Friday, May 17, 2024

පොලිස් කොමිසමෙන් පියන් කෙනෙකු කළ ශානිගේ කතාව

ගෝඨාභය රාජපක්ෂ යනු හිටපු හමුදා නිලධාරියෙකි. පසු කලෙක ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා වශයෙන් ද කටයුතු කළ අයෙකි. දැන් මෙරට ජනාධිපතිවරයා ය. ඔහු ජනාධිපතිවරණ සටනේදී පුන පුනා කීවේ පැවැති ආණ්ඩුව ඔවුන් විසින් ‘රණවිරුවන්’ ලෙසින් හැඳින් වූ අයව දඩයම් කරන බව ය. එනිසා එකී දඩයක්කාර ආණ්ඩුව ගෙදර යැවිය යුතු බව ඔවුන්ගේ මැතිවරණයේ ප‍්‍රධාන සටන් පාඨය විය. දැන් ඒ ආණ්ඩුව ගෙදර ගොස් ඇත. ඇත්තේ, ගෝඨාභය රාජපක්ෂගේ ප‍්‍රධානත්වයෙන් යුත් අලුත් ආණ්ඩුවකි. ඒ ආණ්ඩුව පටන් ගත් දා සිට පොලිසිය දඩයම් කිරීමට පටන්ගෙන තිබේ. නම් වශයෙන් ගත් කල ඒ ලේඛනය හත්සිය ගණනක් ඉක්මවා යන ලේඛනයකි. ආණ්ඩුව පටන් ගත් වහා ම ආණ්ඩුවෙන් බේරීමට පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා රට හැර ගියේ ය.

දැන් ආණ්ඩුවේ ඊ ළඟ ගොදුර වී ඇත්තේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර ය. ආණ්ඩු පාක්ෂිකයන්ට අනුව ශානි යනු පැවැති ආණ්ඩුවට අවශ්‍ය ලෙස නීතිය නැමූ රූකඩයෙකි. ඒ අයට ම අනුව ශානි කර ඇත්තේ ‘රණවිරු’ දඩයම් ය. රාජපක්ෂලා පසුපස හඹා යාම ය. අපට ශානි රකින්නට විශේෂ හේතුවක් නැත. හේතුව තිබිය යුත්තේ ‘රණවිරුවන්’ ආරක්ෂා කරන අයට ම ය. එහෙත්, අවම වශයෙන් ශානි අබේසේකර යනු කවරෙක් දැයි සංක්ෂිප්තව හෝ සටහන් කර තැබීම වගකීමක් ලෙස අපි විශ්වාස කරමු. එනිසා ම ශානි විසින් කරනු ලැබූ මෙහෙයුම් හා පරීක්ෂණ අපි මෙසේ පළ කරමු.

ශානිගේ ගමන් මඟ

ශානි අබේසේකර 1986.02.10 වන දින උප පොලිස් පරීක්ෂකවරයකු ලෙස පොලිස් සේවයට බැඳුණු අතර, කළුතර පොලිස් අභ්‍යාස විද්‍යාලයේ මූලික පුහුණුවෙන් පසු කුරුඳුවත්ත පොලිස් ස්ථානයට රාජකාරි සඳහා අනුයුක්ත කරන ලදී. ඉන් අනතුරුව ඔහු 1986.07.01 දින සිට පොලිස් විශේෂ කාර්ය බලකායට අනුයුක්ත කරන ලද අතර, මූලික වන සටන් පුහුණුවෙන් පසු මෙහෙයුම් රාජකාරි සඳහා 1986.12.09 වන දින මඩකලපුව කිරාන් කඳවුරට අනුයුක්ත කරන ලදී. ඉන් පසු මඩකලපුව මොරොක්කොට්ටන්චේන, මහිලඩතිව්, කොක්කඩිචෝලෙයි, වැල්ලවාඩිය, යාලබෝව, සංගමන්කන්ද, ශාස්ත‍්‍රවෙල්ලි යන කඳවුරුවල සේවය කොට විශේෂ ප‍්‍රභූ ආරක්ෂක පාඨමාලාව සාර්ථකව හැදෑරීම හේතුවෙන් ප‍්‍රභූ ආරක්ෂක රාජකාරි සඳහා වෝඞ් පෙදෙස විශේෂ කාර්ය බළකාය කඳවුරට අනුයක්ත කරන ලදී.

