Monday, May 20, 2024

කොවිඩ් වසංගතය පාලනය කිරීම යනු ප්‍රජාතන්ත්‍රවාදය මර්දනය කිරීමක් නොවිය යුතුය. – අයිඑන්එස්ඩී, ජර්මනිය.

ලොව පුරා සාමාජිකත්වයක් සහිත ජර්මනිය පදනම් කරගත් ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වන ශ්‍රී ලංකිකයින්ගේ ජත්‍යාන්තර ජාලය  (INSD), ටෙහි කෝරෝනා වෛරසයට (කොවිඩ්-19) එරෙහි සටනේ ප්‍රමුඛ භූමිකාව වෙනුවෙන් ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවන්ට ආචාර කරයි. මෙම තීරණාත්මක අවස්ථාවෙහිදී මහජනයාට අත්‍යවශ්‍ය සේවාවන් සපයන රාජ්‍ය ආයතනවලට සහ කාර්ය මණ්ඩලයන්ටද අපි ස්තූතිවන්ත වෙමු. වසංගතය පාලනයකිරීමේහි යෙදී සිටින සියලු දෙනාගේ සෞඛ්‍ය ආරක්ෂාව පිළිබඳව ද අපි සැලකිලිමත් වෙමු.

අවිනිශ්චිතතාවයේ මේ පැයේදී, අපි සියලු ප්‍රජාවන්හි ශ්‍රී ලාංකික ජනතාව සමඟ අපේ සහයෝගය ප්‍රකාශ කරමු. මෙම දුෂ්කර කාල පරිච්ඡේදය ජය ගත හැක්කේ සමගියෙන් එක්ව නැගී සිටීම මගින් පමණි.

ඒ අතරම, ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සහ මානව හිමිකම් කෙරෙහි අවධානය යොමු කරන ජාලයක් ලෙස අයිඑන්එස්ඩී”, පාලනය කිරීමේ මුවාවෙන් ශ්‍රී ලංකා රජය ගෙනයන අත්තනෝමතික ක්‍රියාමාර්ග පිළිබඳව සිය බරපතල කනස්සල්ල පළ කරයි. වසංගතයට එරෙහිව සටන් කිරීමේ ආවරණය යටතේ ප්‍රජාතන්ත්‍රවාදය සහ මානව හිමිකම් මැඩලීම සඳහා ක්‍රමාණුකූල මෙහෙයුමක් ක්‍රියාත්මක වෙමින් පවතින බව ඉතා පැහැදිලිය. පසුගිය සති කිහිපය තුළ, ශ්‍රී ලංකාවෙහි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් දක්වා ඇති මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම් ගණනාවක් අපි අත්දුටුවෙමු. ශ්‍රී ලංකාව තුළ විසම්මුති සහ විපාක්ෂික මතයන් ඉලක්ක කර යටපත් කිරීමේ ව්‍යාපාරයක් අඛණ්ඩව පවතින බව ඉන් පෙන්නුම් කැරේ.මෙම මර්දනකාරී ප්‍රවණතාවය අදහස් ප්‍රකාශ කිරීමේ නිදහසට බරපතල තර්ජනයක් ලෙස අයිඑන්එස්ඩී සලකයි.

මෙම තත්වයට උදාහරණයක් නම් සිය මුහුණු පොතෙහි අන්තවාදී මතවාදයන්ට එරෙහිව ලියූ සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙකු වන රම්සි රසීක් පොලීසිය විසින් අත්අඩංගුවට ගැනීමයි. ඔහු අත්අඩංගුවට ගෙන ඇත්තේ වෛරී භාෂනයට එරෙහි නීතිමය මෙවලමක් වන අයිසීසීපීආර් පනත යටතේ බව වාර්තා වේ. පටු දේශපාලන වාසි තකා රජය විසම්මුතිය මැඩපැවැත්වීමට පටන් ගෙන ඇති බව මෙමගිින් පෙන්වාලයි.

