Friday, April 19, 2024

සාමකාමී විරෝධතාකරුවන්ට පොලිීසිය පහරදීමට විරෝධය දක්වන අය කියන්නේ මොනවාද?

පසුගිය 09 දා කොලඹ සාමකාමී විරෝධතාවයන්හි යෙදුනු පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ පිරිස් වෙත පොලීසිය විසින් එල්ල කරන ලද අමානුශික ප්‍රහාරයට විරෝධතා සමාජ මාධ්‍ය හරහා බොහෝ අයකු විසින් ද සංවිධාන විසින්ද දක්වනු ලැබ තිබේ. මේ එම අදහස් වලින් කිහිපයකි.

ආචාර්ය මයිකල් ප්‍රනාන්දු මුහුණු පොතෙහි තැබූ සටහනක්

[title]හුස්ම ගන්න ඉඩ දියව්! – සුමිත් චාමින්ද[/title]

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සාමකාමී විරෝධයට සිදු කරන ලද පොලිස් ප්‍රහාරය නින්දිතය. ඒ ගැන අමුතුවෙන් කියන්නට අවශ්‍ය නැත. ඊයේ මුළු ලොවම ඇස් පනාපිට දුටු ලාංකීය යථාර්ථය කුමක්ද? ජෝජ් ෆ්ලොයිඩ් ලංකාවේ විසූවද ඔහුගේ ඉරණම එතරම් වෙනස් නොවනු ඇති බව නොවේද?

ඒ සමගම කිව යුත්තක් නම් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ විරෝධතාව කොරෝනා අර්බුදය සමයේ සිදු වූ ඉතාම වැදගත් දේශපාලන ක්‍රියාවක් බවයි. මන්ද යත්, එය කොරෝනා යුගයේ ගොඩ නැගෙමින් පැවති නව සමාජ පිළිවෙල බිඳ හෙලීමට දායක වූ බැවිනි. එම සමාජ පිළිවෙල අපට ඇඳිරි නීතිය (හෝ අර්ධ ඇඳිරි නීතිය) සමග පවතින සාමාන්‍ය තත්ත්වයයනුවෙන් නම් කළ හැකිය.

එය කවරාකාර සාමාන්‍ය තත්ත්වයක්ද? රාජ්‍ය බලය දරන නැතිනම් රාජ්‍ය බලයට සමීප අයවළුන් හට පමණක් නිදහසතිබෙන සාමාන්‍ය තත්ත්වයකි; “නිදහසනමැති වරප්‍රසාදය තිබෙන පිරිසට තමන් කැමති තැනක යන්නට එන්නට හැකි තත්ත්වයකි; ඔවුනට පමණක් දේශපාලන කටයුතුවල යෙදිය හැකි තත්ත්වයකි; ඔවුන්ගේ චර්යාවන් පමණක් වසංගත නීති මගින් පාලනය නොවන ආකාරයේ තත්ත්වයකි. අන් සියළු දෙනාගේ දෛනික ජීවිතය පවා ඉතාම සංකීර්ණ ලෙස සුපරීක්ෂාවට සහ පාලනයට ලක් කෙරෙන ආකාරයේ තත්ත්වයකි. කොටින්ම ජෝජ් ඕවල්ගේ “1984” කෘතියේ එන ඩිස්ටෝපියානු ලෝකය සිහි ගන්වන ආකාරයේ තත්ත්වයකි.

අප යමින් සිටියේ ඒ දිශාවටය. පෙරටුගාමීන්ගේ ක්‍රියාවෙන් බිඳුණේ එම ඊනියා නව සාමාන්‍ය තත්ත්වයයි. (සරදම්ජනක ලෙස, එම නව සාමාන්‍ය තත්ත්වයේ බියජනක නිහඬතාව බිඳ හෙලන්නට පොලීසියද සක්‍රීයව දායක විය!)

