Saturday, April 20, 2024

තරුනයන්ට රැකියා දීමේ කඩතුරාව යටතේ ආන්ඩුව මිලිටරි‍යෙන් අධීක්ෂනය කෙරෙන වහල් ශ්‍රම බලකායක් තනයි.

රටපුරා දිලිඳු පවුල්වල විරැකියා තරුන තරුනියන් ලක්ෂයකට රැකියා දීමේ කඩතුරාව යටතේ ගෝඨාභය රාජපක්ෂ ආන්ඩුව දියත් කල “‍බහුකාර්ය සංවර්ධන කාර්ය සාධක බලකාය”‍ (බසකාසබ) සඳහා තරුනයන් බඳවා ගැනීමට අයඳුම්පත් භාර ගනිමින් තිබේ. සම්මුඛ පරීක්ෂන අවසන් කිරීමත් සමග මාස 06 පුහුනුවකින් පසු එම තරුනයන් හට රැකියා ලබාදෙන බව ආන්ඩුව ප්‍රකාශ කරයි.

මෙම සම්මුඛ පරීක්ෂන, රැකියා පුහුනුව හා රැකියා ලබාදීම යන කටයුතු සියල්ල ආරක්ෂක අමාත්‍යාංශය හා ත්‍රිවිධ හමුදාවේ අධීක්ෂනය යටතට පත් කර ඇති රාජපක්ෂ ආන්ඩුව, එමගින් තම මිලිටරීකරන වැඩ කටයුතු වඩාත් ඉහල තලයකට නංවා ඇත. ත්‍රිවිධ හමුදාවේ මාන්ඩලික ප්‍රධානී ලෙස කටයුතු කල හා 2007 දී වැඩබලන හමුදාපති ධුරයේ සිට විශ්‍රාම ගත් මේජර් ජෙනරාල් නන්ද මල්වආරච්ච් මෙම බලකායේ අධ්‍යෂක ලෙස පත් කර තිබේ. එසේම, “නිසි තරුනයන්”‍ තෝරා ගැනෙනුයේ මිලිටරි බුද්ධි අංශ නිලධාරීන්, බෞද්ධ භික්ෂූන් සහ ග්‍රාමසේවා නිලධාරීන් අන්තර්ගත ජාලයකිනි.

මෙහි සැබෑ එල්ලය වනුයේ, “‍දිලිඳුකම සහ තරුන විරැකියාව”‍ පිටුදැකීම නොවේ. ආන්ඩුවේ ප්‍රහාරයන්ට එරෙහිව අරගලයට පිවිසෙන කම්කරුවන්ට සහ අවශේෂ පීඩිතයන්ට එරෙහිව මුගුරක් ලෙස යොදාගත හැකිවන පරිදි, බෞද්ධ සංස්ථාපිතයෙන් “විනයගත”‍ කෙරුනු සහ රාජ්‍ය බුද්ධි අංශය ඇතුලු‍ ආරක්ෂක ජාලය සමග සමීපව වැඩකටයුතු කරන උපස්ථම්භක බටකායක් ගොඩ නගා ගැනීම මෙහි එක් ප්‍රමුඛ අරමුනකි. දෙසැම්බර් 16 වෙනිදා මාධ්‍ය ආයතන ප්‍රධානින් හා පැවති සාකච්චාවක් අමතමින් ජනාධිපති රාජපක්ෂ පැවසුවේ, එය “සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව මෙන් ශක්තිමත් නව බලකායක්” බව යි.

ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකට 300-350 ක් පමන වන සේ බඳවා ගන්නා මෙම තරුනයින්, වඩු, පෙදරේරු, ධීවර, කෘෂිකාර්මික හා වනවගා වැනි අංශ ගනනාවක රැකියා සඳහා පුහුනු කරන බවත්, මේ වසරේ ඔක්තෝම්බර් මස රජයේ හා අදාල වෙනත් ආයතනවල පුරප්පාඩු සඳහා ඔවුන් බඳවා ගන්නා බවත් ආන්ඩුව ප්‍රකාශ කරයි. පුහුනු කාලයේ දී රුපියල් 22,500 ක දීමනාවක් ද, රැකියාවට බඳවා ගැනීමෙන් පසු රුපියල් 35,000 වැටුපක් ද හිමිවන බව ආන්ඩුව පවසයි. නමුදු, ආන්ඩුවට අනුව, මෙම රැකියා විශ්‍රාම වැටුප් සහිත ස්ථිර රැකියා බවට පත්වන්නේ වසර 10 ක කාලයකින් පසුවයි.

මෙම ව්‍යාපෘතියේ සැබෑ අරමුනු තවදුරටත් පැහැදිලි කර ගත හැක්කේ එය මුහුන දී සිටින පෙර නොවු විරූ ආර්ථික හා දේශපාලන අර්බූදය හා පසුගිය කාලපරිච්ඡේදයේ තරුනයන් සම්බන්ධයෙන් සමස්ත පාලක පන්තියේ වාර්තාව විමසා බැලීමෙනි.

