Thursday, November 21, 2024

පැහැදිලි නීතිමය පදනමක් නැති ‘පොලිස් ඇඳිරි නීතිය’, ව්‍යවස්ථාමය ‌කොන්දේසි උල්ලංඝනය කරයි – අසංග වැලිකල සහ සුරේන් ප්‍රනාන්දු

Image courtesy of Economy Next/LAKRUWAN WANNIARACHCHI / AFP.

කොරෝනා වෛරස වසංගතය වැනි බරපතළ අර්බුදයක් ඇති වූ විටක, මහජනතාව ආරක්ෂා කිරීමට හා අර්බුදයේ ප්‍රතිවිපාක අවම කිරීමට රජය කඩිනමින් හා කාර්යක්ෂමව කටයුතු කරනු ඇතැයි පුරවැසියෝ අපේක්ෂා කරති. මේ සඳහා සාමාන්‍ය තත්වයකදී රජයට තිබෙන බලතලවලට වඩා වැඩි බලතල රජයට අවශ්‍ය බව පිළිගත යුතු කරුණකි. කෙසේ වෙතත්” ශ්‍රී ලංකාව වැනි ව්‍යවස්ථාවකට අනුව පාලනය වන ප්‍රජාතන්ත්‍රවාදී රටක” පවතින අර්බුදයට වඩා ප්‍රතිකාරය හානිදායක නොවිය යුතු බවට මහජනතාවට සාධාරණ අපේක්ෂාවක් ඇත.

රජයේ ප්‍රතිචාරය නිසා මූලික නිදහස ඛාදනය වනවා නම්, එම මූලික නිදහස ඛාදනය වීම අත්‍යවශ්‍ය, සමානුපාතික හා නීතියෙන් අවසර දී ඇති ප්‍රමාණයට සීමා විය යුතුය. අනෙකුත් ප්‍රජාතන්ත්‍රවාදී රටවල ව්‍යවස්ථාවන් මෙන්ම, ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාවද, හදිසි අවස්ථා අපේක්ෂා කරන අතර එම සුවිශේෂ තත්වයන් පාලනය කිරීම සඳහා නීත්‍යනුකූල ව්‍යුහයක් සලසයි. එබැවින් මෙම අර්බුදය සම්බන්ධයෙන් කටයුතු කිරීමේදීද එහි සෑම ක්‍රියාවක් තුළම, අදාළ වන නීතියට අනුකූලව ක්‍රියාත්මක වීමට ව්‍යවස්ථාමය බැඳීමක් රජයට ඇත. නෛතික පදනමක් නොමැති කිසිදු විධායක ක්‍රියාවක් සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ රාමුව තුළ රජයට ඉඩ ප්‍රස්ථාවක් නොමැත.

[title]ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ රාමුව[/title]

උත්තරීතර නීතිය තුළ හදිසි අවස්ථාවලදී කටයුතු කීරීමට අවශ්‍ය ප්‍රතිපාදන සලසා ඇති හෙයින් මෙම අර්බුදය සම්බන්ධයෙන් කටයුතු කිරීමේදීද රජය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ රාමුව තුළ කටයුතු කළ යුතුයැයි බල කිරීමට පුරවැසියන්ට අයිතියක් ඇත. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මහජනයා ආරක්ෂා කිරීම සඳහා රජය විසින් ගත යුතු ක්‍රියාමාර්ග වළක්වාලන මාංචුවක් නොවන අතර, එය රජයට අසීමිත බලයක් ලබා දෙන හිස් චෙක්පතක්ද නොවේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් ආරක්ෂාව සහ නිදහස යන අරමුණු අතර සමතුලිතතාවක් ඇති කරයි. එය කරනුයේ කාර්යක්ෂමතාව (රජයට අතිරේක බලතල ලබාදීමෙන්) මෙන්ම ප්‍රජාතන්ත්‍රවාදය සාක්ෂාත් කරගන්නා නෛතික රාමුවක් (ප්‍රජාතන්ත්‍රවාදී නිදහස නීතිය මගින් සීමා කළ හැක්කේ කෙසේද සහ කොතෙක් දුරටද යන්න පැහැදිලිව සඳහන් කිරීමෙන්) සැකසීමෙනි.