සැබවින්ම පසුගිය කාලයේ ශ්‍රී ලංකාවේ පමණක් නොව ලොව බොහෝ රටවල නිර්මාණය වෙමින් තිබුණේ එවන් සීතල, බියකරු, නිහඬ පරිසරයකි. රාජ්‍යයේ අධිකාරීවාදී මැදිහත්වීම් මගින් පුද්ගල ජීවිතය සූක්ෂම ලෙස හැසිරවීමට ලක් කෙරෙන පරිසරයකි. (ශ්‍රී ලංකාව තුළ එවන් පරිසරයක් නිර්මාණය වීම දක්වා වූ ගමන ආරම්භ වූයේ කොරෝනා වසංගතයට පෙරය; එනම් පසුගිය ජනාධිපතිවරණය නිමා වීමත් සමගය).

නමුත්,දැන් ලෝකය වෙනස් වෙමින් පවතී. ජෝජ් ෆ්ලොයිඩ් ඝාතනයට එරෙහි විරෝධතාව ලොව පුරා පැතිර යාමෙන් පෙන්නුම් කෙරෙන්නේ එයයි. ශ්‍රී ලංකාවට ඒ වෙනස සමග එක්වීමට දැන් අවස්ථාව සැලසී තිබේ.

ඒ සඳහා අවශ්‍ය වන්නේ සාමූහික ක්‍රියාකාරීත්වයකි. සියළු ප්‍රජාතාන්ත්‍රික බලවේග අතර ඉතාම පුළුල් සහයෝගීතාවකි. ඒ සඳහා වන පළමු සංඥාව ජාතික ජන බලවේගය වෙතින් ලැබී තිබේ. එම සහයෝගීතාවයේ හස්තය වැළඳගැනීමට අවශ්‍ය දේශපාලන විවෘතභාවය සහ පරිණතභාවය පෙරටුගාමී පක්ෂය සතුව තිබෙන බව මට විශ්වාසය. ඒ සමගම සෙසු පක්ෂ, සංවිධාන, වෘත්තීය සමිති, සිවිල් සංවිධාන සහ ප්‍රජාතන්ත්‍රවාදය අගයන සියලු පුද්ගලයන්ගේ සහයෝගීතාව වෙත දැන් ඇරයුම් කළ යුතුව ඇත. මන්ද යත්, මෙවන් පොලිස් (සහ ඇතැම්විට හමුදා) මර්දනයන්ට ඉදිරියේදී කවර පක්ෂයකට වුවත් මුහුණ දීමට සිදු විය හැකිය. මා මිත්‍ර Vishaka Suriyabandara ඉතාම නිවැරදිව පවසා තිබූ පරිදි දේශපාලන පක්ෂ යනු සංවිධානය කළ මහජන මතයන්ය. පක්ෂවලට නිදහසේ දේශපාලනයේ යෙදීමට අවශ්‍ය වාතාවරණය සකසාගත යුත්තේ එම නිසාය.

පළමුව අවශ්‍ය වන්නේ පෙරටුගාමී පක්ෂයේ සාමකාමී විරෝධය මර්දනය කිරීම හෙළා දකින සියලු දෙනා වෙත කරන පොදු ආමන්ත්‍රණයකි. එම සියලු දෙනාගේ සහභාගීත්වයෙන් කෙරෙන සාමකාමී නිහඬ විරෝධයක් පැවැත්වීම වඩා උචිත යැයි සිතමි. විපක්ෂය නියෝජනය කරන සියළු පක්ෂවලට ඒ සඳහා ආරාධනා කළ යුතුය. ආණ්ඩුව තුළම නියෝජනය වන වාමාංශික කොටස්වලට පවා ඇරයුම් කළ හැකිය.

ඒකාධිපතීත්වයක් කරා දිශානත වූ වත්මන් බලාධිකාරයේ ගමන ආරම්භයේදීම නවත්වා ගත යුතුය. ප්‍රජාතාන්ත්‍රික විපක්ෂ බලවේග එක්ව හඬ නැගුව හොත් එය කළ හැකිය. තවමත් හැකිය

මුහුණු පොතෙහි සටහනකිනි.