ලෝක ධනේශ්වර ක්‍රමයේ පද්ධතිගත අර්බූදයට ඍජුව සම්බන්ධිතව, වැඩිවන වෙලඳ ශේෂ හිඟයකට හා අයවැය හිඟයකට මුහුන දී සිටින ලංකාවේ ආන්ඩුවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (ජාමූඅ) රුදුරු කප්පාදු පිලිවෙත් ක්‍රියාවට දැමීම හැර අන් විකල්පයක් නැත. දල ජාතික නිෂ්පාදිතයෙන් (දජානි) සියයට 7 ක් ව පවතින අයවැය හිඟය ලබන වර්ෂය වන විට 3.5 ක් දක්වා කප්පාදු කිරීම ජාමූඅට පොරොන්දු දී සිටින ආන්ඩුව රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යුහගත කිරීම, අධ්‍යාපනය සහ සෞඛ්‍යය වැනි සුභසාධන තවදුරටත් කප්පාදු කිරීම හා කම්කරු පීඩිත මහජනයා මත බදුබර තීව්‍රකර ධනපති ආයෝජකයන් සඳහා සහන පිට සහන පිරිනමමින් සිටී.

ආන්ඩුව පසුගිය දා 2008 මූලෝපායික සංවර්ධන ව්‍යාපෘති පනත යලි සක්‍රීය කොට විදේශ ආයෝජකයන් සඳහා විශාල බදු සහන නිවේදනය කලේ ය. චීනය, බංග්ලාදේශය, ඉන්දියාව වැනි රටවල් සමග ආයෝජන ගෙන්වා ගැනීමේ උග්‍ර තරගයක යෙදී සිටින ලංකාවේ පාලක පන්තිය ආයෝජන ආකර්ෂනය සඳහා කම්කරු පන්තියේ ශ්‍රම සූරාකෑම හා ඔවුනට එරෙහි මර්දනය තව තවත් තීව්‍ර කල යුතුව ඇත. එම ලාභ ශ්‍රම වහල් තටාකය නිර්මානය කරදීම මෙම බලකාය පිහිටුවීමේ අනෙක් මූලික අරමුනයි.

දෙමල ජනතාවයට එරෙහි විසිපස් අවුරුදු යුද්ධය කාලපරිච්ඡේදයේ දී හා 2009 දී යුද්ධය අවසාන වීමෙන් පසු පැවති මහින්ද රාජපක්ෂ සහ සිරිසේනවික්‍රමසිංහ තන්ත්‍රයන් එල්ල කල සහ වත්මන් ගෝඨාභය රාජපක්ෂ තන්ත්‍රය එල්ල කරමින් පවත්නා ප්‍රහාරවල ප්‍රතිඵලයක් ලෙස තරුනයන්ගේ ජීවන කොන්දේසි කාබාසිනියා වී තිබේ. ජන ලේඛන හ සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ 2019 දෙවන කාර්තුවේ සමීක්ෂන වාර්තාවලට අනුව වයස අවුරුදු 20-29 අතර තරුන විරැකියාව සියයට 15.1 කි. උසස් පෙල හා ඉන් ඉහලට අධ්‍යපනය ලැබූවන්ගේ විරැකියාව සියයට 9.5 කි. සැබෑ සංඛ්‍යා ලේඛන මීට වැඩි අගයක් ගනු නියතය. කෙසේ නමුත් නිල තරුන විරැකියාව සමස්ත විරැකියාව මෙන් තුන් ගුනයකටත් වැඩි අගයක් ගෙන තිබීම තරුනයන් මුහුන දෙන ගැටලු‍ පිලිබඳ එක් දර්ශකයකි. අධ්‍යාපන කප්පාදුව හා දුප්පත්කම හේතුවෙන් උසස් අධ්‍යාපන අවස්ථා අහිමි වන රටපුරා දහස් ගනනක් තරුන තරුනියෝ මහා සමාගම්වල, වතු හා වෙලදසැල්වල රුපියල් 15,000 ටත් අඩු මාසික වැටුප් යටතේ දරුනු සූරාකෑමකට ලක්ව සිටිති.

විරැකියාව තුරන් කරන බවට පොරොන්දු පිට පොරොන්දු දෙන රාජපක්ෂ ආන්ඩුව, රාජ්‍ය ආයතනවල කොන්ත්‍රාත් හා අනියම් කම්කරුවන් දහස් ගනනක් රැකියාවලින් දොට්ට දමා තම සැබෑ පිලිවෙත කම්කරුපීඩිත මහජනතාවට පෙන්වා දී ඇත.