ආරක්ෂාව සහ නිදහස අතර සමතුලිතතාව ඇතිකිරීම ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක මූලික අරමුණකි. එය අපගේ කෙටිකාලීන භෞතික යහපැවැත්ම සහ ආරක්ෂාව මෙන්ම ප්‍රජාතන්ත්‍රවාදයේ සාරධර්ම මත පදනම් වූ ජීවිතයේ දිගු කාලීන ගුණාත්මකභාවයද ආරක්ෂා කරයි. තාර්කික පුරවැසියන් වශයෙන් මෙම අර්බුදය තුළ අපගේ රජයේ ක්‍රියාකාරිත්වය තක්සේරු කළ හැක්කේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ වෙනත් අදාළ නීති මගින් ස්ථාපිත කර ඇති අධිකාරිය සහ නීතිරීති තුළ රැඳීසිටිමින් රජය කාර්යක්ෂමව ක්‍රියාත්මක වන්නේද යන්න සලකා බැලීමෙනි. යෝග්‍ය සහ සුදුසු සමතුලිතතාවක් නොමැති නම්, ප්‍රජාතන්ත්‍රවාදයට හානි වන අතර, ඒකාධිපතිවාදයට අනුබල දීමේ  අවදානමක් ඇත. කොරෝනා වෛරස් අර්බුදය පටන්ගෙන සති කීපයක් ගතවී ඇතත්, රජය මෙවන් සමතුලිතතාවේ ඉලක්කයට ළඟාවීමට අපොහොසත් වී ඇත.

[title]ඇඳිරි නීතිය[/title]

වෛරසය පැතිරීම අඩාල කිරීමේ අරමුණින් මිනිසුන්ගේ එදිනෙදා කටයුතු සීමා කිරීම සාධාරණය කළ හැක. මහජනයා ස්වේච්ඡාවෙන් හුදකලා වීමකට වඩා ඇඳිරි නීතිය පැනවීම මහජන සෞඛ්‍ය අරමුණු සපුරාලීම සඳහා අවශ්‍ය බව ශ්‍රී ලංකාවේ රජයට හැඟුණි. සාමාන්‍ය ජනජීවිතයට බාධාවීම් හා විවිධ දුෂ්කරතා තිබියදීත්, බහුතරය මෙම තීන්දුව පිළිගත් බව පැහැදිලිය. ඇඳිරි නීතිය 2020 මාර්තු 20 දින සිට බලාත්මක වුවද, එය අවසන් වන්නේ කවදාද යන්න පිළිබඳව නිශ්චිතභාවයක් නොමැත. එබැවින් මෙය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සහතික කර ඇති මූලික අයිතිවාසිකම් වන ලංකාව තුළ ගමන් කිරීමේ නිදහස, සාමකාමීව රැස්වීමේ නිදහස, නීත්‍යනුකූල වෘත්තීන්හි නිරතවීම සහ ප්‍රකාශනයේ නිදහසට බලපානු ඇත.

ඇඳිරි නීතිය පිළිබඳ රජයේ නිවේදනවල එහි නෛතික පදනම ලෙස කිසිදු ව්‍යවස්ථාපිත විධිවිධානයක් පැහැදිලිව සඳහන් කර නැති නමුත් ‘පොලිස් ඇඳිරි නීතිය’ යන සංකල්පය මත පදනම් වී ඇති බව උපකල්පනය කළ හැක. මේ සඳහා හේතුව පැහැදිලිය. අදාළ වන ලිඛිත නීති – එනම් පොලිස් ආඥා පනත, නිරෝධායනය සහ රෝග වැළැක්වීමේ ආඥා පනත, අපරාධ නඩු විධාන සංග්‍රහය සහ ශ්‍රී ලංකා ආපදා කළමනාකරණ පනත වැනි පනත්වලින් එවැනි ඇඳිරි නීතියක් පැනවීමට රජයට සෘජු ව්‍යවස්ථාපිත බලයක් නොමැත.

මහජන ආරක්ෂණ ආඥා පනතේ 16 වන වගන්තිය මගින් ජනාධිපතිවරයාට ඇඳිරි නීතිය පැනවීමට සීමිත බලතල ලබා දී ඇතත්, එම වගන්තිය යටතේ නියෝගයක් ගැසට් කර ඇති බවක් නොපෙනේ. ජනාධිපතිතුමා විසින් ගැසට් නිවේදනයකින් (2020 මාර්තු 23 දිනැති), මහජන ආරක්ෂණ ආඥා පනතේ 12 වන වගන්තිය යටතේ මහජන සාමය පවත්වාගෙන යාම සඳහා ත්‍රිවිධ හමුදාවන්ට බලය දී තිබියදීත්, 16 වන වගන්තිය යටතේ ගැසට් නිවේදනයක් නිකුත් නොකරන්නේ ඇයිද යන්න ගැටලුවකි.