[title].අකුරු වලට ලෝකය වෙනස් කරන්න බැහැ…- මහේෂ් හපුගොඩ[/title]

තරුණ කෙල්ලෙක් උස්සල විසි කරනවා පොලිසියේ ටාටා කැබ් එක අස්සට. යකට ගරාදියට උඩින් ගුවන් ගත වන ඒ තරුණිය පාත් වෙන්නේ කැබ් එකේ යකඩ තට්ටුව උඩට. ඔළුව පහළට. කොල්ලුපිටියේ විරෝධය වෙලාවේ ඊයේ සිරස කැමරාවේ සටහන් වෙච්ච අතිශය දුක්ඛිත බලන්නත් බැරි ඒ දසුන සියළු ස්ත්‍රීන් මේ වෙද්දී බලන්න ඇති. ඇයි ස්ත්‍රීන් විතරක්පිරිමිත් බලන්න ඇති. මේ තමයි අපි හැමෝට ම මේ රටේ අයිති දෛවය

ඔහේ දෙන දෙයක් කාල වෙන දෙයක් බලාගෙන සද්ද නැතුව ඉන්නකම් ඉන්න පුළුවන්. එත් මේ දේ වැරදි නේද කියල යන්තම් හරි ඇහුවොත් යකඩ ගරාදියට උඩින් යන්නත් පුළුවන්. ඔව් ඉගිල්ලෙන්න පියාපත් ලැබෙනවාපාලම් වලට උඩින්තාප්ප වලට උඩින් මීට කලින් පරම්පරාව ඉගිලිලා තියනවා. ආයේ ඇවිල්ලා නැහැ. මේ මතක් කරලා දෙන්නේ ඒක. ඔව්. වැඩිය දැඟලුවොත් අපි ඔබට එහා ලෝකෙට යන්න පියාපත් ලබා දෙනවාසත්තයි.

ජෝර්ජ් ෆ්ලොයිඩ් තේමාව අද වෙද්දී ලෝක තේමාවක් වෙමින් පවතිනවා. සියලු ම අය දන්නවා ඒ නිසා ලෝකයේ ආකල්ප වෙනස් වෙන්න පටන් ගනිමින් තියනවා කියල. වර්ණ භේදය ගැන, ජාතිවාදය ගැන, සුළු ජන කොටස් වල පැවැත්ම ගැන, අධිපති බව ගැන, මේ සියලු දේ ගැන ලෝකය දැන් බලන්නේ වෙනස් විදියට. ඇමෙරිකාවේ ම සී. එන්. එන්. සේවය ලෝක පරිමාණයෙන් සිදුවෙන ඒ ආකල්පමය වෙනස (global attitudinal change) මුළු ලෝකයට වාර්තා කරනවා.

මේක පෙරටුගාමී සමාජවාදීන් ගැන ප්‍රශ්නයක් නෙවෙයි. ඇමෙරිකන් එම්බසි එක ගැන ප්‍රශ්නයකුත් නෙවෙයි. පක්ෂ දේශපාලනය ගැන ප්‍රශ්නයකුත් නෙවෙයි. මේක පුළුල් ම පුළුල් අර්ථයෙන් ලෝකයේ සිදුවෙන මිනිස් කම ගැන නැවත සිතා බැලීමක් ගැන ප්‍රශ්නයක්. ෆ්ලොයිඩ් කියන්නේ සුදු අධිපති බව නිසා මියගිය එකම කල්ලා නෙවෙයි. අවසානයාත් නෙවෙයි. ඊයේ ඒ ගුටිකාපු මිනිස්සු වෙනුවෙන් මම පෙනී සිටින්නේ එයාලගේ පක්ෂය ගැන හිතල නෙවෙයි. සමස්ත මානවවාදයේ පරමාදර්ශ (universal ideals) ගැන හිතල. බටහිර කරපු වැරදි එමටයි. බටහිර නොවන අපි කරපු වැරදිත් එමටයි. මේ ඇවිල්ලා තියෙන්නේ අපි හැමෝටම අපි ගැනම අපේ පැවැත්මේ අඳුර ගැනම අපි අපි එක්කම කරන්න ඕනි ඇතුළාන්තයේ අරගලය ගැන (inner struggle) නැවත හිතන්න වෙලාවක්. මට අනුව ඒක තියෙන්නේ නිරෝධානයන නීති රීති වලට ඔබ්බෙන්.

