ජායාරූපය: හමුදාපති කොවිඩ් ගැන කතා කරයි.සෞඛ්‍ය ඇමැතිනිය පසෙක සිටී.
“මේ අවුරුද්දේ මුල පළවෙනි ලෝක් ඩවුන් එක කරපු වෙලාවේ, කට්ට අව්වේ හමුදාවේ අය බංකර් ළඟ හිටගෙන ඉද්දි අපේ සල්ලි වලින් වතුර බෝතල් අරන් ගිහින් අපි එයාලට දුන්නේ. දැන් තමයි අපිට තේරෙන්නේ හමුදාව කියන්නේ කවුද කියලා, දැන් අපි තමයි විදවන්නේ, අපි ගාමන්ට් වල වැඩ කරනවා කියලා අපි මෝඩයෝ නෙවෙයි, අපිටත් අයිතිවාසිකම් තියෙනවා. අපි නිසා තමයි එයාලා ( ආණ්ඩුව සහ හමුදාව) හොඳට ඉන්නේ , ඒත් එයාලා හරියට අපිට සලකන්නේ අපි එයාලගෙන් ජිවත් වෙනවා වගේ, එයාල තමයි අපිට කරදරයක් වෙලා ඉන්නේ. අපිට මෙහෙම සලකන්නේ අපි වැදගත් සල්ලිකාර මිනිස්සු විදියට එයාලා ගණන් ගන්නේ නැති නිසානේ, සේවකයින්ට කොරෝනා හැදුන එක අපේ වරදක් නෙවෙයිනේ, එයාල අපෙන් පලි ගන්න වගේ අපිට සලකන එක නවත්තන්න ඕනි. අපේ ආණ්ඩුවෙන් අපිට මේවද බලාපොරොත්තු වෙන්න වෙන්නේ?”
– කළුතර නිරෝධායනය සදහා රැගෙන විත් ඇති ඇඟලුම් සේවිකාවක් –
2020 ඔක්තෝම්බර් 5 වන දින, මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ඇඟලුම් කාර්මාන්ත ශාලාවේ සේවකයින් 1,394 ක් COVID-19 පරීක්ෂාවට ලක් කළ අතර, එහි වාර්තාව මත සේවකයින් 567 දෙනෙකුගෙන් යුත් පොකුරකට ඔක්තෝබර් 6 වන විට COVID-19 වෛරසය ආසාධනය වී ඇති බව (පොසිටිව්) බව පළමු වරට තහවුරු විය. කෙසේ වෙතත්, අද වන විට එම පොකුර 1500+ පිරිසක් දක්වා වර්ධනය වී තිබේ. (එම පොකුර එම සේවකයින්ගේ පවුලේ සාමාජිකයන්, ළඟ ඥාතීන්, මිතුරන් සහ සමීප ඇසුරුකම් පැවැත්වූ පිරිස දක්වා වර්ධනය වී තිබේ ) මෙම පොකුර බ්‍රැන්ඩික්ස් සමාගම විසින් ඉන්දියාවේ සිට විශේෂ වරලත් ගුවන් යානයකින් මෙරට ගෙන්වන ලද එහි සේවකයින් 48 දෙනාගෙන් එක් අයෙකු හෝ කිහිප දෙනෙකුගෙන් ආරම්භ වූ බවට මත පළ කෙරේ. එහෙත් බ්‍රැන්ඩික්ස් සමාගම විසින් නිකුත් කරන ලද නිල ප්‍රකාශයක් මඟින් ඒ බව ප්‍රතික්ෂේප කොට තිබු අතර, එම නිවේදනය මඟින් වැඩි දුරටත් දක්වා තිබුණේ තම සමාගම විසින් COVID-19 පාලනය හා සම්බන්ධව රජය විසින් නිකුත් කොට තිබු අනිවාර්ය රෙගුලාසි සියල්ලම අනුගමනය කළ බවකි. එහෙත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් (PHI ) විසින් මෙලෙස ගුවන් මඟින් පැමිණි සේවකන් 48 දෙනාගේ කණ්ඩායමේ නිරෝධායන ක්‍රියාවලිය අධීක්ෂණය කර නොමැති බව පසුව අනාවරණය විය. එසේ නම් දැන් උභතෝකෝටිකයක් මතුව තිබේ. ඒ අනුව පැහැදිලි ලෙසම පෙනී යන කාරණය නම් COVID-19 පාලනය හා සම්බන්ධව රජය විසින් නිකුත් කොට තිබු අනිවාර්ය රෙගුලාසි ක්‍රියාත්මක කිරීමේදී මෙම සිද්ධියට අදාළව බ්‍රැන්ඩික්ස් සමාගම කෙරෙහි යම් ලිහිල් ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම හෝ එම රෙගුලාසි නොසලකා හැරීමට රජය කටයුතු කොට ඇති බවය.