සැබෑවින්ම වෛරී භාෂන පතුරවන්නන්ට එරෙහිව පොලීසිය මෙතෙක් එක අත් අඩංගුවට ගැනීමක් හෝ සිදු නොකිරීම ගැන අපි කම්පාවට හා පුදුමයට පත් වෙමු.ආණ්ඩු ගැති කොටස් වලින් පැන නගින, බොහෝ වෛරී ප්‍රචාරයන් එල්ල වන්නේ ජනවාර්ගික හා ආගමික සුළුතරයන්ට සහ රටේ දේශපාලන විරුද්ධ පාර්ශවයන්ට එරෙහිවය. ශ්‍රී ලංකා පොලීසියේ මෙම හැසිරීම මගින් සනාථ කරනුයේ සුළුතර ජාතීන්ට වෙනස් කොට සැලකීම රට තුළ ගැඹුරින් මුල්බැස ඇති ආයතනික නපුරක් බවයි.

ශ්‍රී ලංකාව තුළ මුල් බැස ඇති මිලිටරි නිලධරය ගැන ද අපි සැලකිලිමත් වෙමු. ආපදා කළමනාකරණ පනත වැනි පවතින නීතිමය යාන්ත්‍රණ භාවිතා කරනවා වෙනුවට, වසංගතයට මුහුණ දීම සඳහා රජය හමුදාපතිවරයාගේ නායකත්වයෙන් වෙනම යාන්ත්‍රණයක් ස්ථාපිත කර තිබේ. අද වන විට ශ්‍රී ලංකාව පවතින්නෙ කිසිදු නීතිමය පදනමක් නොමැති ඇඳිරි නීතිය යටතේ. කොවිඩ්-19 ආසාදිත සම්බන්ධතා සොයා ගැනීම සඳහා හමුදා බුද්ධි අංශ අනුයුක්ත කර ඇති අතර එමඟින් ජනගහනය මත ඔවුන්ගේ ග්‍රහණය තවත් ශක්තිමත් වනු ඇත. දුෂ්කර තත්වයන් යටතේ විශිෂ්ට කාර්යයක් ඉටු කරන සෞඛ්‍ය වෘත්තිකයන් වෙනුවට අද කොවිඩ්-19 වෛරසය පාලනය කරන ප්‍රමුඛ බලවේගය ලෙස ප්‍රක්ෂේපණ කැරෙන්නේ ආරක්ෂක හමුදාවන්ය.

විශේෂයෙන් මෙතරම් විශාල ඛේදවාචකයක් තුළ, ජනතාවගේ සෛවරීයත්වය නියෝජනය කරන පාර්ලිමේන්තුව අකර්මන්‍ය වී තිබීම ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදයේ අනාගතය සඳහා යහපතක් සිදු නොකරයි. හොඳම ක්‍රියාමාර්ගය විය යුතුව තිබුණේ පාර්ලිමේන්තුවෙහි එළඹි සම්මුතියක් මත පදනම්ව සාමූහිකව වසංගත තත්වයට මුහුණ දීමයි. ඒ වෙනුවට, වසංගතය පාලනය කිරීමේ ක්රියාවලිය කෙටිකාලීන දේශපාලන වාසි තකා දේශපාලනීකරණය කිරීමට රජය ප්‍රමුඛත්වය දී තිබේ.