ෆ්ලොයිඩ් නිසාවෙන් හරි කමක් නැහැ මේ ආපසු හැරිලා අපිට අපේම මනුස්සකම ගැන නැවත හිතන්න ලැබිලා තියන අවස්ථාව මහඟු එකක්. ඒකයි ඇමෙරිකන් පොලිසිය පුළුවන් තරම් අවිහිංසාවාදී විදියට මේ ප්‍රශ්නේ දිහා බලන්නේ. මම හිතන්නේ අපේ පොලිසිය ට මඟ හැරුණේ අන්න ඒ නිමේෂය.

මට මතක් වෙන්නේ අර කොරෝනා ආපු කාලේ බ්‍රිතාන්‍ය සෞඛ්‍ය සේවයේ හෙදියක් මිය ගිය වෙලාවේ එයාගේ ස්වාමි පුරුෂයා සියළු සෞඛ්‍ය උපදෙස් පැත්තකට දාල එයා මිය යන්න කළින් අන්තිම කිස් එක දෙනවා. ඒක දීලා කියනවා කොරෝනා වලට කලින් අපි මිනිස්සු වෙලා හිටියා මතක නැද්ද කියල

ඉතින් පොලිසියේ අය කොරෝනා නිසා නම්, නිරෝධායනය නිසා නම් අර ගැහැණු ළමයා පිටකොටුවේ අල ළුණු ගෝනියක් ගානට ආකාශ ගත කළේමම කියන්නේ කොරෝනා එන්න කලින් වත් අපි මිනිස්සු වෙලා හිටියා මට නම් මතක නැහැ කියල. මම හිතන්නේ අපි යක්කු බොලව්කියන එක තමයි හරිම හරි තේමාවගොඩක් දුකයි.

අකුරු වලට ලෝකය වෙනස් කරන්න බැහැමට හිතුනේ එච්චරයි.

මුහුණු පොතෙනි

 

[title]ප්‍රකාශනයේ නිදහස ඇහිරීමක් – උදා දේශප්‍රිය[/title]

ලොව වටා පැතිරී යන පොලිස් ප්‍රචණ්ඩත්වයට එරෙහි විරෝධතා ලංකාවටත් කෙතරම් අදාලද යන්න තේරුම් ගැනීමට ඊයේ සිදුවීම ප්‍රමාණවත්.

ජෝර්ජ් ෆ්ලොයිඩ් විරෝධතා වලට සහය පල කල ශ්‍රී ලාංකිකයන්ව හෑල්ලුවට ලක් කරන්නට කියූ දෙයක් තමයි ඇමරිකාවේ වෙන දේ ලංකාවට අදාළ නැති බව. නමුත් අපි තේරුම් ගත යුතු දේ තමයි මුළු ලෝකයේම ජනතාව අයත් වන්නේ මානව වර්ගයට බවත් ඒ නිසා ලොව කොතැනක හෝ පුද්ගලයෙක්ට එරෙහි සිදු කරන අසාධාරණය හා ප්‍රචණ්ඩත්වය අපටත් අදාළ වන බවයි. දේශ සීමා, ජාති, ආගම්, භාෂා, හෝ සමාජ භාවය අනුව විවිධ වූ අනයනතාවයන් ඇති අපි සැවොම එක මානව පවුලකි.

අපි විරෝධතා කරන්නේ ඇයි? අපට යම් අසාධාරණයක් සිදු වූ විට එයට අකමැත්ත ප්‍රකාශ කිරීමට අපට සහජ අවශ්‍යතාවක් ඇතුවා නොවේද? ගුරුවරයා නිවැරදි පිළිතුරට වැරදි දැමූ විට එය ගුරුවරයාට පෙන්වා දීමට අපි පෙළඹෙන්නේ ඉබේමයි. සාධාරණත්වය යනු එය නැති වූ විට එය අසාධාරණයි!’ යැයි හඬ නැගීමට මිනිසාව පොළඹවන දෙයක් බව නමඅමතකනීතිවීදියෙක් කියූ හැටි නීතිවිද්‍යාව පන්තියේදී ඉගෙනගත් බව මතකය. එසේ නම් ස්වභාව ධර්මයට අනුව විරෝධතා දැක්වීම අසාධාරණයට විරුද්ධව ඇතිවන ස්වභාවික ප්‍රතිචාරයක් ලෙස තේරුම් ගන්නට පුළුවන.