චතුරශ්‍රාකාර වූ සීමාන්තික ඉඩක වැඩි දෙනෙක් එකිනෙකාට සමීපව එකට වැඩ කිරීම සහ හවුල් නවාතැන් පහසුකම් ආදිය නිසාත් විශේෂයෙන්ම ඇඟලුම් කර්මාන්ත සේවකයින් සහ මිනිස්බල සේවකයින් මෙම වෛරසය වේගයෙන් පැතිරීමේ අවදානමට නිතැතින්ම ලක්වේ. වෘත්තීය සමිති නියෝජනයක් නොමැතිකම නිසාත්, කිසිදු සේවා යෝජකයෙකු ඔවුන් පිළිබඳ වගකීම භාර ගැනීමට අකමැති වීම හේතු කොට ගෙනත් මිනිස්බල සේවකයින්( Man power) තවදුරටත් අවදානමට ලක්ව තිබේ.
මෙම පුපුරා යාම ශ්‍රී ලංකාව තුළ කොරෝනා වෛරසයේ “දෙවන රැල්ල” පුළුල් ලෙස අර්ථකථනය කරමින් තිබේ. එහෙත් වෛරසය පැතිරීම කෙතරම් පුළුල් ලෙස විහිදී ඇද්ද යන්න හෝ එසේ සිදු වී ඇත්තේ කෙසේද යන්න පිළිබඳ තවමත් පැහැදිලි පිළිතුරක් නැත. එහෙයින් රටේ බොහෝ ප්‍රදේශවලින් දැන් වෛරසය ආසාධිත වී ඇති බවට වන සිද්ධීන් (positive cases) වාර්තා වීම සැළකිය යුතු සුවිශේෂී අභියෝගයකි.
වෛරසය තවමත් ‘ප්‍රජා සම්ප්‍රේෂණ’ (community transmission) මට්ටමක් දක්වා විහිදී ගොස් නැති බව රජය දිගින් දිගටම ප්‍රකාශ කර සිටියත්, ඒ බව තහවුරු කිරීමට පුළුල් අහඹු නියැදියක පරීක්ෂණයක් තවමත් සිදු නොකර නොමැති හෙයින් ඒ බව සහතික කොට සියයට සියයක් නිවැරදි යැයි සැළකීමට හැකියාවක් ඇත්තේ නැත.මේ වන විට ප්‍රජාව තුළට වෛරසය කෙතරම් පුළුල්ව පැතිරී ඇත්ද යන්න අපැහැදිලිව ඇති බැවින්, තමන්ගේ ආරක්ෂාව සළසා ගැනීමට අවශ්‍ය පියවර ගැනීම මහජනතාවගේ උර මතම පැවරෙන වගකීමක් බව පෙනෙන්නට තිබේ.
මතු වූ මෑත අර්බුධය හමුවේ විශේෂයෙන්ම කාන්තා සේවිකාවන් කෙරෙහි රජය සහ හමුදාවන් කටයුතු කොට ඇති ආකාරය ප්‍රශ්න සහගතය.
