රී ලංකාව පත්කර ගැනීමේ සටන ආරම්භ කර ඇති බව මටත් වඩා හොඳින් ඔබතුමා දන්නා කාරණයක් යැයි මම විශ්වාස කරමි.

2005 වසරේ අප රටේ ජනතාවගේ ඒක පුද්ගල ණය බර රු. 116,000 ක් පමණක් වුවත් මේ වන විට එය රු. 620,000/- දක්වා වැඩි වී ඇත. එහෙත් ඒ සා විශාල ණය කන්දරාවක් ලබාගත්තත් ඊට සාපේක්ෂ ව රට තුළ සංවර්ධනයක් සිදු වී නොමැත.

මෙවන් වූ මොහොතක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අර්බුද නිර්මාණය කරගනිමින් දේශපාලනික ව කුලල් කා ගැනීම ඉතාමත් ම අමනෝඥ ක්‍රියාවක් වන අතර එමගින් රටේ ජාතික ආරක්ෂාව සහ ආර්ථිකය යන දෙක ම විනාශ වීම අපට වළක්වාගත නොහැක. අනෙක් අතට විසිවන සංශෝධනයෙන් ඉදිරිපත් කර ඇති බොහෝමයක් කරුණු වලට මහජන විරෝධය උත්සන්න වෙමින් පවතින බවත්, ඔබතුමා සහ මෙම ආණ්ඩුව පත් කිරීමට ඡන්දය දුන් ජනතාවට මෙන් ම පොදුවේ රටේ ජනතාව ද අපේක්ෂා භංගත්වයට පත්වී ඇති බවත් සඳහන් කළ යුතු ව ඇත.

මෙම තත්ත්වය පිළිබඳ ව සාකච්ඡා කිරීම පිණිස ආණ්ඩු පක්ෂයේ ඇමතිවරු සහ මන්ත්‍රීවරු සියලු දෙනා ඔක්තෝබර් මස 09 වන දින අරලියගහ මන්දිරය වෙත කැඳවුවත් ඒ පිළිබඳ සාකච්ඡා කිරීමේ අවශ්‍යතාවක් නොමැති බවත්, එය අනිවාර්ය ලෙස සම්මත කළ යුතු බවත් ප්‍රකාශ කරමින් කිසිවකුටත් අදහස් ප්‍රකාශ කිරීමේ අවස්ථාවක් ඔබතුමා ලබා නොදුන් නිසා මෙලෙසින් ලිඛිත ව කරුණු ඉදිරිපත් කිරීමට සිදු වූ බව ද සැලකර සිටිමි.

එම රැස්වීම ආරම්භයේ මහාචාර්ය ජී.ඇල්. පීරිස් මහතා ඉදිරිපත් කළ පහත සඳහන් කරුණු දෙක ම නිවැරදි නොවන ව්‍යාජ කරුණු බව දන්වා සිටිමි. ඒවා නම්;

1. දහනවවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හේතුවෙන් පොලිස්පතිවරයා ඉවත් කිරීමට ජනාධිපතිවරයාට බලයක් නොතිබීම යන කාරණය.
⋆පොලිස්පතිවරයා සහ නීතිපතිවරයා ඉවත් කිරීමේ ක්‍රමවේදය 2002 අංක 05 දරන පනතින් පාලනය වන්නක් මිස එය 19 වන සංශෝධනයට කිසිසේත් සම්බන්ධයක් නොමැත.

2. කැබිනට් මණ්ඩලය තුළ ආර්ථික කටයුතු පිළිබඳ අනු කමිටුවක් ඇතිකොට එවකට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එහි සභාපතීත්වය දැරීම යන කාරණය.
⋆එය ද දහනවවන සංශෝධනයට කිසිදු සම්බන්ධයෙක් නොමැත. සෑම අමාත්‍ය මණ්ඩලක් තුළ ම කැබිනට් අනුකාරක සභා පැවතීම සාමාන්‍ය දෙයකි.
⋆දැනට ඉදිරිපත්කර ඇති විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ අනර්ථකාරී අංශයන් කිහිපයක් සැකෙවින් පහත සඳහන් පරිදි දක්වා සිටිමි.

