ඡායාරූපය: ජාතිත ජන බලවේගයේ මහජන රැස්විමක දී. ( ලංකා ට්රුත් ජායාරූපයකි)
ලංකා දේශපාලනයට මේ ළඟා වෙමින් තිබෙන ජනාධිපතිවරණය සුවිශේෂී අවස්ථාවකි. අප ඉතා හොඳින් දන්නා පරිදි මෙතෙක් බලය ලබාගත් දේශපාලන බලවේග රටේ ප්‍රශ්නවලට විසඳුම් සොයනවා වෙනුවට බලයට ආ කණ්ඩායමේ, ඔවුන්ගේ පක්ෂයේ, ඔවුන්ගේ අනුගාමිකයින්ගේ, අභිවෘද්ධිය වෙනුවෙන් වැඩ කර. එය ලංකා දේශපාලනයට අලුත් යමක් නොවන බවද අප දනිමු. මෙතෙක් බලයට ආ දේශපාලන පක්ෂ සහ බලවේග නිදහසින් පසු ලංකාවේ දැවෙන ප්‍රශ්නයන් පිළිබඳව වගේ වගක් නැතිව, එසේ නැත්නම් පැහැදිලිවම ඒවාට විසඳුම් සෙවීමේ ක්‍රියාදාමයකට යොමු නොවෙමින් වැඩ කළ බව පැහැදිලිය. නිදහසින් පසු ලංකාවේ තරුණ කැරලි ගණනාවක්ම සිදුවූ අතර තරුණ තරුණියන් දස දහස් ගණනින් මරා දැමීමද සිදුවෙනු ලැබුණි. ඒ වාගේම සුළු ජන කණ්ඩායම් වල අයිතීන් පිළිබඳව පැන නැගුණු ඉල්ලීම් නොසලකා හරිමින් තම ආධිපත්‍ය පමණක් සිතන පතන කණ්ඩායමක් හැමදාම රට පාලනය කිරීම හේතුවෙන් දීර්ඝකාලීන ජන වාර්ගික යුද්ධයක් ඇතිවීම පමණක් නොව රටෙහි ජන කණ්ඩායම් අතර විශාල බෙදීමක් ද සිදවිය.
1960 ගණන් වලට ආපසු ගොස් බැලූ විට රටෙහි ජන කණ්ඩායම් අතර පැවති සහයෝගීතාවය පමණක් නොව රටෙහි ඉදිරිගාමී දේශපාලන ප්‍රවාහය අදවනවිට විශාල වශයෙන් ආපස්සට ඇදී ඇති බව පැහැදිලිව පෙනෙන්නට තිබෙන කරුණකි. එදා මිනිසුන් අද මෙන්ම ආගම් ඇදහූ නමුත් ආගමික වශයෙන් මරාගන්නා තත්ත්වයකට පත් වී නොතිබූ අතර ජනවාර්ගික වශයෙන් සහයෝගයක් මෙම ජන කණ්ඩායම් අතර පැවතුණි. නමුත් රටෙහි දේශපාලන නායකත්වය මෙම ප්‍රශ්න වලට විසඳුම් සෙවීම වෙනුවට ඒවා නොසලකා හැරීම හේතුවෙන් මෙම ප්‍රශ්න උග්‍ර වී රටෙහි ජනයා එකිනෙකා බෙදෙන මට්ටමකටත්, එකිනෙකා පිළිබඳව සැකයෙන් බලන මට්ටමකටත්, පක්ෂ වශයෙන් සහ ආගම් වශයෙන් මෙන්ම ජනවාර්ගික වශයෙන් ද එකිනෙකා කෙරෙහි සැකයෙන් බලන මට්ටමකටත් අද වන විට රට පත්වී හමාරය. අප පැහැදිලිව දන්නා පරිදි රටේ තරුණ ජනගහනයෙන් මිලියන තුනක් පමණ රට හැරගොස් විදේශ වල රැකියා කරන අතර බොහෝ උගත් තරුණ තරුණියන් රට හැර ගොස් වෙන රටවල ස්ථිරව පදිංචි වෙන මට්ටමක්ද ගොඩනැගී ඇත. මෙසේ විවිධ ගැටළු වලට මුහුණ දුන් අර්බුදයන් මැද පවතින සමාජ- දේශපාලන වාතාවරණයක් තුල රට අද වන විට මෙම ජනාධිපතිවරණය වෙත ළඟා වෙමින් පවතී.