“අපේ මේ ගෑනු අය රෑ මැද පටවාගෙන ගෙනාවා විතරක් නෙවෙයි , අඩුම තරමේ අපි කොහෙටද ගෙනියන්නේ, මොකටද ගෙනියන්නේ කියලවත් කිව්වේ නෑ . අපිට අයිතියක් නැද්ද අපි කොහෙටද ගෙනියන්නේ කියල දැනගන්න? අපිට අයිතියක් නැද්ද අපිට මොකද වෙන්නේ කියලා දැනගන්න? අපි මේ රටේ මහන්සි වෙලා වැඩ කරන මිනිස්සු”
“අපි හිඟන්නෝ නෙවෙයි ! අපි නීතිවිරෝධී කිසිම දෙයක් කරන්නේ නෑ, අපි ආණ්ඩුවට කරදරයක් නෙවෙයි, එයාලා තමයි අපෙන් ජිවත් වෙන්නේ, ඊළඟ පාර එන්න කියන්නකෝ අපේ ඡන්දේ ඉල්ලගෙන, අපිව ඡන්දේ කාලෙට විතරයි එයාලට ඕනේ, අපි මෙහෙම කථා කරන්නේ අපිට මේ කරන බලු වැඩේ නිසයි”
ඔවුන් කතා කරන්නේ කෝපය හා වේදනාව එකට කැටි කොටය.
විශේෂයන්ම පැහැදිලි තොරතුරු හෝ දැනුවත්භාවයක් ලබා නොදීම, අනාරක්ෂිත ප්‍රවාහනය, නිරෝධායනයේදී ලබා දී ඇති අපිරිසිදු සනීපාරක්ෂක පහසුකම් සහ සේවිකාවන් බස් රථ වෙත නැංවීමට පෙර සහ එම මධ්‍යස්ථානයට ඇතුළත් වීමට පෙර PCR පරීක්ෂණ පැවැත්වීමට අපොහොසත් වීම යන ඒවා පැහැදිලිව පිළිපැදිය යුතු බවට රජය විසින්ම පනවා ඇති COVID-19 රෙගුලාසි ඔවුන් විසින්ම උල්ලංඝණය කිරීමකි.
ඔක්තෝම්බර් 11 වන (ඉරිදා) රාත්‍රී 10.30 ට පමණ කටුනායක ලියනගේමුල්ල ප්‍රදේශයේදී ඇඟලුම් කම්හල් සේවකයින් 45 දෙනෙකු (කාන්තාවන් 25 ක්, ගර්භනී කාන්තාවක් සහ දරුවන් දෙදෙනෙකු ඇතුළුව) හමුදාව විසින් වටකර බස් රථයකින් තාවකාලික ස්ථානයකට ගෙන ගොස් තිබේ. අසල්වැසි නේවාසිකාගාරයේ COVID -19 ආසාධිත බවට (පොසිටිව්) හඳුනා ගෙන ඇති සේවකයින් කිහිප දෙනෙකු වාසය කර තිබෙන බවත්, එහෙයින් ඔවුන්ද නිරෝධායනය කළ යුතු බව පවසා තිබුණි.
“අපේ දේවල් එකට එකතු කරගෙන බස් එකට නගින්න අපිට දුන්නේ තත්පර ගානක්. ඇඳුම් පැක් කරගන්න වත් අපිට වෙලාවක් දුන් නෑ. අඩුම තරමේ පනාවක් දාගන්න වෙලාවක් දුන් නෑ. පැනලා යන්න හදන්න එපා, පැත්තම වටලලා තියෙන්නේ කියලා හමුදාව අපිට කිව්වා. ඒ කට්ටිය (හමුදාව) අපට සැලකුවේ හිරකාරයෝ වගේ. හරියට අපි ජාතික අපරාධයක් කලා වගේ” එක් සේව්කාවක පැවසීය.
ඔවුන් වේයන්ගොඩ වෙත ගෙන යන බවට මුලින් පවසා තිබුණත්, දුරකථන සංඥා ඉතා අවම මට්ටමක පවතින කළුතර ප්‍රදේශයේ හුදෙකළා ස්ථානයකට ඔවුන් මේ වන විට ගෙන ගොස් තිබේ.
