Saturday, November 23, 2024

අනුර කුමාර‍: දෙමළ ජනතාවගේ ප්‍රශ්ණ වෙනුවෙන් අප පෙනි සිටියා මදි!

මෙරට දෙමළ ජනතාවගේ ප්‍රශ්ණ සම්බන්ධයෙන් ක්‍රියා කිරිමට තමන් අසමත් වූ බව පිළිගන්නා ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක එ පිළිබඳව සිය හදවතේ වේදනාවක ඇතැයි යාපනයේ දී ප්‍රකාශ කර තිබේ. එනමුත් රාජපක්ෂ  සමයේ යුද්ධයට  සහමුලින්ම සහාය දීම සම්බන්ධයෙන් ඔහු කිසිවක් කියන්නේ නැත. පසුගිය කාලයෙහි සිය අයතිවාසිකම් සඳහා මෙරට දෙමළ ජනයා ගෙන ගිය කිසිදු අරගලයකට ජවිපෙ සහභාගි වූයේ ද නැත.

”අපට පශ්චාත්තාපයක් තිබෙන්නේ, උතුරේ ජීවත් වන සාමාන්‍ය ජනතාව මුහුණ දෙන අසීරුතා, බරපතළ ගැටලු පිළිබඳව දේශපාලන ව්‍යාපාරයක් හැටියට අපේ වැඩි අවධානය යොමු කළ යුතුව තිබුණත්, එය ඒ ආකාරයෙන් ම කළ නොහැකි වීම ගැනයි. නමුත්, අපි ඒ පීඩිත ජනතාව වෙනුවෙන් ක්‍රියා කරන දේශපාලන ව්‍යාපාරයක්. අපට එසේ ක්‍රියා කිරීමට බැරි වීම සම්බන්ධයෙන් ඇත්ත කනගාටුවක් තිබෙනවා. තාමත් ඒ ගැන වේදනාව අපට තිබෙනවා. අපේ හදවත් ඒ සම්බන්ධව සාක්‍ෂි දරනවා.’

ඔහුගේ කතාවෙන් උපුටා ගත් කොටස් පහත පළවේ.

අපේ සහ අපේ දරුවන්ගේ අනාගතය කවරාකාර දිශාවකට ගෙන යනවා ද කියලා තෝරා ගන්නා ඡන්දය මේක. ඒ නිසා සෑම මැතිවරණයකට ම වඩා වැඩියෙන් ඔබට වැදගත් මැතිවරණය ජනාධිපතිවරණය කියලා අපි හිතනවා. දකුණේ පක්‍ෂ තරග වදින, දකුණේ දේශපාලන ව්‍යාපාර තරග වදිනවා කියලා හිතනවා නම්, ඔබ තෝරා ගත යුත්තේ, කවරක් ද යන්න වැදගත්. මේ දක්වා අවුරුදු හැත්තෑඑකක් රට පාලනය කළ පක්‍ෂ දෙක රටේ යුද්ධ නිර්මාණය කළා. සාගත නිර්මාණය කළා. වංචාව, දූෂණය, නාස්තියෙන් පිරුණු පාලනයන් නිර්මාණය කළා. දරුවාට ඉගෙන ගන්න හරියට පාසලක් නැති තත්ත්වයක් නිර්මාණය කළා. අසනීපයකට බෙහෙත් ගන්න බැරි තත්ත්වයක් ඇති කළා. අපේ දරුවන්ගේ අනාගතය කවරාකාරයෙන් විසැඳෙන්නේ ද කියන ප‍්‍රශ්නය ඔබ, අප හමුවේ බරපතළ වී තිබෙනවා.

මේ සියලු ප‍්‍රශ්න ඇති කළේ එක ම පැත්තේ සිටින දකුණේ පක්‍ෂ දෙකක්. අපි දකුණේ දේශපාලන ව්‍යාපාරයක් කියලා ඔබ අපට කියනවා නම්, අපි දකුණේ දේශපාලනයක් පමණක් නොවෙයි, උතුරේ ඔබත් එක්ක ඉතා සමීපව දේශපාලනය කරන්න කැප වුණු ව්‍යාපාරයක්. යුද්ධය අවසන් වූ වහා ම අපේ පූර්ණකාලීන සහෝදරවරුන් යාපනයේ වැඩ කරන්න පත් කළා. අපි උතුර සමඟ විශාල දේශපාලන සංවාදයක් පවත්වනවා. අදටත් ඒ සංවාදය ගෙන යනවා. අපි අතර සංවාදය, සාකච්ඡාව තුළින් ඇති කර ගත්ත අවබෝධය අනුව උතුරේ ශක්තිමත් ම දේශපාලන බලවේගය බවට ජාතික ජන බලවේගය පත් වේ ය කියන විශ්වාසය අපට තිබෙනවා.