1. ජනාධිපතිවරයා වෙත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් පැවරී ඇති පහත සඳහන් වගකීම් සහ යුතුකම් ඉටුකිරීම් වලින් ඉවත් වීම.
අ) ජනාධිපතිවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුගමනය කර ආරක්ෂා කරන බවට වගබලාගත යුතු ය.
ආ) ජාතික ඒකාබද්ධතාවය ප්‍රවර්ධනය කළ යුතු ය.
ඇ) නිදහස් මැතිවරණ පැවැත්වීමට අවශ්‍ය සහාය ලබා දිය යුතු ය.
ඈ) ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට වගකිව යුතු ය.
ඉ) මූලික අයිතිවාසිකම් නඩුවකින් ජනාධිපතිවරයාගේ ක්‍රියාවක් හෝ නොකර හැරීමක් අභියෝගයට ලක් කිරීමට පුරවැසියන්ට ඇති අයිතිය තහවුරු කළ යුතු ය.

මහජන ඡන්දයෙන් තේරීපත්වනු ලබන ජනාධිපතිවරයාට පැවරී ඇති මෙම වගකීම් වලින් ඔහු ව මුදා හැරීමට නීති සැකසීමේ අවශ්‍යතාව කුමක් ද යන්න පැහැදිලි කළ යුතු ව ඇත. එම වගකීම් ඉටුකිරීම ප්‍රතික්ෂේප කිරීම සමාජය තුල ඔබ ගොඩනගා ඇති ප්‍රතිරෑපය හානි කරන්නකි.

වසර 29 ක් සිරගත ව සිට සිය රටට සහ ජාතියට නිදහස දිනා දුන් ලොව පහළ වූ අග්‍රගණ්‍ය රාජ්‍ය නායකයකු වූ දකුණු අප්‍රිකාවේ ජනාධිපති නෙල්සන් මැන්ඩෙලා මැතිඳුන් විසින් මැතිවරණ කොට්ඨාස නිර්ණය සම්බන්ධයෙන් කරන ලද නියෝගයක් එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණය විසින් අවලංගු කරමින් නියෝගයක් කරන ලද්දේ එවැනි බලයක් ජනාධිපතිට නොමැති බව තීන්දු කරමිනි. එදින ම රාත්‍රී ජනතාව අමතමින් එතුමා ප්‍රකාශ කළේ එතුමා අධිකරණ තීන්දුවට ගරු කරන බවත්, එතුමාගේ රටේ ජනාධිපති ද නීතියේ ආධිපත්‍යයට යටත් වන බව එම නඩු තීන්දුවෙන් සනාථ වන බවත් ප්‍රකාශ කරමිනි. රාජ්‍ය නායකයකු ශ්‍රේෂ්ඨත්වයට පත් වන්නේ හිතුවක්කාර තීරණ ගැනීම තුළින් නොව පාලිතයා මෙන් ම පාලකයා ද නීතියේ ආධිපත්‍යයට යටත් ය යන ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික හරය පිළිගෙන කටයුතු කිරීමට තරම් නිහතමානී, නිරහංකාරත්වයට පත්වන තරමට ය.

පාස්කු ඉරිදා සිදු වූ මහා ජන සංහාරයේ මහමොළකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමක් පවා සිදු නොකරමින් පොලිසිය විසින් ම ඔවුන් මුදා හැර ඇති හෙයින් මෙරට නීතියේ ආධිපත්‍යය ගිලිහී ඇති බව මහජනයා තේරුම්ගෙන ඇත.

2. රටකට අත්‍යවශ්‍ය පහත සඳහන් කොමිෂන් සභා අහෝසි කිරීම.
අ) විගණන සේවා කොමිෂන් සභාව
ආ) ජාතික ප්‍රසම්පාදන කොමිෂන් සභාව

මෙය රටේ ජාතික ආර්ථිකයට ඉතාමත් ව්‍යසනකාරී ලෙස බලපාන කරුණකි. 2007 වසරේ මා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ, එමෙන් ම මුළු පාර්ලිමේන්තුව ම අනුමත කළ කෝප් වාර්තාවේ සඳහන් කරුණු අනුව රජයට කෝටි තිස්දහසකට වඩා වැඩි වංචා දූෂණ සිදුකළ තැනැත්තකු ඔබ මේ වනවිටත් ඉන්දීය මහ කොමසාරිස්වරයා ලෙස පත්කොට යවා ඇත. එම කෝප් වාර්තාවේ සඳහන් ඔහුගේ වංචා හා දූෂණ චෝදනා වල සත්‍යතාව ශ්‍රේෂ්ඨාධිකරණය ද පිළිගනිමින් එවකට අමාත්‍යවරයකු වූ මිලින්ද මොරගොඩ සිදු කළ එම වංචනික ක්‍රියාකලාපය හේතුවෙන් රජයට අහිමි වී තිබූ ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවත්, ඇපලෝ රෝහලත්, ශ්‍රී ලංකා වරාය අධිකාරිය සතු අක්කර 8 ½ කුත්, සියලු පුද්ගලික බැංකු වල තිබූ 5% ක කොටස් ප්‍රමාණයත් නැවත රජයට ලබා ගැනීමට නියෝග කෙරුණි. එවකට ඔහුගේ අමාත්‍යංශ ලේකම්වරයා ලෙස සිටි පී.බී. ජයසුන්දර මහතාට ජනතාවට ද්‍රෝහි වීමේ චෝදනාව මත රුපියල් ලක්ෂ 05 ක වන්දි මුදලක් භාණ්ඩාගාරයට ගෙවන ලෙසට නියෝග කොට ඔහු ව මුදල් අමාත්‍යංශයේ ලේකම් තනතුරින් නෙරපා හරින ලද බව ඔබතුමාට අමතක වී ඇත්දැයි යන්න ප්‍රශ්න කිරීමට ජනතාවට සිදු වී ඇත.

