Friday, April 26, 2024

ලෝක යුද අවසානයේ 75 වන සංවත්සරය: සිය වරද දැකීම තුළ රැදි ශක්තිය. – රංජිත් හේනායකආරච්චි.

ඡායාරූපය: යුද අවසානයේ 75 දින සැමරිමට වර්ණ ගැන්වූ “බර්ලින් ගේට්ටුව”.

දෙවන ලෝක යුද්ධය අවසාන වී මැයි 8 වනදාට වසර හැත්තෑ පහකි. ලෝකයම කොරෝනා වසංගතය නිසා අඩපණවී ඇති අවස්ථාවක වුවත් එදා ඒ කුරිරු යුද්ධයෙහි විපාක සිහිකරමින්, එම යුද්ධය අවසාන කරමින්, වසර 75කට උඩදී කුරිරු නාසිවාදීන් පරාජය කිරීමේ මොහොත අද දින සමරන රටවල නායකයින්ගේ ප්‍රකාශයන්, එදා යුද්ධයට මුහුණ දුන් තාමත් ජීවතුන් අතර සිටින වින්දිතයන්ගේ ප්‍රකාශයන්, ආදිය ඇතුළත් විවිධ ප්‍රවෘත්ති සහ වැඩසටහන් ජාත්‍යන්තර මාධ්‍යයන්හි පසුගිය දිනවල ඉදිරිපත් කෙරුණි. තවමත් ඉදිරිපත් කැරෙති.

මින් වසර 75කට උඩදී මැයි 8 වන දින සෝවිට් හමුදාවන් විසින් බර්ලින් නගරය අල්ලා ගැනීමෙන් පසු ජර්මන් නට්සින් කොන්දේසි විරහිතව යටත්වීම මගින් ඒ කුරිරු යුද්ධය අවසන් විය. එදා ලොව එක කෙවරක සිට අනෙක් කෙවර දක්වා රටවල නගරපුරා ජනයා ගී ගයමින් නටමින් ප්‍රීති විය.

ජර්මනියේ නාට්සිවාදීහු එදා ඒ යුද්ධයේ කුරිරු සපරාධී ක්‍රියාදාමයන්හි වගඋත්තරකරුවෝ වෙති. එදා ජර්මන් ජනයා අන්ධානුකරනයෙන් නාට්සින්ගේ අපරාධයනට සහය දැක්වීම සමාවක් නැති වරදකි. අද ජර්මනියේ නායකයෝ, බුද්ධිමත්හු,

මාධ්‍යවේදීහු සහ වේදිනියෝ ආදීහු විවිධ වැඩසටහන් සහ ලිපි ලේඛන මගින්, මෙම කොරෝනා ව්‍යසන අවධියේ වුවද, එම අපරාධයන් අමතක නොකරනු වස් සහ දිගින් දිගටම සිහිකිරීම් තුලින් නැවතත් එම අපරාධ සිදුවීම වලක්වා ගැනීමේ අරමුනින්, එම අපරාධයන්හි සාපරාධි බව ප්‍රචාරය කරමින් සිටිති.

දෙවන ලෝක යුද්දයේදී මරාදැමූ සහ මියගිය මිනිසුන් ප්‍රමාය මිලියන 60කට වැඩි බවත්, මෙයින් වැඩි දෙනෙකු සිවිල් වැසියන් බවත්, ඒවාගේම නාට්සි වධ කඳවුරුවල මරාදැමූ යුදෙව් ජාතිකයින්ගේ ප්‍රමාණය මිලියන හතක් ඉක්මවන බවත් සංඛ්‍යා ලේඛන අනුව කියැවෙයි. සෝවියට් දේශය තුළ පමණක් මිලියන 27 ක් නාට්සි යුද්ධය නිසා ජීවිතක්ෂයට පත්විය.

ජාතිවාදයෙහි ඇති උම්මත්තක බව, එහි ඇති කෲර බව, එහි ඇති නිෂ්ඵල බව ලෝකයටම කියාදුන්, ඒ වාගේම ලෝකයටම ණනය කල නොහැකි තරම් විශාල හානි පැමිණ වූ, නාට්සිවාදීන්ගේ බිහිසුණු වර්ගවාදයේ ම්ලේච්ජ බව විසින් දියත් කල දෙවන ලෝක යුද්ධය මෙතෙක් පැවැති ලෝකයට, මනුෂ්‍ය සංහතියේ ඉතිහාසයට උදාහරණ නොමැති විනාශයක් ළඟා කර දෙන ලදී.

එදා ජර්මන් ජාතිකයින් කිසි වග විභාගයකින් තොරව තම වර්ගයේ ශ්‍රේෂ්ඨ බව සහ තම වර්ගය ලෝකයේ අධිපතීන් විය යුතුය යන නට්සිවාදීන්ගේ උන්මත්තක ප්‍රකාශයන් අන්ධ ලෙස විශ්වාස කරමින්, ඔවුන්ගේ සාපරාධී ක්‍රියාවන් කරගෙන යාමට අන්ධ ලෙස සහයෝගය දෙමින් ලෝකයට කළ හානිය, ඒවාගේම තමන්ටත් කර ගත් හානිය කියා නිමකල නොහැකි තරම්ය. ඕනෑම වර්ගයක ජාතිකවාදයක්, ජාතිවාදයක්, ආගම්වාදයක් අන්ධානුකරණයෙන් තමන් පමනක් උසස් යයි කියමින්, තමන්ගේ ශ්‍රේෂ්ඨ බව පමණක් ගැන මැත දොඩමින් හැසිරේ නම්, එහි ඇති මේ විකාර සහගත වියරුවට එපිටින් ඇත්තේ මහා විනාශයක් ලඟා කරදීම බව වටහා ගැනීමට අගනා පාඩමක් එදා නාට්සි ජර්මනියේ විනාශය ලෝක ඉතිහාසයට එක් කර ඇත.

