මගේ අවධානය යොමු වෙන්නේ රංජන් නාටකයේ ඇති සාමාන්‍ය ලක්ෂණ වෙත නොව සුවිශේෂ ලක්ෂණ වෙතයි.
මොනවාද ඒ සාමාන්‍ය ලක්ෂණ?
රංජන්ගේ කුල අගතීන්, දේශපාලනඥයෙක් ලෙස අධිකරණ හා නෛතික ක්‍රියාවලීන්ට කරන මැදිහත්වීම් යනාදියයි. මේවා සාමාන්‍ය වශයෙන් විවේචනය කළ හැකි ඒවාය.
ඒ සියල්ල අත්හැරි විට රංජන් නාටකයේ අපේ අවධානය යොමුවිය යුතු සුවිශේෂී අංග කීපයක් ඇත. මේ සටහන ඒ පිළිබඳවයි.
රංජන් 1930-40 ගණන්වල සිටියානම් බොහෝවිට ඔහු දේශපාලන වශයෙන් අයත් වනු ඇත්තේ ලංකා සමසමාජ පක්ෂයටයි. එකළ සමසමාජ පක්ෂය සමඟ මෙවැනි චරිත විශාල ප්‍රමාණයක් ගොනුවී සිටියහ. වර්තමාන අර්තයෙන් ඔවුන් සලකනු ලැබෙන්නට ඉඩ ඇත්තේ චණ්ඩීන් හා දාමරිකයින් ලෙසිනි. නමුත් ඔවුහු හිත හොඳ චණ්ඩි වූහ. දැන් රන්ජන් වැන්නන්ට සම්බන්ධවීමට සමසමාජ ව්‍යාපාරය වැනි ව්‍යපාරයක් නැත. ඔහුගේ දේශපාලන පරමාදර්ශය වූයේ විජය කුමාරතුංගයි. 1980ගණන් වල විජයගේ රැස්වීම් පැවැත්වෙන විට රංජන් ජනයා අතර සිටිනු මම ද දැක ඇත්තෙමි. ඔහු ක්‍රියාකාරී ලෙස දේශපාලනට එන්නේ 1994න් පසුවයි. ඒ වනවිට විපාක්ෂික දේශපාලනය පැවැතියේ එජාපය අතේය. ඒ නිසා ඔහු එජාපයට සේන්දු විය. එකළ වුවද වාසුදේව නානායක්කාර වැනි අය පවා රංජන් කෙරේ උනන්දුවකින් පසුවූ බව මම දණිමි. කෙසේ වෙතත් එජාප දේශපාලනය ඔහුට එතරම් ගැලපුණු තැනක් නොවීය. පසුගිය කාලයේ එජාපය පවා ඔහු සමග එතරම් සතුටින් සිටියේ නැත.
මා කලින් ද සඳහන් කර ඇති ආකාරයට රංජන් දේශපාලනයට මැදිහත් වන්නේ ඔහුගේම වූ ආකාරයකටයි. විජය කුමාරතුංගට ලැබුණු මට්ටමේ හෝ බුද්ධියම මගපෙන්වීමක් රංජන්ට නොලැබේ. එජාපය ඔහුගේ ජනප්‍රියත්වය භාවිත කරනවාට වඩා වැඩි දෙයක් නොකරයි. නමුත් ඔහුගේ දේශපාලන මැදිහත්වීඹ තුළ සුවිශේෂත්වයක් ඇත.
මේ සුවිශේෂත්වය අදුනා ගැනීමහට හොඳ නිදර්ශනයක් ඉදිරිපත් කිරීමට පුළුවන. ඔහුම එජාප සංවිධායකයා වන දිවුලපිටියේ පොහොට්ටුව නායකයා වන්නේ ඉන්දික අනුරුද්ධයි. ඉන්දික අනුරුද්ධ ප්‍රකට වී ඇත්තේ පස් ව්‍යාපාරිකයෙක් ලෙසිනි. ඔහු සිය දේශපාලන සබඳතා මූළික වශයෙන් යොදාගන්නේ සිය ව්‍යාපාරික අභිලාෂ වෙනුවෙනි. පසුගියදා පස් හා වැලි ප්‍රවාහණය සඳහා ලබාදුන් සහනයෙන් ඔහු උපරිම ප්‍රයෝජන ගනු ලබයි. මෙවැනි දේශපාලකයින් සමඟ සන්සන්දනය කළහොත් අපට රන්ජන්ගේ සුවිශේෂත්වය අවබෝධ කරගැනීමට පුළුවන. ඔහු දේශපාලන ක්‍රියාවලිය අවභාවිත කරන්නේ ඔහු තේරුම් ගන්නා ආකාරයට යහපත් අරමුණු වෙනුවෙනි. එහි ගැටලු ඇති බව නොකිව මනාය. නමුත් එය උභතෝකෝටික තත්වයකි. සාමාන්‍යයෙන් ඔහු දේශපාලන බලය සාමාන්‍ය දේශපාලකයින් මෙන් තම දූෂිත අරමුණු සඳහා යොදාගන්න බවට සාක්ෂි නැත. එය සාමාන්‍යයෙන් වර්තමාන දේශපාලනය තුළ විරළ තත්වයකි.
මේ නිසා රංජන් විවේචනය කිරීම පහසු දෙයකි. විශේෂයෙන් මේ දිනවල රංජන්ව වැඩියෙන්ම විවේචනය කරනු බව පෙනෙන්නෙ රෝහිත අබේගුණවර්ධන, මහින්දානන්ද අළුත්ගමගේ වැනි අයයි. ඒයම බෙහෙවින් ඇස් අරවන සුළු තත්වයකි. එසේම දුමින්ද සිල්වා ප්‍රවර්ධනය කරන පිරිස් පවා රංජන් විවේචනය කිරීම ද උත්ප්‍රාසජනක වේ.
අප කළ යුත්තේ රංජන් වැන්නන්ගේ ජනහිතකාමී අනුරාගය ප්‍රයෝජනවත් ලෙස ආයෝජනය කළ හැකි දේශපාලන අවකාශයක් නිර්මාණය කිරීමයි.
(ප.ලි. මම රංජන් ගේ හඬපට ඇසුවේ එකක් හෝ දෙකක් පමණි. මා මේ සටහන ලියා ඇත්තේ ඒවායේ අඩංගුව විවේචනය කරන පිරිස් වලට උපරිම වාසිය දෙමින් බව සලකන්න)
සමහර විට රංජන්ව හිරේ දාන්නත් පුළුවන් වෙයි සෑහෙන කාලෙකට. නමුත් ඔහු ලංකාවේ දේශපාලනයට කරපු මේ දායකත්වය කිසිම කෙනෙකුට කරන්න පුළුවන් වෙන එකක් නැහැ. මොකද සාමාන්‍යයෙන් දේශපාලනය කරන ප්‍රකාශිත විප්ලවවාදීන් පවා බොහොම හිතල මතල තමයි වැඩ කරන්නෙ. රංජන් වගේ නොසිතා ඒ මොහොත තුළ කටයුතු කරන අය ලේසියෙන් පහළ වෙන්නෙ නැහැ. රංජනුත් සමහර විට පසුතැවිලි වෙයිද දන්නෙ නැහැ තමන් කරපු මෝඩ වැඩ ගැන. නමුත් ඒවගේ මෝඩයෝ වැදගත් ඓතිහාසික භූමිකා ඉෂ්ට කරල තියෙනව.
(මුහුණු පොතිනි)