ඉන් අනතුරුව රාජගිරිය විශේෂ කාර්ය බළකා කඳවුරේ ද අවසන් වරට පෝරතිව් කඳවුරට අනුයුක්තව ද සේවය කර 1995.01.20 වන දින සාමාන්‍ය පොලිස් රාජකාරි සඳහා නාරාහේන්පිට පොලිස් ස්ථානයට ස්ථාන මාරුවීමක් ලබා තිබේ.

ඉහත කාල වකවානුව තුළ දී ශාස්ත‍්‍රවෙල කඳවුරේ සහ පෝරතිව් කඳවුරේ කඳවුරු අණ දෙන නිලධාරියා වශයෙන් සේවය කළ අතර 1991.01.01 වන දින පොලිස් පරීක්ෂක තනතුරට විශේෂ උසස් වීමක් ලැබ ඇත.

නාරාහේන්පිට පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කළ ශානි 1996.01.01 වන දින සිට අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති වශයෙන් ග‍්‍රෑන්ඩ්පාස් පොලිස් ස්ථානයට අනුයුක්ත කරන ලද අතර, එම පොලිස් ස්ථානයේ 1999.09.27 දින දක්වා සේවය කරන ලදී.

මෙම වකවානුව තුළ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් සිදු කරන ලද සහකාර පොලිස් අධිකාරී ශාන්ති කුමාර්ගේ ඝාතනය හා සම්බන්ධ විමර්ශන කටයුතු සඳහා තාවකාලික පදනම මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අනුයුක්තව සේවය කළ අතර, එම විමර්ශනය සාර්ථකව සිදු කිරීමෙන් අනතුරුව 1998.09.27 වන දින කොළඹ දිසාවේ විශේෂ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති වශයෙන් මරදාන පොලිස් ස්ථානයට අනුයුක්ත කරන ලදී. එම පොලිස් ස්ථානයට අනුයුක්තව සේවයේ යෙදී සිටිය දී 1999.01.10 වන දින ලද ස්ථාන මාරුවීම් නියෝගය පරිදි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සේවය සඳහා වාර්තා කරන ලදී.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මිනීමැරුම් විමර්ශන අංශයේ සේවයේ යෙදී සිටිය දී සමූහ මංකොල්ල විමර්ශන අංශයේ ස්ථානාධිපති වශයෙන් අභ්‍යන්තර ස්ථාන මාරුවක් ලද අතර, ඉන් පසු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ස්ථානාධිපති, විශේෂ ඒකකයේ ස්ථානාධිපති වශයෙන් 2007.09.27 දින දක්වා සේවය කරන ලදී.

ඉන් පසු 2007.09.27 දින ක්ෂේත‍්‍ර උසස් වීමක් ලැබ යාපනය කොට්ඨාසයේ සේවය සඳහා යොදවන ලද අතර, යාපනය කොට්ඨාසයේ දිස්ත‍්‍රික් (1) සහකාර පොලිස් අධිකාරීවරයා වශයෙන් 2009.04.01 දින දක්වා සේවය කිරීමෙන් පසු නැවතත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවන ලදී.

එසේ සේවයේ යෙදී සිටිය දී 2010.04.20 දින නුගේගොඩ කොට්ඨාසයට ස්ථාන මාරුවීම් නියෝගයක් ලැබෙන්නේ කිසිදු හේතුවක් නොමැතිව ය. ඒ අනුව හෝමාගම සහකාර පොලිස් අධිකාරීවරයා වශයෙන් අනුයුක්ත කොට ඇති අතර 2010.07.14 දින දක්වා එම රාජකාරියේ සේවය කොට නැවතත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇත.

අඟුලාන පොලිස් ස්ථානය තුළ පොලිස් නිලධාරීන් විසින් සිදු කරන ලද තරුණයන් දෙදෙනකුගේ ඝාතනය සම්බන්ධයෙන් කරන විමර්ශනවල දී ශානි අබේසේකරගේ මැදිහත් වීම පාදක කර ගනිමින් සහ ඒ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් කළ ප‍්‍රකාශත්, තවත් විමර්ශනවල දී ඔහුගේ දායකත්වයත් පදනම් කර ගනිමින් එවකට පොලිස්පතිවරයාගේ නිර්දේශය මත, එවකට පැවැති ජාතික පොලිස් කොමිෂන් සභාව විසින් 2011.08.25 වන දින ඔහුව පොලිස් අධිකාරී තනතුරට උසස් කරනු ලැබී ය. ඉන් අනතුරුව 2016.08.25 වන දින ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී තනතුරට උසස් කරන ලද අතර, ගාල්ල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ පෞද්ගලික සහකාර වශයෙන් ස්ථානමාරුව ලබා දෙන තෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කරනු ලැබී ය.