නමුත් ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍ය ක්‍රමයක් තුල විරෝධතාවයට එම ස්වභාවික ප්‍රතිචාරයෙන් ඔබ්බට ගිය භූමිකාවක් ඇත. විරෝධතාව ප්‍රකාශ කිරීම, අප ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් මූලික අයිතිවාසිකමක් ලෙස තහවුරු කර ඇති ප්‍රකාශනයේ නිදහස තුල ඇතුලත් වන්නේය. සිරිමල් එදිරිව අමරතුංග නඩු තීන්දුව මෙතනදී මතක් නොකරම බැරිය. 1992 වසරේ පැවැත්වුන ජනඝෝෂා නම් විනාඩි 15ක විරෝධතාවයක් අතරතුර පෙත්සම්කරු බෙරයක් ගැසුවේය. පොලීසිය බෙරය කැඩූ විට ඔහු බෙර කැබලි එකට ගසමින් ශබ්ද කළේය. පොලීසිය බෙර කැබලිත් විනාස කල විට ඔහු අත් පුඩි ගැසුවේය. පොලීසියෙන් ඔහුට ගුටි බැට ලැබිණි. නඩුවේදී ශ්‍රේෂ්ඨාධිකරණය පැවසුවේ පෙත්සම්කරුගේ ප්‍රකාශනයේ නිදහස උල්ලංඝනය කර තිබූ බවයි.

ප්‍රජාතන්තවාදී ක්‍රමයක් තුල රාජ්‍ය බලය ඇත්තේ පුද්ගලයා අතේය. පුද්ගලයා සාධාරණ මැතිවරණයක් හරහා පාලකයන් පත් කර ගනී. පාලකයන් පුද්ගලයාගේ නියෝජිතයන් වේ. නිවැරදිව පාලකයන් තෝරාගැනීමට නම් පුද්ගලයාට බාධාවකින් තොරව නිවැරදි අපක්ෂපාතී තොරතුරැ ලබා ගැනීම වැදගත් වේ. ඒ අනුව ප්‍රජාතන්තවාදය සඳහා ප්‍රකාශනයේ නිදහස අතිශය වැදගත් වේ. විවිධ හේතු කියා පෑවද, ප්‍රජාතන්තවාදී ක්‍රමයක් තුල ප්‍රකාශනයේ නිදහස මර්දනය කිරීම දෙස අප සැක සහිතව බැලිය යුතු වන්නේ ඒ නිසාය.

මුහුණු පොතෙනි

[title]පොලිස් ප්‍රචණ්ඩත්වය හෙලා දකිමු! පොලීසිය විසින් මිනිස් මුලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම නතර කරනු![/title]

ඇමෙරිකා එක්සත් ජනපදයේ මිනිඇපොලිස් ප්‍රාන්තයේ පොලීසිය විසින් කෘර ලෙස මරා දැමුණු ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ මරණය මුලික කරගෙන, පොලිසියේ වර්ගවාදී කෘරත්වයට සහ මර්ධනයට එරෙහිව දියත් වී ඇති “කලු ජාතිකයින්ගේ ජීවිත වැදගත්!” සමාජ ව්‍යාපාරයට ජාත්‍යන්තර වශයෙන් පැන නැගුනු සහයෝගීතා අරගලයට ශ්‍රී ලාංකිකයින්ගේ සහයෝගය ප්‍රකාශ කිරීම සඳහා ඊයේ (09) පැවති උද්ගෝෂණයට පොලීසිය සිදුකළ පහරදීම හා අදාළ පිරිස් අත්අඩංගුවට ගැනීම අපි තරයේ හෙලා දකින්නෙමු. එම උද්ගෝෂණය වැළැක්වීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් ලබා දුන් නියෝගය කඩ කලේ යැයි සහ කොරෝනා වසංගතයට අදාල නීති රීති කඩ කලේ යැයි කියමින් 53 දෙනෙකු අත්අඩංගුවට ගෙන පසුව ඇප මත මුදා හැරුණි. ඔවුන් COVID-19 සම්බන්ධ ආරක්‍ෂිත පියවර උල්ලංඝණය කළ බවට ද චෝදනා එල්ල වූ නමුත් විරෝධතාවයේ යෙදී සිටි අය මුහුණු ආවරණ පැළඳ, සමාජ දුරස්ථභාවය සහිතව ආරක්‍ෂිත පියවර අනුගමනය කරන ලදී. මෙලෙස අත්අඩංගුවට ගත් අය අතර නීතිඥ හා විමුක්ති ව්‍යාපාර සාමාජික ස්වාස්තිකා ආරුලිංගම් ද අයත් වේ. අයව අත්අඩංගුවට ගනු ලැබූවේ පොලිසියේ ප්‍රචණ්ඩ ප්‍රහාර හා විරෝධතාවය ආරම්භ කිරීමට පෙර පවා සිදු වූ අඩංගුවට ගැනීම් පිළීබඳ පොලිසියෙන් ප්‍රශ්න කිරීමේදී ය.