තරග වදින්නේ දකුණේ පක්‍ෂ නම්, උතුරේ ජනතාව තෝරා ගත යුත්තේ, පැරැණි, යල්පැනගිය, අසාර්ථක, රටත්, ජනතාවත් අගාධයට දැමූ ඒ දේශපාලන කඳවුර වෙනුවට අපව තෝරා ගන්න කියන ආරාධනය, ඉල්ලීම කරන්නයි අපි ආවේ. ඔබ වෙනුවෙන් වගකීම් භාර ගන්නේ ජාතික ජන බලවේගය පමණයි. මේ රට මේ තත්ත්වයට දමා ගොදුරු කර තිබෙන තැනින් මිදෙන්න අප හැම දෙනාට ම එක් වී ගෙන යා යුතු සටනක් තිබෙනවා. ඒ වෙනුවෙන් කළ යුතු පොදු අරගලයක් තිබෙනවා. අපව පීඩාවට, අසරණභාවයට පත් කළ විනාශකාරී දේශපාලන කඳවුරෙන් අපේ මේ පරම්පරාව මුදා ගන්න අපට එකාවන් වූ සටනක් තිබෙනවා. ඒ නිසා එකතු වෙන්න කියන ආරාධනය අපි ඔබට කරනවා.

පොදුවේ ජනතාව පීඩාවට පත් කිරීමට අමතරව විශේෂ පීඩාවකට උතුරේ ජනතාව ලක් කොට තිබෙනවා. ඒ පසුගිය අවුරුදු තිහක් පැවැති යුද්ධය නිසා. දකුණට තිබුණේ, යුද්ධයේ බිය විතරයි. උතුරේ සන්නද්ධ කණ්ඩායම් අතර ගැටුම්, ඉන්දීය ආක‍්‍රමණික හමුදාවන් සිදු කළ විනාශයන්, පසුගිය යුද්ධයේ දී හමුදාවන්ගේ ක්‍රියාදාමයෙන් සිදු වුණු පීඩාව සහ ජීවිත අවිනිශ්චිතතාව ඔබ අත්වින්දා. තිස් අවුරුදු යුද්ධයේ ප‍්‍රධානතම වින්දිතයන් ඔබ. අපට පශ්චාත්තාපයක් තිබෙන්නේ, උතුරේ ජීවත් වන සාමාන්‍ය ජනතාව මුහුණ දෙන අසීරුතා, බරපතළ ගැටලු පිළිබඳව දේශපාලන ව්‍යාපාරයක් හැටියට අපේ වැඩි අවධානය යොමු කළ යුතුව තිබුණත්, එය ඒ ආකාරයෙන් ම කළ නොහැකි වීම ගැනයි. නමුත්, අපි ඒ පීඩිත ජනතාව වෙනුවෙන් ක්‍රියා කරන දේශපාලන ව්‍යාපාරයක්. අපට එසේ ක්‍රියා කිරීමට බැරි වීම සම්බන්ධයෙන් ඇත්ත කනගාටුවක් තිබෙනවා. තාමත් ඒ ගැන වේදනාව අපට තිබෙනවා. අපේ හදවත් ඒ සම්බන්ධව සාක්‍ෂි දරනවා.

අපි දැන් මෙතැනින් එහාට යන්නේ කොහාට ද? විශේෂයෙන් යුද්ධය හේතුකොටගෙන ඔබ ප‍්‍රධාන ගැටලු කිහිපයකට මුහුණ දී සිටිනවා. තම සැමියා, තම දරුවා අතුරුදන් වීම් පිළිබඳ ගැටලුව අතිශය වේදනාකාරීයි. කෙනකුගේ මරණයකට වඩා එය වේදනාකාරීයි. මගේ සහෝදරයාත් අතුරුදන් කර තිබෙනවා. අපේ දෙමවුපියන් ඒ ගැන දක්වන වේදනාවන් පිළිබඳ හැඟීමක් අපට තිබෙනවා. අද, හෙට ගෙදර එයි කියා දශක ගණනාවක් බලාපොරොත්තුවෙන් ජීවත් වෙනවා. ඒ නිසා අතුරුදන් වූවන් ගැන සත්‍යය දැනගැනීම, යුක්තිය ඉටු කර ගැනීම පුරවැසියන්ගේ සාධාරණ අයිතියක්. ඒ අයිතීන් කාලයේ වැලි තලාවෙන් හෝ මතකයෙන් යට ගැසීමට ඉඩ දිය යුතු නැහැ. ඒ නිසා අපි ඔවුන් පිළිබඳ සත්‍යය දැනගැනීමේ අවස්ථාව නිර්මාණය කරන බව අපි ඔබට සහතික කරනවා.