පොහොට්ටුව ලකුණෙන් සටනට ඉදිරිපත් වී සිටින රාජපක්ෂ සහෝදර කණ්ඩායමේ ගෝඨාභය රාජපක්ෂ ඔවුන් බලයේ සිටිය අවදියේ වැඩ කළ ආකාරය, මිනිසුනට තර්ජන ගර්ජන කළ ආකාරය, නිදහස් අදහස් වලට තර්ජනය කළ ආකාරය, ඔවුනට එරෙහිව නොබියව කතා කළවුන් අතුරුදහන් කළ ආකාරය හෝ මහ මග අධි ආරක්ෂිත කලාප වල පවා මරා දැමූ ආකාරය සිහිබුද්ධිය ඇති අයට අමතක විය නොහැක. මිනිස් අයිතීන්, සුළුතර ජනවර්ග අයිතීන්, නීතියේ ආධිපත්‍ය නැතිනම් නීතිය මත පාලනය යන්න ඒ අවධියේ මතක් කිරීමට ඉඩක් නොමැතිව තිබූ කාරණාවන් ය. මිනිසුන් සතුන්ගෙන් වෙනස් වන්නේ නිදහස් මිනිසුන් ලෙස සිතීමට හා හැසිරීමට, අදහස් ඉදිරිපත් කිරීමට ඇති හැකියාවන් නිසාවෙනි. එම හැකියාවන් යටපත් කළ තැන එනම් මිනිස් අයිතීන් යටපත් කළ තැන, රටක නීතිය හැමටම එක් ආකාරයෙන් ක්‍රියාත්මක නොවන තැනක මිනිසා ගාල්කල සතෙකුට වඩා වෙනස් නොවනු ඇත.
කෙසේ වුවද මේ වන විට යහපාලන ආණ්ඩුව විසින් කළ ක්‍රියාදාමයන්ද එම ආණ්ඩුව බලයට පත් කරගැනීමට සහාය දුන් අයට අනුමත කළ නොහැකි තත්වයක පවතින බව පැහැදිලි කරුණකි. රාජපක්ෂ පාලනයට වඩා මේ අවධියේ කතා කිරීමේ නිදහස, බලයෙන් අතුරුදහන් කිරීම ආදී කාරණාවන් යහපත් පත්වී තිබුනා වූවත් එදා ඔවුන් තම මැතිවරණ පොරොන්දු වශයෙන් දුන් කාරණා සම්පූර්ණයෙන් හෝ අර්ධ වශයෙන් ඉටු කිරීමට ඔවුන් සමත් වී හෝ උවමනාවක් පෙන්වා නොමැත. විශේෂයෙන්ම නීතිය මත පාලනය නැත්නම් නීතියේ ආධිපත්‍ය රට තුළ ස්ථාපිත කිරීම වාගේම දූෂණය ආදිය තුරන් කිරීම සඳහා ක්‍රියාත්මක වීමක් සිදු වී නොමැති බව පැහැදිලිය. නමුත් රාජපක්ෂ පාලනය සහ අද පවතින පාලනය සංසන්දනය කිරීමේදී සාපේක්ෂක ගුණාත්මක බවක් ඔවුන් පෙන්වූ බව ද අපට අමතක කළ නොහැක.