3. කැබිනට් අමාත්‍යවරුන් සංඛ්‍යාව 30 නොඉක්මවිය යුතු බව සහ රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍යවරු සංඛ්‍යාව 40 නොඉක්මවිය යුතු ය යන සීමාවන් ඉවත් කිරීම.

මෙය මෙරට ජනතාව දශක ගණනාවක් තිස්සේ සටන් කොට ලබාගත් අයිතියක් බව අමතක නොකළ යුතු අතර මෙම සීමා ඉවත් කිරීමට ඔබතුමාගේ රජයට ඇති අවශ්‍යතාව කුමක් ද යන්න ජනතාවට කිසිසේත් අවබෝධ කරගත නොහැකි කරුණකි.

4. පාර්ලිමේන්තුව රැස් වූ දින සිට වසරක් ඇතුළත විසුරුවා හැරීමට ජනාධිපතිවරයාට බලය පැවරීම.

විධායකය සම්බන්ධ ව ජනතා පරමාධිපත්‍ය ජනාධිපති වෙත පවරා දී ඇත්තේ වුව ද ව්‍යවස්ථාදායකය පිළිබඳ ජනතා පරමාධිපත්‍ය සතු වන්නේ උත්තරීතර පාර්ලිමේන්තුවට බවත්, ව්‍යවස්ථාදායක ක්‍රියාවලිය සහ මූල්‍ය පාලන බලය සම්බන්ධ තනි හා අනන්‍ය ආධිපත්‍ය හිමි වන්නේ පාර්ලිමේන්තුවට පමණක් බව සිහිපත් කර දෙමි. වසර 05 ක් සඳහා ජනතාව පත්කරගනු ලබන මහජන නියෝජිතයින්ගෙන් සමන්විත පාර්ලිමේන්තුව වසරක් ගතවන තැන විසුරුවීමට ජනාධිපතිට බලය ලැබෙන්නේ නම් එය තුලනය සහ සංවරණය අතර ඇති බලවත් පරස්පරතාවයකි. ජනාධිපතිවරයා ව්‍යවස්ථාව උල්ලංඝනය කළහොත් ඔහුට එරෙහි ව දෝෂාභියෝගයක් ගෙනෙමින් එය ඔප්පු කර 2/3 බලයකින් සම්මත කිරීම දීර්ඝ ක්‍රියාවලියක් වන නමුත් කිසිදු හේතුවක් නොදක්වා හා ක්‍රමවේදයක් අනුගමනය නොකොට පාර්ලිමේන්තුව විසුරුවා හරින්නේ නම් එය ඒකාධිපති බලයකි.