එදිනම පාන්දර 12.30 ට පමණ (12 වන දින අළුයම) ඇවරිවත්ත ප්‍රදේශයේ සේවක සේවිකාවන් 53 දෙනෙකු (කාන්තාවන් 35 ක් සහ එක දරුවෙකුද ඇතුළුව) අවදි කරවා ඉහත ලෙසම බස් රථයකට නංවා ගෙන තිබේ.
“රෑ මැද හමුදාව ඇවිත් අපිට අපේ උවමනා බඩු පැක් කරගෙන බස් එකට නගින්න විනාඩි 10 ක් දුන්නා. නිදි නැතුව වැඩ කරලා මහන්සි වෙලා එයාලා ඉන්නේ කියලා එයාලට පරක්කු කරන්න එපා කියලා හමුදාව අපිට කිව්වා, අපිට බල බල ඉන්න වෙලාවක් නෑ, අපි දිගටම වැඩ කරලා ඉන්නේ එයාලා කිව්වා.මගේ PCR එක නෙගටිව් කියලා මට රිපෝර්ට් එක හරියටම ආවේ ඊට දවස් දෙකකට කලින්. මට ඒක වත් එයාලට කියාගන්න අවස්ථාවක් දුන්නේ නෑ. කාටවත් කතා කරන්ඩ එයාලා ඉඩක් දුන් නෑ.අපිව බස් එකට දක්කාගෙන ගිහින් අපිව මෙහෙ ගෙනත් දැම්මා” ඒ දැන් කළුතරට ගෙනවිත් ඇති තවත් එක් සේවිකාවකි.
ඔවුන් කටුනායක, සීදුව, මිගමුව සහ අමන්දොළුව යන ප්‍රදේශවලින් තවත් සේවකයින් රැගෙන ඔක්තෝම්බර් 12 වන දින අලුයම 5.30 ට පමණ ඒ අනුව කටුනායකින් පිටත්ව ගොස් තිබේ.
අවසානයේ පැය 12කට පමණ පසුව, පසුදා දහවල් 12.30 ට පමණ ඔවුන් කළුතර වෙත ළඟා වී ඇති අතර, එතෙක් කිසිදු ආහාරයක් හෝ වතුර පොදක් ඔවුන් වෙත ලබා දී නැත. එහි ගිය පසු ඔවුන් වෙත අහාර ලබා දී තිබුණත් ඒවා අහාරයට ගැනීමට නොහැකි තත්වයක තිබු බව සේවකයන් පැවසීය. එම මධ්‍යස්ථානය පිරිසිදු කොකළ අපිරිසිදු තත්වයක තිබෙන බවත්, වැසිකිළි උතුරා ගොස් අපිරිසිදු තත්වයක තිබෙන බවත්, තවමත් (ඔක්තෝම්බර් 13 වන දින රාත්‍රි) වන විටත් කිසිදු සෞඛ්‍ය නිලධාරියෙකු, වෛද්‍යවරයෙකු හෝ මහජන සෞඛ්‍ය පරියේෂකයෙකු නොදුටු බව සේවකයින් වැඩිදුරටත් පවසා සිටියහ. එහි සිටින්නේ හමුදා නිලධාරින් පමණක් බව ඔවුහු පවසති.කිසිදු සේවකයෙකු මධ්‍යස්ථානයට ගෙන ආ මොහොතේ සිට PCR පරීක්ෂණයකට භාජනය කොට නැත.