මේ දක්වා කාලය තුළ ශානි අබේසේකර විසින් ආන්දෝලනාත්මක, සංවේදී සහ සංකීර්ණ පරීක්ෂණ 67ක් සඳහා දායකත්වය ලබා දී තිබේ.

මිනීමැරුම් සහ ඝාතන

1996.02.19 වන දින සිට මේ දක්වා ශානි අබේසේකර විසින් පුද්ගල ඝාතන 87ක් සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සිදු කර තිබේ. ඒ අතුරින් ඇතැම් ඒවා සමූහ ඝාතනයන් ය. ඒවායෙන් බොහොමයක චූදිතයෝ මේ වන විටත් අධිකරණය හමුවට පැමිණවීමෙන් පසුව වරදකරුවන් වී දඬුවම් විඳිමින් සිටිති. පසුගිය කාලය පුරාම රට පුරා ආන්දෝලනයට ලක් වූ මෙම ඝාතන අතුරින් කිහිපයක් මෙසේ ය:

  1. කොටුව පොලිස් වසමේ දී 1998.06.08 දින සිදු කරන ලද සහකාර පොලිස් අධිකාරී ශාන්ති කුමාර් ගමන් කළ කාර් රථයට බෝම්බ ප‍්‍රහාරයක් එල්ල කර ඔහුව ඝාතනය කිරීම.
  2. මරදාන පොලිස් වසමේ දී 1998.12.09 වන දින නාගරික මන්ත‍්‍රී එම්.එම්.එන්. ඉමිටියාස් වෙඩි තබා ඝාතනය කිරීම.
  3. පිළියන්දල පොලිස් වසමේ දී 1998.12.15 දින අරඹෙවෙලගේ දොන් උපාලි රංජිත් නොහොත් සොත්ති උපාලි යන අය ඝාතනය කිරීම.
  4. මිරිහාන පොලිස් වසමේ දෙල්කඳ ප‍්‍රදේශයේ දී 1999.03.30 වැනි දින කාර් රථයක් තුළ පුද්ගලයන් 06 දෙනකු ඝාතනය කිරීම.

05. පෑලියගොඩ පොලිස් වසමේ බෙම්මුල්ල පාලම අසල දී 2001.03.24 වන දින එවකට රේගු අධිකාරිවරයකු වශයෙන් සේවය කරමින් සිටි සුජිත් ප‍්‍රසන්න පෙරේරා වෙඩි තබා ඝාතනය කිරීම.

  1. වත්තේගම පොලිස් වසමේ දී 2001.12.05 වන දින වෑන් රථයකින් ගමන් කරමින් සිටි පුද්ගලයන් දස දෙනකුට වෙඩි තබා ඝාතනය කිරීම (උඩතලවින්න දස පුද්ගල ඝාතනය වශයෙන් එවකට ප‍්‍රසිද්ධ වූයේ මෙම සමූහ ඝාතනයයි).

07. වැලිකඩ පොලිස් වසමේ ‘රෝයල් පාක්’ නිවාස සංකීර්ණයේ දී 2005.07.01 වන දින ස්වීඩන් ජාතික ඉවෝන් ජොන්සන් නමැත්තිය ඝාතනය කිරීම.

08. අඟුලාන පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කරන ලද පොලිස් නිලධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා ලද තරුණයන් දෙදෙනකු 2009.02.02 වන දින වෙඩි තබා ඝාතනය කිරීම.

09. මිරිහාන පොලිස් වසමේ දී 2013.05.22 වන දින පැහැරගෙන ගොස් දොම්පේ පොලිස් වසමේ දී මොහොමඞ් ෂියාම් ඝාතනය කිරීම. (මෙම විමර්ශනයේ දී අනාවරණය කර ගන්නා ලද සාක්ෂි මත හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන ඇතුළු චූදිතයන් 06 දෙනකුට ත‍්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ලක් විසින් මරණ දඬුවම ලබා දෙනු ලැබී ය.

වෙනත් පරීක්ෂණ

මිනීමැරුම් සහ ඝාතන සම්බන්ධ පරීක්ෂණවලට අමතරව රාජ්‍ය නායකයන් ඝාතනයට තැත් කිරීම, පුද්ගල ඝාතන, අවි ළඟ තබා ගැනීම සහ ව්‍යාජ ලිපි ලේඛන ඇසුරෙන් සිදු කළ වංචා සම්බන්ධයෙන් ද ශානි අබේසේකරගේ මූලිකත්වයෙන් වැදගත් විමර්ශන රැසක් මෙහෙයවා සැකකරුවන් අත්අඩංගුවට ගෙන හෝ අදාළ ක‍්‍රියාමාර්ග ගැනීම සඳහා යොමු කිරීම සිදු කර තිබේ.