ඒ වාගේ ම අත්අඩංගුවට ගත් අය අවුරුදු විස්සක්, තිහක් තාමත් ඉන්නවා. මා වැලිකඩ හිරගෙදරට ගොස් ඔවුන්ව හමු වුණා. ඔවුන් වරදක් කර ඇත් නම්, ලැබෙන්නේ උපරිම අවුරුදු හතක දඬුවමක්. නමුත්, කිසිදු චෝදනාවක් නැතිව අවුරුදු විස්සකට වැඩිය රිමාන්ඩ් බන්ධනාගාරගත කළ අය ඉන්නවා. එය යුක්තියේ කිසිදු මූලධර්මයකට යටත් නැහැ. යුද්ධයෙන් පසුව එල්.ටී.ටී.ඊ. නායකයා බවට පත් වුණේ, කුමරන් පද්මනාදන්. ඔහු එක දවසක් බන්ධනාගාරයේ හිටියේ නැහැ. එක දවසක් උසාවියට ඉදිරිපත් කළේ නැහැ. ඒ කුමක් නිසා ද? ඔහුට නැව්, බැංකු ගිණුම් තිබුණු නිසා. එහෙම නම්, නීතිය ඉටු වන්නේ බැංකු ගිණුම්වල බරට ද? නැව් සංඛ්‍යාවේ අයිතිය අනුව ද? මේ තත්ත්වය කිසිසේත් ම යුක්තිසහගත නැහැ. දයා මාස්ටර් අත්සන් කළ එල්.ටී.ටී.ඊ. සංවිධානයේ හැඳුනුම් පතක් ළඟ තබා ගත් තරුණයෙක් හිරේ ඉන්නවා. ඊට අත්සන් කළ දයා මාස්ටර් එළියේ. මේ පාලකයන් දේශපාලන සිරකරුවන් ලෙස රඳවාගෙන සිටින මේ අය වහා ම නිදහස් කිරීමේ ක්‍රියාදාමයක් අප ආරම්භ කරනවා.

ඊ ළඟට ඔබ ඔබේ ඉඩම් පිළිබඳව බරපතළ ප‍්‍රශ්නයක ඉන්නවා. අපේ සංස්කෘතිය අනුව ඉඩම කියන්නේ, දේපළක් විතරක් ම නොවෙයි. ඉඩම අපේ ඥාතිවරයෙක්. ඒ එක්ක තියෙන්නේ, ඥාතිත්වයේ බැඳීමක්. යාපනයේ ජනතාවට හිමි ඉඩම් අවුරුදු තිහකට අධික කාලයක් හමුදාව අරන් තිබුණා. දැන් හමුදාව අත හැර අන් කිසි කෙනෙක් ළඟ අවි ආයුධ නැහැ. ඒ නිසා තව දුරටත් ඉඩම් අත්පත් කරගෙන තිබීම කිසිසේත් ම යුක්තිසහගත නැහැ. තමන්ගේ ඉඩම් තමන්ට ලබා ගැනීමේ යුක්තිසහගත අයිතියක් තිබෙනවා. එවැනි යුක්තිසහගත, සාධාරණත්වයක් ගෙන එන පාලනයක් ගොඩනැඟීමට ඔබටත් ආරාධනා කරනවා.

උතුරු පළාතේ හතළිස්පන් දහසක් යුද වැන්දඹුවන් ඉන්නවා. අම්මා, තාත්තා දෙන්නා ම අහිමි දරුවන් දෙදහස් පන්සියයක් විතර ඉන්නවා. මේ හැම දෙනාගේ ම ජීවිත යළි යථාවත් කර ගැනීම වෙනුවෙන් වහා ම විසැඳිය යුතු ප‍්‍රශ්න විසැඳිය යුතුයි. කෘෂිකර්මය ජීවනෝපාය කර ගත් විශාල ජනතාවක් උතුරේ ඉන්නවා. යාපනයේ මුරුංගා, යාපනයේ අඹ, යාපනයේ මිරිස් සහ රතුලූනු නිෂ්පාදනය කරන ගොවීන් කෙරෙහි විශේෂ අවධානයක් යොමු කළ යුතුයි. දකුණේ ගොවීන් රසායනික ද්‍රව්‍ය යොදා කටයුතු කරද්දී, උතුරේ ගොවීන් තාමත් එළු පොහොර, ගොම පොහොර විශාල වශයෙන් භාවිත කරනවා. මේ ජනතාවට සාධාරණ ආදායමක් ලැබෙන්නේ නැහැ. පොළොන්නරුවේ වී කිලෝ එකකට වඩා අඩු මිලක් කිලිනොච්චියේ ගොවියාට ලැබෙන්නේ. අපි සහතික වශයෙන් ම මේ තත්ත්වය වෙනස් කරනවා. ගොවීන් කොල්ලකන මේ මාෆියාව අපි බිඳ දමනවා. ජීවත් වීමට සාධාරණ ආදායම් ලැබෙන කෘෂිකර්ම ප‍්‍රතිපත්ති ක්‍රියාත්මක කරනවා.

උතුර සංවර්ධනයේ ප‍්‍රධාන මාවත අධ්‍යාපනය. විශාල ලෙස කියැවීමට පුරුදු වූ ජන ප‍්‍රජාවක් මෙහි සිටිනවා. ප‍්‍රාදේශීය පුවත් පත් යාපනයේ පවත්වාගෙන යන්න හැකියාව තිබෙනවා. ගම් ඇතුළේ පත්තර කියවන මධ්‍යස්ථාන තිබෙනවා. ලංකාවේ පුස්තකාල ගණනාවකට මා ගිහින් තිබුණත්, ඇතුළු වෙන කොට සපත්තු ගලවලා ඇතුළු වෙන්නේ යාපනයේ පුස්තකාලයට. ඔබගේ කියැවීම සහ අධ්‍යාපනය සමඟ තිබෙන බැඳීම ඒ වාගෙයි. මේ පාලකයන් එක්දහස් නවසිය අසූඑකේ සංවර්ධන සභා මැතිවරණයේ දී එක්සත් ජාතික පක්‍ෂ ඇමතිවරුන් දකුණේ මැරයන් යාල්දේවී කෝච්චියෙන් ගෙනැවිත් පුස්තකාලයට ගිනි තිබ්බා. ගාමිණී ලොකුගේ, ගාමිණී දිසානායක, ගාමිණී ජයවික‍්‍රම පෙරේරා කියන ඒ කාලේ හිටිය ඇමතිවරුන් ඊට නායකත්වය දී තිබුණා. ඒ සංවර්ධන සභා ඡන්දයේ දී සමහර පෙට්ටි පිරවූයේ පන්නල පොලිසියේ දී. ජනතාවගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතිය ඔවුන් අහෝසි කළා පමණක් නොවෙයි, ඔබලාගේ හදවත බඳු පුස්තකාලයත් ඔවුන් ගිනි තිබ්බා.

අපේ පාලනයක් යටතේ වැඩියෙන් ම අවධානය යොමු කරන්නේ, අපේ දරුවන්ගේ අධ්‍යාපනයට. දැන් මුළු අධ්‍යාපන යාන්ත‍්‍රණය ම බිඳ දාලා. ඒක ගොඩනඟන්න ඕනෑ. ඔබේ නිවසේ සිට කිලෝ මීටර් දෙකකට වඩා දුර ඔබේ දරුවා නොයන පරිදි පාසල් පද්ධතියක් අපි බිහි කරනවා. ඒ වාගේ ම අද අධ්‍යාපනය තියෙන්නේ, පාසලෙන් එළියේ ටියුෂන් එකේ. මේ තත්ත්වය විප්ලවීය පරිවර්තනයකට ලක් කරනවා. ඊ ළඟට අපේ සෞඛ්‍ය ප‍්‍රශ්නත් ඉතා බරපතළයි. ගැබිනි මවුවරුන් විශාල ප‍්‍රමාණයක් නිරක්තියෙන් පෙළෙනවා. අවුරුදු පහට අඩු දරුවෝ සියයට විසිඑකක් මන්දපෝෂණයෙන් පෙළෙනවා. ඒ නිසා හැම දරුවකුට ම පෝෂ්‍යදායී ආහාර වේලක් ලැබෙන හොඳ සෞඛ්‍ය තත්ත්වයෙන් යුතු කඩිසර ක්‍රියාශීලී දරුවෙක් නිර්මාණය කෙරෙන පරිසරයක් අපි ගොඩනඟනවා. අනාගතයේ රට භාර ගන්නේ ඔවුන්.