“අපි ඔක්කොම ස්වයං නිරෝධායනයට ලෑස්ති වෙලා හිටියේ. ළඟ අනෙක්ස් එක්ක සිස්ටර්ලා දෙන්නෙක් කොරෝනා පොසිටිව් කියලා ආරංචි උන නිසා අපි රු: 20,000 කට කිට්ටු වෙන්න ගෙවල් වලට බඩුත් අරන් ගෙදර නවතින්න හිටියේ, අපි හරිම පරීක්ෂාවෙන් හිටියේ. අර සිස්ටර්ලා දෙන්න උනත් මීගමුවේ හොස්පිටල් එකට පෞද්ගලිකව ගිහින් ටෙස්ට් එක කරලා තිබ්බේ, ඒ දෙන්නට අසනීපයි වගේ දැනිලා තිබ්බ නිසා. එයාලා පොසිටිව් කියලා දැන ගත්තට පස්සේ එයාලා ස්වයං නිරෝධායනය වෙලා තිබ්බා, අපිත් ආරක්‍ෂිත පියවරක් විදියට ස්වයං නිරෝධායනට ලෑස්ති වෙලා හිටියේ අපි පොසිටිව් වෙලා හිටියේ නැතත්. හරි නම් ආණ්ඩුව කරන්න තිබ්බේ හැමෝම පරික්ෂා කරලා, පොසිටිව් අය අනෙක් අයගෙන් හුදෙකළා කරලා අනික් හැමෝම ස්වයං නිරෝධානයට යවන එක, මොකද අපිට වෙනම අනෙක්ස්, ටොයිලට් පහසුකම් තියෙන නිසා. එයාලා හිතන්නේ එයාලා ( ආණ්ඩුව සහ හමුදාව) ඔක්කොම පාලනය කරගෙන ඉන්නේ කියලා, අපිට සෞඛ්‍ය ආරක්‍ෂිත ක්‍රම පාවිච්චි කරන්න කියලා බන කියලා මෙහෙ ගෙනත් අතෑරලා දාලා ඉන්නවා. අපි බස් වලට එක ගොඩේ පටවාගෙන ඇවිත්, මේ සනිපාරක්ෂාවක් නැති, කිසිම සෞඛ්‍ය ආරක්‍ෂිත ක්‍රමවේදයක් ක්‍රියාත්මක වෙන්නේ නැති තැනක නිරෝධානය කරනවා” සේවකයින් කියා සිටියේ කෝපයෙනි.
” අපිට කට කතා එහෙන් මෙහෙන් ඇහෙනවා ඩොක්ටර් කෙනෙක් අපිව බලන්න එනවා කියලා, ඒත් නිල මට්ටමින් කිසිම දෙයක් අපිට දැනුම් දීලා නෑ මේ වෙනකන්” ඔවුහු පැවසුහ.
අද දින (ඔක්තෝම්බර් 14 ) ඔවුන් වෙත සෙරෙප්පු, සබන්, රෙදි සෝදන කුඩු වැනි අත්‍යවශ්‍ය දෑ ලබා දී ඇති අතර සේවකයින් 400-500 කට ආසන්න පිරිසක් එහි සිටින බව ඔවුහු කියා සිටිති. එක කාමරයට 6-7 දක්වා ප්‍රමාණයක් ද, ඇතැම් කාමර වල 3-5 දක්වා සේවකයන් නවත්වා තිබේ. සේවකයින් 30 කට අධික පිරිසකට නාන කාමර 2ක් සහ වැසිකිලි 2 ක් සහ සිනික් 2 ක් (සින්ක් 4 ක් ඇති නමුත් ජලය ඇත්තේ 2 ක් පමණි.) පමණක් ඇති බව ඔවුහු වැඩි දුරටත් පවසයි.
හමුදාව විසින් ඔවුන්ට පවසා ඇත්තේ ඔවුන්ට එම ස්ථානය මේ වන තෙක් පිරිසිදු කිරීමට නොහැකි වූ බවත්, එය කඩිනමින් සිදු කරන බවත්ය. ලබාදෙන ආහාර ක්‍රමවත්ව ලබාදෙන බවට ද පොරොන්දු වී ඇතත්, මෙතෙක් ලබා දුන් ආහාර කෑමට ගැනීමට අපහසු තත්වයක තිබෙන බව ඔවුහු කියති. කිසිවෙකුට එම මධ්‍යස්ථානයෙන් නික්ම යා නොහැකි බව ද ඔවුන්ට දන්වා තිබේ. එක අයෙකුට හෝ කීප දෙනෙකුට දැනටමත් වෛරසය අසාධනය වී ඇත්නම් කිසිදු ආරක්‍ෂිත ක්‍රමවේදයක් මෙම මධ්‍යස්ථානය තුළ අනුගමනය නොකෙරෙන හෙයින් මෙහි සිටින සියල්ලන්ටම එය පහසුවෙන් සහ වේගයෙන් අසාධනය විය හැකි බවට සේවකයෝ බිය පල කරති.