  1. 1998.04.01 දින ග‍්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ දී කැලණිතිස්ස විදුලි බලාගාරයට ප‍්‍රහාරයක් එල්ල කිරීමට සහ කොළඹ දී ප‍්‍රභූ ඝාතනයක් සිදු කිරීමට පැමිණි එල්.ටී.ටී.ඊ. සාමාජික ටෝනි ඩිනේෂ් කුමාර් අත්අඩංගුවට ගැනීම.
  2. කුරුඳුවත්ත පොලිස් වසමේ දී 1999.03.30 දින ජී.සී. වික‍්‍රමසිංහ පැහැරගෙන ගොස් ඔහු මුදාහැරීම සඳහා රුපියල් කෝටි දෙකක කප්පම් මුදලක් ඉල්ලා සිටීම.
  3. 1999.09.25 දින සිදු කරන ලද හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ඉලක්ක කර ගනිමින් එල්ල කරන ලද බෝම්බ ප‍්‍රහාරය.
  4. ව්‍යාජ ලිපි ලේඛන යොදා ගනිමින් 1999.12.27 දින කොළඹ වරායේ තිබුණු කන්ටේනර් 44ක් මුදා ගැනීම.

05. කටුනායක ගුවන්තොටුපොළට 2001.07.24 වන දින එල්ල කරන ලද ප‍්‍රහාරය.

06. නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරියකු විසින් නීතිපතිවරයාගේ අත්සන යොදා ගනිමින් ව්‍යාජ ලිපිලේඛන සැකසීම.

07. පොළොන්නරුව පොලිස් වසමේ දී 2006.04.23 දින එවකට අමාත්‍යවරයකුව සිටි, හිටපු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන ඝාතනය කිරීම සඳහා පැමිණි මරාගෙන මරෙන බෝම්බකරු අත්අඩංගුවට ගැනීමේ පරීක්ෂණය.

08. එවකට යුද හමුදාපතිව සිටි සරත් ෆොන්සේකා ඝාතනය කිරීම ඉලක්ක කර ගනිමින් 2006.04.25 දින යුද හමුදා මූලස්ථානයේ දී සිදු කරන ලද බෝම්බ ප‍්‍රහාරය.

  1. පිත්තල හන්දියේ දී 2006.12.01 වන දින එවකට ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්ව සිටි වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඝාතනය කිරීමට උත්සාහ දැරීම සම්බන්ධ පරීක්ෂණය.

10. මුල්ලේරියාව පොලිස් වසමේ හිඹුටාන හන්දියේ දී භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඇතුළු තිදෙනකුට 2011.10.08 වන දින වෙඩි තබා ඝාතනය කිරීම.

සිදු කෙරෙමින් තිබුණු පරීක්ෂණ

මේ දැනට පරීක්ෂණ අවසන් වී ඇති සිදුවීම් අතුරින් කිහිපයක් පමණි. ඊට අමතරව මේ වන විටත් පරීක්ෂණ සිදු කෙරෙමින් තිබෙන සහ අධිකරණයේ විභාග වෙමින් පවතින ආන්දෝලනාත්මක සිදුවීම් කිහිපයකම පරීක්ෂණ ද ශානි අබේසේකරගේ මූලිකත්වයෙන් සිදු වෙමින් තිබිණි.

01. 2008-2009 වර්ෂවල දී කොටුව, වත්තල සහ කොටහේන පොලිස් වසම් තුළ දී පුද්ගලයන් 11 දෙනකු පැහැරගෙන ගොස් ඔවුන් මුදාහරින බව පවසමින් කප්පම් මුදල් ලබාගෙන ඔවුන් ඝාතනය කිරීම.

  1. 2009.01.08 දින සන්ඩේ ලීඩර් පුවත් පතේ කර්තෘ ලසන්ත වික‍්‍රමතුංගට උල් ආයුධයකින් පහර දී ඝාතනය කිරීම.
  2. 2009.01.23 දින වැලිවේරිය පොලිස් වසමේ දී මාධ්‍යවේදී උපාලි තෙන්නකෝන්ට පහර දීම.
  3. 2010.01.24 දින මාධ්‍යවේදී ප‍්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම.
  4. 2012.04.18 දින රගර් ක‍්‍රීඩක මොහොමඩ් වසීම් තාජුඩීන් යන අයට පහර දී ඝාතනය කොට මෘතශරීරය කාර් රථයක් තුළට දමා පුළුස්සා දැමීම.