අනෙක් අතින් ජාතික ජනතා බලවේගය යනුවෙන් ඒකරාශී වූ සංවිධාන සහ පක්ෂ ප්‍රමාණයක් එක්ව තමන් ද තමන්ගේම ජනාධිපති අපේක්ෂකයකු ඉදිරිපත් කරන ලදී. ජාතික ජනතා බලවේගය ඉදිරිපත් කරන අපේක්ෂකයා අනුර කුමාර දිසානායක අයත්වන්නේ ජනතා විමුක්ති පෙරමුනට හෙයින් මානව හිමිකම්, බලය බෙදීම ආදී කාරනා ගැන ඔවුන් පැහැදිලි මතයක් ඉදිරිපත් කිරීමද වැදගත්ය.
පවතින තත්ත්වයන් තුළ රටෙහි තුන්වන බලවේගයක් ලෙස මතුවීමට මෙම දේශපාලන බලවේගයට හැකි වනවා නම් රටෙි දේශපාලන සෞඛ්‍යයට එයඉතා වැදගත් ය. ලංකා දේශපාලනය විශාල වශයෙන් දූෂණයට ලක් වූ දේශපාලනයක් බව මා අලුතෙන් කිව යුතු නැත. රටෙහි බලය හොබවන ප්‍රධාන පක්ෂ සෑමදාම කටයුතු කර ඇත්තේ තම පවුල්වල, තම පාක්ෂිකයන්ගේ හෝ තම හිතවතුන්ගේ එසේ නැත්නම් තමන්ගේ අනුගාමිකයින්ගේ වුවමනාවන් ඉටු කරන කණ්ඩායම් ලෙසිනි. ඔවුන් බලයට පැමිණි විට තම පක්ෂය නොව රටේ උවමනාවන් ඉටුකිරීම දේශපාලනය බව කිසිදිනක ඔවුන් වටහා ගෙන නොමැත. නමුත් එවැනි දේශපාලනයක් වෙනස් කිරීමට නම් එතනින් එපිටට ගිය දේශපාලන බලවේගයක් ගොඩනැගීම, අඩුමතරමින් එවැනි බලවේගයක් ගොඩනැගීමේ ආරම්භයක් ඇතිකර ගැනීම රටට මෙම මොහොතේ අත්‍යාවශය.
මෙම මොහොත සුවිශේෂී අවස්ථාවක් යයි මා ආරම්භයේදී පැවසූයේ අද වන විට බලයට ඒමට උත්සාහ කරන බලවේගයන් අතර ඇති මෙම වෙනස නිසාවෙනි. රාජපක්ෂවරු රට පාලනය කල අවදියේ පැවැති තර්ජනයන්, එදා පැවැති මර්දනය අද වන විට අපට බොහෝ විට අමතක වී තිබිය හැක. නමුත් එදා දේශපාලන බලය තම සහෝදරයා තුළින් අතටගත් ගෝඨාභය රාජපක්ෂ ක්‍රියාත්මක වූයේ රාජ්‍ය මැරයකු ක්‍රියාත්මක වන ආකාරයෙනි. ඔහුගේ විරුද්ධවාදීනට ඔහු ප්‍රසිද්ධියේම තර්ජනය කළ අතර ඔහුට එරෙහිව කතා කළ අයට මරණීය දණ්ඩනය දෙන බව පවා ප්‍රසිද්ධියේ මාධ්‍ය සාකච්ඡාවල දී පවා කරනු ලැබුවේ දේශපාලන බලය තමා අත පවතින ඒකාධිපතියකු ක්‍රියාත්මක වන ආකාරයෙනි. එදා ඔහු සතුව දේශපාලන බලය නොතිබූ අතර බලයට හිමිකම් කීවේ තම සහෝදරයා තුළින්ය. නමුත් අද ජනාධිපති සටනට ඔහු පැමිණ ඇත්තේ ඔහුට ම දේශපාලන බලය හිමිකර ගැනීම වෙනුවෙනි. ඔහුගේ දේශපාලන වැඩපිළිවෙල ඉදිරිපත් කිරීමේදී මිනිස් අයිතීන් හෝ නිදහස, ප්‍රජාතන්ත්‍ර අයිතීන් පිළිබඳව ඔහු අතින් වචනයක් හෝ අපතේ ගොස් නොමැත. ඒ වගේම සිංහල බෞද්ධ සහ සිංහල ජාතිවාදී කණ්ඩායම් ඔහුගේ ගාමක බලවේගයයි. හමුදා නිලධාරීන් සහ නන්නත්තාර කණ්ඩායම් නැතිනම් පහුගිය වකවානුවේ රට තුරා බිහිවී ඇති මැර කණ්ඩායම් ඔහුගේ අනුගාමිකයින්ය. තමා බලයට පැමිණි විට තද පාලනයක් ගෙන ගොස් රට වෙනස් කරන බව ඔහු පවසයි. ඔහුගේ කියමන් කියාපාන්නේ අධිපතිවාදී පාලනයක් වෙත ඔහු රට කැඳවාගෙන යන බවයි. ඒකාධිපති බලය සහ පැසිස්ට්වාදය අතර වෙනස්කම් ඇතත් ජාතිවාදය, හමුදා වාදය සහ මැර බලය එකට එක්වූ විට බොහෝවිට බිහිවන්නේ ෆැසිස්ට්වාදී රාජ්‍ය ක්‍රමයයි. එනිසා ගෝඨාභයගෙන් අපට බලාපොරොත්තු විය හැක්කේ බොහෝ විට ඒකාධිපතිත්වය අභිබවාගිය ෆැසිස්ට්වාදය හෝ ඊට ආසන්න හිංසාකාරී පාලන ක්‍රමයක් බව පැහැදිලිය.
නමුත් යහපාලන කණ්ඩායම දිරිපත් කරන සාමාජිකයා වන සජිත් ප්‍රේමදාස මේ වන තුරු ඉදිරිපත් කරන වැඩසටහන් වල කිසියම්ම වැදගත්කමක් දැකීමට නොමැති තරම්ය. රටේ මෙතරම් ප්‍රශ්න පවතින අවධියක විහාර දහස්ගනන් හැදීම වැනි කාරණා පිළිබඳ කථා කරන අතර රටෙහි දැවෙන ප්‍රශ්නයක් වන ජනවාර්ගික ප්‍රශ්නය වැනි ප්‍රශ්න පිළිබඳව හෝ ඒකාධිපති ජනාධිපතිවරයකු බිහිකරන ව්‍යවස්ථාවක් වන ව්‍යවස්ථාව වෙනස් කිරීම පිළිබඳව ඔහු අතින් වචනයක් පිට වී නොමැති තරම්ය.
ඔහු ඉදිරිපත් වන්නේ එක්තරා පමනක සීිමිත ලිබරල් දේශපාලන බලවේගයන් වල අපේක්ෂකයා වශයෙනි. ඔහු තුළින් ප්‍රජාතන්ත්‍ර අයිතීන්ට සිදුවිය හැකි විනාශය ගෝඨාභය තුළින් සිදු වන ප්‍රමාණයට වඩා අඩු විය හැකි බව මගේ හැඟීමයි.
මා මීට ඉහතින්ද සඳහන් කළ පරිදි රටෙහි දේශපාලනය නිවැරදි තැනකට ගෙන ඒමට ගෝඨාභයට හෝ ප්‍රේමදාසට එසේ නැත්නම් ඔවුන් නියෝජනය කරන බලවේගයන්ට කිසිදිනක හැකියාවක් හෝ උවමනාවක් නොමැත. එය මෙම බලවේග බලය හෙබවූ අවදීන්හි පැහැදිලිව පෙන්වා ඇත. එනමුත් රටේ වැඩිදෙනෙකු තමන්ගේ ඡන්දය පාවිච්චි කරනු ඇත්තේ මෙම අපේක්ෂකයන් දෙදෙනා වෙත යි. ඒ භූමියේ පවතින යථා තත්ත්වය යි.