[title]ව්‍යවස්ථාපිත පදනමක් නොමැත[/title]

‘පොලිස් ඇඳිරි නීතිය’ යන සංකල්පයට ව්‍යවස්ථාපිත පදනමක් නොමැති අතර, සාමය පවත්වා ගැනීම සඳහා එය ප්‍රයෝජනවත් පොලිස් බලයක් ලෙස සාමාන්‍යයෙන් භාවිත වන බව පෙනේ. එහෙත් මෙවැනි දුර්වල නෛතික පදනමක් ඇති පොලිස් ඇඳිරි නීතිය සාධාරණය කළ හැක්කේ, භාවිතය සාපේක්ෂව කුඩා ප්‍රදේශයකට සීමා වූ විට (සාමාන්‍යයෙන් ප්‍රාදේශීය පොලිස් බල ප්‍රදේශයකට), ඉතා කෙටි කාලයකට (දින හෝ සති නොව පැය ගණනක්), සහ බලපෑමට ලක්වූවන්ගේ මූලික අයිතිවාසිකම් කෙරෙහි ඉතා සීමිත බලපෑමක් ඇති වන අවස්ථාවලදී පමණි. එසේ වුවද කොරෝනා වෛරස් අර්බුදයේදී ඇඳිරි නීතිය භාවිත කිරීම අවිනිශ්චිත කාල සීමාවක් සඳහා, විශාල ප්‍රදේශයක සහ මූලික අයිතිවාසිකම්වලට විශාල බලපෑමක් ඇති වන නිසා, සාමාන්‍ය පොලිස් ඇඳිරි නීතිය භාවිත කිරීමට වඩා සහමුලින්ම වෙනස්ය.

[title]‘නීතියෙන් නියමකර’ ඇති පරිදි[/title]

බොහෝ මූලික අයිතිවාසිකම් යම් නිශ්චිත හේතු මත සීමා කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් ඉඩ ලබාදී තිබේ. කොරෝනා වෛරස් අර්බුදය හේතුකොටගෙන යම් මූලික අයිතිවාසිකම්වලට යම් සීමාවන් පැනවිය හැකි බව නිසැකය. එහෙත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව මූලික අයිතිවාසිකම් සඳහා වන සියලු සීමාකිරීම් කළ හැක්කේ එම සීමාකිරීම් ‘නීතියෙන් නියමකර’ ඇති පරිදි වේ.  සීමාවක් පැනවීමට අවශ්‍ය සෑම අවස්ථාවකම පාර්ලිමේන්තුව හරහා රජය නිශ්චිත නීතියක් පැනවිය යුතු බව මින් අදහස් නොවේ. එහි අර්ථය වන්නේ මූලික අයිතිවාසිකමක් සීමා කිරීමේ බලපෑමක් ඇති කරන ඕනෑම විධායක ක්‍රියාවකට නීතියේ පැහැදිලි පදනමක් හෝ අවසරයක් තිබිය යුතු බවයි. පැහැදිලිවම 2020 මාර්තු 20 සිට අවිනිශ්චිත ‘පොලිස් ඇඳිරි නීතිය’ මෙම ව්‍යවස්ථාමය අවශ්‍යතාව උල්ලංඝනය කරයි.

[title]හදිසි රීති රෙගුලාසි නැති ජනාධිපති[/title]

පෙර පැවති හදිසි අවස්ථාවලදී රජයන් මූලික අයිතිවාසිකම් සඳහා සීමාවන් පනවා ඇත්තේ හදිසි රෙගුලාසි මගිනි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ මහජන ආරක්ෂණ ආඥා පනත මගින් හදිසි අවස්ථාවකදී මෙම රෙගුලාසි සම්පාදනය කිරීමට ජනාධිපතිවරයාට බලය ඇත. එම රෙගුලාසිවලට සාමාන්‍ය නීතියකට හිමි තැන හිමි වන අතර, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හැර වෙනත් ඕනෑම නීතියක් අබිබවා යා හැකිය. කෙසේ වෙතත්, ජනාධිපතිවරයා මෙම නීති සම්පාදනය කිරීමේ බලය ලබා ගන්නේ හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කළ විට පමණි. පාර්ලිමේන්තුව විසුරුවා හරින ලද අවස්ථාවකදී පවා හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කළහොත් එය සම්මත කිරීමට පාර්ලිමේන්තුව වහාම කැඳවීම අවශ්‍ය වේ (ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 155(4)(i) ව්‍යවස්ථාව). විසුරුවා හරින ලද පාර්ලිමේන්තුව නැවත කැඳවීමට ජනාධිපතිවරයා අකමැති නිසා ඔහු හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත් කර නොමැති බව උපකල්පනය කළ හැක. දීර්ඝ ඇඳිරි නීතිය පැනවීම සඳහා අවශ්‍ය නෛතික පදනම සැපයිය හැකි හදිසි රෙගුලාසි පැනවීමේ බලය ඔහු මේ අනුව ලබාගෙන නොමැත.

අනිද්දා පුවත් පතෙහි පළ වූ “කාර්යක්ෂමතාව, නීතිය හා නිදහස අතර සමතුලිතතාව පැවැත්වීම: ප්‍රජාතාන්ත්‍රික පසුබැසීමකින් තොරව වසංගතයට මුහුණදීම” නම් ලිපියෙන් උපුටා ගන්නා ලදී.

 

Archive

Latest news

Related news