මීට පෙර 2004 පෙබරවාරි මස 07 වන දින චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනිය අවුරුදු 2 කට පසු පාර්ලිමේන්තුව විසුරුවා හැර එක්සත් ජනතා සන්ධානය නිර්මාණය කර 2004 අප්‍රේල් 02 වන දින මහ මැතිවරණයක් පවත්වන්නට යෙදුනේ රනිල්-ප්‍රභාකරන්ගේ සාම ගිවිසුම නිසා මේ රට දෙකඩ වීමේ අවදානමෙන් බේරා ගැනීමට ය. එහෙත් ශ්‍රී.ල.නි.ප./ජ.වි.පෙ. එකතුව එ.ජ.නි. සංධානයට ලබා ගැනීමට හැකි වූයේ මන්ත්‍රීධුර 105 ක් පමණි. එවකට පැවති යුද සමයේ හදිසි නීතියවත් සම්මත කර ගැනීමට අවශ්‍ය සාමාන්‍ය බහුතරය අපහට නොතිබූ අතර වෙනත් පක්ෂ වලින් මන්ත්‍රීවරු එකතු කරගෙන මා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු 11 කට සාර්ථක ව පෙනී සිට ආණ්ඩුවේ මන්ත්‍රීන් සංඛ්‍යාව 105 සිට 123 දක්වා වැඩිකර දුන් නිසා මහින්ද රාජපක්ෂ මැතිතුමා ජනාධිපතිවරයා වන විට ඔහුට යුද්ධය මෙහෙයවීමට අවශ්‍ය බහුතරය මා විසින් නිර්මාණය කර දුන් බව ඔබතුමා විසින් නොදන්නා කරුණක් යැයි මම සිතමි. එම ගැටලුකාරී තත්ත්වයන් අනාගතයේ ඇතිවීම වළක්වා ගැනීමට නම් සිදු කළ යුත්තේ ස්ථාවර ආණ්ඩු නිර්මාණය කළ හැකි ලෙස පවතින මැතිවරණ ක්‍රමයේ ප්‍රශස්ත වෙනසක් සිදු කිරීමයි.

5. හදිසි අවස්ථා පනත් ඉදිරිපත් කිරීම පිණිස නැවත ප්‍රතිපාදන හඳුන්වා දීම.

රටක නීතියක් පැනවීමේ දී වගවිභාගයකින් තොර ව හදිසියේ සිදු කිරීම ඉතා අනර්ථකාරී ක්‍රියාවකි. රටක පැනනඟින හදිසි තත්ත්වයන් පාලනය කිරීමට මහජන ආරක්ෂක පනත මගින් රෙගුලාසි සෑදීමේ ප්‍රමාණවත් බලයක් ජනාධිපතිවරයා සතු වේ. අනෙක් අතට හදිසි පනත් පැනවීමේ ක්‍රමවේදය අනුගමනය කරමින් අප පාර්ලිමේන්තුව නීති පැනවූ අවස්ථා දෙකකි.
අ) 1987 පළාත් සභා ඇතිකරමින් පනවන ලද 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය. එය මෙරට ජනතාවගේ අවශ්‍යතාවක් නොවූ අතර විදේශීය බලපෑම් මත සිදුකරන ලද්දකි.
ආ) 1988 දෙසැම්බර් මස 17 වන දින සම්මත කරන්නට යෙදුනු 15 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය.

ආර්. ප්‍රේමදාස අග්‍රාමාත්‍යතුමා ඉදිරිපත් වූ ජනාධිපතිවරණයට දින දෙකකට පෙර එම සංශෝධන සිදු කරන ලද්දේ මුස්ලිම් ජනතාවගේ ඡන්දය ලබා ගැනීම සඳහා අෂ්රොෆ් මැතිතුමාට දෙන ලද දේශපාලන කප්පමක් වශයෙනි. මැතිවරණ දිස්ත්‍රික්කයකින් ලබාගත යුතු 12.5% ක අවම ඡන්ද ප්‍රතිශතය 5% කට අඩු කළ අතර එතැන් පටන් මෙරට බිහි වූ සුළු පක්ෂ මෙරට පැවති ප්‍රධාන පක්ෂ මෙහෙයවන දුරස්ථ පාලකය බවට පත් විය.

උදා : 1994 වසරේ චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනිය ජනාධිපතිවරණයේ දී 62% ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගත්ත ද එතුමියට පාර්ලිමේන්තුවේ ආසන 113 ක් ලබාගත නොහැකි විය.

ඉහත කී හදිසි පනත් දෙක මේ රට විනාශ මුඛයට ඇද දැමූ අනර්ථකාරී පනත් දෙකක් වන අතර එවකට සිටි ජනාධිපතිවරුන් ඒකාධිපතියන් ලෙස කටයුතු කිරීම නිසා මෙම ඛේදජනක ඉරණමට රට මුහුණ දී ඇත.

6. ද්විත්ව පුරවැසියකුට මන්ත්‍රීවරයකු සහ ජනාධිපතිවරයකු වීමට සුදුසුකම් ඇති බවට නීතිය වෙනස් කිරීම.

