Wednesday, April 24, 2024

එක ඡන්දයක ශක්තිය: ඡන්දය දෙන්න, ඔබේ හඬ ඇසෙන්නට සලස්වන්න – එතෙර ලාංකිකයින්ගෙන් සුභ පැතුමක්!

ඡායාරූපය: යාපනයේ ජාතික ජන බලවේගයේ මැතිවරණ රැස්වීමක් ( ලංකා ට්රුත්)

එක ඡන්දයක ශක්තිය

දීග කාලයක් තිස්සේ පැවති විවාද, ගැටුම් සහ නීතිමය අභියෝග වලින් පසුව, ශ්‍රී ලංකාවේ 16 වන පාර්ලිමේන්තු මැතිවරණය 2020 අගෝස්තු 5 වන දා පවත්වන්නට නියම කොට තිබේ. ඉදිරි වසර පහේ දී රටේ ඉරණම තීරණය කරන ව්‍යවස්ථාදායකය තෝරා පත් කර ගන්නට බොහෝ දෙනා ඔවුන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය පාවිච්චි කරන්නට මහත් උනන්දුවෙන් බලා සිටිති. ඒ සමඟම, අප්‍රමාණ බොරු පොරොන්දුවලින් සහ නොමඟ යවන මාධ්‍ය ව්‍යාපාරවලින් ව්‍යාකූලත්වයටත්, අධික වෙහෙසටත් පත්ව සිටින අය, තමන් වෙනුවෙන් තමන්ගේ දේශපාලන අනාගතය තීරණය කරන්නට වෙනත් අයට ඉඩ දෙනවා ඇත. ඇත්තටම මෙම ‌ඓතිහාසික මැතිවරණ ප්‍රතිඵලය කෙරෙහි සැලකිය යුතු බලපෑමක් කළ හැක්කේ ඡන්දදායකයන්ට බැවින් අධෛර්යයට පත්ව සිටින හා උනන්දුවක් නොදක්වන එවැනි අය මත බොහෝ බලාපොරොත්තු තබා ඇත.

ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුවක් යටතේ, වැරදී සිදු වන විට, ජනතාව සිය ඡන්ද බලය සාමකාමී ලෙස පාවිච්චි කිරීමෙන් ඒවා නිවැරදි කළ යුතුය. ඔබේ ඡන්දයේ බලය එයයි; දැන් ඒ බලය ආඩම්බරයෙන් විචක්ෂණශීලී ලෙස යොදන්නට කාලය පැමිණ ඇත.

භාරකාර ආණ්ඩුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනය අහක දමන්නට ප්‍රකාශ කර තිබෙන අරමුණ ඉතා වෙහෙස මහන්සියෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුල් කරන ලද සියළුම පරීක්ෂා කිරීම් හා සමබර කිරීම්ඉවත් කර දමන්නට දරන සාහසික උත්සාහය හමුවේ රට ආණ්ඩු කරන්නට යලිත් ඔවුන් තෝරා පත් කර ගත්තොත්, 2015 ට පෙර දශකයේ පැතිර පැවතුන පුදුමාකාර තණ්හාව, පාලකයන්ගේ ආඥා හා අනුග්‍රහ දැක්වීම් දිගටම කර ගෙන යන බව හිතා ගන්නට අමාරු නැත.

අත්තනෝමතික පාලනයකින් ශ්‍රී ලංකාවේ ආරක්ෂාවත් ආර්ථික සංවර්ධනයත් සහතික කරනු ඇතැයි ගෙන යන සුදානම් කරන ලද රැවටීමේ ව්‍යාපාරයේ අරමුණ වී ඇත්තේ දඬුවම් නොලබන සංස්කෘතියක් සහ මර්දනකාරී සමාජ පිළිවෙලක් ඇති සංස්ථාපිත කිරීමයි. මෙම මැතිවරණයේ දී අවදානමට ලක් වන කරුණු ගණනාවක් ඇති නමුත් ඉන් කිහිපයක් විශේෂයෙන් ඉස්මතුව පෙනේ:

  • සහභාගිත්ව ප්‍රජාතන්ත්‍රවාදය සහ නීතියේ ආධිපත්‍යය
  • ඉවසිලිමත් සහ එකමුතු කමෙන් සමන්විත බහු වාර්ගික, බහුආගමික සහ බහු භාෂාමය සමාජයක්
  • පොදුවේ වැදගත්කමක් ඇති කරුණු ගැන කරන වැඩදායක දේශපාලන කතිකාවත් හා විවාද
  • අන්තර්ගත බව, සමානාත්මතාවය සහ අන්‍යෝන්‍ය ගෞරවය පිළිබඳ ප්‍රතිපත්ති වෙත කැපවීම.

වෙන්නට යන්නේ කුමක්ද?

  • සිවිල් සංවිධාන අයුතු අන්දමට හමුදා කරණය කිරීම
  • මාධ්‍යයට මුකවාඩම් දැමීම සහ කතා කරන්නට තිබෙන නිදහස මර්දනය කිරීම
  • 19 වන ව්‍යවස්ථා සංශෝධනය ඉවතට දැමීම
  • සිවිල් පුරවැසියන් මෙහෙයවන ප්‍රතිපත්ති සකස් කිරීම වෙනුවට ජනාධිපති කාර්ය සාධක බලකායයන්ගේ දේශපාලනය ආදේශ කිරීම
  • විධායකය විසින් පාර්ලිමේන්තු බලතල අඩපණ කර දැමීම
  • ආපසු ගෙවීම සඳහා අවුරුදු ගණන් අපේ අනාගත පරම්පරාවන්ට වෙහෙසෙන්නට සිදු කරවමින් රට වැඩි වැඩියෙන් ණයේ ගිල්වා දැමීම.