“මේ කාමර වල බිම දුවිලි වගේම වැසිකිළි හොඳටම අපිරිසිදුයි, අපිට මේ වගේ ජිවත් වෙලා පුරුදු නෑ, ඒ නිසා අපිම අපේ කාමරයි, වැසිලිකිළියි සුද්ධ කළා. අපිට දිගටම මෙහෙම ජිවත් වෙන්න උනොත් මැරෙන්නේ කොරෝනා හැදිලා නෙවෙයි, වෙන ලෙඩක් හැදිලා මේ ජරාවේ ඉදලා. මේ තත්වය හොඳ අතට කළමනාකරණය කලේ නැත්තන්, අපි ඡන්දය දුන්නු මේ රජයම වෙනස් කරන්න අපට බල කිරීමක් කරන්න වෙනවා ” ඔවුහු කියති.
තවත් සේවිකාවක් තම කෝපය පිටකරමින් කියාසිටියේ “මම හාර්ට් ඇටැක් තියෙන කෙනෙක්.මගේ බ්ලොක් දෙකක් තියෙනවා, ඒවට මම බෙහෙත් බොනවා, දැන් මෙහෙ මේ විදියට ඉදලා මට කොරෝනා හැදුනොත් මම කොහොමත් මැරෙයි. ජිවත් වෙන එකක් නෑ,මෙතන බල්ලෙක්ට වත් ඉන්ඩ පුළුවන් තැනක් නෙවෙයි, මුන්ට ඡන්දේ දුන්නට අපිටම ගහ ගන්න ඕනි”
“මේ රජයයි සෞඛ්‍ය අමාත්‍යංශයයි කරපු ලොකුම වැරැද්ද තමයි අපි කොරෝනා පරද්දපු බව කියපු එක. ඊට පස්සේ හැමෝම ඒ ගැන වැඩ වෙන එක නැවැත්තුවා. ගොඩක් අය මාස්ක් ගැන එක පවා නැවැත්තුවා. කොරෝනා පාලනය කළා කියලා ලෝක වාර්තා තියෙන එකේ ( ලෝකයේ දෙවන ස්ථානයට) කිසිම වැඩක් නෑ, අපි ලංකාවේ වාර්තා ගත පාලන තත්වයක් පවත්වා ගන්න අවධානයක් යොමු කරලා මෙහෙ දේවල් හරියට කළමනාකරණය කරගත්ත නම් කොහොමත් ලෝකේ පිළිගැනීමකට නිකම්ම පාත්‍ර වෙනවා”
“අපි ආණ්ඩුවට දොස් කියන්නේ නෑ,අපේ ජනාධ්පති තුමා නැත්නම් මෙලහකටත් අපි මැරිලා, ඒත් මේ ආණ්ඩුව අපි බලයට ගෙනාව නිසා අපිට වගකීමක් තියෙනවා අපි වෙනුවෙන් එයාලට වගකිමක් තියෙන බව මතක් කරන්න,එයාලා කරන වැරදි එයාලා හදාගෙන ඉස්සරහට යන්න ඕනි. ග්‍රාම සේවකලා, නේවාසිකාර අයිතිකරුවන්, සේවකයින් ආදී මේ සියලු දෙනා අතරේම පුළුල් දැනුවත් භාවයක් ගොඩ ගන්න ඕනි, දැනට කිසිම නිසි ක්‍රියා දාමයක් නෑ, ඔක්කොම වෙන්නේ තාවකලිකව අටව ගත්ත විදියකට” සේවකයින් කියා සිටියහ.
තොරතුරු සහ ඡායාරූප – මානව විමුක්තිය සංවර්ධනය Revolutionary Existence for human Development (RED) වෙතින් සහ දැනට නිරෝධනය සඳහා කළුතර මධ්‍යස්ථානය වෙත ගෙන ගොස් සිටින ඇති ඇගළුම් සේවිකාවන් විසිනි.
විශේෂ ස්තුතිය- මරිසා ද සිල්වා මෙනවියට
( www.vikalpa.org)