ද්විත්ව පුරවැසියන්ට කිසිදු රටක රාජ්‍ය තන්ත්‍රයේ ඉහළ තනතුරු වලට පත් වීමට සහ රාජ්‍ය තන්ත්‍රයට සහභාගී වීමට අයිතිය ලබා නොදේ. ද්විත්ව පුරවැසිභාවය දරන තැනැත්තා රටවල් දෙකක නීති මගින් බැඳී සිටින නිසා ඔහුට ස්වාධීන ව කටයුතු කළ නොහැකි අතර එම රටවල් දෙක අතර ප්‍රතිවිරුද්ධ අයිතිවාසිකම් (conflict of interest) ඇති වූ අවස්ථාවක දී එම තැනැත්තා පුරවැසිභාවය දරමින් සිටින අනෙක් රටට ඔහුට පක්ෂපාතී වීමට සිදු වුවහොත් ඔහු ශ්‍රී ලංකාවට එරෙහි ව ද්‍රෝහියකු ලෙස කටයුතු කිරීමෙන් වැළකී සිටිය නොහැක. ⋆ඔස්ට්‍රේලියාවේ උප අගමැති බර්නාබි ජොයිස් (Barnaby Joyce) නවසීලන්තයේ ද ද්විත්ව පුරවැසිභාවය ලබාගෙන ඇති බව 2017 අගෝස්තු මස හෙළිදරව් වු වහා ම ඔහු උප අගමැති ධුරයෙන් හා මන්ත්‍රී ධුරයෙන් නෙරපා දමන ලදී. ශ්‍රී ලංකාවේ ද කිසිවකුත් එවැනි ද්විත්ව පුරවැසියකුගේ අවශ්‍යතාව ඉල්ලා නොමැති අතර ශ්‍රී ලංකා මහ බැංකුව මංකොල්ල කෑ අර්ජුන් මහේන්ද්‍රන් වැන්නන් තවදුරටත් රටට අවශ්‍ය නොවන බව ද දන්වා සිටිමි.

7. ජනාධිපති ලේකම් කාර්යාලය, අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලය විගණකාධිපතිවරයාගේ අධීක්ෂණයෙන් ඉවත් කිරීම.

පත්වන ජනාධිපතිවරයකු හෝ අග්‍රාමාත්‍යවරයකු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුගමනය කර ආරක්ෂා කරන බවට දිවුරුම් දීම සිදු කළ යුතු අතර එවැන්නෙකුට මහජන මුදල් වංචා කිරීමට ද අයිතියක් නැත. ඔවුන් මහජන මුදල් වංචා නොකරන බවට විශ්වාසයක් ඇත්නම් මෙවැනි මුක්තියක් ලබා දීමේ අරමුණ කුමක් ද?

ජනාධිපති අරමුදල ද ජනාධිපති කාර්යාලය යටතේ පවතින අතර රජයේ මුදල් වලින් ඉතා විශාල මුදල් ප්‍රමාණයක් එම ගිණුම මතින් ගනුදෙනු කරන බව ද අමතක නොකළ යුතු ය.

8. සමාගමක ප්‍රාග්ධනයෙන් 50% කට වඩා වැඩි මුදලක් රජය හෝ රාජ්‍ය ආයතනයක් මගින් ආයෝජනය කර ඇත්නම් එය විගණකාධිපතිගේ අධීක්ෂණයට ලක් විය යුතු බවට ඇති ව්‍යවස්ථා ප්‍රතිපාදනය අහෝසි කිරීම.

මෙවැනි ආයතන 120 ක ලැයිස්තුවක් මේ වන විට හෙළිදරව් වී ඇති අතර විශාල වශයෙන් මහජන මුදල් යොදවා ඇති ශ්‍රී ලංකන් ගුවන් සමාගම, ශ්‍රී ලංකා ටෙලිකොම් ඇතුළු විශාල ආයෝජනයන් ඇති ආයතන මීට ඇතුළත් ය. එම ආයතන වල පාලකයන් ලෙස පත් කරනු ලබන තැනැත්තන්ට සොරකම් කිරීමේ චේතනාවක් නැත්නම් හෝ සොරකම් නොකරයි නම් විගණනයෙන් ඉවත් කිරීමේ හේතුව කුමක් ද?

ඕනෑ ම අමාත්‍යංශයක් යටතේ ඇති ආයතන වල මූල්‍ය පාලනය සම්බන්ධයෙන් අවසාන වගකිව යුතු නිලධාරියා වන්නේ එම අමාත්‍යංශයේ ලේකම්වරයා වන අතර එම අමාත්‍යංශය යටතේ පවතින ආයතන වල විගණනයක් නොවන්නේ නම් ලේකම්වරයා එම ආයතන සම්බන්ධ වගකීම භාරගන්නේ කෙසේද?

9. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ XIX (අ) පරිච්ඡේදය අවලංගු කිරීම මගින් දූෂණයට එරෙහි එක්සත් ජාතීන්ගේ සම්මුති සහ දූෂණ වැළැක්වීමට වෙනත් යම් ජාත්‍යන්තර සම්මුති ක්‍රියාත්මක කිරීම පිණිස අල්ලස් හෝ දූෂණ විමර්ශනය කිරීමේ කොමිෂන් සභාවට පැවරී ඇති බලතල අහෝසි කිරීම.

ජාත්‍යන්තර වශයෙන් ශ්‍රී ලංකාව දූෂණ පවතින රටක් බවට පිළිගැනීමට ලක්වීමට මෙය හේතු කාරණා වන බව නිසැක ය. එමෙන් ම අල්ලස් හෝ දූෂණ වැඩි කිරීම සඳහා මිස අඩු කිරීම පිණිස මෙවැනි ප්‍රතිපාදන ඉවහල් නොවනු ඇත.

10. ශ්‍රී ලංකාව දෙකඩ නොකරන බවට දක්වන උපලේඛනයේ ඇති දිවුරුම ඉවත් කිරීම.

මෙය අත්වැරදීමකින් සිදු වී ඇති බව මේ වන විට අධිකරණ අමාත්‍යවරයා පිළිගෙන ඇත.

ඉහත කරුණු අනුව මෙරට ඉතා අසීරු තත්ත්වයකට මුහුණ දී ඇති මෙම වකවානුවේ දේශපාලන විරසකභාවයන් වර්ධනය කරමින් මේ රට අරාජික දේශයක් බවට පත් නොකොට සියලු පක්ෂ වල සහයෝගය ලබා ගනිමින් මෙරට විදේශ රටවල විවිධ වූ ආක්‍රමණයන්ගෙන් බේරා ගනිමින් මෙරට ආර්ථිකය ගොඩනැගීමට පියවර ගන්නා මෙන් ඉතාමත් සද්භාවයෙන් ඔබතුමාගෙන් ඉල්ලා සිටිමි.

මේ වන විට නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම සඳහා විශේෂඥ කමිටුවක් පත්කර ඇතත් එය කිසිසේත් ම ඔබතුමාත් සහ රටේ ජනතාවත් අපේක්ෂා කරනු ලබන පරමාර්ථ ඉටුකරගත හැකි එකක් නොවන බව සඳහන් කර සිටින අතර මෙරට ජනතාව 225 දෙනෙකු සිය නියෝජිතයන් ලෙස තෝරාපත්කර ගනු ලබන්නේ පාර්ලිමේන්තුවේ නීති සම්පාදනය සහ මූල්‍ය පාලනයට මිස අන් කිසිවක් සඳහා නොවන බව තේරුම්ගත යුතු ව ඇත. නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සැකසීම සඳහා අධිකරණ අමාත්‍යවරයාට නොහැකියාවක් ඇත්තේ නම් එය සිදුකළ යුත්තේ පාර්ලිමේන්තුවේ තේරීම්කාරක සභාවක් මගින් වන අතර ඒ සඳහා විශේෂඥයින්ගේ උපදෙස් ලබා ගැනීමට කිසිදු බාධාවක් නොමැත.

‘දහනවවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය නිසා රටේ ආරක්ෂාව පිරිහුනේය’ යන්නට වඩා එවකට බලයේ සිටි නායකයින්ගේ නොහැකියාව, අපරිනතභාවය සහ අවස්ථාවාදී කුහක පිළිවෙත ඊට බලපෑ බව අප තේරුම්ගත යුතු ය. ජනාධිපති හා අගමැති අතර විරසකයට බලපෑ ප්‍රධාන හේතුව වූයේ ඇමතිවරු පත් කිරීමේ බලය අගමැති සතු වීමත් සහ විෂයයන් තීරණය කිරීමේ බලය ජනාධිපතිවරයා සතු වීමත් නිසා ය. වෛරක්කාර දේශපාලන පක්ෂ දෙකක නායකයින් අතර එය එසේ වුවත් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ඉතා ඉක්මනට සම්මත කරනු ලබන බවට ප්‍රතිඥා දෙන ඔබතුමා සහ ඔබතුමාගේ වැඩිමහල් සොයුරු අග්‍රාමාත්‍යතුමා සමඟ එවැනි ගැටුමක් ඇතිවන බව ඔබතුමා පවසන්නේ නම් ඔබතුමා රටට දෙන පණිවිඩය ඔබතුමන්ට සහ රජයට කොතරම් හානිකර ද යන්න ඔබතුමන් විසින් ම අවබෝධ කරගත යුතු කරුණක් ලෙස සලකමි.