එසේ වුවත් දීර්ඝකාලීනව දේශපාලන වශයෙන් තුන්වෙනි බලවේගයක් ගොඩනගා ගැනීම සඳහා මෙම ජනාධිපතිවරණය අවස්ථාවක් කර ගැනීම වැදගත් බව මගේ වැටහීමයි. එසේනම් ජාතික ජනතා බලවේගය වෙතට තව තවත් කණ්ඩායම් සහ ප්‍රගතිශීලී පක්ෂ, සුලුතර ජන කණ්ඩායම් සහ ඒවායෙහි පක්ෂ එක්කර ගැනීම මේ මොහොතේ වැදගත්ම කාරණයයි. එසේ ගොඩනැගෙන දේශපාලන බලවේගයක් ඊළඟ මහ මැතිවරණයකදී විවිධ තල වල දේශපාලන අපේක්ෂකයින් නැත්නම් නියෝජිතයින් වැඩි ප්‍රමාණයක් පාර්ලිමේන්තුවට යවා ගැනීමට මෙම ඡන්දය අඩිතාලම කරගැනීමට ඇති අවස්ථාව මෙහි ඇති සුවිශේෂ වැදගත්කමකි.
නමුත් අප අද අපරටෙහි පවතින දේශපාලන තත්ත්වය අමතක නොකළ යුතුය. ලොවපුරා ඒකාධිපති සහ පැසිස්ට්වාදී ප්‍රවණතාවයන් හමුවේ බෙදී වෙන් වී ක්‍රියා කළ කුඩා කන්ඩායම් සහ වාමාංශික බලවේගයන් විසින් ලැබූ අත්දැකීම් අපට ලෝකය පුරා ඕනාවටත් වඩා තිබේ. ඒ නිසාවෙන් මෙම මැතිවරණයේදී ජාතික ජන බලවේගයට තම කැමැත්ත හිමි කරන සියළුම දෙනා තමන්ගේ බලවේගයක් ගොඩනගා ගන්නා අතරම තම දෙවන කැමැත්ත ගෝඨාභයට එරෙහිව දියයුතු බව මගේ වැටහීමයි. ඇත්ත වශයෙන්ම මෙහිදී සිදුවිය යුත්තේ මෙම බලවේගයන් දෙක අතර සාමූහික සහයෝගීතාවක්, නැතිනම් බැඳීමකින් තොර එකඟතාවයක් ගොඩනඟා ගැනීමයි. තම දෙවන කැමැත්ත අනෙකාට දෙන ලෙස මෙම දේශපාලන බලවේගයන් විසින් එකඟත්වයකින් ක්‍රියා කළ යුතු අතර ඒ තුලින් වඩා හොඳ දේශපාලන වාතාවරණයකට අඩිතාලම් දමා ගැනීමේ හැකියාවක් ඇති බව මගේ වැටහීමයි. එතුලින් ඒකාධිපතිවාදය පරාජය කරමින් ඒ සමග ම ප්‍රජාතන්ත්‍රවාදී අනාගත බලවේගයක ආරම්භයට ද මඟ හෙලිකර ගැනීමට ඉඩ සැලසෙනු ඇත. එසේ සිදුකරන දේශපාලනයකින් මේ සුවිශේෂී මොහොත රටේ ඉදිරි අනාගතය යහපත් තැනකට ගෙන ඒමේ මූලික අඩිතාලම මෙම ජනාධිපතිවරණය තුළින් දමා ගැනීම ප්‍රගතිශීලී බලවේගයන් ගේ කාර්යභාරය බව මම විශ්වාස කරමි.
රංජිත් හේනායකආරච්චි