අපේ වැනි බහු වාර්ගික, බහු භාෂාමය හා බහුආගමික සමාජයක, හොඳම ආරක්ෂාව ලැබෙන්නේ අන්තර්ගත බව, ඉවසීම හා පොදු එකඟතාවය ගොඩනැගීමෙනි.

අපේ රටට වඩා සාධාරණ අනාගතයක්, සාමයත් සමෘද්ධියත් ලැබෙන්නේ ශක්තිමත් ප්‍රජාතන්ත්‍රවාදයකින් මිස ප්‍රබල නායකයෙකු ගෙන් නොවේ. ‘පරීක්ෂා කිරීම් හා සමබර කිරීම්‘, විනිවිදභාවය සහ වගවීම සම්බන්ධයෙන් ආණ්ඩුවක් බියට පත්ව ඇත්නම්, කුරිරු ලෙස ඔබව පාලනය කරන්නට ඔවුන්ට බලය පවරා නොදෙන්න.

සත්තකින්ම, එළැඹී ඇත්තේ හමුදා කරණයේ සහ අත්තනෝමතික පාලනයේ අශෝභන හිස යලි නොඔසවන බවට සහතික කල යුතු කාලයයි. මෙම හැකියාව සැලකිල්ලට නොගෙන අවදානමෙන් යුත් තීරණයක් රැගෙන ඡන්දය ප්‍රකාශ කිරීම නුවනට හුරු විකල්පයක් නොවේ. ගත වී ගිය නරක කාලය ගැන කල්පනා කරන්න. අසීමිත විධායක බලතල; අල්ලස්; දූෂණය; බියෙන් ස්වයං වාරණයේ යෙදෙන මාධ්‍ය; ව්‍යවස්ථාදායක අධිකරණ කටයුතුවලට ඇඟිලි ගැසීම; සුළුතර ජන කොටස් අසාධාරණ ලෙස පීඩාවට ලක් කිරීම … … මෙය යලිත් සිදුවීම අපට වළක්වා ලිය හැකිද? “ඔව් අපට පුළුවන්“. රටටත් රටේ බහු වාර්ගික සමාජයටත් බලාපොරොත්තු තබා ගන්නට කිසියම් හේතුවක් ලබා දිය යුතු නොවේද? හැම ඡන්දදායකයෙකුට ම එසේ කල හැකියි.

ඒ නිසා, අගෝස්තු 5 වන දා අපි අප විසින්ම අසමත් බවට පත් නොවෙමු. අප වෙනුවෙනුත්, ඉදිරි පරම්පරාවන් වෙනුවෙනුත් අපි මෙම ඓතිහාසික යුතුකම ඉටු කල යුතු වෙමු. සිවිල් සමාජ ක්‍රියාකාරීහු රටේ දිගු කාලීන යහපත ගැන හිතේ තබා ගෙන ඡන්දය ප්‍රකාශ කිරීමේ වැදගත්කම පිළිබඳව ජනයා දැනුවත් කිරීමට මැදිහත් විය යුතුය.

ඔබේ ගෙවත්ත පේන්නේ කෙසේදැයි යන්න රඳා පවතින්නේ ඔබ ප්‍රවේසමෙන් තෝරා බේරා ගෙන සිටුවන බිජුවට මතයි. ඔබේ ඉදිරි කටයුතු කරළියට එන්නේ කෙසේද යන්න රඳා පවතින්නේ ඔබ අගෝස්තු 5 වන බදාදා ගන්නා තීරණය මතයි. එම තීරණය විසින් අපේ සමාජය, ආර්ථිකය සහ ඔබේ දූ දරුවන්ගේ අනාගතය ඉදිරි වසරවල දී මූලික වශයෙන් හැඩ ගස්වා ලනු ඇත. ඔබේ වටිනා ඡන්දය නාස්ති කර දමන්නට නිදහසට කරුණක් නැත. ඒ වෙනුවට, අපේක්ෂකයන් අධ්‍යයනය කරන්න, ඔවුන්ගේ අභිමතාර්ථ දැන ගන්න, ඔවුන්ගේ විශ්වාසනීයත්වය තක්සේරු කරන්න, වඩාත් දක්ෂ හා අවංක අපේක්ෂකයින් සඳහා හෘදය සාක්ෂියට එකඟව ඔබේ ඡන්දය දෙන්න.

ඔබගේ හැම ඡන්දයක් ම වැදගත් වේ; ඔබ හැම කෙනෙකුටම වෙනසක් කළ හැකිය.

එහෙයින් යන්න; ඡන්දය දෙන්න, ඔබේ හඬ ඇසෙන්නට සලස්වන්න. සිවිල් නිදහස නොමැති විට ප්‍රජාතන්ත්‍රවාදය, වගවීම, මානව හිමිකම්වලට ගරු කිරීම සහ සාධාරණය ආර්ථික සමෘද්ධිය සහ ආරක්ෂාව අපූර්ව සිහිනයක් පමණක් විය හැකිය.

සුබ ප්‍රාර්ථනා කරන එතෙර ශ්‍රී ලාංකිකයෝ

1 ජූලි 2020

Archive

Latest news

Related news