එකී කරුණු අනුව නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක අවශ්‍යතාවය බහුතර ජනතාවගේ මතය වන අතර එහි දී ප්‍රමුඛත්වය ලබා දිය යුතු කරුණු කිහිපයක් කෙරෙහි ඔබතුමාගේ අවධානය මෙමගින් යොමු කරමි. (සලකා බැලීම සඳහා)

1. මැතිවරණ පැවැත්වීම සම්බන්ධයෙන් වර්තමානයේ පවතින බරපතළ විකෘතිය නිවැරදි කර ගැනීම. පාර්ලිමේන්තු මැතිවරණ, පළාත් සභා මැතිවරණ සහ පළාත් පාලන මැතිවරණ පවත්වන්නේ ක්‍රමවේද තුනකට ය. ජනතාවට වගකියන මන්ත්‍රීවරයකු පත්කර ගැනීමේ හැකියාව ඇති එක් ප්‍රමිතයක් යටතේ මැතිවරණ පැවැත්වීම සඳහා සහ ස්ථාවර ආණ්ඩු පිහිටුවා ගැනීමට හැකිවන පරිදි නීති සංශෝධනය වීම අත්‍යවශ්‍ය කාරණයකි.

2. මෙරට පිහිටුවන ලද පළාත් සභා ඉතාමත් අකාර්යක්ෂම සහ අසාර්ථක ක්‍රියාවලියක් බවත්, එමගින් රටට කිසිදු ප්‍රතිලාභයක් අත්නොවන බවත්, එය විශාල වශයෙන් මහජන මුදල් නාස්ති කරන ක්‍රියාවලියක් බවත් මෙරට අතිබහුතරයකගේ මතය බව සනාථ වී ඇත. එක ම විෂය මධ්‍යම ආණ්ඩුවට සහ පළාත් සභා වලට ලබා දීම මගින් අධ්‍යාපන, සෞඛ්‍ය, මහාමාර්ග, වාරිමාර්ග හා පරිසරය යනාදී කරුණු සම්බන්ධ බරපතළ පිරිහීමක් සහ කඩාවැටීමක් සිදු වී ඇත. ඒ සඳහා ආදේශ කරගත හැකි විකල්ප යෝජනා සැලකිල්ලට භාජනය කිරීම සුදුසු යැයි යෝජනා කරමි. ඒවා නම්;

අ) පළාත් පාලන ආයතන වල බලතල වැඩිකොට තරුණ සහ කාන්තා නියෝජනය වැඩිකර එම ආයතන ශක්තිමත් කරලීමේ ක්‍රියාවලිය තුළින් වේගවත් සංවර්ධනයක් ඇතිකරලීම. උදාහරණ ලෙස ජපාන රාජ්‍ය පාලන ක්‍රමය පෙන්වා දිය හැක.

ආ) පළාත් සභා ක්‍රමය ජනවාර්ගික ගැටළුවක් හේතුවෙන් ඇති කරන ලද්දක් නිසාවෙන් ඊට විකල්ප ලෙස සෙනට් මණ්ඩලයක් ඇති කිරීම වඩාත් උචිත බව පැවසිය හැක.
පාර්ලිමේන්තුවට මන්ත්‍රීවරුන් තෝරා ගැනීමට බලපාන ප්‍රධාන කාරණය ජනප්‍රියභාවයයි. අපේක්ෂකයන්ගේ උගත්කම, පරිනතභාවය, විෂය ක්ෂේත්‍රයන්හි විශිෂ්ටත්වයට පත්ව සිටීම යන කරුණු වලට එතරම් වැදගත්කමක් දෙන බවක් පෙනෙන්නට නැත. පාර්ලිමේන්තුව විසින් සකසනු ලබන නීති වඩාත් නිවැරදිදැයි සාකච්ඡා කර අවශ්‍ය වෙනස්කම් සිදු කිරීමට උගතුන් සහ වියතුන්ගෙන් සමන්විත සෙනෙට් මණ්ඩලයක් පවත්වා ගෙන යාම මහා බ්‍රිතාන්‍යය, ඇමෙරිකා එක්සත් ජනපදය, ඉන්දියාව ආදී ප්‍රබල රාජ්‍යයන් සිදුකරමින් පවතී. පළාත් 9 නියෝජනය වන පරිදි උගතුන් හා බුද්ධිමතුන් සෙනෙට් මණ්ඩල සාමාජිකයන් වීම තුළින් ජනප්‍රිය දේශපාලන සංස්කෘතිය වෙනුවට උගතුන් සහ වියතුන් සහභාගී කරගන්නා වූ ප්‍රශස්ත දේශපාලන සංස්කෘතියක් නිර්මාණය කරගත හැකි වනු ඇත.