එක්සත් ජනපද තානාපති කාර්යාලය “අසල” විරෝධතා පැවැත්වීම තහනම් කළ අධිකරණ නියෝගය උල්ලංඝණය කලේ යැයි චෝදනා කරමින් පොලීසිය විසින් කොල්ලුපිටියා වෙළඳපොළ අසලදී ප්‍රචණ්ඩකාරී ලෙස විරෝධතාකරුවන් අත්අඩංගුවට ගනු ලැබීය. නමුත් එම අධිකරණ නියෝගය අදාළ නොවූ ලිප්ටන් වටරවුම අසල දී ද නීතිවිරෝධී ලෙස විරෝධතාකරුවන් අත්අඩංගුවට ගැනීම අපි හෙළා දකිමු. විරෝධතා දැක්වූ වයෝවෘද්ධ කාන්තාවක් ඇතුළු කාන්තාවන් කිහිප දෙනෙකුට පොලීසිය විසින් කරන ලද නින්දිත ප්‍රහාර අපි තවදුරටත් හෙළා දකිමු.

මෙම අත්අඩංගුවට ගැනීම්වල එක් හේතුවක් ලෙස දක්වන ලද්දේ විරෝධතාකරුවන් COVID-19 සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය නොකිරීම වුවද, පොලිසිය විසින් අත්අඩංගුවට ගත් පිරිස ඉතාමත් හිංසනීය ලෙස වාහනවල පටවා හැරියේ කිසිඳු නිරෝධායන රෙගුලාසියක් අනුගමනය නොකරමිනි. කෙසේ වෙතත්, පොලිසිය අත්අඩංගුවට ගත් අය පොලිස් වෑන් රථ හා ට්‍රක් රථවල පුරවාගෙන රඳවා තබාගත්තේ කිසිදු නිරෝධායන රෙගුලාසියකට අනුකූලව නොවේ. ඒ අනුව මෙහිදී නීතිය කඩ කරන්නේත් මහජන ආරක්ෂාවට බාධා කරන්නේත් උද්ගෝෂණය කල පුරවැසියන් නොව නීතිය රැකීමට පොරොන්දු දෙන පොලීසියය. එය නිදහසේ විරෝධය දැක්වීමට එරෙහිව අවනීතිය ක්‍රියාත්මක කිරීමකි.

එසේම මෙම පරස්පරය සලකුණු කල තවත් සිද්දියක් වුයේ නිරෝධායන නීති කඩකරමින් පසුගිය කාලයේ දින ගණනක් අමාත්‍ය තොන්ඩමන්ගේ අවමංගල්‍යය උත්සවයයි. අවමංගල්‍ය කටයුතු සතියක් පුරා සිදු කරන ලද අතර, රට පුරා විවිධ ස්ථානවල, නිරෝධායන මාර්ගෝපදේශ පැහැදිලිවම උල්ලංඝණය කරමින්, ගමනාගමන සීමා කිරීම් බොහෝ දුරට පැවති අවස්ථාවකදී, ඒවාට අනුගත නොවී පැවැත්විණි. පාලක ප්‍රභූ පැලැන්තියට එක් නීතියක් සහ සාමාන්‍ය ජනතාවට තවත් නීතියක් ඇති බවට මෙයින් මනා ලෙස ප්‍රදර්ශනය නොවේද?