මේ කතා ඇත්ත වුණත්, පාලනයේ හවුල්කරුවන් බවට පත් වෙන්නේ කොහොම ද කියලා ඔබ අපෙන් ප‍්‍රශ්න කරනවා. ඒ ගැනත් යමක් පැහැදිලි කළ යුතුයි. අපේ දේශපාලන මාවතේ පදනම ජාතිවාදය ප‍්‍රතික්‍ෂේප කිරීමයි. කිසිදු වර්ගයේ ජාතිවාදයකට අපේ රටේ දේශපාලනය ගොදුරු කර ගැනීමට ඉඩ නොදිය යුතුයි. මේ ජාතිවාදී දේශපාලනය යුද්ධ නිර්මාණය කළා. උතුරේත්, දකුණේත් දරුවෝ යුද්ධයට බිලි වුණා. අවුරුදු තිහක් තිබුණු යුද්ධයේ දී පාර්ලිමේන්තුව නියෝජනය කරපු හෝ පාර්ලිමේන්තුව නියෝජනය කරන කිසිදු මන්ත්‍රීවරයකුගේ දරුවෙක් මිය ගියේ නැහැ. හැබැයි, උතුරේත්, දකුණේත් යුද්ධය ඇති කළේ රට පාලනය කළ දේශපාලකයන්. හැබැයි, මිය ගියේ උතුරේත්, දකුණේත් සාමාන්‍ය අම්මා තාත්තාගේ දරුවෝ. ඒ නිසා යළි කිසිදු වර්ගයක ජාතිවාදයකට හෝ ආගම් අන්තවාදයකට හිස එසැවීමට, අපේ රටේ ගැටුම් ඇති කිරීමට ඉඩ ලබා නොදිය යුතුයි. කුමන අසීරු තත්ත්වයන් යටතේ හෝ ජාතිවාදයට එරෙහිව ජාතික සමඟියේ කොඩිය අතට ගත් දේශපාලන ව්‍යාපාරයක් අපි. එය කුමන බලපෑම් හමුවේවත් අපි අත්හරින්නේ නැහැ.

ඒ වාගේ ම ජාතික සමඟිය ගොඩනැඟීම පිළිබඳ දේශපාලනයක් අපට තිබෙනවා. එය නි්ර්මාණය කළ හැක්කේ කෙසේ ද? අපේ රටේ කිසිදු පුරවැසියෙක් දෙවැනි පුරවැසියෙක් බවට පත් නොවිය යුතුයි. සම්බන්ධන් මහත්තයා එක්ක ළඟ දී මම කළ සාකච්ඡුාවක දී ඔහු මට කීවේ, “ලංකාවේ පුරවැසියෙක් බව කියන්න මම කැමැතියි. හැබැයි, ලංකාවේ දෙවැනි පුරවැසියෙක් බව කියන්න මම කැමැතිි නැහැ” කියලා. අපි ඒක සම්පූර්ණයෙන් ම පිළිගන්නවා. අපේ රටේ පළමු පන්තියේ පුරවැසියන්, දෙවැනි පන්තියේ පුරවැසියන් කියා සිටිය යුතු නැහැ. කතා කරන භාෂාව අනුව අනන්‍ය වූ සංස්කෘතීන් අනුව අදහන ආගම් අනුව අපි අතර වෙනස්කම් නොතිබිය යුතුයි.

ඒ නිසා අපි මූලධාර්මිකව පිළිගන්නවා, සිංහල, දෙමළ, මුස්ලිම් අපි කවුරුත් මේ රටේ සමාන පුරවැසියන් බව. අපි නීති සම්පාදනය කරන්නේ, ඒ සෑම පුරවැසියකුගේ ම අනන්‍යතාව පිළිගෙන ගරු කිරීමෙන්. ආගම කියන්නේ, ඔබගේ විශ්වාසය. කිසිදු ආගමක් උසස් හෝ පහත් කියලා නැහැ. සංස්කෘතිය ඔබගේ, අපගේ කියලා වෙන් කළ හැකි ද? එකක් අනෙකට වඩා උසස් හෝ පහත් කියලා වෙන් කළ හැකි ද? භාෂාවත් එහෙමයි. ඔබගේ භාෂාව දෙමළ. මගේ භාෂාව සිංහල. එකක් උසස් අනෙක පහත් කියා කිව හැකි ද? මේ තත්ත්වය අපි භාවිතාවෙන් පමණක් නොවෙයි, ව්‍යවස්ථාව ඇතුළේ ද, නීතිය ඇතුළේ ද සෑම පුරවැසියකුට ම සාධාරණව ක්‍රියාත්මක කළ යුතුයි. ඒ බව සහතික කෙරෙන ක්‍රියාමාර්ග වාගේ ම නීති පද්ධතියක් ගොඩනඟන බව අපි ඔබට සහතික කරනවා.

උපුටා ගැනීම ලංකා ට්රුත්.

Archive

Latest news

Related news