කිසිම ජන වර්ගයක් හෝ ජාතියක් අනෙකාට වඩා උසස් හෝ ශ්‍රේෂ්ඨ නොවන බව අපට මනුෂ්‍ය සංහතියේ සම්වය කියාදෙයි. මිනිස් සංහතිය පැවත එන්නේ “හෝමෝ සාපියන්ස්ලාගෙන්” බව අද අප දන්නෙමු. මෙයින් වසර මිලියන ගණනකට උඩදී අප්‍රිකාවේ තැනිතලාවන්හි වර්ධනය වී ක්‍රමයෙන් මුළු ලෝකය පුරා පැතිර ගිය මෙම වඳුරු වර්ගය එතෙක් ඒ හා සමානව පැතිර තිබූ අනෙකුත් වඳුරු වර්ග වන “හෝමෝ ඉරෙක්ටස්,” “නියන්ඩර්තාල” වැනි කොටස් විනාශ කරමින් අද සිටින මිනිසා බවට පත්වූ බව ඉතිහාසය සාක්ෂි දරයි. අප එකකු අනෙකාට වඩා උසස්යයි කොයිතරම් කයිවාරු ගැහුවා උවත්, උදම් ඇනුවා උවත්, අප සැම තුළම ඇත්තේ එකම ජාන සංයෝජනයක් බව මේ වන විට නවීන විද්‍යාඥයන් විසින් සොයා ගෙන හමාරය. එනිසා එකම ජාන සංයෝජනයක ජීවත් වන හෝමෝසාපියන් වර්ගයේ මිනිස් වඳුරා වන අප තවත් අප වැනි එකෙකුට ම වඩා උසස් යයි සිතන්නේ නම් එහි ඇත්තේ මෝඩ නොදැනුවත්කම සහ උද්දච්ච කම පමණි.

කෙසේ හෝ මා මෙහි මාතෘකාව ලෙස ගත්තේ දෙවන ලෝක යුද්ධයේදී ජර්මානුවන් විසින් නාට්සිවාදීන්ගේ මෝඩ, උද්ධච්ච, අර් සූන්‍ය කියමන් විශ්වාස කර, වැරදි ක්‍රියාදාමයන් අනුගමනය කර ලෝකයට කළ විනාශය පිළිබඳව අද ජර්මානු ජාතිකයින් කතාකරන ආකාරය ගෙනහැර පෑමටයි.

මැයි 8 වන දින ජර්මනියේ ජනාධිපතිවරයා වන ෆ්‍රන්ක් වල්ටර් ස්ටයින්මායර් මහතා ජාතිය අමතා කළ කතාවේදී ඉදිරිපත් කළ අදහස්වල අන්තර්ගත වැදගත්කම මතු කිරීමටයි.

අපට වේදනාවෙන් බරවූ හදවකින් තමයි අපේ රටට ආදරය කරන්න වෙලා තියෙන්නෙ. නැහැ, ඒ විනාශය මතකයට නැඟීම නොවේ බර, එය මතක් නොකර සිටීම තමයි බර. වරදෙහි වගකීම භාර නොගැනීම අපරාධයක්එය එසේ නොවුණා යැයි කීම අපරාධයක්. නැවත එය ඇතිවීමට ඉඩ නොතබමු. ”

ඔහුගේ කතාවේදී ජනාධිපතිවරයා මෙසේද කියයි. ඒ අද වනවිට නැවත හිස ඔසවමින් තිබෙන නව නට්සින් ගැනයි.

එදා අපව නිදහස් කරගනු ලැබුව. අද අප අපවම නිදහස් කරගත යුතුව පවතිනව. ඒ මේ අලුතින් මතුකරගන්න දඟලන නව ජාතිකවාදයෙන්. ඒ මේ ඒකාධිපතිවාදයට නැවත පෙම් බැඳීමෙන්, වෛරයෙන් සහ උසිගැන්වීම් වලින්, ආගන්තුකයන්ට සතුරුවීමෙන් සහ ප්‍රජාතන්ත්‍ර අයිතීන්ට එරෙහිවීමෙන්.”

මෙසේ කියන ඔහු තවදුරටත් පසුගිය වකවානුවේ නව නට්සි ප්‍රහාර වලින් මියගිය අයද සිහිකරයි.

හානවු, හලේ සහ කාසල් ප්‍රහාරයන්ට ගොදුරු වූ සියල්ලන්ද මේ මැයි 8 දින අපි සිහිකරමු.”

තමන්ගේ වරද හඳුනාගැනීම සහ එය නැවත නැවත සිහිකිරීමත්, එය නැවත සිදුවීම වලකාගැනීමේ වැදගත්කම නිරන්තර සිහි කිරීමත්, තම වරදින් ඉගෙන ගැනීමමත් ඔවුන්ගේ දියුණුවේ ඉණිමඟ බව මගේ වැටහීමයි.

 

 

 

Archive

Latest news

Related news