එසේම වඩාත් බරපතල ලෙස මේ ආණ්ඩුව මෙසේ හැසිරෙන්නේ, පාර්ලිමේන්තුව අහෝසි කර, අප මැතිවරණයක් අපේක්ෂාවෙන් සිටින සමයෙකය. මේ පහරදීම් බරපතල වන්නේ ඒ නිසාය. ඔවුන් විසින් ඉතාමත් හිංසනීය ලෙස සාමකාමීව තවත් ජන කොට්ටාශයක අයිතීන් සඳහා පෙනී සිටීමට මිනිසුන්ට ඇති අයිතිය මර්දනය කිරීම ඉතාම භයංකර, ප්‍රජාතන්ත්‍රවිරෝධී දේශපාලන තත්වයක පෙරමග සලකුණු කෙරෙයි.

මෙසේ මහජන විරෝධී ලෙස කටයුතු නොකර ශ්‍රී ලංකාවේ පුරවැසියන්ගේ ප්‍රජතන්ත්‍රවාදී අයිතීන් සුරැකෙන පරිදි මහජන ආරක්ෂාව සැලසීමට කටයුතු කිරීම නීතිගරුක පොලීසියක කාර්යභාරය බව පෙන්වා දීමට අපි කැමැත්තෙමු.

විමුක්ති ව්‍යාපාරය විසින් නිකුත් කරන ලද නිවේදනයකිනි..

කොළඹ ඇමරිකානු එක්සත් ජනපද තානාපති කාර්යාලය අසල පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් පවත්වන ලද උද්ඝෝෂණයට ආණ්ඩුව පොලීසිය යොදා සිදු කරන ලද පහරදීමත් ඊට සහභාගි වූ පිරිසක් අත්අඩංගුවට ගැනීමත් දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දකින බව සඳහන් කරමින් ජාතික ජන බලවේගය ද නිවේදනයක් නිතුක් කළේය.

මුහුණු පොතෙනි

[title]“සාමකාමී උද්ඝෝෂණවලට පහරදීම හෙළාදකිමු![/title]

අද (09) පෙරවරුවේ කොළඹ ඇමරිකානු එක්සත් ජනපද තානාපති කාර්යාලය අසල පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් පවත්වන ලද උද්ඝෝෂණයට ආණ්ඩුව පොලීසිය යොදා සිදු කරන ලද පහරදීමත් ඊට සහභාගි වූ පිරිසක් අත්අඩංගුවට ගැනීමත් ජාතික ජන බලවේගය ලෙස අපි දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දකිමු.

කොවිඞ් 19 වෛරසයට මුවා වෙමින් ජනතාවගේ ප්‍රජාතන්ත්‍රීය අයිතිවාසිකම් කප්පාදු කිරීමට ආණ්ඩුවට ඉඩදිය යුතු නැති අතර සාධාරණ හා සාමකාමී විරෝධතාවන් පැවැත්වීමට මහජනතාවට ඇති අයිතිය ආණ්ඩුව විසින් පිළිගත යුතුව තිබේ. මැතිවරණයක් අබියස සිටියෙදීම ආණ්ඩුව තමන්ගේ මර්දනකාරී හැසිරීම නිර්ලජ්ජිත ලෙස පෙන්වා දීමක් ලෙස අපි මෙම පොලිස් පහරදීම හා අත්අඩංගුවට ගැනීම හඳුනාගනිමු. ශ්‍රී ලංකාවේ පාලකයින්ගේ මෙම හැසිරීමෙන් පෙන්නුම් කරන්නේ, එක් අතකින් මර්දනකාරී පාලනයකට ඇති ඔවුන්ගේ සූදානමත් අනෙක් අතට ඔවුන්ගේ එක්සත් ජනපද ගැතිභාවයත්ය.

මේ තත්වය තුළ සාමකාමී ලෙස විරෝධය පෑමට ජනතාවට ඇති අයිතිය අධිකරණය යොදාගනිමින් පැහැර නොගන්නා ලෙස ආණ්ඩුවට බලකර සිටින අපි ජනතාව සතු ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් රැකගැනීමට පෙළගැසෙන මෙන් සියලු ජනතාවන්ගෙන් ඉල්ලා සිටිමු.

ජාතික ජන බලවේගය

Archive

Latest news

Related news