මේ අතරින් වඩාත් සුදුසු කුමක් ද යන්න පිළිබඳ පක්ෂ අතර සහ මහජනයා අතර සංවාදයක් ඇතිකර නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදනය කිරීමේ අවශ්‍යතාව ජාතික අවශ්‍යතාවක් බව මහජන නියෝජිතයින් ලෙස අප තේරුම්ගෙන සිටී.

රාජ්‍ය නායකයින්ට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් ආරක්ෂාව තහවුරු කරගත හැකි යැයි යන මිත්‍යාවෙන් අප මිදිය යුතු ය. 1978 ජේ.ආර්. ජයවර්ධන මහතා විධායක ජනාධිපතිකම සහ මැතිවරණ ක්‍රමය හඳුන්වා දුන්නේ එක්සත් ජාතික පක්ෂයෙන් පිට ජනාධීපතිවරයකු සහ ආණ්ඩුවක් අනාගතයේ කෙදිනක හෝ බිහි නොවන බවට සහතිකයක් ලබා දෙමිනි. නමුත් මේ වන විට අවුරුදු 26 ක කාලයක් තුළ එක්සත් ජාතික පක්ෂ ජනාධිපතිවරයකු හෝ තනි ආණ්ඩුවක් පත්කර ගැනීමට නොහැකි වී ඇත. එම පක්ෂය මහපොළොවෙන් ද අන්තර්ධාන වී ඇත. ගරු මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා 18 වන සංශෝධනය සම්මත කරගනු ලැබුවේ ද වඩාත් බලගතු පාලකයකු ලෙස දීර්ඝ කාලයක් බලය දරා සිටීමට ය. අවසානයේ සිදු වූයේ ජනතාව ලබා දුන් හය වසරක බලය සිව් වසරකින් අවසන් කර ගැනීමට ය.

ජනාධිපතිතුමාගේ සිට ප්‍රාදේශීය සභා මන්ත්‍රීන් දක්වා සියලු මහජන නියෝජිතයින් මේ රටේ අයිතිකරුවන් නොව රටේ භාරකරුවන් පමණි. අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ විසින් දේශනා කරන ලද එම ප්‍රකාශය මහින්ද චින්තන ප්‍රතිපත්ති ප්‍රකාශයට ඇතුළත් කිරීමට කටයුතු කරන ලද්දේ ද මා විසිනි. එම නිසා මහජනයා සහ දේශපාලකයා අතර බැඳීම හෝ විරසක වීම තීරණය වන්නේ පාලකයින්ගේ තිබෙන අවංකභාවය සහ විශ්වසනීයභාවය පදනම් කරගෙන මිස ව්‍යවස්ථා බලය තුළින් ඒකාධිපතියන් බවට පත්වීම මගින් නොවේ.

සහශ්‍ර දෙකකට වැඩි කාලයක් මේ රටේ මුරදේවතාවුන් බවට පත්ව සිටින අතිගෞරවනීය මහානායක හිමිපාණන් වහන්සේලා ප්‍රමුඛ මහා සංඝරත්නයේ ද, අති උතුම් කාදිනල් හිමිපාණන් වහන්සේ ඇතුළු සියලු ආගමික නායකයින්ගේ ද අවවාද සහ අනුශාසනා ලබා ගනිමින් රටට ගැලපෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම සඳහා නොපමාව කටයුතු කරන ලෙස දේශහිතෛශී මහජන නියෝජිතයකු ලෙස මම ඔබතුමාගෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමි.

ස්තුතියි,

මෙයට

ආචාර්ය විජයදාස රාජපක්ෂ
ජනාධිපති නීතිඥ

පිටපත් :
1. සියලුම අතිගෞරවණීය මහානායක හිමිපාණන් වහන්සේලා ඇතුළු නායක හිමිපාණන් වහන්සේලා
2. අති උතුම් කාදිනල් හිමිපාණන් වහන්සේ
3. හින්දු හා මුස්ලිම් ආගමික නායකතුමන්ලා
4. ගරු අග්‍රාමාත්‍යතුමා
5. ගරු සභානායකතුමා
6. ගරු විපක්ෂනායකතුමා
7. සියලු දේශපාලන පක්ෂ නායකයින්

Archive

Latest news

Related news