අපේ‍්‍රල් 25 වන දින පැවැත්වීමට නියමිතව තිබූ මහ මැතිවරණයට අදාළ සිදුවීම් රටේ පෙර නොවූ විරූ නීතිමය අර්බුදයක් මතු කරයි. කොවිඩ්-19 වෛරසය පැතිරෙමින් තිබියදී 2020 මාර්තු 02 වන දින ජනාධිපති රාජපක්ෂ මහතා විසින් පාර්ලිමේන්තුව අකාලයේ විසුරුවා හරින ලදී. දැන් පවතින වසංගත තත්ත්වය හේතුවෙන් මැතිවරණ කොමිසම මැතිවරණය ජුනි 20 දක්වා කල් දමා තිබේ. පාර්ලිමේන්තුවකින් තොරව පාලනය කළ හැකි මාස තුනක කාලය ජුනි 02 වන දින අවසන් වේ. තමා පාර්ලිමේන්තුව නැවත රැස් නොකරන බවට ජනාධිපතිවරයා දැඩි ලෙසම කියා සිටියි. පාර්ලිමේන්තුව යනු නීති සම්පාදනය කරන ආයතනයක් පමණක් නොවන බව අවධාරණය කිරීමට අපි කැමැත්තෙමු. ජනාධිපතිවරයා වගකිව යුතු ආයතනය එයයි. විධායකය අධීක්ෂණ කරන්නේ ද එය විසිනි. රාජ්‍ය මූල්‍ය පාලනය කරන්නේද එය විසිනි. අධිකරණයට සාමාන්‍ය කාලයක දී මෙන් ක්‍රියාත්මක වීමට ඇති නොහැකියාව නිසා විධායකය තනිව රට පාලනය කිරීමට අධිෂ්ඨාන කරගෙන සිටී. ජනාධිපතිවරයා තේරී පත්ව සිටියද පාර්ලිමේන්තුව හා අධිකරණය යන දෙකම අක්‍රීය වී ඇති අවස්ථාවක ඔහුට හෝ ඇයට තනිව රට පාලනය කළ නොහැකිය. එවැනි තත්වයක් ඇති වුවහොත් එමගින් ආණ්ඩු‍ක්‍රම ව්‍යවස්ථාව මගින් පාලනය කිරීමේ සංකල්පයට බරපතල ලෙස හානියක් සිදු කරයි. එවැනි පාලනයක් ඒකාධිපති පාලනයට සමාන බව අමුතුවෙන් කිව යුතු නැත.

වර්ධනය වන එන තත්වය ශ්‍රී ලංකාවේ නීතියේ ආධිපත්‍යයට, ප්‍රජාතන්ත්‍රවාදයට හා මානව හිමිකම්වලට බරපතල තර්ජනයක් එල්ල කරයි. සුවිශේෂී අවස්ථාවන්ට සුවිශේෂී පියවර අවශ්‍ය බව අයිඑන්එස්ඩී සම්පූර්ණයෙන්ම වටහාගෙන සිටී. කොවිඩ්-19 වසංගතය පාලනය කිරීමේදී මෙය සත්‍යයකි. එහෙත් එවැනි සුව්ාශ්ෂි  පියවරයන් ප්‍රජාතන්ත්‍රවාදී පාලනයට හා ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ජනතාවගේ මූලික අයිතිවාසිකම් කප්පාදු කිරීම සඳහා ආවරණයක් නොවිය යුතුය.

ශ්‍රී ලංකාවේ නැගී එන වසංගත තත්වය සම්බන්ධයෙන් රජයේ ප්‍රජාතන්ත්‍ර විරෝධී ප්‍රවේශය දැඩි ලෙස හෙළා දකින අයිඑන්එස්ඩී”, වසංගතයට මෙන්ම රාජපක්ෂ පවුලේ නායකත්වයෙන් යුතු අත්තනෝමතික පාලනයක් ඇතිකිරීම සඳහා වන ප්‍රයත්නයන්ට එරෙහිව සටන් කිරීම ස්වකීය බළඇණි එක් පෙරමුණකට ගෙන එන ලෙස පිනිස සියලු ප්‍රජාතන්ත්‍රවාදී බලවේගයන්ගෙන් ඉල්ලා සිටී.

INSD පුවත්පත් නිවේදනය. 29.04.2020.

සේනක වත්තේගෙදර, ක්‍රියාකාරී කමිටුව වෙනුවෙන්, ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වන ශ්‍රී ලංකිකයින්ගේ ජත්‍යාන්තර ජාලය, 

Archive

Latest news

Related news