06. වැලිකඩ බන්ධනාගාරය තුළ දී 2012.11.09 දින පුද්ගලයන් 26 දෙනකු වෙඩි තබා ඝාතනය කිරීම.

07. රතුපස්වල දී 2013.08.01 දින පැවැති උද්ඝෝෂණයට වෙඩි තබා පුද්ගලයන් තිදෙනකු ඝාතනය කිරීම.

  1. වව්නතිව් පොලිස් වසමේ දී 2018.12.26 දින පොලිස් නිලධාරීන් දෙදෙනකු වෙඩි තබා ඝාතනය කර එම නිලධාරීන් සතුව තිබූ ගිනි අවි පැහැරගෙන යාම.
  2. 2019.04.21 දින කතෝලික දේවස්ථාන සහ හෝටල් ඉලක්ක කරගෙන සිදු කරනු ලැබූ මරාගෙන මැරෙන ප‍්‍රහාරය.
  3. ශ‍්‍රී ලංකා මහ බැංකුව විසින් 2015 පෙබරවාරි සිට 2016 මාර්තු 31 දක්වා සිදු කරන ලද බැඳුම්කර නිකුතුවේ දී සිදු වී ඇති වංචා හා දූෂිත ක‍්‍රියා සම්බන්ධ විමර්ශනය.

මෙවැනි පරීක්ෂණ ඉතිහාසයක් ඇති ශානි අබේසේකර අවසානයේ නතර කෙරෙනුයේ ගාල්ල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිගේ පෞද්ගලික සහකාර නැත්නම් ‘පියන්’ වශයෙනි. පියන් යනු අගෞරවයට ලක් විය යුතු තනතුරක් නොවුණත්, ශානිව මෙම තනතුරට පත් කිරීමෙන් සිදු කර ඇත්තේ අවමන්සහගත නොසැලකිල්ලකි. මේ ක‍්‍රියාවත් සමඟ රාජපක්ෂ ආණ්ඩුව පෙන්නුම් කරනු ලබන්නේ රජ්‍ය සේවය පිළිබඳවත්, ආරක්ෂක අංශ පිළිබඳවත් තමන්ගේ ඇති වුවමනාවයි. මේ නොකියා කියන්නේ ”අප පිළිබඳව පරීක්ෂණ කරන්න කිසිවකු හෝ කටයුතු කරන්නේ නම්, ශානිට අත් වූ ඉරණම ම අත් වන බව ය.

මෙහි වඩාත් ඛේදජනක තත්ත්වය වන්නේ 19 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව යටතේ ස්ථාපිත ස්වාධීන පොලිස් කොමිසමේ හැසිරීමයි. කොමිසම විසින් කිසිදු දෙගිඩියාවකින් තොරව සහ කිසිදු හේතු දැක්වීමකින් තොරව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා ගාල්ලේ පියන් කෙනෙකු බවට පත් කිරීමට තීරණය කර තිබේ. මේ කොමිසම ම මීට පෙර ව්‍යවස්ථා විරෝධී දින පනස් දෙකේ ආණ්ඩුව පත් වූ වහාම ද මෙවැනි ස්ථානමාරු කිහිපයක් සිදු කරනු ලැබී ය. ඉන් එකක් ලෙස නිශාන්ත සිල්වාව මීගමුවට මාරු කිරීමට කටයුතු කළේ ය.

ප‍්‍රශ්නය ඇත්තේ මේ පොලිස් කොමිසම ස්වාධීන ද යන්නයි. ස්වාධීන නම්, ආණ්ඩු මාරු වූ හැම අවස්ථාවක ම පොලිසියේ ඉහළ නිලධාරීන් තැනින් තැනට මාරු කිරීමට ‘ස්වාධීන’ පොලිස් කොමිසම කටයුතු කරන්නේ ඇයි ?

අප දන්නා තරමින් පොලිසිය යනු රාජ්‍යයේ මුරබල්ලාය. දැන් ඒ මුරබල්ලාට ම රාජ්‍යයෙන් බේරීමට පැන දුවන්නට සිදු වී ඇත. එවැනි රාජ්‍යයක්, එවැනි පොලිසියක්, එවැනි ‘ස්වාධීන’ පොලිස් කොමිසමක් ඇති රටක ජනතාවට ඇති ආරක්ෂාව ගැන තැබිය හැක්කේ කුමන විශ්වාසයක් ද?

චතුර දිසානායක – ලංකා ඉරිදා සංග්‍රහය

Archive

Latest news

Related news