සමස්ත කම්කරු පන්තිය මත සිදු කෙරෙන ප්‍රහාරයේ පෙර ඇඟවුමක් විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ට එරෙහි ප්‍රහාරයන් මගින් දැනටමත් පෙන්නුම් කර තිබේ. නිදහස් අධ්‍යාපන කප්පාදුවට හා පෞද්ගලීකරනයට එරෙහි ශිෂ්‍යයන්ගේ අඛන්ඩ විරෝධතා මැඩීමේ කොටසක් ලෙස පන්ති තහනම් කිරීම් සහ අත්අඩංගුවට ගැනීම් මගින් විශ්වවිද්‍යාල බන්ධනාගාරවල තත්වයට පත්කර ඇත. පසුගිය වසර තුල රුහුනු විශ්වවිද්‍යලයේ රක්ෂිත බන්ධනාගාර ගතකල, ශිෂ්‍යභාවය අහෝසි කල හා විනය පරීක්ෂනවලට ලක් කල සිසුන් සිය ගනනකි. පේරාදෙනිය විශ්වවිවිද්‍යාලයේ ඔත්තු සේවා නිලධාරීන් 34 ක් සිටින බව එම විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා පසුගිය දා ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර ඇත.

1971 දී හා 1989-90 කාලපරිච්ඡේදයේ දී, විරැකියාව ඇතුලු‍ රුදුරු ජීවන කොන්දේසිවලට එරෙහිව පැනනැගි තරුන නැගිටීම්වල දී ගම්බද තරුනයන් දහස් ගනනින් මිලේච්ඡ ආකාරයෙන් ඝාතනය කිරීම සම්බන්ධයෙන් පාලක පන්තියට ඇත්තේ කුප්‍රකට වාර්තාවකි.

සිදුකර ඇති අඛන්ඩ කප්පාදුව හේතුවෙන් මහජනයා අතර විශේෂයෙන් ගම්බද තරුන ජනයා අතර සමස්ත ධනපති පාලක පන්තිය සම්න්ධයෙන් වර්ධනය වන බරපතල විරෝධය සමාජ පිපිරීමක් කරා වර්ධනය වනු ඇතැයි ආන්ඩුව ඇතුලු‍ පාලක කවයන් භීතියට පත්ව සිටිති. ලෝක පරිමාන පන්ති අරගල පුපුරා යෑමේ කොටසක් ලෙස ලංකාවේ පසුගිය වසරේ වතු කම්කරුවෝ, පාසල් ගුරුවරු, විශ්වවිද්‍යාල අනධ්‍යන සේවකයෝ, දුම්රිය, සෞඛ්‍ය වැනි අංශවල කම්කරුවෝ බලගතු වර්ජනවලට අවතීර්න වූහ

පුපුරා යමින් පැවති මෙම අරගල මැඩීම සඳහා මිලිටරිය බල ගැන්වීමට නිමිත්තක් සොයමින් සිටි පසු ගිය ආන්ඩුව, අප්‍රියල් 21 ත්‍රස්ත බෝම්බ ප්‍රහාරය ගසා කමින් වහා මිලිටරියට පොලිස් බලතල ලබාදුනි. එතැන් පටන් මිලිටරිය රටපුරා දිගේලි කෙරුනු අතර, වත්මන් ආන්ඩුව එය වඩාත් ශක්තිමත් කරමින් දිගටම පවත්වාගෙන යයි. පසුගිය දා ජාතික බුද්ධි සේවා පනත නමින් තවත් රුදුරු පනතක් ඉදිරියට දමා ඇත්තේ කම්කරු පන්තිය හා සිය දේශපාලන විරුද්ධවාදීන් දඩයමට ලක් කිරීමටයි. පන්ති අරගලයේ නැගීම මධ්‍යයේ ලොව පුරා සහචර පාලක පන්තීන් ෆැසිස්ට් ආඥාදායක පාලන රූප වෙත මාරුවීමට සමගාමීව ලංකාවේ ගෝඨාභය රාජපක්ෂ මිලිටරි පොලිස් රාජ්‍යයක් කරා ගමන් කරමින් සිටී.

උපාධිධාරීන් හා ගම්බද තරුනයන්ගේ විරැකියා ප්‍රශ්න විසඳන බවට ගෙනයන ප්‍රචාරය ඉදිරි මහා මැතිවරනය ඉලක්ක කරගත් තවත් දැවැන්ත ප්‍රෝඩාවකි. මාර්තු මාසයේ පාර්ලිමේන්තුව විසිරුවා හැරීමට යන රාජපක්ෂ පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයක් ලබා ගැනීමේ ඉලක්කය ඇතුව ජනතාවට සහන ලබා දෙන බවට කරන පූච්චානම්වලට අමතරව, රාජපක්ෂ ඇතුලු‍ පාලක තන්ත්‍රය, සිංහල දෙමල කම්කරු පන්තිය බෙදීම සඳහා සිංහලබෞද්ධ ස්වෝතමවාදී ප්‍රකෝපකරනයන් වඩවඩාත් උත්සන්න කරමින් සිටී.

කපිල ප්‍රනාන්දු විසිනි, 2020 පෙබරවාරි 06

WSWS හි පළ වූ ලිපියකින් සකස් කරන ලදී. සම්පූර්ණ ලිපිය සඳහා මෙතැන කොටන්න

https://www.wsws.org/sinhala/2020/2020feb/gtmw-06f.html

Archive

Latest news

Related news